Saturday 25 June 2016

අත්තම්මාගේ අත් බෙහෙත් 12: සව් කැඳ (Sago)



සව් කැඳ දන්සැල 


මිට සති කීපයකට පෙර දවසක් හැන්දෑවේ කවුදෝ ගේට්ටුවට තට්ටු කරන හඬක් ඇහුනා. අවේලාවේ වුනත් සුපුරුදුකට හඩවල් කීපයක් නිසා ගේට්ටුව ඇරලා බැලුවම අපේ ගමේ තරුණ පිරිස පොතකුත් අරගෙන ගමේ වැඩකට ආධාරයක් ඉල්ලන්න ඇවිත්. අපේ කාලයේ හිටපු ඉලන්දාරි වෙනුවට දැන් ඉන්නේ ඔවුන්ගේ පුතුන්. මොකක්ද මේ ගමේ වැඩේ? මෙදා සැරේ වෙසක් එකට අපි සව් දන්සලක් දෙනවා නැන්දා කියායි ඔවුන් කිව්වේ. මේක වුනේ ලන්ඩන් වල නම් නොවෙයි. අවුරුද්දට ගම රට බලා ගිහින් නැවත එන්න ලක ලෑස්ති වෙන වෙලාවෙයි. අයිස් දාල දෙන ඩයි පිරුණු සරුවත් දන්සැල් වලට වඩා සව් දන්සැලක් දෙන එක කොයි තරම් හොදද කියායි මට හිතුනේ. සව් කැඳ කෝප්පයකින් කෙනෙකුගේ කුස පුරවා, ඖෂධිය ගුන ලබාදී මහඟු පිනක් කර ගත හැකි නිසායි.



ඇත්තටම මොනවද මේ සව්? පුංචි සන්ධියේ නම් මන් හිතන් හිටියේ මේ ධාන්ය වර්ගයක් කියලයි. පාසලේ ප්රශ්න පත්තරයකට සව් ලබා ගන්නේ බෝංචි වැලකට සමාන වැලක හැදෙන කරලකින් කියා ලියා ලොකු බින්දුවක් ලැබුනට පස්සේ තමයි සව් ඇටේ වග තුග හොයා ගත්තෙ. sago palm නැමති තාල වර්ගයට අයත් ශාකයක කඳේ මැද ඇති පිටි සාර මිදුලුමය කොටසින්සහ එම ගස් වල හැදෙනා ගෙඩියේ මදයේ
පිෂ්ඨමය කොටස නිස්සාරණය කර ගැනීමෙන් තමා සව් හදන්නේ. අපට නම් පැණි රස ආහාරයක් ලෙස හෝ ඖෂධිය පානයක් ලෙස භාවිතා වුනත් ඇතැම් රටවල පිෂ්ඨය ලබා ගැනීමට ආහාරයේ මුලික අංගය ලෙස භාවිතා වෙනවා.





.
ඉන්දියාවේ මයියෝක්කා පිටි වලින් නිස්සාරණය කර සාදන සව් වර්ගයකුත් තිබෙනවා. ටැපියෝකා (tapioka) නමි හඳුන්වන මේ සව් වර්ගයේ ඇට සාමාන්යයෙන් භාවිතා කරන සව් ඇට වලට වඩා විශාලයි. වගේම පෝෂ්ය ගුණත් වෙනස්. සව් අපේ රටේ නිපදවෙනවාද කියා හරියටම මා දන්නේ නැහැ. නමුත් දකුණු ඇමෙරිකාවේ සහ ඉන්දියාවේ නම් විශාල වශයෙන් කෙරෙන කර්මාන්තයක්. ඊසාන දිග ඉන්දියාවෙන් සමහර විට අපට ආනයනය කරනවා වන්නට ඇති.

