Tuesday 31 January 2017

පාරම්පරික දේශීය සහලේ අගය වටහා ගනිමු (Ancient Verities of Sri Lankan Rice: Medicinal & Nutritional Values)

                                     අන්දරේ ගල එසවූ හැටි




අසව්! අසව්!! අසව්!!!

කුඹුරු යායක් මැද ඇති මහා කළු ගලක් නිසා වගාවට ඇති අපහසුතාවය ගැන රට වැසියෝ රජතුමාට පැමිණිලි කළා. මේ ගල අයින් කරන්න දක්ෂ කෙනෙකුට ඉදිරිපත් වෙන්න කියා රජතුමා අණ  බෙරයක් යැව්වේ ඔන්න ඔහොමලු..

හරියටම  කියනවානම් අද කාලේ ටෙන්ඩර් එකක් කැඳෙව්වා වගේ..එදා මෙදා කියලා වෙනසක් නැහැ මේ ටෙන්ඩරේත් රාජ්‍ය සම්බන්ධතා තියෙන කෙනෙකුට පිටපාරෙන්ම ගියා කියමුකෝ..කොහොමින් හරි අන්දරේ තමයි ගල අයින්කරන්න ඉදිරිපත් වුනේ..ජනතාව සහ රජා ගොනාට අන්දලා අන්දරේට හොඳ පළපුරුද්දක් තිබුනත් මුලින් කීවැහේ රාජ්‍ය  සම්බන්ධතා නිසාම මේ වැඩේට  අන්දරේට ඇති  පළපුරුද්ද හෝ සුදුසුකම් සොයා බැලුනේ නැහැ.

"දැන් ඉතින් කොහොමද මේ ගනුදෙනුව කෙරෙන්නේ ?" රජතුමා අහනවා..

"සුළු දෙයක්..දවස් හතක්කළු හීනටි හාලේ බත් සමඟ කළුකුම් මාළු” සහ ඔය අනෙකුත් සැප පහසුව සැලසුනාම මදැයි" අන්දරේ කිව්වලු..

අනුව ෆයිනෑන්ස් සෙකට්‍රි  දෙසට හැරිලා රජතුමා කිව්වලු "අන්දරේට කැමති දෙයක් රාජ්‍ය භාණ්ඩාගාරයෙන් ලබා දෙන්න" කියලා.. 

ඕන් ඔහොමයි මහදවාලේ රාජ්‍ය  භාණ්ඩාගාරෙට වැඩේ දෙන්න රජතුමාගේ අනුදැනුම ඇතිවම    අන්දරේට අවසර ලැබුනේ...


මෙතැනදී *කළුකුම් මාළුව* පසෙකින් තබා  "කළු හීනටි හාලේ බත" දෙස බලමු.


 දේශීය සහල් වර්ග 2000ක් පමණ තිබු කාලයක ගල එසවීමට "කළු හිනැටී"ම පමණක් අන්දරේ ඉල්ලීමත්, ඉල්ලීමට රජු අවසර දීමත් අතර උපහාසයෙන් ඔබ්බට දිවෙන බොහොම ශක්තිමත් පදනමක් තිබෙනවා. එදා දේශීය සහලේ තිබු යෝධයින් තැනීමට ඇති හැකියාවයි..

 අද වන විට දේශීය සහල්  වර්ග 1500 පමණ නම් ගම්  යලි සොයාගෙන ඇති නමුත් සහල් වර්ග වලින් අතලොස්සක් පමණයි  බිජ ඇට සොයාගෙන යලි නිපදවීමේ හැකියාව ලැබී ඇත්තේ..

මේ ලිපියෙන් මා ඔබ වෙත ගෙන එන්නේ අද වන විට නැවත පනපොවා ඇති දේශීය සහල් වර්ග කීපයක පෝෂණ සහ ඖෂධිය ගුණ පිළිබඳ කෙටි සටහනක්.



දේශීය සහලේ ඇති විසිතුරු බව නම් ඒවායේ ඇති අලංකාර වර්ණ විවිධත්වයයි. මසුරන්, සුදු හීනටි, කට්ට මන්ජල් වැනි අතලොස්සක් හැර අනික් සියලුම දේශීය සහල් වර්ග තීව්‍රතාවයේ අඩු වැඩි බැවින් යුතු අලංකාර රතු පාට සහල්..

පිටරට වලදී සහලේ ගුණාත්මක බව වැඩි බව තහවුරු වන්නේ නිවුඩ්ඩේ  ඇති වර්ණය අනුව වුනත් අපේ රටේ වැඩි දෙනා  පුරුදුව ඇත්තේ සියලු පෝෂණ ගුණ ඇතුලත් නිවුඩ්ඩ  ඉවත් කර  ආහාරයට  ගන්නටයි.

