Monday 17 October 2016

රුව වඩන හෙළ ඔසු 1 (Beauty Secrets)

               සීගිරි ළඳුන්ගේ රූ වැඩවූ රහස් 




පහුගිය සමයේ බැලු බැලු හැම පැත්තේම අපට දකින්නට ලැබුනේ ගමින් ගම පංච කල්යානියන් තෝරා දෙන ''අවුරුදු කුමාරි'' තරගයන්. අපේ කාලේ අත්තම්මා නම් කිවේ පංච කල්යාණය කියන්නේ වැහැරී යන දෙයක් මිස ප්රදර්ශනය කරමින් උඩඟු විය යුතු දෙයක් නොවන බවයි
එසේ වුවත් පවුලේ ගැහැණු ළමයින්ගේ සුන්දරත්වය වැඩවිමට ඇය දන්නා සාස්තර නොඅඩුව ලබා දීමටත් ඇය කටයුතු කළා

පංච කල්යාණය ගැන අද කාලයේ බොහෝ දෙනෙකු නොදන්නා බවකුයි මට නම් හැඟෙන්නේ. දික්ව වැඩුනු නිල්වන් කෙස් කලඹ, පැහැපත් නිරෝගී සම, මනාව පිහිටි ස්වේත වර්ණ දත් දෙපල, ශරීරයේ අංග වලට සරිලන සේ සැකසුනු මාංශ පේශි සහ වයසට වඩා තරුණ පෙනුමක් තිබීම තමා මේ පංච කල්යාණය ලෙස එදා හැඳින්වුයේ.

අද වගේ රුපලාවන්යගාරයට ඇතුළුවී ක්ෂණිකව පංච කල්යාණය මුදලට ලබා ගන්නට හැකියාවක් එදා ළඳුන්ට තිබුනේ නැහැ. එසේ වුවත් දහස් ගණනින් මුදල් ගෙවා උදේට උලා හවසට ඉවත්කර ගැනීමට නොව, කල්යාණය දිගටම පවත්වා ගත හැකි බොහෝ වටිනා රුපලාවන්ය ක්රම අත්තම්මලා දැන සිටියා.

අද දවසේත් බොහෝ ගෙවතුවලින් සොයාගත හැකි, පංච කල්යානය වඩවන, එදා සීගිරි ලලනාවන් සුන්දර කල  රූ රහස් වට්ටෝරු කිහිපයකුයි අද අත් බෙහෙත් තුලින් ඔබ වෙත ගෙන එන්නේ.

නෙලුම්

 බුදු පුදට ගෙන යන නෙළුමේ ඇති රූ වඩන ගුණ ඔබ දැන සිටියාද? මල් අසුනෙන් ඉවතලන නෙලුම් ගෙදරට ගෙන යන්නටයි මේ මතක් කිරීම. නෙලුම් සහ මානෙල් මල් වල රූ සපුව වැඩවිය හැකි ගුණාංග බොහොමයක් තිබෙනවා.
ස්වභාවිකව ශරීර දුර්ගන්දය නැති කිරීමට, සමේ තෙතමනය පවත්වා ගැනීමට, හිසකෙස් වැඩවිමට, සමේ රැලි වැටීම පමා කිරීම, ලිංගික උත්තේජනය පවත්වා ගැනීම සහ තවත් බොහෝ ප්රති ලාභ නිල මානෙල් සහ නෙලුම් දෙවර්ගයෙන්ම ලබා ගන්න පුළුවන්. සිගිරි ලලනාවන් නෙලුම් මල් අත දරා සිටියේ මේ නිසාවත්ද?

  • මල් පෙති පිරිසිදු වතුරේ විනාඩි 20ක් පමණ තම්බා සාරය ඔසු පැනක් ලෙස සතියට වරක් දෙවරක් පානය කරන්න 
  •  මල් පෙති බහාලු ජලයෙන් හිසකේ නෑමෙන් පසු අවසන් වරට සෝදන්න.
  • පිරිසිඳු පොල්තෙලට මල් පෙති එක්කර සාදන අවසන් තෙල් හිස් කබලේ හෝ සමේ ආලේප කරන්න.
  • මල් පෙති පෙගවූ ජලයේ බැස ඉන්න, මානසික සුවය ලැබේවි. හොඳ නින්දකට උපකාරී වේවි

නෙල්ලි 

ආයු කල්යාණය වඩවන්නට විටමින් අධික නෙල්ලි තරම් අගනා ඖෂධයක් තවත් නැති තරම්. නෙල්ලි නිතර ආහාරයට ගැනීමෙන් තරුණ බව බොහෝ කාලයක් පවත්වා ගන්නට පුළුවන්. ශරීරයේ ශයිල පටක වේගයෙන් අලුත් වැඩියා කර ඒවායේ නිරෝගී බව පවත්වාගෙන යාමෙනුත් ධූලක ඉවත් කිරීමෙනුත් තමා මෙය සිදු වන්නේ. සමේ රෝග, කුරුලැ වළක්වනවා.