ශරීරය සිසිල් කිරීමේ මනා හැකියාවක් සව් වලට තිබෙනවා. බල මාළු, දෙල් වැනි ඌශ්න ගුණ ඇති අහාර වේලක් සෑදූ දිනෙක නින්දට යාමට පෙර හෝ හවස් කාලයේ තේ වෙලාවට සව් කැඳ කෝප්පයක් පිළියෙළ කිරීමේ පුරුද්දක් අපේ අත්තම්මාට තිබුනා. ගෙදර කෙනෙක් අසනීප වුනු විට නම් සව් කැඳ වරදින්නේ නැහැ. විශේෂයෙන්ම '' දෙයියන්ගේ ලෙඩ'' කියා එදා හැඳින්වූ පැපොල, සරම්ප, කම්මුල් ගාය වැනි වයිරස ආසාධන සෑදුනුවිට හෝ වියලි කාලයේදී පැතිරෙන වයිරස අක්ෂි ආසාධන වලදී ඇඟේ ඌශ්නය නැති කිරීමටත්, ආසාදනය නිසා ඇතිවන ආහාර අරුචිය නැති කිරීමටත් නොවරදවාම නිවෙස් වල හැඳුනු ඖෂධිය පානයක් ලෙස සව් කැඳ හඳුන්වන්න පුළුවන්. සව් වල ඇති මෙම ශරීරයේ උෂ්ණත්වය පහල බැසීමේ හැකියාව ආයුර්වේදයේ ඉතා ඈත අතීතයේ සිට බොහෝ රෝග වල රෝග ලක්ෂණයක් වන උණ අඩු කර ගැනීමට යොදාගෙන තිබෙනවා.


සව් වල බහුලව ඇති ඉක්මනින් දිරවීය හැකි පිෂ්ඨය නිසා එය රෝගීන්ටත් , කුඩා දරුවන්ටත්, මහලු අයටත් ශරීරයට අවශ්ය ශක්තිය ලබා දිය හැකි අඩු මිල පහසු ආහාරයක්. ගර්භනී මවු වරුන්ටත් ඉතා ගුණ සව් කුස තුල වැඩෙන කළලයේ නිරෝගී වර්ධනයටත් බොහෝ උපකාරී වෙනවා. කාබෝහයිඩ්රේට වලට අමතරව සව් වල ලවන වර්ග, කැල්සියම් සහ විටමින් වර්ගත්, ශාකමය ප්‍රෝටීන  සුළු වශයෙනුත් අඩංගු වෙනවා.පිළිකා රෝගය නිසාවෙන් සහ ඊට සිදුකරණය විශේෂ සායනික ප්රතිකාර විධි වලින් (chemo therapy, radio therapy ) පසුව ඇතිවන වමනය, ආහාර අරුචිය, කෙසඟ වීම වැනි ආබාධ වලින් පසු වන්නන්ට නිවසේ සිදු කල හැකි පහසුම ප්රතිකාරයක් සව් කැඳ පානයට දීම. එමඟින් ශරීරයට ශක්තිය ඉක්මනින් ලබාදී, ආහාර රුචිය වර්ධනය කර, වමනය නිසා ඇතිවන විජලනය සහ ශරීරය කෙසඟ වීම වලකවා ගැනීමට පුළුවන්.

