Sunday 12 February 2017

අත්තම්මාගේ අත් බෙහෙත් 33 :කෝපි කාලේ පණු බෙහෙත්

                   ''අද නම් මං ලිඳේ පනිනවාමයි !!!''


                  



මේ විධියට කියාගෙන වත්ත  පහල කැලේට  මං පැන්නේ වන විට අවුරුදු 4ක් විතර වුනු මගේ මල්ලි බබාවත් අතින් ඇදගෙන. තව ඩිංගකින් වෙන්න යන මහා නස්පැත්තියෙන් මං  විතරක්   තනියම  බේරෙන එක සාධාරණ මදි කියලා පුංචි හිතට හිතුනු සිතුවිල්ලට



අපේ ගෙදරත් මහ ගෙදරත් දෙකම පසුකල විට වත්තේ  පිටුපස සුද්ධ නොකළ කැලෑ පෙදෙසකි. මැදින් වැටුණු අඩිපාර දිගේ වත්තේ  අනිත් කෙලවරට පැන  ලොකු මාමාගේ  එළවලු කොරටුව වෙත ලඟා වීම මගේ අභිප්‍රාය විය. කොරටුවේ වවා තිබු බටු, බණ්ඩක්කා, මෑ, බතල පාත්ති වලට වතුර දමන්නට හතරැස් හැඩට  කපා තිබු වගා ලිඳ වෙත යාම මගේ අරමුණ විය

මේ වගා ලිඳ වතුර මට්ටමට වනතෙක් පහලට බහින්නට කඩා නොවැටෙන්න පොල් කොටන් දැමු තට්ටු පඩිපෙළවල් දෙකක් තිබුණි. දෙදෙනාම එකතු වී ලිඳට ඇතුළුවන පැල ඉනි වැට  ඇර ගතහොත් ලිඳට බැසීම එතරම් අපහසුවක් වන්නේ නැත..

''කොහෙද බොල ඔය දුවන්නේ? අර කළු නයා ඊයෙත් ඔහේ ඉඳලා අනු නමයෙන් රාලහාමි අයියට නොපෑගි  බේරිලා තියෙන්නේ''

හැමදාමත් කරදරවලින් අප ගලවා ගන්නා  පුංචි අම්මාවත් අදනම් සහයට එන බවක් නැත. කළු නයා ලඟදි කීප දෙනෙකුටම දෂ්ඨ කර එපිට කැලණියේ වෙද  මහතා ලඟට ගෙන යාමද බොරුවක් නොවිය

අවසානයේ මරණ තුනක් මැද අසරණ වුනු මාත් මල්ලිත්  ගැලවී දුවන්නට තැත් කල මුල්ම මරණය නොහොත් මාසික පණු බෙහෙත් වඩිය බෙරිහන් දෙමින් එක හුස්මට බි පරාජය බාර ගත්තෙමු.


දවස පුරා වැලි සෙල්ලම් බත් පිසිමින්, බිං කුංඩන් හාරමින් සිටි අපට නිසි වෙලාවට  පණු බෙහෙත් නොලැබුණා නම් සමහර විට මේ කතාව ලියන්නට මා  ජීවත්ව නොසිටින්නටද  ඉඩ තිබිණ.

''කෙල්ල හීනෙන්  දත් මිටි කනවා අපේ ගෙදරටත් ඇහුනා..මේන්  මෙහෙ කුඹුරු ඇට ඇති'' කියමින් අත්තම්මා දුම දෙසට ඇඟිල්ල දිගු කරන්නේ අම්මා වෙත නොරිස්සුම් බැල්මක්ද හෙලමින්

මේ කාලය වන විට අඹතලේ දිස්පැන්සරියෙන්  ‘ඇන්ටිපා’ නම් පණු බෙහෙත් පැණිය  නොමිලේ ලබා දුන් නමුත් අත්තම්මා තුල ගැන විශ්වාසයක් නොතිබුනි. තොරන් බැඳලා මහ ගෙදරට කැන්දන්  නැන්දලා දෙන්නටත් තීරණ ගන්න බැරි වුනු කාලේ දිස්පැන්සරියේ ''නැන්දපා'' ගැන කවර නම්  කතාද

අත්තම්මාගේ තීරණය අවසන් තීරණය වූ බැවින්  ආච්චිපා කියා කුඹුරු ඇට කසාය බිම මිස අපට වෙන ගැලවුමක් තිබුනේ නැත.

