Monday 16 January 2017

රේණුකාගේ පලා මල්ල 7: කෝප්ප කොළ

                          ක්‍රෝටන් කොලයක රස බලමු



කොළපාටට මැල්ලුමක් නැතිව බත් ගිලෙන්නේ නැති පුංචි පහේ රෝගයක් තියෙනවා මට. අපේ කමට පලා මැල්ලුමක් කන්න පලා මල්ලට අත දැම්ම මට අහුවුනා ආයිබෝං  හරියටම සංවර්ධන ලොතරැයියක් ඇදුනා වගේ මේ සතියේ ජනප්‍රියම පලා වර්ගය..වැරැද්දකට ගන්න දෙයක් නැහැ බොහොම ගුණදායි ''ක්‍රෝටන් '' වර්ගයක් තමා

අවංකවම​ කියනවානම් අපේ අත්තම්මත් එක දාස් නවසිය බර ගණන් වල ඉඳලා "වෙනසඅගය කරපු කාලේ ''නව පරපුරේ '' කාන්තාවක්. අම්මප කිව්වොත් හින්දමදෝ මන්දා ක්‍රෝටන් වගේම කොස් කොලත් ගුණයි කියලා තමයි අත්තම්ම නම් කිව්වේ..ආයි  ඉතින් බොරු කියල කොහේ තර්ක කරන්නද? පාරෙන් එහා පැත්තේ රාලහාමි මාමලාගේ මී හරක් රැල  ක්‍රෝටන්, කොස් කොළ කාල බොහොම සනීපෙට ධර්මිෂ්ඨ හරක් මඩුවක උන්නු කොට..

ඕන් අද  මේ වටිනාකම  පහදලා දෙන්න හදන විශේෂ ක්‍රෝටන් වර්ගය ගමේ ගොඩේ හඳුන්වන්නේ "කෝප්ප කොළ" කියලාමේ වර්ගයේ ක්‍රෝටන් වර්ග දෙකක් තියෙනවා

එකක් සුදු පාට පුල්ලි වැටුණු කැරලි වැඩි හැඩකාර  කොලය. අනික කොළ පාට වැඩිපුර විලාසිතා  නැති වර්ගය. මේ දෙවර්ගයම කෑමට ගත්තා වුනත් වැඩිපුර භාවිතා වුනේ කොළ පාට වර්ගයේ ලපටි දළු මට්ටමේ කොළ

මේ ක්‍රෝටන්  වර්ගය අනිත් පලා වගේ අමුවෙන් ආහාරයට ගත්තු බවක් නම් නිච්චි නැහැ.තනිවම හෝ කලවම් මැල්ලුමට පිළියෙළ කර ගන්න පුළුවන්

දළු සිහින්ව ලියාගෙන අමු  පොල්, අමු මිරිස් කරලක් දෙකක්, රතුළූණු ඩිංගක් දාල බාගෙට මැලවෙන කොට ලිපෙන් බාගෙන දෙහිගෙඩියක් මිරිකා ගත්තාම කෑමට ලෑස්තියි

මම නම් පෞද්ගලිකව කැමති මේ ක්‍රෝටන් වර්ගය කලවම් පලාවට එක්කර ගන්නයි. එයටම ආවේනික රසයකුත් තිබෙනවා.


අනාගතයේ ආහාර හිඟයකට පිලියමක් වෙන තරමට වැදගත් කමක් හිටි හැටියේ ලැබුණු ක්‍රෝටන් මැල්ලුමේ ගුණ ඩිංගිත්තක් කියා දෙන එක ජාතික යුතුකමක් කියා හිතුන නිසාමයි අද මේ කඩිමුඩියේ මේ මැල්ලුම මැලෙව්වේ

කවුරු අකමැති වුනත් අද වෙනකොට අත්තම්ම හිටියානම් මේ යෝජනාවට එකඟව සුටුස්  ගාලා අත ඔසවන්නේ එතුමිය කියලා නිච්චියටම දන්නේ නම් මේ මිනිපිරි .  ක්‍රෝටන්  වල වටිනාකම උන්දැ සහ සුද්ධෙන් දැනන් හිටිය නිසා.