ඉන්දියානු සහ මුස්ලිම් රටවල ඔවුන්ගේ ආගමික ඇදහිලි අනුව සිදු කරන නිරාහාර වතාවත් වලින් පසු පිළියෙළ කරන ආහාර අතර සව් අනිවාර්ය අංගයක්. මෙවැනි අවස්ථා වලදී ඔවුන් යොදා ගන්නේ එහි ඇති ආහාර මාර්ගය පිරිසිදු කිරීමේ ගුණයයි. විශේෂයෙන් මුස්ලිම් ප්රජාව මෙවැනි අවස්තාවලදී බොහෝ මස් මාංශ ආහාරයට ගන්නා නිසා ඔවුන්ට ඉන් අනතුරුව ඇතිවිය හැකි මල බද්ධය සහ අහාර මාර්ගයේ ලෙඩ රෝග වලක්වා ගන්නටලු චාරිත්රානුකූල ආහාරයක් ලෙස රාමධාන් ඇතුළු වෙනත් උත්සව සඳහා යොදා ගැනුනේ. යුරෝපයේ සහ ඇමෙරිකාවේ විවිධාකර අතුරුපස නිර්මාණය සඳහා සව් යොදා ගන්නවා. අප්‍රිකාවේ  බොහෝ ප්‍රදේශ  වල සව් ප්‍රධාන  ආහාරයක් ලෙස භාවිතා කෙරෙන්නේ රොටි, බිස්කට් වැනි අපට වඩා වෙනස් ආකාර වලට පිළියෙළ කර ගැනීමෙන්.



සිංහල බෞද්ධ සංස්කෘතියේත් දාන ශිල වැඩසටහන් වලදී බහුලව භාවිතා කෙරෙන සව් වෙසක් උත්සව කාලයේදී දන්සැල් වල නම් වරදින්නේම  නැහැ. වෙසක් සැරසිලි සහ තොරන් නරඹන්නට පාගමනින් යන භක්තිමතුන්ගේ විඩාව නිවා ගැනීම, ඇවිදීමේදී වැඩිවන ශරීර උෂ්ණත්වය අඩු කර ගැනීම, දහදිය නිසා සිරුරින් ඉවත් වූ ලවන ලබාදීම, ගමනට අවශය ශක්තිය සැපයීම, කුස පිරවීම වැනි හේතූන් මුල් කරගෙන තමයි සව් වෙසක් දන්සැලට එදා වැඩිහිටියන් එක්කළේ



 අද පරම්පරාවේ තරුණයින් මේ කරුණු ගැන දැනුවත්ව සව් දන්සැලට එක එක කරනවා යයි කියන්නට තරම් ප්‍රමාණවත්  සාක්ෂි මට නම් සොයා ගන්නට බැහැ. නොදැන වුවත් මේ ආහාරය තව කෙනෙකුට ලබා දීමෙන්, සරුවත් ලබා දෙනවාට වඩා විශාල පිනක් රැස් කර ගන්නට පුළුවන්. ලිපිය අවසන් කිරීමට පෙර මතක් කල යුත්තේ පවතින ගං වතුර සහ වර්ෂාව නිසා මේ වසරේ නම් සව් දන්සැලට නොගැලපෙන ආහාරයක් බවයි. දන්සැලට එක්කල ඔබේ මුදල් වතුරින් අනාත වුවන්ගේ කුසට ආහාරයක් වස්ත්‍රයක්  ලබාදීමට යොදවන්නැයි අයැදිමින් අදට නවතිමි. නැවත මෙවන් වූ විග්‍රහයකින්  හමුවන තුරු ඔබ සැමට ආයුබෝ වේවා.

 රේණුකා විමලරත්න : ලන්ඩනයේ සිට (18/05/2016)
චායාරූප අන්තර්ජාලයෙන් (නම නොදත් ශිල්පින්ට  සියලුම ගෞරවය හිමි වේ )















5 comments:

  1. හුඟක් දෙනෙක් සව් ලැබෙන්නේ ගහකින් එන පිටි වර්ගයකින් කියල දන්නේ නැහැ. සියලු තොරතුරු එක් කළ මේ ලිපිය ලිවිම ගැන බොහොම ස්තුතියි.

    ReplyDelete
  2. සව් බිව්වට දැනුවත් වෙලා හිටියෙ නෑ මේ දේවල් ගැන .ස්තූතිපූර්වක පින් අනුමෝදන් කරමි...

    ReplyDelete
  3. ගොඩක් ස්තූතියි

    ReplyDelete
  4. බොහොම ස්තුතියි.

    ReplyDelete