අවාසනාවකට අදවන විට ෆාමසියෙන් මිලදී ගන්නා වර්මොක්ස්  පෙති පැකට්ටුව හැර අන් පිලියමක් අම්මලා දන්නෙවත් නැත. මේ ලිපියෙන් මා පෙළ ගස්වන්නේ  අත්තම්මලා එදා තිත්ත බෙහෙතෙන් පමණක් නොව රසවත් ආහාර වශයෙන්ද පණු වන් නසා දැමු සුන්දර මතකයි.

කුඹුරු ඇට කෝපි


අළුපාට කොස් ඇටයකින් බාගයක්  පමණ  ප්‍රමාණයේ තද පොත්තක් ඇති ඇට වර්ගයකි. ඇට අපට ලැබුනේ අත්තම්මගේ කුස්සියේදුම් මැස්සේ තිබු මුට්ටියකින් නිසා ඉන් එපිටට කිසිවක් කාලයේ දැන උන්නේ නැත. පොල් ගෙඩියකින් තලා මැද ඇති ඇටය කබලේ බැද කුඩු කර කෝපි ආකාරයෙන් වක්කර මාස දෙකකට පමණ වරක් බිමට දේ

මල්ලිත් සමඟ ලිඳේ පැන  මැරෙන්නට හැදුවේ අධික තිත්තක් ඇති  කුඹුරු ඇට කෝපි බිමට නියමිත දවසකය.

ඇඹිල්ල තේ

වළඟසාල් යන ද්‍රවිඩ නමින්ද ප්‍රසිද්ධ වල්  ඇඹිල්ල වියලු ගෙඩි වැල් ගොටුකොල මුල් සමඟ තම්බා  බිම බඩවැලේ එල්ලී ලේ උරා බොන පටි පනුවන් විනාශ කෙරෙන  ප්‍රත්‍යක්ෂ පණු බෙහෙතකි. ඇතැම් පලාත්වල මෙය කුඹුරු ඇට මදය සමඟද තම්බා බොන බව අසා ඇත.

කුරුම්බා මද සමඟ එඬරු තෙල්


මේ නම් අම්බානක ඇන්දවිමකි.. මුලින් කලටි මට්ටමට මේරූ කුරුම්බා කන්නට දී ගානට ඇන්දවීමෙන් පසු එඬරුතෙල් මේස හැන්දක් පමණ බොන්නට දෙනු ලැබේ..තෙල් බීමෙන් 
මෙන් පසුද ඇතිවෙන්න කුරුම්බා සහ ලොඳ කෑමට අවසර ඇත.. මෑතකදී කර ඇති පර්යේෂණ වලට අනුව පොල් මදයේ පනුවන් නැසීමේ ගුණ හඳුනාගෙන ඇත.. පණුවන්ගේ ශරීර සෞක්‍යයට අගුණ එඬරු තෙලේ  අපේ සෞක්‍යයට හිතකර  තවත් බොහෝ ගුණ අඩංගුය. 


සුදු ළූණු සහ කුප්පමේනියා වතුර

කුප්පමේනියා කොළ සුදු ළූණු සමඟ තම්බා සති දෙකකට පමණ වරක්  බිමට දීමෙන් පණු අමාරු නිවසේදීම සුව කල හැක..






ගෙඳ  ව්යංජනය


ගෙවත්තේ ඉබේ වැවෙන රතු පාට දණ්ඩක් ඇති පේශිමය කුඩා ගෙඳ  පරිප්පු හෝ කොස් ඇට දමා පිළියෙළ කල හැකි රසවත් ව්යංජනයකි. බෙහෙතක් නොව  එදිනෙදා පලා වර්ගයක් ලෙස  අපේ ආහාරයට එක්  වුනු ගෙඳ පණු අමාරුවට කදිම ප්‍රතිකාරයක් බව නිතර අසා තිබේ.