වත්මනේ වේගයෙන් පැතිර යන  බෝ නොවන රෝග අතීතයේ අපේ රටේ නොතිබුනේ දේශීය සහලේ   වර්නවත් නිවුඩ්ඩේ  ඇති ඖෂධිය ගුණ නිසා  බව මේ වනවිට රසායනාගාර පර්යේෂණ වලින් ඔප්පු කර පෙන්වා දී තිබෙනවා.

ඒ ඒ සහලට ආවේනික වෙන වෙනම ගුණාංග ඇතත් පාරම්පරික  සහල් වර්ග සියල්ලේ ඇති පොදු ගුණාංගය දියවැඩියා රෝගය සහ එහි සංකුලතා වලක්වා ගැනීමේ හැකියාවයි

සාමාන්‍යයෙන් අප ඉගෙන  ඇත්තේ රතු සහල දිරවීමට කල් ගත වන නිසා රුධිරයට සෙමෙන් නිකුත්වන සිනි හේතුවෙන් (Low Glycaemic Index) රුධිරගත  සිනි මට්ටම අඩු වෙන බවක්නමුත් පාරම්පරික සහලෙන් සෙමෙන් දිරවීමට අමතරව අතිශයින් සංකීර්ණ දියවැඩියා වැළක්වීමේ ඔබ අප නොදන්නා විශ්මය ජනක ක්‍රියාවක් සිදුවෙනවා.



දියවැඩියා රෝගීන්ගේ රෝග මට්ටම සහ ඇස් , වකුගඩු, ස්නායු පද්ධතිය, හදවත වැනි අවයව වලට සංකුලතා ඇතිවීමේ සාපේක්ෂතාවය මනින්නේ HbA1c  නමැති රුධිර පරීක්ෂණයෙන්

මේ පරීක්ෂණයෙන් රුධිරයේ සිනි මට්ටම පහුගිය මාස තුනක  පැවතුනු අකාරය මනින්නට පුළුවන්. සිරුරේ සිනි සහ ප්‍රෝටීන අධි තාපයට ලක්වීමෙන් නිපදවෙන සියුම් ප්‍රෝටීන අංශු විශේෂයක් තමා මෙහිදී ගණනය වෙන්නේ (Advanced Glycaemic End Products).

මේ   සියුම් අංශු මගින් රුධිරනාල බිත්ති මත සිදුවෙන ප්‍රතික්‍රියාවක් හේතුවෙන් තමා ඇස් , වකුගඩු, ස්නායු පද්ධතිය, හදවත වැනි අවයව වලට  රුධිර සැපයුම නතර වී ඒවා ක්‍රියා විරහිත වෙන්නේ..පර්යේෂණ වලට අනුව දේශීය සහල් නිවුඩ්ඩේ ඇති  ස්වභාවික රසායනයක් හේතුවෙන් මෙම ප්‍රතික්‍රියාව නතර වෙනවා පමණක් නොවෙයි දැනටමත් නිපදවී ඇති අවසාන පලය යලි මුල් තත්වයට පත් කිරීමේ (Reverse Action ) අරුම පුදුම හැකියාවකුත් තිබෙනවා. මේ පර්යේෂණය සඳහා යොදාගෙන ඇත්තේ මසුරන්, සුදු හීනටි, දික් වී සහ ගොඩ හීනටි යන සහල් වර්ග හතරයි.


පොදුවේගත්  කල දේශීය සහලේ පිෂ්ඨයට අමතරව  බී විටමිනයේ ප්‍රභේධ, යකඩ, පොස්පරස්, පොටෑසියම් වැනි අත්‍යාවශ්‍ය ලවන වර්ග, හදවතේ සෞක්‍යයට බලපාන ස්වභාවික තෙල් වර්ග, ප්‍රෝටීන, ප්‍රතිඔක්සිකාරක, ඇමයිනෝ අම්ල වර්ග, සෙලේනියම් වැනි අලෝහමය මුල ද්‍රව්‍යයන් පවා අඩංගු වෙනවා. එක් එක්  සහල් වර්ග වල ඖෂධිය ගුණ  අඩු වැඩි වශයෙන් වෙනස් වන්නේ මෙම විටමින සහ ඛනිජ අයනවල සංයුතියේ ඇතිවන අඩු වැඩි වීම්  මත.

අන්දරේ කළු හීනටි වර්ගයේම සහල් ඉල්ලා සිටීමට හේතුව සහ අනෙකුත් සහල් වර්ග කීපයක ඖෂධිය ගුණ වෙන් වශයෙන් ගෙන බලමු..

