Thursday 30 June 2016

රේණුකාගේ පලා මල්ල 3 : අඟුණ කොළ

                      රේණුකාගේ පලා මල්ල 3

                             අඟුණ කොළ



අනුන්ගේ ගුණ අගුණ බලා ගන්නට නම් අද කාලයේ පහසුවෙන්ම පැමිණිය යුතු තැන මූණු පොතයි. කෙටියෙන් කිවොත් එදා ගමේ ගොඩේ හිටි අගිදලාගේ සොපියාගේ කාර්ය භාරය මූණු පොතට පැවරී තිබේ. තමන්ගේ ගුණ අනුන් ලවා කියවා ගැනීමේ අලුත්ම තාලේ වෙනස් ක්රමයක්ද අපේ සමාජයේ දැන් සැකසී ඇත. අරක්කු වීදුරුවක් සහ බත් පාර්සලයක් නොමිලේ දීමයි. කාලයත් සමඟ සමාජය උඩු යටිකුරු වී තිබේ. අගුණ කීමේ නම් සීමාවක් නැත.

දේශපාලනයේ වේවා, කලාවේ සංගීතයේ වේවා, වෙන ඕනෑම දෙයක මතු වී පෙනෙන්නේම අගුනය. ගුණයක් ඇති අයකුගේ වුව එය මතු කරන්නේ නැති තරම්ය. මා මේ සාකච්චා කරන්නට සූදානම් වන්නේ මේ සමාජ පෙරලිය පිළිබඳව නම් නොවෙයි. පලා මල්ලේ තිබී මට හසු වූ කෙතරම් ගුණ ඇතත් අගුණ යයි කියා සමාජයේ අසාධාරණයකට ලක් වූ අඟුණ කොල පිලිබදවයි මේ සටහන.


ලාංකික අපට බහුලව දකින්නට ලැබෙන අඟුණ වර්ග දෙවර්ගයකි. එකක් තිත්ත අගුණ වන අතර අනෙක කිරි අඟුණයි. මේ දෙවර්ගයේම ඇත්තේ එකිනෙකට ඉතා සමාන ගුණයි. කිරි අඟුණ කිවාත් රසය අතින් ගත් කල එහිත් යන්තම් තිත්ත රසයක් නැතිවාක්ම නොවෙයි.

 මේ කොයික වූවත් අලුත් පොල් සමඟ රතුලූනු දෙහි උම්බලකඩ දමා සම්බෝලය සාදා ගත් විට මට නම් රසවත් පලා වර්ගයකි. අත්තම්මා නම් නිතරම කිවේ මේ අඟුණ දෙවර්ගයම මැලවිමෙන් පසු එහි ඇති ගුණ විනාශ වන බවයිනමුත් අත්තම්මා ඉඳහිට කලවම් පලා සාදන දාට අඟුණ කොළ මිටක් එක්කරන්නට අමතක කළේද නැත.


 අඟුණ කොලේ වටිනාකම හුඟ දෙනාට මතක් වන්නේ දරු සම්පතක් ලැබුණු විටයි. අඟුණ කොලේ තිබු කිරි එරවිමේ හැකියාව නිසයි. දරුවෙකු ලැබෙන්නට සිටින මවකට හෝ කිරි දෙන අම්මා කෙනෙකුට බුදු පුදට සාදන්නා සේ ශ්රද්ධාවෙන් බත් පතක් සකස් කර දීමේ වටිනා පුරුද්දක් අපේ සමාජය තුල අදටත් පවතිනවා. එදා එවන් විටෙක මේ කිරි අඟුණ සම්බෝලය අත්තම්මා අතින් නොවරදුනේ එහි ඇති මේ විශ්ව කර්ම ගුණය නිසයි.
මේ අපූර්ව ඖෂධිය පලා වර්ගය පිළිබඳව විද්වතුන් කල සමීක්ෂණ අදටත් නැති තරමටම අඩුයි. මා ලියන මේ කරුණු බොහොමයක් අත්තම්මලාගෙන් සහ මගේ වැඩිහිටි කාන්තා නෑදයින්ගෙන් ගැන මට ඇසුණු දේ. ඔවුන්ට අනුව කිරි දෙන මවට අඟුණ කොළ ගුණ වන්නේ කොළ කෑවාට පසු උල්පතකින් ගලන්නා සේ කිරි එරෙන නිසාම පමණක් නොවෙයි.

අඟුණ කොළ වල ඉහල ප්රතිශතයකින් යකඩ, කැල්සියම් සහ වෙනත් විටමින් වර්ග අඩංගුයි. මේ යකඩ ශරීරයට අවශෝෂණය වීම අඩු නැතිවම සිදු වෙන්න අලුත් දෙහි ගෙඩියක් මිරිකලා තමා මැල්ලුම හෝ සම්බෝලය පිළියෙළ කෙරුනේ. ප්රසවයේදී සිදුවූ රුධිර වහනය නැවත ඉක්මනින්ම යතා තත්වයට ගෙන නිරක්තිය වලක්වන්නට මේ නිසා අඟුණ කොළ උපකාරී වෙනවා.