වදකහ

පොඩ්ඩන්ගේ අතේ බඳින වද කහ වළල්ල කාටත් මතක ඇති. අත කටේ දා ගන්න හදන පොඩිත්තන්ගේ මුවට මුලින් වැටෙන්නේ මේ බෙහෙත් වළල්ල..විශේෂයෙන්ම දනගාන  බඩගාන කාලේ දුවිලි සමඟ කුක්කු බන්ඩියට යන පණු බිත්තර විනාශ වෙන්න වලල්ලේ ඇති වදකහ වලින් කෙරෙන්නේ අපමණ සේවයක්..

හාල් ඇටයක් පමණ කිරි වීදුරුවකට දියකර බිමෙන් පනුවන් පමණක්  නොවෙයි සියලු රෝග නිවාරණයි.. ප්‍රවේශමින් පරිහරණය කල යුතු ඖෂධයකි. වෛද්‍යවරයකුගේ උපදෙස් ඇතිව පමණක් භාවිතා කරන්න.

අසමෝදගම්

කොළ සම්බෝලය වාගේම අසමෝදගම් ස්පිරිතුව පණුගායට  කදිම බෙහෙතකි.

පාවට්ටා තේ

පාවට්ටා කොළ, වේලුනු මල් සහ පොත්ත (අමු හෝ වියලි ) එක සමානව ගෙන පත 5 එකට හින්දා බිමෙන් පණු රෝග සුව කර ගත හැක. පවුලේ වැඩිහිටියන් වෙනුවෙන් පිළියෙළ කෙරුණු පණු බෙහෙතකි..පාවට්ට වල ඖෂධිය ගුණ ගැන කවර නම් කතාද??


රණවරා කොළ මැල්ලුම්


රසවත් මැල්ලුමක් වන රණවරා කොළ පනුවන් රෝග වලට කදිම පිළියමකි. බෙහෙතක් ලෙස නොව  ආහාරයක් ලෙස නිතර මුළුතැන්  ගෙවල පිසුණු ආහාරයකි.





තුඹ දළු ව්යංජනය
 
පනුවන් නසන තවත් වටිනා පලා වර්ගයක් තුඹ..අහාර පිරිය වඩවන බොහෝ ඖෂධිය ගුණ ඇති රසවත් පලා වර්ගයකි. 


ලෙට්ට කොච්ච මැල්ලුම

තවත් රසවත් මැල්ලුම් වර්ගයක්..පනුවන් නසාලන්නට සහ උදරයේ වාතය ඉවත් කරන ගුණ සහිතයි.. කෑවොත් යලි යලිත් කන්නට සිතෙන රසවත් මැල්ලුමකි.




එරබදු දළු ව්යංජනය

පණු ගායට නොවරදවා හැදුනු අත් බෙහෙත් වලින් තවත් එකක්  තමා මේ එරබදු දල්ල. රසවත් පලා වර්ගයක් වුනු එරබදු නිසි ලෙස පිස ගන්න එදා අම්මලා හොදින් දැන  සිටියා. දල්ලේ ඇති තිත්ත රසය යන්නට මද උණුසුම් වතුරේ විනාඩි 5ක් පමණ පොඟවා මිරිකාගෙන රතු ළූණු උම්බලකඩ මිටි කිරි දමා පිසින එරබදු ව්යංජනය අතිශයින්ම රසවත්. පටි පණුවන්ට විශේෂයි.

බට කිරිල්ල අග්ගලා

අපේ කාලේ ළමයින්ට රසවත්ම පණු බෙහෙත වුනේ මෙයයි. බටකිරිල්ල කොළ වේලා කොටා සමඟ බැදී හාල් පොල් සිනි හෝ මි පැණි දමා සාදන බට කිරිල්ල අග්ගලා..


කබලේ බැදුණු වට්ටක්කා ඇට සහ අළු පුහුල් ඇට 

පොතු හැර ගත්තාම නිකනුත් කන්න පුළුවන් වට්ටක්කා ඇට රස කවුද නොදන්නේ.. උයන පිහින වැඩ අවසන් වෙලා ඉතුරුවන ගිනි අඟුරු මත වළඳක් තැබූ විට ඉබේ හැදෙන බැදුණු වට්ටක්ක/අළු පුහුල් ඇට වටිනා පණු බෙහෙතක් බව ඔබ දැන සිටියාද?

