Friday, 24 June 2016

අත්තම්මාගේ අත් බෙහෙත් 6 : කොස්




              අත්තම්මාගේ අත් බෙහෙත් 6

                                   කොස්

අලුත් ඉපදුනු බිළිඳෙකු සිටින නිවසකට ගොස් සුව දුක් විමසුවහොත් අද ඔබට නිරන්තරයෙන්ම අසන්නට ලැබෙන්නේ කුමක්ද? 'බබා නිදා ගන්නේ නැහැ' 'බබා අඩනවා ' අම්මට කිරි මදි' 'පොඩි එකා පිටි කිරි බොන්න කැමති නැහැ' වැනි හිත සැලෙන පිළිතුරක් නොවෙයිද? මෙයට හේතුව කුමක්දැයි ඔබ මොහොතක් සිතුවාද? වහ වහා කඩයට දුව ගොස් 'ගොන් කිරි' පැකට් එකක් අහස උසට මිලක් ගෙවා ගෙනවිත් බිලට හරියන්නට තවත් පැය දෙක තුනක් වේලාවෙන් පසුව අතිකාල වැඩ කර මහ රෑ වී ගෙදර එන, දරුවා සමග ගෙවන්නට කාලයක් නැති පියවරුන් කෙතරම් නම් අද අපේ රටේ සිටීද?




 අසුව දශකයට පෙර නම් කලාතුරකින් වත් මෙබදු දෙයක් අපට ඇසුනේ නැති තරම්. අලුත දරුවකු ප්රසුත කල මවකට නොකඩවා කිරි ගංගාවක් එරවෙන බොහෝ අත් බෙහෙත් අත්තම්මලා දැන සිටි අයුරු සැබවින්ම ආශ්චර්යයක් නොවේද? අද මා සාකච්චා කරන්නේ ගස යටින් ගියත් කිරි එරවෙන 'කොස්' පිළිබඳවයි.


කොස් ගස සහ අපේ ජන ජීවිතය, සංස්කෘතිය අතර ඇති සම්බන්දය ගැන කතා කිරීමට මේ කුඩා ලිපිය යොදා ගත්තොත් එය මා කොස් ගසට කරන මහාම අපහාසයකි. කොස් ගසේ සහ එහි පලයේ ඇති ප්රයෝජන කතා කිරීමටපොත් සියයක් වත් ලිවිය යුතුයි යන්නයි මගේ විශ්වාශයයි . නොකියාම නොහැකි අත්තම්මා නිතරෝම කියන එක දෙයක් පමණක් යන්තමින් මතක් කිරීමට කැමැත්තෙමි. අත්තම්මා පවසන ලෙසට අද පවතින සිංහල ජාතිය ඉතිරිව ඇත්තේ 'කොස් ගසට' පින් සිදු වන්නය. ඉංග්රීසින් ලංකාව යටත් විජිතයක් කරගෙන සිටි කාලයේ එක වරක් ඇතිවූ මහා සටනකදී, සිංහලයා සහමුලින්ම නිරාහාරව තබා වඳ කිරීම පිණිස සියලු වැව් විනාශ කර කුඹුරු ගිනිතබා තිබේ. මා විශ්වාශ කරන ලෙස මේ විජය බා කොල්ලයේ කියවෙන කාල වකවානුවයි. කාලයේ සිහලුන් තුන් වේලම කොසින් බඩ පුරවාගෙන නැවත වරක් සංවිධානය වුනාලු.


එදා අද වාගේ කොස් බැග් එකක් වෙළඳ සැලෙන් ගෙන යාමේ පුරුද්දක් අපි දැක තිබුනේ නැත. හැම ගෙවත්තකම කොස් ගස් කීපයක් තිබුණු අතර අවාරයේ පල දරන ගස් කීපයක් හැම ගමකම තිබුණ හෙයින් වසර පුරාම කොස් ,වරකා, පොලොස් කෑමට අපිට පින තිබුණි. අද වාගේ මාර්කට් එකේ මුදලාලි මගින් පනා පතුරේ සිට සියලුම ගෙඩි ට්රැක්ටර් එකක දමා වෙළඳ පොලට යවන්නට සිරිතක් එදා නොතිබුණි. හොදටම පැසුණු ගෙඩිය පමණක් තෝරා ගසට වැඳ කඩා ගන්නා කොස්ගෙඩිය ඉරු කීපයකට ඉරා අසල වැසියන් සියලුම දෙනා අතරේ බෙදා ගැනීමට අපි පුරුදු වී සිටියෙමු.