ඕනෑම පලා වර්ගයකට පොදු මල බද්ධය නැති කිරීමේ හැකියාව අඟුණ කොලයේත් තිබෙනවා. අපිරිසිඳු ජලය පානය කිරීමෙන් ඇතිවන අමිබා අතීසාරය සහ වෙනත්පරපෝෂිත ආසාධන වලට අගුණ කොළ මනා ප්රතිකාරයක්. නිසා තමයි අත්තම්මා අඟුණ කොළ හදා මොන විජ්ජුම්බරයක් කර හෝ වැලි මිදුලේ නටන කුඩා වුන්ට ගිල්ලවන්නට තනන්නේ. ඔවුන්ගේ පණු ගායට ප්රතිකාරයක් ලෙස.

තයිෆොයිඩ් උන වැනි උදරාබාධ වලදීත් වෙනත් බඩේ අජීර්ණ වලටත් අගුණ බොහෝ ගුණයි. ලස්සන වන්නට වලිකන තරුණ ගෑනු ළමයින්ටත් අඟුණ සුවදායි වන්නේ එහි ඇති කෙස් දිගු කර සම වර්ණවත් කිරීමේ හැකියාව නිසා.
අඟුණ කොළ වර්ග ගණනනාවක් ලොව පුරා විවිධ පළාත් වල පැතිරී තිබෙනවා. ඉන්දියාවේ කඳුකර ප්රදේශ ඇතුළු බොහෝ ආසියාතික රටවලත්, ඕස්ට්රේලියාවේ ඇතැම් ප්රදේශ වලත් අප්රිකාවෙත් අගුණ වර්ග දැක ගන්න පුළුවන්. අප්රිකාවේදී අගුණ භාවිතා කරන්නේ පිරිමි අයගේ ලිංගික හැකියාව වර්ධනය කර ගැනීමටත් ගැහැණුන්ගේ ලංගික හැඟීම් උත්තේජනය කිරිමටත්ලු . වැඩි පුර දරු සම්පත් ලබා දීමත් අප මෙන්ම වැදු මවට කිරි එරවිමටත් ඔවුන් අගුණ යොදා ගන්නවා. අයුර්වේදයේදී මෙය කලින් කීවාට සමාන හේතු සඳහා මෙන්ම බැක්ටීරියා වයිරස ආසාධන වලට ප්රතිකාරකයක් ලෙසත් යොදා ගැනෙනවා.

අප කුඩා කාලයේ නම් හැම ගෙවත්තකම වාගේ වැටට වෙන්නට මේ ඖෂධිය වැල යවා තිබුනා. වැටවල් වෙනුවට තාප්ප ඇතිවූ අසූවෙන් පසු කාලයේ මේ වැල් වර්ගය කෙමෙන් අපට නොපෙනී ගියා. අද නම් තියෙන තැනක් සොයා ගැනීමටත් බැරි තරම්. මූදෙන් එතෙර ඉන්න අපට නම් මේවා අතීතයේ දිව ගෑ රස සිහින පමණක්ම වෙලා.

අවාසනාවකට වාගේ රට තුල ජිවත් වෙන අපේ අම්මලා සුපර් මාකට් එකෙන් බ්රොකලි සොයා යන්න පුරුදු වෙලා. ගුණ පිරි අඟුණ පහසුවෙන් පෝච්චියක වවා උඩු මහලක වහල දිගේ හෝ යවන්නට හැකි ශාකයක්. මෙවන් ගුණ පිරි පලා වර්ගයක් ගෙවත්තේ වවන්නට සහ ඉඳහිට හෝ බත් පතට එක් කරන්නට අද පරපුරේ දෙනෙත් ඇරේවායි පතමින් අදට සමුගමි. නැවත හමුවන තුරු ඔබ සැමට ආයු බෝ වේවා!

රේණුකා විමලරත්න : ලන්ඩනයේ සිට
චායාරූප අන්තර්ජාලයෙන් (නිර්නාමික) සහ බණ්ඩාර වරකාගොඩ මහතා. (සියලු හිමිකම් ශිල්පින් සතුයි)




4 comments:

  1. තිත්ත අගුන පොල්සම්බල් එක්ක කලවම් කරාම හරිම් රසයි

    ReplyDelete
  2. කිරි අඟුණ මම ආසම සම්බෝලයක්. පොඩි කාලේ කෑවට පස්සේ තාම කෑවෙ නැහැ. හැබැයි මේ ඊයෙ පෙරේදා මම දසැක්කා ගරාජ් එකක් ළඟ සරුවට වැලක් වැවිලා තියනවා. අනේ කොහොම හරි වැල් කෑල්ලක් ගෙනල්ලා පැල කරගන්න ඕනේ.

    ReplyDelete
  3. අඟුණ කොළ එකම අතට පමණක් කැපීමේන් තිත්ත අඩු කරගත හැක. කොල කපනවිට පොඩිවීම නිසා තමයි තිත්ත එන්නෙ.එහෙම නොවෙන්නයි එකම අතකට විතරක් කපන්න කියන්නෙ.

    ස්තූතියි තොරතුරු වලට....+++++

    ReplyDelete
  4. ලංකාවේ කොහෙද දැනට තියෙන්නේ?

    ReplyDelete