අරළු, බුළු, නෙල්ලි තැම්බූ වතුර

අරළුබුළුනෙල්ලි වර්ග තුනම පනුවන් නසන්නට එකසේ සමත්..තවත් බොහෝ ඖෂධිය ගුණ ඇත..ශරීරයේ ධුලකහරණය  කර සියලු රෝග නසා දමයි




දෙළුම්
ලෙලි කෝපි /දෙළුම් ගසේ කඳේ පොතු සහ මුල්  තැබ්මු වතුර

දෙළුම් ලෙල්ල වේලා  කබලේ බැද සාදන කෝපි වගේම ගහේ  මුල් පොතු තම්බා මෙන් පනුවන් හලා දමන්නට පුළුවන. දෙළුම් යුෂ ලෙස හෝ පලතුරු ලෙස ආහාරයට ගැනීමෙන්ද ප්‍රතිපල ලැබේ.


ගස් ලබූ ඇට

වේලු ගස් ලබූ  ඇට පනුවන් නසන කදිම ප්රතිකාරයකි. කුඩුකර මුදවපු කිරි හෝ යෝගට් සමඟ ආහාරයට ගැනීමෙන් ගැටලුව විසඳේ.




තැම්බුම් හොදි 
 
සියඹලා, උළුහාල් , සූදුරු, මහදුරු, සුදු ළූණු යන සියල්ල අඩංගු තැම්බුම් හොද්දේ  පනුවන් නැසීමේ ගුණ සහිතයි. අන්තර සෝදාහැර ධූලකහරනයද   සිදුවේ.


කෝමාරිකා මද

දිව්  ඖෂධයක් බඳු කෝමාරිකා මද මේස හැඳි කීපයක් සති දෙක තුනකට වරක් ආහාරයට් ගැනීමෙන් අනිකුත් සියලුම ප්රති ලාභ මෙන්ම පනුවන්ද නසා දැමිය හැක.

කරාබු නැටි තේ


දිනපතා උයන පිහින ආහාරයට් කරාබු නැටි එක කිරීමෙන් මෙන්ම කරාබු නැටි කීපයක් ජලයේ පෙඟේන්නට  හැර උදෑසන ජලය පානය කිරීමෙන් පණු රෝග මර්ධනය වේ.

පොඩිත්තාගේ කිරි වීදුරුවට කරාබු නැට්ටක් දෙකක් දමා රත්කර බිමටදීම හෝ තේ වලට කරාබු නැට්ටක් දැමීමෙන් උපක්‍රම ශිලිව  කුඩාවුන්ට මෙන්ම වැඩිහිටියන්ද ලබා දීමට හැක. 



පෙති තෝර/ පැණි තෝර මැල්ලුම්

මැල්ලුමට, කලවම් පලාවට අපූරු රසයක් එක කරන තෝර  වර්ග පනුවන්ට ගුනයි කියලයි කියන්නේ...ඒ වුනාට ඇත්තටම නම් වෙන්නේ අපි කන තෝර කොලෙන් පණුවන්ට අගුණයක් වෙන එක..උන් ඉතිං නන්නත්තාර වෙලාම යනවනේ..


මැල්ලුම් කන්න අකමැති  පොඩිත්තන්ට කවා ගන්න  වැලි කොස් ඇට තැම්බුමේදී  පැණි තෝරකොළ එකතු කිරීම ඒ කාලේ කල උපායක්.




අමු කහ

රන් වලටත් වඩා වටිනා අමු කහ ගලේ අඹරා දිනපතා ආහාරයට එක්  කිරීමෙන් පණු ආසාදන අවම කර ගත හැක. අද වන විට භාවිතා වන මාස ගණන් පරණ කුඩු වල මේ ගුණය නැත.

