Tuesday 6 March 2018

වඳ වීම සහ වඳ කිරීම

                                       


බැලු
බැලු අත වඳ පෙත්ත ගැන පි එච් ඩී මට්ටමේ  ටෝක්ස්ය.  ගෙවල් වලට වෙලා බකන් නිලාගෙන බඩ උලාගෙන හිටි ගෑනු - පිරිමි දෙපක්ෂයම වඳ පෙත්ත ගැන ලොරි ටෝක්ස් දුන්නේ ඔක්ස්ෆර්ඩ් හෝ හාවර්ඩ් විශ්ව විද්යාලයේදී තමන් මහාචාර්ය උපාධියකට වඳ පෙති ගැන රිසර්ච් එකකින් සොයා ගත්  තොරතුරු හෙළි කරන්නා වාගේය. මින් සමහරු වඳ පෙති යයි කියා දෙයක් ඇති බවද, අනෙකුන් එහෙව් පෙති නැති බවටද පර සක්වල ගැසුහ. වඳ පෙති ඇති හෝ නැති බවක් මා නොදන්නා නිසා මින් එක පැත්තකට හෝ සහයෝගය නොදෙන නමුත් ජාතියක් ලෙස අපි වේගයෙන් මේ වනවිටත් වඳ වීගෙන යන බව නම් නොකියා නොහැකිය.

පාරේ යන වහු පැටියෙකුට ගොම බෙට්ටක් ගියත් එයත් රාජපක්ෂගේ හෝ වික්රමසිංහගේ ගොඩට එකතුවන තරමට දේශපාලනීකරණය වූ රටක මොනම මාතෘකාවක් වත් දේශපාලනයෙන් තොරව සාකච්චා කිරීම අපහසුය. යම් මට්ටමකින් දේශපාලනය ගෑවුනේ නම් හේතුව නිසා මිස මෙය දේශපාලන ලිපයක් නොවන බව කරුණාකර සලකන්න..

හැත්තෑව  දශකය අග බාගය වන තුරු සෑම සිංහල පවුලකම අඩුම වශයෙන් දරුවන් හතරක් වත් සිටි අතර බොහෝ පවුල් වල දරුවන් 7-8ක් වත් සිටියා. 70දී බලයට පත්වූ සිරිමා බණ්ඩාරනායක රජයට මෙය වහා විසදුම් යෙදිය යුතු ගැටළුවක් ලෙස පෙනුනේ

අන්තගාමි ආර්ථික ප්‍රතිපත්තියකින් ජනතාව හෙම්බත්  කිරීමෙන් දරුවන්ට කන්න අඳින්න දීම විසාල ගැටළුවක් ලෙස උලුප්පා පෙන්වමින් හොරගොල්ලේ සිංහලයෙකු වීම ලැජ්ජාවක්  වූ මුණුපුරාගේ ආච්චි අම්මා ''පුංචි පවුල රත්තරන්'' සංකල්පය කරලියට ගෙන ආවා. මුල් කාලයේදී මෙය වැඩි දියුණු කර ජනතාව අතරට  ගෙන යාම මන්දගාමි  මට්ටමක පැවතුනත්, 1977දී බලයට පත්වූ අද රට කරවන අගමැතිතුමාගේ ජයවර්ධන මාමා හොඳ ගැම්මකින් වැඩ පිළිවෙල ඉදිරියට අරගෙන ගියා. 77න්  පසු මතු වුන විවෘර්ථ​ ආර්ථිකය සමග වූ සමාජ පෙරලිය මේ වැඩ පිළිවෙල ශක්තිමත් කරන්නට විවිධ  ආකාරයෙන් දායක වූ අයුරු මේ ලිපිය අවසානයේදී ඔබට වැටහේවි.