සාමාන්‍යයෙන් හැම කොළ වර්ගයකම වාගේ තිබෙන ගුණ මල බුරුල් කිරීමේ හැකියාව වෙනුවට  කෝප්ප කොළ වල තියන විශේෂ ගුණාංගයක් තමා පාචනය වලක්වා මල ඝනකම් කිරීම. නමුත් එයම මල බද්ධය අවස්තාවලදී මල බුරුල් කර ආහාර මාර්ගයට පහසුව සලසනවා. මුත්‍රා ආසාධන වලටත් කෝප්ප කොළ කදිම ඖෂධයක්

ආසාධන වැළක්වීමේ හැකියාවක්  සහ බැක්ටීරියා නාශක ගුණ ඇති කෝප්ප කොළ තුවාල සුව වීම ඉක්මන් කරනවා විටමින් සි අධික කෝප්ප කොලය වරෙක කතුරුමුරුංගා වලට සමානව කට දිව පැලීම වැනි මුඛයේ ආසාධන ඉක්මනින් සුව  කිරීමට ඇති හැකියාව බොහෝ දෙනෙක් නොදන්නා රහසක්.

කෝප්ප කොලවල ඇති ඉහල   ප්‍රතිඔක්සිකාරක ගුණ ශරීරය ධුලකහරනයටත්, සම සහ හිසකෙස් ඉක්මනින් පිළිසකර කර හිසකෙස් වර්ධනයටත්,  ඇසේ සෞක්‍යයටත්  උපකාරී වෙනවා. යකඩ බහුල කෝප්ප කොලය කිරිදෙන මවු වරුන්ටත්, දරු ප්‍රසුතියෙන් පසු කාලයේ නිරක්තිය වලකන්නටත් සමත්

 රුධිර සංසරණ පද්ධතිය විධිමත්ව පවත්වා ගන්නට උපකාරී වන කෝප්ප කොළ නිතර ආහාරයට ගැනීමෙන් ගැඹුරු ශිරා වල රුධිර කැටි ගැසීම වලක්වා ගන්නත් පුළුවන්. නමුත් මේ හේතුව නිසා "Warfarin " වැනි රුධිරය කැටි ගැසීම වැලක්වීමට ඖෂධ ලබා ගන්න අය කෝප්ප කොළ ආහාරයට ගැනීමෙන් වැලකීම සුදුසුයි.


හිසකෙස් අසාමාන්‍ය ලෙස ගැලවී යන තරුණ දැරිවියන්ට  කුඩා අත් බෙහෙතක් මේ. කෝප්ප කොළ කිහිපයක් පොල් තෙලේ ගිල්වා  රැයක් තබා උදෑසන පොඩිකර නානු ආකාරයට සකසා හිස් කබලේ අතුල්ලා පැයකින් පමණ සෝදා හරින්න. සතියකට දෙතුන් වතාවක් මේ ප්‍රතිකාරය කිරීමෙන් හිසකෙස් වැවීම පමණක් නොවේ හිස්හොරි පවා සුව කර ගැනීමට පුළුවන්.


මෙවන් වටිනා පලා වර්ගයක ගුණ සමඟ නැවත ඔබ වෙත එන තුරු  දැනට සමු ගනිමි.




රේණුකා විමලරත්න : ලන්ඩනයේ සිට
චායාරූප අන්තර්ජාලයෙන්



5 comments:

  1. ආණ්ඩුවට පොඩි සප් එකක් දෙන්න හිතිල වගේ... :D ගුණ පණ දැනගත් එක යසයි. තෝරකොල එක්ක කලවමට මැල්ලුම රසයි.

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. ස්තුතියි ඔබතුමියට. කෝප්ප කොළ මැල්ලුම් කෑවට ගුණ ටික හරියට දැගත්තෙ අද. ගොඩක් වයසක උදවියට සහ කුඩා දරුවන්ට එතරම් හොඳ නෑ කියනවා දිරවන්න අපහසුයි කියලා. කොස් කොළ කන හැටිත් අපිට කියලා දෙනව නම් හොඳයි.

    ReplyDelete
  4. වටින ලිපියක් වටින කරුණුත් එක්ක. ස්තුතියි අක්කේ

    ReplyDelete