නිතර   ආහාරයට ගත්  පනුවන් නසන වෙනත් එළවලු වර්ග

ඕලු දඬු
ඕලු බත්

විශේෂ ස්තුතිය : මතක පොතේ පිටු පෙරළු බණ්ඩාර වරකාගොඩ සහ නිමලවංශ දසනායක මහත්වරුන්ට



රේණුකා විමලරත්න: ලන්ඩනයේ සිට
චායාරූප: අන්තර්ජාලයෙන් සහ බණ්ඩාර වරකාගොඩ


14 comments:

  1. මෙව බීල නෑ අනේ.. අවුරුද්දකට සැරයක් දෙසරයක් දොස්තර ලගට ඇදන් ගිහින් පණුබේත් කියල රෝසපාට පැණියක් පෙවුවා කියල මතකයි

    ReplyDelete
    Replies
    1. එකනේ වැඩේ , මොලේ කර වෙනවා ඔය පැණි වලට, තිත්ත වුනත් මේවා රජ බඩු :D

      Delete
  2. කරාබු නැටි හපන කොට දතේ අමාරු යනවා නේද?
    නැන්දපා - මාරු යෙදුම

    ReplyDelete
    Replies
    1. දේශේ හැටියට බාසේ වුනොත් ඉතින් නැන්දපා වෙන්න ඕනෙනේ නේ? :D

      කරාබු නැටි, කුරුඳු තෙල් වගේ දේවල් දත් කැක්කුමට භාවිථා කරනවා .තව ගොඩක් තියෙනවා..මුනමල් පොතු..ඒ ගැනත් වෙලාවක ලියන්නම්..

      Delete
  3. wasanthiRamanayaka27 February 2017 at 16:33

    වටිනාකම..නිමක්.නැති,,ලිපි..පෙළක්.මගේ.ආචාරය

    ReplyDelete
    Replies
    1. ඔබට බොහොම ස්තුතියි

      Delete
  4. ඇයි තව හොදම බෙහෙතක් තියෙනවා.කුබෙයි හා දුටුසපුට කියන නම් දෙකෙන්ම හදුනවන කොළ ජාතිය.ඒවා පලා විදියටත් හදලා කනවා ගෙදර අපි හැමෝමත්.අම්මා නම් කියන්නේ පණු බෙහෙත් දෙන්න ඕන කියලා හිතෙන කාලේට දවස් 3ක් විතර එක ලග දෙන්න කියලා පුතාට.ඒවායි එරබදු දළු,බටකිරිල්ල දළු සම්බල් පුතාට දෙනවා මම හොයාගෙන මාස 3කට විතර පාරක්.චූටි දවස්වල ඉදලම දෙනවා.පොඩි කාලේ සම්බල් දුන්නේ නෑ.කිරි ටිකක් දාලා හින්දලා දුන්නේ

    දැන් දරුවෝන්ට පණු අමාරුව එන්නේ පැණි රස කාලා.ඉස්සර අපිට ආවේ වැලි ගොඩවල්වල,වත්ත පිටියේ නටලා.අපේ පුතාටත් පොඩි කාලේ ඉදලම එළිය පහලියට දාලා නටන්න දෙනවා.කෝම්පිට්ටු හදන්න ඔය හැම දේම දෙනවා.එයා අවුරුදු 2යි මාස ගාණක් යනකන් දුන්නත් පැණි රස කෑවේම නෑ.ඒත් පණු අමාරුව එනවා.

    පුතා පෙන්නපු විශේෂඥ වෛද්‍යවරයා මගෙන් ඇහුවා වැලි වල එහෙම නටනවද කියලා.මම ඔව් කිව්වාම බටහිර වෙදදුරු කෙනෙක් උනත් ඔහු කිව්වේ ඉංග්‍රීසී බෙහෙත් වලින් කාලයක් අල්ලලා හිටින්නේ නෑ.එහෙම නම් ඒවා පිළිවෙලට කරන්න ඕන.බෙහෙත් බිව්ව දවසට පසුව ඇද ඇතිරිලි පවා මාරු කරන්න ඕන.ඊට වඩා හොදයි අම්මේ සිංහල බෙහෙත් තියනවා ඕවාට කියලා.එතකොට දරුවට අවුරුද්දටත් වඩා වයස අඩුයි ටිකක්.