අවාසනාවට මේ දිරපු ලනුව කාගෙන කාගෙන යන්නට ඉදිරිපත් වුනේ සිංහල අප පමණි. ජේ ආර්ට හෝ සිරිමාවෝට ආගමික වශයෙන් දැඩි නීති රෙගුලාසි ඇති අනෙකුත් මුස්ලිම් ද්‍රවිඩ වැනි  ජාතිකයින්ට මේ ලනුව ගිල්ලන්නට ක්‍රමයක් නොතිබුණි.. වඳ කිරීමේ  සහ වඳ වීමේ කතාවේ මුල් පරිච්චේදය පටන් ගැනුනේ ඔන්න ඔය ආකාරයටය..
යුනිසෙෆ් සංවිධානයට සහ එකල පිටරටින් විවීධ NGO නඩ වලට අපේ පවුල පුංචි කරන්නට තිබූ උනන්දුව පුංචි පහේ එකක් නොවෙයි..පවුල පුංචි කිරීමේ කාර්‍යභාරය ඔවුන්ගේ රාජකාරි මට්ටමට ඇද  දමා සෞක්‍ය අමාත්‍යංශය හරහා පැවරුනේ පවුල් සෞක්‍ය නිලධාරිනින් සහ වින්නඹු සේවිකාවන් වෙතයිකාට හෝ ගෙම්බර් පෙන්වා ලොකු කම ගන්නට බලා සිටි ඇතැම් නිලධාරිනින්ට මෙය කටුස්සා කර  රත්තරන් බැන්දා සේ වූවා යයි කීවාට වරදක් නැත

ගමෙන් ගමට ගොස් වැඩිම පිරිසක් එල් ආර් ටි සැත්කමට කැමති කරවා ගැනීමේ රාජකාරියේ ඔවුන් යෙදී සිටිද්දී රෝහල් වල වින්නඹු සේවිකාවන් හොඳින් හෝ නරකින් දුප්පත් අම්මලා මේ සඳහා කැමති කර ගත්හ.

මේ සම්බන්ධව ඇති මගේ මතකය 1995දී වින්නඹු පුහුණුව ලද හෙද නිලධාරිනියක ලෙස පළමු පත්වීම ලද කළුබෝවිල රෝහලේ 17 වැනි මාතෘ වාට්ටුව හා සම්බන්ධයි.

වන විට එම වාට්ටුවේ වැඩ කල එවකටත් විශ්‍රාම යාමට ආසන්නව සිටි වින්නඹු සේවිකාවන් දෙදෙනෙක් ඔවුන්ගේ ලොකුම සේවය ලෙස සිතා සිටියේ අම්මලා සැත්කමට කැමති කරවා ගැනීමයි. ඉතා නපුරු දරුණු ගති ගුණ තිබු  මේ සේවිකාවන් දෙදෙනා රෝහලේ හෙද වින්නඹු සියලු සේවකයන් බිය ගන්වාගෙන සිටි යක්ෂණියන් වැනි ගැහැනුන් දෙදෙනෙකි.


මේ දෙදෙනාටම ඔවුන්ටම යයි කියා දරුවන් නොසිටි අතර, තමන්ගේ යෝජනාවට අකමැති වන අම්මලාට ප්‍රසුතිය වෙලාවේදී දරුණු ලෙස පහර දීම පවා සිදුවුනි. උස මහත සිරුරකින් හෙබි මින් එක් අයෙකුගෙන් පහරක් කෑ පසු අම්මලා නැවත දරුවන් හදන්නට සිතන්නේ නැත

පළමු පත්වීම ලබා බෙහෙවින් තරුණ අවධියේ සිටි මාත් මා සමඟ සිටි මගේ මිතුරියත් (ඇය දැන් නවසීලන්තයේ රැකියාව කරයි) මේ සම්බන්ධව කල පැමිණිලි එකල කිසිඳු විභාගයකට නොගැනුණි. (මා දන්නා බොහෝ වින්නඹු සේවිකාවන් ඉතාමත් කරුණාවන්ත ආදර බර කාන්තාවන්, මේ ලිපිය ඔවුන් වැනි අය ගැන නොවන බව කරුණාවෙන් සලකන්න) 

වඳ වීම සහ වඳ කිරීම  ප්‍රාදේශීය වශයෙන් එක්  එක් ආයතන සහ පළාත් හරහා ඉදිරියට ගියේ ඕන්න ඔහොමයි.