රස දිව පිනවන ලෙස විවිධාකාරයෙන් කොස් සකස් කරන්නට අත්තම්මාට තිබුනේ පුදුමාකාර හැකියාවකි. තැම්බූ කොස් පොල් සමග කුඹුරේ, හේනේ වෙහෙස වී වැඩ කරන්නන්ට ශක්තිය සපයන, දිව පිනවන ප්රධාන ආහාරයකි. මද ගින්නේ පැය ගනනාවක් තෙල් පැදෙන තුරු පිස ගන්නා පොළොස් මාළුව විහාරයේ දාන ශාලාවේද, කමත් බතේද, වැදු මවකගේ බත් පතේද වැරදුනේ නැත. බාගෙට පැසුණු කොස් ගෙඩි බක් බහ සුළගට බිම වැටුණු විට අවසන් වුයේ හොදින් අබ සුදු ළුණු පොල් අඹරා පිළියෙළ වනඅවසන් වුයේ හොදින් අබ සුදු ළුණු පොල් අඹරා පිළියෙළ වන පොලොස් මැල්ලුමකිනි.


කළු පොල් ඇඹරු කොස් ඇට ව්යංජනය සමග බත් කන්නට මාළු මස් අවශ්ය වූ බවක් මතකයේ කොහේ වත් නැත. වැල වරකා ඉතා රසවත් අතුරු පස සපයද්දී, වාරයේ වැඩිපුර සැදුනු කොස්, වරකා අව්වේ වේලි, වැසි කාලයේදී තෙලේ බැදී අපට රසවත් කැවිල්ලක් තැනුනි. කුස්සිය මුල්ලේ වැලි ගොඩ යට වැළලුනු කොස් ඇට තම්බා රණවරා කොළ කීපයක් සමග මිශ්ර කිරීමෙන් සාදා ගත් දිවය රස ඇති අතුරු කෑම නැවත වරක් රස බැලීමට හැකි වීම සිහිනයක්ම පමණි.අත්තම්මා කොස් වලින් මැවූ රස ආකරයෙන් මේ ඉතා ස්වල්පයක් පමණි.

කොස් වල තිබු විද්යාත්මක ගුණ ජිවිත අත්දැකීමෙන් දැනසිටි අත්තම්මා එහි ගුණ වලට සරිලන සේ දිනපතා ජීවිතයේදී එය මනා ලෙස හසුරුවන්නට පපුරුදු වී සිටියා. මව් වරුන්ට කිරි එරවිමට ඇති විස්මිත හැකියාව නිසා දරුවකු ප්රසුත කිරීමට පෙරදීත්, ප්රසුතියෙන් පසුත් මවකගේ ආහාරයට නිතරම් කොස් පොලොස් එකතු උනා

ප්රධාන වශයෙන් ඇත්තේ කබෝහයිඩ්රේට් ලෙස බොහෝ සිතා සිටියත් එහි ඊට අමතරව සැලකිය යුතු වශයෙන් ශාකමය ප්රෝටීන්, අසන්ත්ර්රුප්ත මේධ, විටමින් සහ ඛනිජ ලවණ අඩංගු වෙනවා. මේ නිසා වෙහෙස මහන්සි වී වැඩ කරන අයෙකුට ශරීර ශක්තියට අමතරව ශරීරයේ පටක වර්දනයට සහ පැවැත්මට අවශ්ය අනෙකුත් පෝෂක පදාර්තත් තම්බා ගත කොස් පිගානක් ආහාරයට් ගැනීමෙන් පහසුවෙන්ම ලබා ගන්න පුළුවන්.










මිට අමතරව කොස් ධුලකහරණ (ඇන්ටි ඔක්සිඩන්ට්) වලින් බොහෝ පොහොසත් එළවළුවක්. ශරීරයේ එකතුවන විෂ ධුලක වායු බවට හරවා ශරීරයෙන් ඉවත් කර හැරිම මගින් තරුණ බව රදවා ගැනීමටත්, පිළිකා වැනි රෝග තත්ත්ව වලින් මිදීමටත්, මානසික ආතතිය නැති කර ගැනීමටත්, ශරීරයේ රෝග වලට ඔරොත්තු දීමේ ප්රතිශක්තියත් ලැබෙනවා.

කොස් වල ඇති ලවන බහුල බව නිසා දහදිය දැමීමේදී ශරීරයට ඇති විය හැකි විජලනය වැළකෙන අතර රුදිර සංසරණය ක්රමවත්ව පවත්වා ගැනීමට උපකාරී වෙනවා. එමෙන්ම මෙහි ඇති විශේෂිත වූ 'සුමට තන්තු ' (සොෆ්ට් ෆයිබර්) ගුණය නිසා දිරවීමේ පහසුව ඇති කර ආහාර මාර්ගය පිරිසිදු කිරීමෙන් අන්තර වල සහ ගුද මාර්ගයේ පිළිකා තත්ත්ව වැලකෙනවා. ඉදුණු වැල /වරකා වල 'විටමින් ' බහුල වශයෙන් ඇති අතර එමගින් ඇස් වල සෞඛ්යය මනා තත්වයෙන් පවත්වා ගත හැකියි. කැල්සියම් බහුල කොස් අහාරයට ගැනීමෙන් අස්ථි ශක්තිමත් වන අතරම කොස් වලට සමේ තෙතමනය පවත්වා ගැනීමේ අපුරු හැකියාවකුත් තිබෙනවා.














අපේ අත්තම්මා කොස් වල ඇති ගුණ පමණක් නොවෙයි අගුනත් හොඳින් දැන සිටියා. පැසුණු කොස් වලින් වැඩිවන ශාරීරික වාතය දැන සිටි ඇය කිරි කොස් මාළුවට නොවරදවා සුදුලුනු අහුරක් සහ ගම්මිරිස් ඇට කීපයක් එකතු කලේ මේ වාත ගතිය අඩු කිරීමටයි. කොස් තම්බන විටදීත් ඇය වෙනුවෙන් සාදන පොල් සම්බෝලයට සුදුලුනු බික් කීපයක් එක කළා. ශරීර වාතය වැඩි වූ විට එය සුවබර නින්දකට බාධා කරන හෙයින් රාත්රී කාලයේදී කොස් ආහාරයට එකතු කිරීමෙනුත් වැලක්වුවා. එපමණක් නොවෙයි වැඩිපුර වෙහෙස නොවෙන අයට කොස් නිසා ස්ථුල තාවය ඇතිවිය හැකි බවත් අසනීපයෙන් පසු වන්නන්ටත් එය දිරවා ගැනීම අපහසු නිසාත් පවුලේ එවන් සාමාජිකයින්ට කොස් දීමෙන් වැළකීමට හෝ අඩුවෙන් දීමට ඇය ක්රියා කලේ ඇගේ තිබු හසල විද්යාත්මක දැනුම නිසා නොවේ යැයි තර්ක කල හැක්කේ කාටද?

'බත් ගස' යන නමින් ශත වර්ෂ ගණනාවක් පුද ලද මේ අගනා ශාකයට හැකිනම් ඔබේ ගෙවත්තෙත් ඉඩක් ලබා දෙනමෙන් ඉල්ලමින් අදට නවතිමි. නැවත හමුවන තුරු ඔබ සැමට ආයු බෝ වේවා!



රේණුකා විමලරත්න : ලන්ඩනයේ සිට

චායාරූප: අන්තර්ජාලයෙන් (නම නොදත් ශිල්පියාට සියලු ගෞරව පුද කරමි)











4 comments:

  1. දරුවෙක් ලැබෙන්න හිටි අම්ම කෙනෙක්ට දරුවා බිහිවෙන්නෙ නැතුව අමාරු වෙලා ඉද්දි , වෙදමහත්තයව එක්කන් ගියාලු ලෙඩාව බලන්න . වෙදමහත්තය වටපිට බලල , කොස්ගහේ ගෙඩි තියෙනව දැකල , එයින් ගෙඩියක් කඩල තම්බල රෝගියාට කන්න දෙන්න කීවලු . කොස් කාල සුලු වෙලාවක් යද්දි දරුවා බිහිඋනාලු .
    පිළිකා වලට ඔසුවක් ලෙස පොලොස් කැඳ යොදාගන්නවලු.කොස් කොල තම්බා බීමෙන් සිරුරේ සීනි පාලනය වෙනවලු . මිනිස්සු විදේශ වලින් ගෙන්වන ,විසිතුරු ගස් හිටවනවනව වෙනුවට කොස් පැලයක් හිටවනව නම් මොනතරම් වටිනවද.

    නිතර ගෙඩි නොකඩන කොස් ගහක් මම නිරීක්ශනය කලා. එහි ඉදුනු ගෙඩි , ලේන්නු ,දඬු ලේන්නු , නොයෙක් කුරුල්ලො , වඳුරො , රිලව් වගෙ සත්තු ආහාරටය ගන්නව.එයින් බිමට වැටෙන ඇට සහ මදුලු කන්න තවත් සත්තු රාශියක් එනවා .මීයො,වල්මීයො,ඉත්තෑවො , වල් ඌරො එ අතර ඉන්නව.අන්තිමෙ ඉතිරිවෙන කොටස් , කුඩා කෘමීන් සහ පනුවන්ගෙ ආහාරය වෙනව . කොස් ගසක් සිටුවීම ලොකු පුන්‍ය්කර්මයක් කියලයි මම හිතන්නෙ.මේ වටිනා ලිපියට බොහොම ස්තූතියි රේණුකා මහත්මියට.

    ReplyDelete
    Replies
    1. ඇත්ත අපේ මිනිස්සුන්ට ඕක තේරෙන්නේ නෑ

      Delete
  2. කොස් ගස වෙනුවෙන් හඩක් නැගූ ආතර් වී දියෙස් අපේ කොස් මාමාත් ගෞරවයෙන් සිහිපත් කළ යුතුයි.

    ReplyDelete