Saturday 25 June 2016

අත්තම්මාගේ අත් බෙහෙත් 9: තලන බටු/එළබටු සහ තිබ්බටු

අත්තම්මාගේ අත් බෙහෙත් 9

තලන බටු/එළබටු සහ තිබ්බටු


නිවාඩු කාලයේදී රංචු ගැසී දවස පුරා ගෙවත්තේ වෙල් නියරේ සෙල්ලම් කල අපට බඩගින්නට කන්නට අදවාගේ සීනි -ඩයි දැමු විසිතුරු කෑම තිබුනේ නැත. අත්තම්මා ඒවාට කිව්වේ කඩචෝරු කියායි. වෙනුවට අපට කන්නට වත්ත පිටියේ ඕනෑ තරම් පලතුරු ගඩා ගෙඩි තිබුණි. ඊටත් වඩා අප ආසා කලේ එවැනි දවසක හවසට අත්තම්මා අප වෙනුවෙන් හදන රසවත් කැවිලි වලටයි. ඉතිරි වූ බත් අව්වේ දමා වියලා සකස් කල අග්ගලා, සිනි උණු කර දැමු වියලි දෙල් බැදුම, ගෙදරදී බැද ගත් පොරි මල්, කොස් ඇට ලඩු හෝ තැම්බූ වැලි කොස් ඇට වැනි යමක් අප වෙනුවෙන් සැදීම ඇය මහත් සතුටින් කලාය.
 











රංචුවේ සිටි අපෙන් කෙනෙකුට යන්තම්වත් සෙම්ප්රතිශ්යාවක් තිබුනොත් කොස් ඇට ලඩු, වැලි කොස් ඇට සාමාජිකයාට ලැබෙන්නේ නැත. අත්තම්මා එසේ කරන්නේ අප කෙරෙහි ඇති අමනාපයකින් නොව කුඩා අපට කොස් ඇට නිසා රාත්රී කාලයේදී ඇතිවිය හැකි කැස්ස වලක්වා ගැනීමටයි. කැස්සට කොස් ඇට නොදුන් ඇය පවුලේ සාමාජිකයකුට කැස්ස ඇතිවූ විට එය පහසු කිරීමටත්, ඉක්මන් සුව පිණිසත් බොහෝ අත් බෙහෙත් දැන සිටියාය. අද මා ඔබට කියන්නට යන්නේ අත්තම්මා කැස්ස සුව කිරීමට රසවත් ලෙස යොදාගත් බටු පවුලේ කුඩා සාමාජිකයන් දෙදෙනා වන තැලුම් බටු සහ තිබ්බටු ගැනයි.

සෙම්ප්රතිශ්යාවත් සමඟ බොහෝ දුරට අත්වැල් බැඳගෙන එන කැස්සට අත්තම්මාගෙන් උගත් තලනබටු ව්යංජනය අදටත් මටනම් ප්රත්යක්ෂ බෙහෙතක්. තලන බුටු සහ තිබ්බටු යන මේ දෙවර්ගයම ආයුර්වේද ප්රතිකාර සඳහා බහුලව භාවිතා කරනවා.

 ඒකාලයේ මේ දෙවර්ගයම වත්ත පහලත්, ලඳු කැලෑ වලත් ඉබේම වැවුණු නිසා කිසි දින මුදල් ගෙවා කඩ පල වලින් ගන්නට අපට අවශ්ය උනේ නැහැ. හිස් අතින් වත්ත පහලට හෝ වෙල අයිනට යන අත්තම්මා පැයක් දෙකක් කා දමා ආපහු එන්නේ අතක් බරට දෑ අරගෙනයි. ගෙන එන දේ අතර කුඩා අපට කන්නට වෙරළු හෝ දන් අහුරක්, උගුල්ලා ගත් අල වර්ගයක්, කැන්ද කොලයක එතුණු කුරුළු කොච්චි දෙමිටක්, තෙබු, මුකුනුවන්නා වැනි පලා වර්ගයක්, සමග කෙසෙල් කොලයක එතුණු තිබ්බටු හෝ එළබටු දෙවේලකට ඇතිවන තරමට නොතිබෙන්නේ කලාතුරකින්.