වැලේ ගෙඩිය වැලට බර නැති අම්මලා සිටින බව වටහා ගත් මේ සංවිධාන වල​ ඊළඟ පියවර  වුයේ පියවරුන් වාසෙක්ටමිය කර වඳ කිරීමයි.මේ වලට වැටුනේද සිංහලුන් මිස විජාතිකයින් නොවන බව නොකියා නොහැක.වාසේක්ටමිය කිරීමෙන් පසුව ඔවුන්ට රුපියල් සියයක් වැනි ගාස්තුවක් මුල් කාලයේදී ගෙවූ බව මට මතකය..(පසුව මෙය රුපියල් 500ක් දක්වා වැඩි කර තිබේ )

කුලිය සොයාගැනීමට නොහැකි වූ කම්කරුවා ගෙදරට පහේ මල්ල ගෙනියන්න වාසෙක්ටමිය කල අවස්ථා මෙන්ම හවසට තැබෑරුමෙන් අඩියක් ගහන්නටද මේ වාසේක්ටමිය කරගත් මූසල පිරිමින් මේ රටේ බිහි වන්නට පටන් ගත්තේ ඔන්න ඔය විධියටය..

එකල වාසේක්ටමි උගුල අටවා තිබු අනෙක් ස්ථාන නම් කොළඹ බෞද්ධ පිරිමි පාසැල් අවටයි. ගැහැණු ලමයා සමඟ චිත්‍රපටියක්  බලන්නට යන්නට වාසේක්ටමිය කරගත් මෝඩ තරුණයන් වාගේම මරදාන පුංචි බොරැල්ල ආසන්නයේ ආරම්භ වූ මත්කුඩු ජාවාරමේ දඩයම් බවට පත්වූ සිංහල බෞද්ධ පුතුන් කුඩු පැකට්ටුවට වාසේක්ටමිය කර ගත් කතාද එකල පුවත් පත්වල නිතර පල වුනි..

නිදහස් වෙළඳ කලාප සඳහා ගමෙන් නගරයට සිංහල ගැමි කාන්තාවන් ඇදෙන්නට වුයේද අසුව දශකය මුලදීය. නගරයට ඇදුනු තරුණ කාන්තාවන් විව්ධාකාර ලිංගික අපයෝජන වලට ලක්වීම, නිතර ගබ්සා කිරීම, ගබ්සා වලදී ඇතිවන අතුරු ආබාධ ලෙස නැවත  පිලි සිඳ ගැනීමට නොහැකි වීම, කාලයක් 'මිතුරි' සමඟ මිතුරු වී මිතුරි නතර කල විට  පිළිසිඳ නොගැනීම/පමාවීම , සමාජ රෝග වලට භාජනය වීම වැනි වෙනත් හේතු  හරහා වඳ වෙන්නට පටන් ගත්තේද අපේම සිංහල ජාතියය.



සෙමෙන් වඳ වෙමින් කාලය ගතවී අසුව දශකය අවසානයට අපි පිය නගමින් සිටියෙමු. 83 කළු ජූලියෙන් ආරම්භ වූ යුද්ධයෙන් අපේ වයසේ තරුණයින්ගේ මල කඳන් දිනපතා නිවෙස් වලට ගෙනෙමින් තිබියදී  ඊට අඩු ලුහුඩු සපයන්නට සහෝදර වරුන්ගේ ලේ වැකුණු 88/89 මහා ව්‍යසනය ආරම්භ  වුයේ දරුවන් සාදන වයසේ සිටි සියලු පිරිමි ළමයින් ටයර් සෑ වල දවාලමින් සහ ගංගා වල පාකර හරිමින්

මා සමඟ පාසල් ගිය ගැහැණු ළමයින්ගෙන් 50%ක් පමණ අදටත් අවිවාහක වුයේ මරා දැමු සැට දහසක් තරුණයන්ගේ අඩුපාඩුව නිසාවෙනි. 30 වසරක යුද්ධය සහ 88/89 භිෂණය  අප ජාතියක් ලෙස වඳ වීමේ වේගය 200%කින් පමණ වැඩි කර ලෝකයේ වේගයෙන් වඳ වී යන ජාතින් අතරට ඇතුලත් කළේය.

උසස් අධ්‍යාපනය සඳහා දරුවන් සෑදීම කල් දැමීම තවත් සමාජ මට්ටමක වඳ බවට හේතුවක් වී තියෙනවා. විශේෂයෙන්ම 88/89 ව්‍යසනයෙන් පසු විශ්ව විද්‍යාලයට යාම වසර 4-5පමා වූ ගැහැණු දරුවන් විශ්ව විද්‍යාලය අධ්‍යාපනය නිමා කරන විට වසර 30කට පමණ ආසන්න වුනා. ඔවුන් රැකියා අවස්ථා සකසා විවාහ වන විට දරුවන් සැදීමේ සරු වයස පහු වෙලා.අපේ  සහෝදර පක්ෂය සමාජයේ තවත් කොටසක් වඳ බාවයට පත් කිරීමේ සම්මානය හිමි කර ගන්නේ අන්න විධියට.


අපි මොඩ් වී මෝඩ වී අපේ ආහාර කොත්තුකරණය වුයේද මේ කාලයේමය. චීනයට වඩා චීන අවන්හල් ලංකාවේ විදි වල බිහි වුනේ 90 දසකය ආරම්භයේදීය. තුන් වේලට එළවලු මාළු සමඟ බත් කෑ අපේ මිනිසුන් තුන්වේලට ලෝබ නැතිව යහමින් අජිනෝ මොටෝ දමා කොත්තු හෝ ෆ්‍රයිඩ් රයිස් කන්නට පටන් ගත්තේය. පාර  අයිනේ කඩල ගොට්ටටත්, වඩයටත්, ගෙදර හදන පොල් සම්බෝලයටත් ඉවක් බවක් නැතිව අජීනොමොටෝ දැමුණි

අජීනොමොටෝ නොහොත් MSG ලුණු සිරුරේ හෝමෝන වල විවිධ  බලපෑම් කිරීමට සමත් රසායනයක් වන අතර ලිංගික හෝමෝන අවුල් කර දරුපල ඇතිවීමේ වෙනස් කම් කිරීමට සමත් රස කාරකයක්.




මෝඩ තර්ක ගෙන එන යමෙක් දැන් අපි විතරද මේවා කන්නේ යයි අසන්නට පුළුවන.. ඇත්තත් එයමය..ඉස්ලාම් භක්තිකයින් හලාල් ආහාර පමණක් ගන්නා නිසා ඔවුන් චීන අවන්හල් වලින් ආහාර  නොගන්නා  අතර ඔවුන්ගේ ආහාර බොහෝවිට ඔවුන් නිවසේදීම සකසා ගන්නවා මිස අවන්හල් කරා අප තරම් ඇදෙන්නේ නැත
ඔවුන්ගේ සරු භාවයට නොව  අපේ වඳ භාවයට අජිනෝමොටෝ හේතුවෙන්නේ ඒ නිසායි.



කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් සංස්කෘතිය සමඟ දියවැඩියාව, හෘද​රෝග, පිළිකා, අධි රුධිර පීඩනය, තරබාරුව  වැනි රෝග තරුණ කාලයේදීම වැළඳීම අපි වඳ වෙන්නට ඊළඟ හේතුව බව නොකියා නොහැක. අසුව දශකයේ මංගල චායාරුපයක විවාහ යුවල නොපෙනෙන තරමේ සිහින් සිරුරු ඇති අය වුවද අද මංගල චායාරූප වල අපට පෙනෙන්නේ ඇතුන් මෙන් විසල් යුවල් නොවේද? විවාහ වන්නටත් පෙර මෙකි නොකී රෝග වලින් පෙලෙන බොහෝ දෙනෙකුගේ ඊළඟ දුක්ගැනවිල්ල දරුවන් නැති කම බව කොපමණක් නම් අසා ඇද්ද?