චර්ම කල්යාණය සහ කේශ කල්යාණය පවත්වා ගැනීමටත් නෙල්ලි උපකාරී වෙනවා. සම නිරෝගිව පවත්වා දිදුලන පැහැයක් ලබා දෙනවා. සුර්ය තාපයට පිළිස්සුනු සම ඉක්මනින් යතා තත්වයට ගැනීමට නෙල්ලි උපකාරී වෙනවා. හිසකෙස් දිගුව වැඩීමට, අකලට කෙස් සුදුවීම සහ කෙස් ගැලවීම වලකවා ගැනීමට නෙල්ලි අගනා ප්රතිකාරයක්.


සතියකට වරක් වත් නෙල්ලි යුෂ වීදුරුවක් පානය කරන්න.
නෙල්ලි යුෂ හිස් කබලේ අතුල්ලා හිස් කබල සම්බාහනය කර පැයකින් පමණ සෝදා හරින්න.
නිවසේදී පොල්තෙල් සාදාගන්නා විට තෙල් පෙරා ගන්නට පෙර නෙල්ලි යුෂ එක්කර මද වෙලාවක් තබා ගන්න. හිස්කබලේ ගැල්වීමට මෙන්ම සමේ ආලේප කිරීමටද සුදුසුයි.

සමන් පිච්ච 



 සමන් පිච්ච මල් ප්රයෝජනවත් වන්නේ හුදෙක් පන්ච කල්යානියන්ගේ හිස ගැසීමට හෝ සුවඳ සැදීමට පමණක් නොවෙයි. එහි සමේ තෙතමනය පවත්වා ගැනීමේ අපූරු හැකියාවක් සහ හිස කෙස් වර්ධනය කිරීමේ හැකියාවක් අඩංගු වෙනවා. සමන් පිච්ච මලේ ඇති සුවඳ මනසේ විඩාබර බව නැති කර ඉන්ද්රිය පුබුදු කිරීමටත් සුව නින්දක් ලබා ගැනීමටත් උපකාරී වෙනවා.



පිරිසිඳු පොල්තෙල් වලට අලුත නෙලා ගත් මල් එක්කර රත්කර සමේ ගල්වන්න.
මේ තෙලම සතියකට වරක් හිස්කබලේ සම්බාහනය කර පැය කීපයකින් සෝදා හරින්න.
මල් කාලයට උදැසන වැටෙන මල් අහුලා වතුර කලගෙඩියක දමා දිය නෑමෙන් අවසානයේ වතුරෙන් හිසකේ සෝදා හරින්න. සමන් පිච්ච වල ඇති ස්වභාවික කන්ඩිෂනර් ගුණය සහ උකුණන් පිටු දැක්මේ ගුණය උපකාරී කර ගැනීමටයි මේ ක්රමය භාවිතා කර ඇත්තේ
නින්දට පෙර සමන් පිච්ච එක්කල පොල්තෙල් බිඳුවක් කන් පෙත්තේ තවරන්න. පෙර රජවරුන් මේ සුවඳට ඇලුම් කලාලු. ඔබේ ලොව රජවරුත් කැමති වේවි.

සිගිරි ලලනාවන් බඳු සුන්දර රූ සපුවක් ලබා ගැනීමට එදා භාවිතා කර ඇති දහසක් ක්රම විධ වලින් ඉතා ස්වල්පයක් තමා මේ විස්තර කලේ.

මිල අධික කොතරම් භාවිතා කලත් කිසිම ප්රතිපලයක් දැකිය නොහැකි ආලේප වලින් මදක් ඉවත් වී නිවසේ ඔබටම සාදාගත හැකි මේ පහසු ප්රතිකාර අත් හදා බලන්නයි ඔබට මේ ඇරයුම. තවත් මෙබඳු රූ ඖෂධ වට්ටෝරුවකින් හමුවන තුරු පංච කල්යාණය වැඩේවා ! ආයු බෝ වේවා!

රේණුකා විමලරත්න : ලන්ඩනයේ සිට
චායාරූප අන්තර්ජාලයෙන්



1 comment:

  1. I do not know if it's just me or if everyone else encountering problems with
    your website. It looks like some of the written text within your posts are running
    off the screen. Can somebody else please provide feedback and let me know
    if this is happening to them as well? This could be a issue with my browser because I've had this happen previously.
    Cheers

    ReplyDelete