 ඇතැම් දවසක ඇය සමගම පලදාව ඉවර වී මිය යන්නට ආසන්න තලන බටු/ තිබ්බටු පඳුරක් මුලත් සමග උදුරා ගෙන එන්නට පුරුදු වී සිටියා. මේ ගස හොදින් සෝදා ගත් ඇය මුල්, මල්, අතු ඉති සියල්ල අඟල් තුන හතරේ කැබලි වලට කපා අව්වේ දමා වේලා කුස්සියේ කොහේ හෝ සඟවා තබනවා. පාසැල් වල සමේ රෝග පැතිර යන ග්රීෂ්ම කාල වලදී මේ වියලු බටු මුල් පොතු වෙනිවැල් ගැටයක් සමග තම්බා ඇග සේදවිමෙන් සමේ කැසීම් ගතිය අඩු වී තුවාල ඉක්මනින් සුව වෙනවා. එපමණක් නොවෙයි ඇදුම රෝගීන්ට කොත්තමල්ලි සමග තම්බා දීමෙන් ස්වසන පහසුව ඇති කරන්නත් අත්තම්මා මේ වියලි බටු ගස් කොටස් භාවිතා කළා.


  
අද කාලයේ කුඩා දරුවන්ට නම් කවා ගන්නට බොහෝ අපහසු තලන බටු අපේ කාලයේ නම් අපිට ඉතා රසවත්කෑමක්. එයට හේතුව එදා අපේ අම්මලා සහ අත්තම්මලා මේ ව්යංජන පිළියෙළ කරගත් රසවත් ක්රමවේධ වන්නට පුළුවන්. තෙලේ බැදගත් හාල් මැස්සන් අහුරක්, රතු ලුණු සහ මිටිකිරි ස්වල්පයක් දමා හිදෙන්නට පිසින තැලුම්බටු මාළුව රජ ගෙදරට යවන්නටත් බැරි නැහැ. කජු කාලයට ආත්තම්මා හාල් මැස්සන් වෙනුවට කිරිකජු මිටක් එක්කර මේ වයන්ජනයට වෙනත් රසයක් ලබා දෙනවා. නිවසේ උදවියට සෙම් අමාරු නැති කාලයට කොස් ඇට දමා පිසීමෙන් රසේ වෙනසක් වාගේම කොස් ඇට වල ඇති අගුනය මකා ගන්නටත් පුළුවන්.
 තිබ්බටු වල රස මීට නොදෙවෙනි නැහැ. මිරිස්ගලේ යන්තම් තලාගත් තිබ්බටු කුනිස්සන් සමග පොල් දමා මලවා ගත්තත්, උම්බලකඩ හෝ හාල් මැස්සන් දමා බැදුමට සකස් කර ගත්තත් බඩ පැලෙනකම් බත් ගිලින්නට වෙන කිසිවක්ම අවශ්ය නැහැ.
මේ බටු දෙවර්ගයේම ඇති පෝෂ්ය පදාර්ථ සහ ඖෂධිය ගුණ බොහෝ දුරට එක සමානයි . හරියටම කිව්වොත් සමාන ගති පැවතුම් ඇති අයියා මලෝ දෙන්නෙක් වගේ. බට්ටේ ඇති පෝෂ්ය පදාර්ථ අතර තන්තු සහ කාබෝහයිඩ්රේට් වලට පසුව වැඩිපුරම ඇත්තේ ප්රෝටීන්. බටු වල කැල්සියම් සහ පොස්පරස් දෙවර්ගයත් බහුලව තිබෙනවා. අන්තර්ජාතික පිළිකා පර්යේෂක ආයතනයට අනුව මේ බටු දෙවර්ගයේම ඇති විශේෂිත ප්රති ඔක්සිකරණ (anti-oxidant) මගින් පෙනහළු පිළිකා වලකා ගැනීමටත්, ඇදුම රෝගය සුව කර ගන්නටත් පුළුවන්

මෙහි ඇති තන්තු බහුල කම නිසා මල බද්ධය දුරු වනවා. එපමණක් නොවේ බටු වල ඇත්තේ වෙනස්ම ප්රතිධුලක (detoxication)හැකියාවක්. එමගින් ආහාර මාර්ගයේ ඇතිධුලක ඉවත් කිරීමටත්, අජිර්නයකදී උදර වේදනා නැසීමටත්, උදරයේ ඇති වාතය ඉවත් කිරීමටත්, උදරයේ ඇතිවන පරපෝෂිත ආසාධන (පණු අමාරු/ parasite infestation) සුව කිරීමටත් හැකියාව තිබෙනවා.

 

 එසේම මේ විශේෂිත දුලකහරණ ශක්තියෙන් කනේ ඇති ධුලක ඉවත් කර ශ්රවනය වර්ධනය කරන අතරම, වයසට යාමේදී කන් ඇසීම වැඩි කාලයක් රඳවා ගන්නටත් පුළුවන්. අපේ ආදී මුතුන් මිත්තෝ මේ බටු ශාකයේ කොටස් උපයෝගී කරගෙන ක්ෂය රෝගය සුව කර ඇත්තේ බටහිර ප්රතිකාර සොයා ගැනීමට බොහෝ පෙර බට්ටේ තිබුක්ෂුධ්රජිවී නාශක (anti-microbial effect) හැකියාව යොදවා ගනිමින්.


  වාගේම තිබ්බටු සහ තලන බටු වල වේදනා නාශක ගුණත් අඩංගුයි. මේවායේ ඇති අක්මාවේ සෞක්යයට හිතකර බාවය දැන සිට ඇති අපේ පැරැන්නෝ සෙන්ගමාලයට (hepatitis)ප්රතිකාර කිරීමට බටු ගසේ සියලුම කොටස් භාවිතා කර තිබෙනවා. රුධිරගත සිනි ප්රමාණය අඩු කිරීමටත් මේ බටු දෙවර්ගයටම අසිරිමත් හැකියාවක් තිබෙනවා .
කලින් වතාවකදීත් මා සඳහන් කළා මෙන් අපේ අත්තම්මාට මිහිරට කවි ගායනා කරන්නට පුළුවන්. ඇය කුඩා දරුවන් නලවන විට ගායනා කරන කවි ඛණ්ඩයක් මේ වෙලාවේ මගේ මතකයට නැගෙනවා




''කක්කයි කක්කයි කක්කුටු හොද්දයි -තිත්තයි තිත්තයි තිබ්බටු හොද්දයි
අක්කා දීලා හත් අවුරුද්දයි -මම නම් කන්නේ එක බත් හැන්දයි ''

 බටු වර්ග සහ අපේ ජන සමාජය අතර තිබී ඇති අපුර්ව බැඳීම එදා කළා කරුවකු කවියට යා කර ඇති අයුරුයි මා මෙයින් දකින්නේ. කක්කුටු හොද්ද නමින් හදුන්වන කකුළුවන් ව්යංජනය බොහෝ දෙනෙකුට ආසාත්මිකතා ඇති කරන හිස්ටමින් අධික ආහාරයක්. කක්කුටු මාළුවා තිබ්බටු සමග එකට යොදා ගැනීමෙන් එහි ඇති විෂ නැසීමේ ගුණය අත්තම්මා නොදැන සිටියා යයි කියන්නට මීටත් වඩා උදාහරණ කුමටද? ආත්තම්මාගේ රසපිරි අත් බෙහෙතකින් යලි හමුවන තුරු අදට සමු ගනිමි . ඔබ සැමට ආයු බෝ වේවා!


රේණුකා විමලරත්න : ලන්ඩනයේ සිට
 චායාරූප අන්තර්ජාලයෙන් (නම නොදත් ශිල්පීන්ට සියලු ගෞරවය පුද කෙරේ)














2 comments:

  1. ඉතා අගනා ලිපියක්.ලේඛිකාවට සහ එය ශෙයාර් කල ජගනිට බෙහෙවින් තුති! තිබ්බටු මගේ ප්‍රියතම එලවලුවකි.මා විසින්ම ගහක් වවාගෙන ඇත.තිබ්බටු ඇබුල නමින් මගේ අම්මා මෙහෙම හදනව.එනම් තිබ්බටු/ කොච්චි/ රත්ලූනු/ රම්පේ කරපින්ච/ කහ ආදී තුන පහ සියල්ල දමා වතුර ටිකකින්තම්බ හොදට පොඩිකර එයට උකු පොල්කිරි ඩම තරමක් හොදි ගතියට උයනව.මාර රසයි.

    ReplyDelete
  2. ඉතා වැදගත් ලිපියක්

    ReplyDelete