21 වන සියවසේ අදටත් දරුවන් නැති වීම අපේ රටේ බිරිඳගේ  වරද ලෙස සැලකුවද, නිසි දත්ත එකතු කළහොත් වඳ වී ඇත්තේ පිරිමි බවට අටුවා ටීකා අවශ්‍ය නැත. කෙනෙකුගේ නිසරු  භාවයට මුලිකම හේතුව දුම්පානය සහ මත්පැන්  පානයයි..පංච ශිලයෙන් ඈත්ව සුරා සුදුවෙන් මත්  වූ  ජාතියක් වඳ වීම අහන්නත් දෙයක්ද..මරණෙට, මගුලට, දානෙට, චාරිකාවට, දුකට සතුටට බී තමුන්ගේ  මිනිය කරගසන්නට දරුවකුවත්  නැති අනාගතයක් සකසා ගන්නා  ඔබට ජාතියක වඳ බව ගැන කතා කරන්නට ඇති අයිතිය කීම?


කාන්තාවන්ගේ වඳ භාවයට හේතු වන කාන්තා රෝග අතර අද මුලින් සිටින්නේ Endometriosis  නමැති හෝමෝන අසමතුලිතතා රෝගය. අපේ ආහාර රටාව අද වන විට මුළුමනින්ම වෙනස් වී ඇති බව නැවත නැවතත් කිව යුත්තක් නොවෙයි. එදා තිබු  මුහුදු මාළු - එළවලු ආහාර නොව අප අදවන විට මස් ආහාරයට ගන්නා ජාතියක් වෙලා.

සත්ව
පාලනයේදී පාලනයක් නැතිව යොදාගන්නා Oestrogen/ Progestern  වැනි ලිංගික හෝමෝන නිසා දවස් 28න් ලොකු වන්නේ කුකුලාම පමණක් නොවෙයි. අඩු වයසෙන් ගැහැණු දරුවන් වැඩිවිය පැමිණෙන්නට, කුඩා පිරිමි දරුවන්ගේ පවා පියයුරු එල්ලා වැටෙන්නට ලොකුවිමට හේතුවන්නේ මස් වර්ග සමඟ ශරීරයට ඇතුළුවන අනවශ්‍ය  හෝමෝන වර්ග. පසුකාලීනව Endometriosis වැනි රෝගවලට හේතුවත් මෙයයි.

රැල්ලට ගිහින් රැඩිකල් වීම ඊළඟ පරම්පරාව වඳ වෙන්නට හේතුව ලෙස කිවොත් බොහෝ දෙනෙක්  මා සමඟ එකඟ වේවි. දරුවන් නොසෑදීම රැඩිකල් චින්තනයේ එක් නැඹුරුවක් වන අතර සම ලිංගික සේවනය රැඩිකල් බව පෙන්වන අනෙක් විධියයි. පසුගිය අවුරුදු තුන ඇතුලත ලංකාවේ සම ලිංගික ජනගහනය 10%කින් වැඩි වී ඇති බව කියවන්න ලැබුනා.ඉතින් අපි වඳ නොවී සිටියිද?

ඇත්තටම අපි වඳ වුනාද? වඳ කලාද? පිළිතුර ඔබෙන්ම අසන්නට කාලයයි..ඔබේ දුව පුතා  හෙට දිනයේ නිසරු නොවෙන්නට ඔවුන්ගේ ආහාර සහ චර්යා රටාව නිවැරදි කරන්නට කාලයයි.



අනුන් වෙත ඇඟිලි දිගු කිරීමට පෙර...
වඳ කලාද? අපි වඳ වුනාද? සිතන්නට යමක්...

රේණුකා විමලරත්න
ඔටුන්න හිමි කුමරුන්ගේ දේශයේ සිට

චායාරූප අන්තර්ජාලයෙන්