කළු හීනටි:
  • කාය ශක්තිය  ලබාදීම
  • දියවැඩියාව වැලැක්වීම සහ සුව කිරීම  

  • රෝග සහ ආසාධන  වැලැක්වීම
  • කළු හීනටි පැලැටි මුලේ  විශේෂිත බැක්ටීරියා ක්‍රියාකාරිත්වයක් මගින් ශාකය තුලට විෂ ලෝහ අවශෝෂණය වලක්වා ගැනීම
  • ශරීරයේ විෂ නැසීම
  • ආසාත්මිකතා වලින් වැලැක්වීම
  • සර්ප විෂට ප්රතිකාර පිණිස
  • සෙංගමාලය වැලැක්වීම
  •  මවුකිරි වර්ධනය
  •  ප්‍රසවයෙන් පසු ඇතිවන නිරක්තිය සහ කායික දුර්වලතා වැලැක්වීම



පොක්කාලි:


  • දියවැඩියාව වැලැක්වීම / පාලනය කිරීම
  •  ස්නායු රෝග වැලැක්වීම
  •  සමේ රෝග වැලැක්වීම
  •  පිළිකා වැලැක්වීම
  •  වයසට යාමේ ලක්ෂණ කල් දැමීම 



සුවදැල්:

  •  කායශක්තිය ලබාදීම
  •  රෝගාබාධ වලින් පසුව හෝ වෙහෙස වී වැඩ කරන අයගේ ශරීර වර්ධනය පවත්වා ගැනීමට
  •  කටහඬ මිහිරි කිරීම
  •  මල බද්ධය වැලැක්වීම
  • ශරීරයෙන්  වැඩිපුර ඇති දියර ඉවත් කිරීම
  • මුත්‍රා පිරිසිඳු කිරීම
  • හෝමෝන සමතුලනය
  • දියවැඩියාපාලනය/වැලැක්වීම
  • රුධිර පීඩනය වැලැක්වීම
  •  ඇසේ  සෞක්යය පවත්වා ගැනීම  

  


රතු මාණික්කම්:

  •  කාය ශක්තිය ලබාදීම
  •  මලබද්ධය වැලැක්වීම
  •  දියවැඩියාව පාලනය
  • මුත්‍රා පිරිසිඳු කිරීම
  •  සම නිරෝගී කිරීම
  •  මානසිකආතතිය වැලැක්වීම
  •  වයසටයාමේ ලක්ෂණ කල් දැමීම
  • ආසාත්මිකතා  වැලැක්වීම
  • මවුකිරි වර්ධනය


පච්ච පෙරුමාල්: 

  •  දියවැඩියා පාලනය
  • හදවතේ සෞක්‍යය ආරක්ෂා කිරීම
  • තයිරොක්සින් ග්‍රන්තියේ මනා සෞක්‍යය පවත්වා ගැනීම
  •  නිරක්තියවැලැක්වීම
  •  පිළිකාවැලැක්වීම



සුදු හීනටි:


  •  දියවැඩියා පාලනය
  • හදවතේ  සෞක්‍යය ආරක්ෂා කිරීම
  •  බහිශ්‍රාවයසහ දිරවීමේ ක්‍රියාව පාලනය කිරීම
  •  පිළිකාවැලැක්වීම
  •  ශරීරයෙන් වැඩිපුර ඇති දියර ඉවත් කිරීම
  • වයසට යාමේ ලක්ෂණ කල් දැමීම


රත් දැල්:

  • ශරීරය සිසිල් කරවීම
  • මලබද්ධය වැලැක්වීම
  • මුත්‍රා පිරිසිඳු කිරීම
  • සම නිරෝගී කිරීම
  • මානසිකආතතිය වැලැක්වීම
  • සමේ නිරෝගී පැවැත්ම
  • ආසාත්මිකතා වැලැක්වීම
  • අක්මාවේ පටක ආරක්ෂාව
  • වයිරස් උන රෝග සුවය


දික් වී :

  •  දියවැඩියා පාලනය
  •  හදවතේසෞක්‍යය ආරක්ෂා කිරීම
  • බහිශ්‍රාවය  සහ දිරවීමේ ක්‍රියාවපාලනය කිරීම
  • පිළිකා වැලැක්වීම
  • ශරීරයෙන් වැඩිපුර ඇති දියර ඉවත් කිරීම
  • වයසට යාමේ ලක්ෂණ කල් දැමීම


කුරුළු තුඩ:

  • කාය ශක්තිය වර්ධනය
  • දියවැඩියා පාලනය
  • මුත්‍රාසහ වකුගඩු  රෝග සමනය
  • ආහාරමාර්ගයේ සෞක්‍යය රැකීම 
  • නිරක්තිය වැලැක්වීම
  • පිළිකා  වැලැක්වීම
  • අස්ථිසන්ධි රෝග ප්‍රතිකාර පිණිස
  • පිත්තාශයේ සෞක්‍යය  රැක දීම
  • ලිංගික  උත්තේජනය
  • ශරීරයේ උණුසුම වැඩි කරයි
  • මවුකිරි වර්ධනය


ගොඩ හීනටි:

  • දියවැඩියා පාලනය
  • හදවතේ සෞක්‍යයආරක්ෂා කිරීම
  • බහිශ්‍රාවය  සහ ආහාර දිරවීම  පාලනය 
  • පිළිකා වැලැක්වීම
  • ශරීරයෙන් වැඩිපුර ඇති දියර ඉවත් කිරීම
  • වයසට යාමේ ලක්ෂණ කල් දැමීම


මසුරන්:

  • දියවැඩියා පාලනය
  • හදවතේ සෞක්‍යය ආරක්ෂා කිරීම
  • බහිශ්‍රාවය සහ ආහාර දිරවීම  පාලනය
  • පිළිකා වැලැක්වීම
  • ශරීරයෙන්වැ ඩිපුර ඇති දියර ඉවත් කිරීම
  • වයසට යාමේ ලක්ෂණ කල් දැමීම




මඩතවාලු:

  • කාය ශක්තිය වර්ධනය
  • දියවැඩියා පාලනය
  • ආහාර  මාර්ගයට හිතකර බැක්ටීරියා වර්ග ලබාදීම සහ එමගින් දිරවීමේ ක්රියාව පවත්වා ගැනීම
  • වා පිත් සෙම් රෝග සඳහා ප්‍රතිකාර පිණිස
  • ශරීරයේ විෂ ඉවත් කිරීම
  • රුධිර සංසරණ පද්ධතිය පිරිසිඳු කිරීම
  • ස්වේද ග්‍රන්ථි ශ්‍රාවයන්  උත්තේජනය කිරීම
  • ආයුර්වේද ප්‍රතිකාරසඳහා 



කහවනු:

  • දියවැඩියාපාලනය
  • හදවතේ සෞක්‍යය ආරක්ෂා කිරීම
  • බහිශ්‍රාවය සහ ආහාර දිරවීම  පාලනය
  • පිළිකා වැලැක්වීම
  • ඇටමිදුළු ආරක්ෂාව



මා වී:


  • ශරීරයේ දැවිල්ල අඩු කිරීම 
  • සිහින් සිරුරක් පවත්වා ගැනීම/බර අඩු කර ගැනීම 
  •  දියවැඩියා පාලනය 
  • මල බද්ධය වැලැක්වීම/අර්ශස් රෝගයට ප්‍රතිකාර පිණිස 
  • හදවතේ සෞක්‍යය ආරක්ෂා කිරීමට  
  • ක්ෂය රෝගය සහ වෙනත් ස්වසන රෝග වලට ප්‍රතිකාර පිණිස




හැටදා වී:

  • ශරීරයේදැවිල්ල අඩු කිරීම
  • කයශක්තිය වර්ධනය
  • දියවැඩියා පාලනය
  • හදවතේ සෞක්‍යය ආරක්ෂා කිරීමට 
  • ලේ  වමනය රෝගයට ප්‍රතිකාර පිණිස
  • ආසාත්මිකතා වැලැක්වීම
මේ  අනුව බලන කල පෙර දිග ධාන්‍යාගාරය යයි පුද ලද සමයේ රට ස්වයං පෝෂිත කල  ඉපැරණි වී වගාව යලි නගා සිටුවුවහොත් නිරෝගී ජාතියක් සහ ස්වයං පෝෂිත රටක් යලි ගොඩ නැංවිය හැකි බවට කුමන නම් අටුවා ටිකාද?



** කළුකුම්  මාළුව අදවෙන විට කුකුල් මස් වර්ගයක් ලෙස සැලකුනත් එය ශරීර ශක්තිය වර්ධනය කරන සුලබ නොවන එක්තරා එළවලු ව්‍යංජනයක්  ලෙසත් පැරැන්නන් විශ්වාස කරනවා. උඩරට පළාත් වල එලවලු වර්ග හඳුන්වන්නේද මාළු වශයෙනි.

**අන්තර්ජාලයෙ චායාරූප වල ඇත්තේ හරියටම ඒ  සහල් වර්ගයද යන්න කීමට නොහැක.


රේණුකා විමලරත්න : ලන්ඩනයේ සිට
චායාරූප අන්තර්ජාලයෙන්





References: