Saturday 25 June 2016

අත්තම්මාගේ අත් බෙහෙත් 11: වට්ටක්කා



           අත්තම්මාගේ අත් බෙහෙත් 11


                          වට්ටක්කා

මරණයේ වේදනාව දැනෙන්නේ ජීවත්ව සිටින්නාට යැයි කියමනක් ඇත. මේ කියමන යන්තම් වෙනස් කර මරණයේ වේදනාව උපන් බිමින් එපිට ජිවත් වන්නන්ට වඩා තදින් දැනෙනවා යැයි මම කියමි. ලංකාවේ නම් පවුලේ අයෙක් වියෝ වූ විට අසල් වැසියන්ගෙන් සහ රැකි රක්ෂා ස්ථාන වලින් ලැබෙන සහයෝගය පිටරටකදී ලැබෙන්නේ නැහැ. රැකියාවෙන් නිවාඩු ලබා ගැනීම, හදිසි ගමනට මුදල් සොයා ගැනීම, ඉක්මනින් ගුවන් යානයක ආසනයක් වෙන් කර ගැනීම, පවුලේ අනිත් සාමාජිකයන් දුරු රටක තනිකර දමා යෑම වැනි දහසකුත් ප්රශ්ණ වලට පිටරටක වෙසෙන්නන්ට මුහුණ දෙන්න වෙනවා.
වාසය කරන රට අනුව නැවත මව් බිමට ලඟා වීමට යන කාලයත් විශාල ප්රශ්නයක්. පසුගිය පැය විසි හතර ඇතුලත මටත් මේ ගැටළු සියල්ලට පාහේ විසදුම්හොයන්න සිද්ධ උනා. යන්ත්රයක් සේ දුව පැන සියල්ලට පිළියම් යොදා අවසාන වූ පසුවයි අප අතරින් සදහටම සමුගත් අම්මා ගැන මතකයන් අවධි කරන්නටවත් අවකාශයක් ලැබුනේ

සමගම ඇති වුනු කායික අපහසුතා ගොන්න - විශාල පිපාසය, බඩ දැවිල්ල සහ උසුලා ගත නොහැකි හිසේ අමාරුව තවත් අපුරු අත් බෙහෙතක් වන වට්ටක්කා වෙත මගේ මතකය ගෙන ගියා. අද අපේ සංස්කෘතියේ අවමංගල්ය කටයුතු වල අනිවාර්ය අංගයක් වන ''වට්ටක්කා'' අවමංගල්යය නිවසට සම්බන්දවිමේ ඖෂධිය සහ විද්යාත්මක සාධක වල විග්රහයයි මේ.


හදිසියේ කෙනෙකුගේ වියෝවක් අසන්නට ලැබුණු විට හෝ බියවිමකදී හෝවෙනත් ඕනෑම කම්පනයකදී ශරීරය ආරක්ෂා කරන්නේ ඇඩ්රිනලින් (adrenalin) නමැති හොර්මොනයෙන්. එය හදවතේ ගැස්ම සහ රුධිර පීඩනය වැඩිකරමිනුත්, රුධිරගත සිනි ප්රමාණය තාවකාලික වැඩිකරමින් පටක වලට අවශ්ය ශක්තිය සපයලා කම්පනය පහවන තුරු ශරීරය පවත්වා ගන්නට සිදුවන ස්වාභාවික ආරක්ෂා විධියක්. ඉතින් මේ හෝර්මෝනය එකවර විශාල වශයෙන් ශ්රාවය වුනාම කෙනෙකුට එක්වරම විශාල ශක්තියක් ලැබෙනවා පමණක් නොවෙයි, ස්වසන වාර ගණන වැඩිවී, ශාරීරික වේදනාව සහ නිදිමත නොදැනී යනවා. මේ නිසා තමයි මරණයක් වුනු අවස්තාවක කම්පනය වැඩිපුරම දැනෙන නෑදෑයින්ට දින ගණනාවක්ම නොකා නොබී හඬා වැළපෙන්න ශක්තිය ලැබෙන්නේ



සාමාන්යයෙන් මේ කම්පනය සෙමෙන් පහව යන්නට පටන් ගන්නේ අවසන් කටයුතු ඉවර උනාට පසුවයි. සමඟම හඬා වැළපුණු අයට ශාරීරික වේදනා,දින ගණනක් නොකා සිටීමෙන් ඇතිවන බඩේ දැවිල්ල, හිස රදය වගේ දේවල් දැනෙන්න පටන් ගන්නවා. අපි අද කතා කරන වට්ටක්කා මාළුව සම්බන්ද වෙන්නේ මෙන්න මෙතනදියි.

 වට්ටක්කා බොහෝ ගුණ ඇති වාගේම ඉතා රසවත්ව විවිධාකාරයට පිලියෙලකර ගත හැකි එළවළුවක්. බැලු බැල්මට පිෂ්ඨය වැඩි යයි සිතෙන කුස පිරෙන ආහාරයක් යයි සිතුනත් මෙහි ඇත්තේ ඉතාමත් අඩු කැලරි ප්රමාණයක්. භාෂ්මික ගුණ ඇතිනිසා උදරයේ ඇති ආම්ලික තාවය අඩු කිරීමටත් කුස පුරවා බඩගින්න නැතිකිරිමටත් එමෙන්ම එහි ඇති හිස රදය නැතිකර සුව නින්දක් ඇති කිරීමේ හැකියාවත් නිසා තමයි අපේ සංස්කෘතියේ අවමංගල නිවසට වට්ටක්කා වල ප්රවේශය සිදුවුනේ.

එහි පොටෑසියම්,පොස්පරස් වැනි ලවන වර්ග, විටමින් , සී, ,කේ, තයමින් ඇතුළු තවත්විටමින් වර්ගත්, ශාකමය අසන්තෘප්ත මේධ,ප්රෝටීන සහ විශේෂිත ප්රති ඔක්සිකාරක අඩංගු වෙලා තිබෙනවා. මේ නිසා වට්ටක්කා වලින් ලැබෙන ගුණ ඔබ හිතනවාට වඩා විශාල පරාසයකට විහිදිලා යනවා.
 
සිංහල වෛද්ය ක්රමයේ වට්ටකා කොළ,පල, වැල යන සියලුම කොටස් විව්ධාකාර රෝග වලට ප්රතිකාර ලෙස යොදාගෙන තිබෙනවා. අතර ප්රධාන වන්නේ කුඩා දරුවන්ගේ පණු අමාරු සුව කිරීම, පිරිමින්ගේ ලින්ගික හැකියාව වර්ධනය කිරීම, රුධිර පීඩනය අඩු කිරීම, සෙන්ගමාලයට සහ තුවාල සුවකිරීමයි.රසායනාගාර පර්යේෂණ වලින් වට්ටකා වල මේ සියලුම ගුණත් මිට අමතර තවත් ගුණත් ඇති බව සොයා ගෙන තිබෙනවා.

පර්යේෂකයන් පවසන්නේ වට්ටක්කා වල පිරිමින්ගේ ප්රොස්ටෙට් ග්රන්ථිය (prostate gland) ශක්තිමත්ව පවත්වා ගැනීමටත්, ක්ෂුද්ර ජීවින් විනාශ කිරීමටත්, සමේ සහ අක්මාවේ සෞක්යය ආරක්ෂා කර ගැනීමටත්,පටක අලුත් වැඩියා කර තුවාල ඉක්මනින් සුව කිරීමටත්, හිස කෙස් වර්ධනය කිරීමටත්, සම රැලි වැටීම වලක්වා තරුණ බව පවත්වා ගැනීමටත් හැකි බවයි. මීටත් අමතරව වට්ටක්කා වල ඇති ප්රති ධුලක හැකියාව (anti oxident ) නිසා ශරීරයෙන් ධුලක ඉවත් කර රුධිරය පිරිසිඳු කිරීමටත් ඉවහල් වෙනවා.


නිවසකදී අත් බෙහෙතක් ලෙස නම් බහුලව භාවිතා කලේ ආමාශයේ ඇති තුවාල (gastritis) වලට ප්රතිකාර කරන්නටයි. බඩේ දැවිල්ල ඇති අයට අපේ අත්තම්මා අලුත් පොල් සමග තම්බපු වට්ටක්කා උදැසන ආහාරයට ලබා දුන් නිට්ටාවටම හරියන බෙහෙතක්.

මේ සා ගුණ ඇති වට්ටක්කා ලොව පුරා එකසේ පැතිරී ඇති අතර ඕනෑම දේශගුණයක පහසුවෙන් වවාගන්න පුළුවන්. එපමණක් නොවෙයි වට්ටක්කා වලින් බොහෝ සංස්කෘති වල විවිධ ප්රයෝජන ගන්නවා.


ඇමෙරිකානුවන් වට්ටක්කා වැඩිපුර වවන්නේ ඔක්තෝම්බර් මාසයේ පැවැත්වෙන 'මළවුන්ගේ රාත්රිය '(haloween ) නම් වූ උත්සවයට ලන්තරුමක් ලෙස කැටයමක් කපා සැරසිල්ලක් ලෙස යොදා ගන්නයි. මේ ක්රමය දැන්නම් යුරෝපයටත් පැතිරිලා


මිට අමතරව යුරෝපය සහ ඇමරිකාව වැනි රටවල උදුනේ හෝ බාබකිව් ක්රමයට පුළුස්සාගෙන හෝ සුප් ලෙස පිළියෙළ කර වට්ටක්කා ආහාරයට ගන්නවා. සුදු ජාතිකයින් වට්ටක්කා ඇට උඳුනේ පුළුස්සා කන්නත් ප්රිය කරනවා.

අපේ අසල්වැසි රටේ වට්ටක්කා තම්බා පොඩිකර ඒතුල කුකුල්මස් ගිල්වා සාදන 'චිකන් කොර්මා'' (chicken corma) ලොව පුරාම ජනප්රිය ආහාරයක්.




මෙකෙසේ වෙතත් මට නම් හරි යන්නේ අපේ විධියට අත්තම්මා සැදූ වට්ටක්කා මාළුව විතරමයි. සුදු ලුණු හාල්පොල් අඹරා කිරට පිසගත්තත්, කළු පොල් අඹරා මිරිසට පිස ගත්තත් අත්තම්මාගේ වට්ටක්කා ව්යංජනයේ තිබුනේ අමුර්ත රසයක්

කාලයේ අපේ ගෙවතුවලත් වට්ටක්කා වැලක් වැරදුනේ නැහැ. ආයාසයකින් සිටවලාත් නොවෙයි,කුස්ස්සියේ ඇට විසිවෙලා ඉබේ හැදුණු වැල් . මේ වාගේ සමහර වැල් පිරෙන්න මල් ආවත් ගෙඩි එනවා අඩුයි.අත්තම්මා රතු ලුණු උම්බලකඩ දමා තෙලට හැදු වට්ටක්කා මල් මාළුව අපේ තාත්තට නම් පංකාදු පහේ ඉස්තරම් කෑමක් කියලයි මට මතක තියෙන්නේ. වට්ටක්කා වැලේ ලපටි දළු කව්පි මිටක් දමා රසවත් ලෙස පිස ගන්නත් අත්තම්මා දැන සිටියා.


වට්ටක්කා වර්ණනාව අවසන් කරන්නට පෙර තව හෝරා කීපයකින් අවසන් ගමන් යන්නට සුදානම් වන මගේ නැන්දණිය වට්ටක්කා මාළුව රස කර ගැනීමට මට කියාදුන් කුඩා උපක්රම දෙකක් ඔබ සමග සංවේගයෙන් බෙදා ගන්නට මා අදහස් කළා. ඉන් පළමුවැන්න වට්ටක්කා වෙළඳ පළෙන් තෝරා ගැනීම. පොත්තේ කොළ පාට වයිරම ඇති, කැපු විට දාරය කොලපාට මැද කහ පාට වට්ටක්කා පමණක් තෝරා ගන්න. මේ වර්ගය රසයෙන් සහ ගුණයෙන් ඉතා ඉහලයි

දෙවැන්න නම් පොල්,හාල්, සුදුලුනු අඹරා කිරට පිසින වට්ටක්කා ව්යංජනය ලිපෙන් බා ගන්නට මොහොතකට පෙර සිනි තේ හැන්දක් එක්කරන්න. එමගින් වට්ටක්කා වල ඇති ස්වභාවික රස ඉස්මතු වී විස්තර කල නොහැකි රසයක් ව්යංජනයට එකතු වෙනවා. අත්තම්මාගේ අත් බෙහෙතකින් යලි හමුවන තුරු, ඔබ සැමට ආයු බෝ වේවා!




රේණුකා විමලරත්න : ලන්ඩනයේ සිට (19/03/2016)


චායාරූප අන්තර්ජාලයෙන් (සියලුම ගෞරවය නම නොදත් ශිල්පීන්ට හිමිවේ)



8 comments:

  1. අපේ ගොඩක් අය හරියට මහන්සි වෙනවා කෙට්ටු වෙන්න ,,,එයාලාට හැමදාම උනත් වට්ටක්කා තම්බලා කන්න පුලුවන්නම් බර ඉක්මනට අඩු කරගන්න පුළුවන් වෙයි...ඒ වගේම හර්ධයට ඉතාමත් හිතකරයි..හදවත දුර්වල වූවන්ට වටිනා ආහාරයක්...අපේ සිරුරේ ලේ දාතුව මැනවින් සංසරණය කරන්න වට්ටක්කා මාළුවට පුළුවන්..මල ගෙදර අහාර වල රජ්ජුරුවෝ වෙන්න වට්ටක්කා වල ට පුළුවන් වුනේ එකයි...හත් මාළුවට උනත් වට්ටක්කා දළු යොදන්නේ ඒ කයි...ස්තුතියි....රේණුකා අක්කේ...

    ReplyDelete
  2. Really thank you somutch.we got so many things. We are allwais with you.

    ReplyDelete
  3. Fanatastic Article.

    ReplyDelete
  4. ඔබට ස්තුතිය .

    ReplyDelete
  5. බොහොම වටිනා ලිපියක්

    ReplyDelete
  6. ඉතාමත් වටිනා තොරතුරු ගොන්නක් ලබා දුන්න ඔබලාට බොහොම පිංසිදුවන්නටය

    ReplyDelete
  7. මේ වටිනා ලිපිය අහඹු ලෙස වසර ගණනකට පසු නැවත කියවන්න ලැබීීම මතකය අතීතයට ගියා අරුණාලෝකය සමඟ එදා යාවජීව වූ අත්තම්මාගේ
    මතකයන් අවධිවීමෙන්,ස්තූතියි කාලෙකින් වට්ටක්කා මාළුවක රස බෙදීම වෙනුවෙන් එදාමෙන් අදටත්

    ReplyDelete