    ඩොක්ටර් කිව්වෙත් දරුවොන්ට නිදහසේ ඉන්න දෙන්න.පණු අමාරු හැදුනොත්, බඩේ අමාරු හැදුනොත් බෙහෙත් තියෙනවා.ඕවා හැදිලා තමයි පුංචි කාලේදිම ඇගෙන්ම ප්‍රතිශක්තීකරණය හදාගන්න ඕන කියලා.


    ඒ හින්දා මම ගියා පිළිගත් ආයුර්වේද හලකට.පොඩි දරුවොන්ට බෙහෙත් හදලා දෙන්නේ.බටකිරිල්ල දළු හා තවත් පොඩි අඩු වැඩිය ටිකක් ගේන්න කියලා කිව්වා.මගේ හිතේ සැකේට ලග ඉදන්ම බෙහෙත් එක හදාගෙන ගෙනත් පුතාට දුන්නා.පොඩි පැණි එකක් හදලා දුන්නේ.පුතා තිත්ත උනත් බොනවා.ඒ බෙහෙත් එකෙන් ගොඩ කලකට දරුවාට පණු අමාරුව හැදුනේ නෑ

    අදටත් මම එම කොළ වර්ග දෙන නිසා එදාට වැඩියෙන් එළියේ පහලියේ නැටුවත් ප්‍රශ්ණයක් නෑ.ඉංග්‍රීසී බෙහෙත් පස්සේම දුවන්නේ නැතුව වටපිටාවෙන්,කුස්සියේ දේවල් වලින් දරුවන් ලෙඩ වලින් ආරක්ශා කරගන්න පුරුදු වෙන්න ඕන. ඒත් පසු කාලීනව ඒ දේවල් පුරුදු කරන්න බෑ.මාස 6 ඉදන්ම තමයි මම පුතාට දුරු,කොත්තමල්ලි එහෙම පුරුදු කරේත්

    ReplyDelete
    Replies
    1. බොහොමයක් බටහිර වෛද්‍යවරුන්ගෙන් නොලැබෙන උපදෙසක් ලැබිලා..ඒ වගේම අද කාලේ ඔබ වැනි මවුවරුන් සොයා ගන්න නැහැ..වෛද්යවරය්ව්කු මෙවන් උපදෙසක් දුන්නාම ඒ වෛද්‍යවරයාට දෙස් තබමින් අලුත් කෙනෙකු සොයා යාම තමයි වැඩි..

      මේ ඖෂධ අදටත් භාවිතා කල හැකි බව ඔබ ඔප්පු කර තිබෙනවා..ඒ බව මෙහි අදහස් දැක්වීම ගැන ඔබට බොහෝ තුති..ජය වේවා..

      Delete
  5. Thusantha Wickramanayake5 March 2017 at 04:01

    මට පොඩිකාලේ ලැබුනේ එරබදු දළු .පුදුම රසක් තියෙන්නේ උම්බලකඩ රතුළුණු එකතුඋනාම .

    ReplyDelete
    Replies
    1. ඒ ගැන කතා කරලා නම් වැඩක් නැහැ..එරබදු දැන් හොයා ගන්න නැහැ ලංකාවේ අවාසනාවකට. එරබදු සම්බන්ධව මගේ ලිපිය කියවපු එක්තරා මහත්මයකු එරබදු යලි වැවීමේ ව්‍යාපාරයක් පටන් ගත්තා..

      එහි මුල් අදියර ලෙස එරබදු පැල 100ක් එරබදු ලිපියේ පිටපතක් සමඟ ගෙවල් සියකට බෙදා දුන්නා. දැනටත් අපි ප්‍රමාද නැහැ කියලා හිතෙනවා..

      Delete
  6. එරබදු ,තෝර,කතුරුමුරුංගා එකට දාපු මැල්ලුමත් ගොඩක් හොඳයි , ඒ වගෙම ඉහත ලිපියට ගොඩක් ස්තුතියි .

    ReplyDelete
  7. එරබදු ,තෝර,කතුරුමුරුංගා එකට දාපු මැල්ලුමත් ගොඩක් හොඳයි , ඒ වගෙම ඉහත ලිපියට ගොඩක් ස්තුතියි .

    ReplyDelete