Friday, 24 June 2016

අත්තම්මාගේ අත් බෙහෙත් 4 : කතුරු මුරුංගා


           අත්තම්මාගේ අත් බෙහෙත් 4

                         කතුරු මුරුංගා

සමකයට ආසන්න අපේ රටේ පවතින්නේ උෂ්ණ දේශගුණයක්. දේශගුනයේ පවතින උෂ්ණාධික කම තව තවත් ශරීරයට වැඩියෙන් දනවන, එනමුදු දිව පිනවන ආහාර රටාවකට අපේ අත්තම්මලා පුරුදු වී සිටියා. උදාහරණයකට ගතහොත් බලමාලු, දෙල්, මුරුංගා, ඉස්සෝ, දැල්ලෝ වගේ දේවල් ආහාරයට ගන්නට එදා ඔවුන් අද සේ පැකිලුනේ නැහැ.
ඊට හේතුව එම අහාර වල උෂ්ණාධික බව මකා දැමිය හැකි, එමෙන්ම අහාර වල රසය තවත් වැඩි කරවන ආයුර්වේද ගුණ ඇති එළවලු හෝ පලා වර්ග ආහාරයට එක් කිරීමෙන් එම ආහාර වල උෂ්ණාධික බව නසා දමා ඒවායේ තිබු පෝෂණ ගුණය පමණක් ශරීරයට ඇතුලුකිරිමට ඔවුන්ට තිබු මහගු හැකියාවයි. උෂ්ණ යයි කියවෙන ආහාර වර්ගයක් මුළුතැන් ගෙයි පිසෙන දවසක නොවරදවා බත් පිගානේ දකින්නට තිබු 'කතුරුමුරුන්ගා' ව්යංජනය ගැනයි මේ කියන්නට යන්නේ.





 කතුරු මුරුංගා තරම් වේගයෙන් මුඛ තුවාල සුව කරන ඖෂධයක් මා නම් මේ වනතුරු දැක නැහැ. දිවේ, විදුරු මසේ හෝ තල්ලේ උෂ්ණාධික බව නිසා ඇතිවන කුඩා ගෙඩි හෝ තුවාල ඉතාමත් වේදනාකාරියි. අත්තම්මගේ මේ රෝගයට ඇති පිළියම වහාම කතුරු මුරුංගා කොළ අහුරක් ඊළඟ ආහාරයට සම්බෝලයක්, මැල්ලුමක්, කිරි හොද්දක් හෝ බැදුමක් ලෙස එක් කිරිමයි.


කුමන විධියට පිළියෙළ කලත් කතුරුමුරුන්ගා වල ඇත්තේ ඉතා අපුරු රසයකි. පොල් අහුරක්, රතු ලුණු, උම්බලකඩ සහ දෙහි දමා ගන්නා සම්බෝලය මගේ අත් දැකීමට අනුව ලිපේ තබා උයා ගන්නා ව්යංජන ආකාරයට වඩා ඉතා ඉක්මන් ප්රතිපල ගෙන දෙනවා. හාල් මැස්සන් කීපදෙනෙකුද එක්කර සාදා ගන්න බැදුම හෝ කිරි හොද්ද පොඩිවුන්ට කවා ගන්නට පහසු වන්නේ පිසූ පසු එහි ඇති 'සුන්දර තිත්ත' යම් පමණකින් අඩු වන නිසාවෙනි.
 
කතුරු මුරුංගා දකුණු ආසියාවේ බොහෝ රටවල සහ ඕස්ට්රේලියාවේ ඇතැම් පලාත්වල වැවෙන ශාකයක්. කැල්සියම් සහ යකඩ බහුල ශාක පත්ර අස්ථි ශක්තිමත් කිරීමටත්, නිරක්තිය අඩු කිරීමටත් උදව් වෙනවා. පිළියෙළ කිරීමේදී නිවුණු පසු දෙහි යුෂ එකතු කිරීමෙන් මේ කොළ වල ඇති යකඩ ශරීරයට අවශෝෂ කර ගැනීම පහසු වෙනවා.
 කතුරු මුරුංග වල ඇති විෂනැසීමේ හැකියාව (ඇන්ටි හිස්ටමින්) නිසා තමයි අත්තම්මා හිස්ටමින් බහුල දෙල්, බල මාළු වැනි දේ පිළියෙළ කරන විට අහාරය සම බර කර ගැනීමට කතුරු මුරුංගා එක් කලේ. කතුරු මුරුංගා ශරීරය සිසිල් කරවනවා පමණක් නොවෙයි, වැඩිපුර ඇති දියර ශරීරයෙන් ඉවත් කරන (ඩයියුරෙටික්) අතරම මුත්රා අසාධන අඩු කිරමට සමත් වෙනවා. මල බද්ධයටත් මෙය කදිම පිලියමක්. සමේ තෙතමනය පවත්වා සම වියලීම නිසා හෝ රුධිර විෂ වීමෙන් සෑදෙන එක්සිමා තත්ත්ව වලක්වා ගැනීමටත්, එම රෝග සැදුනු අයට ඉක්මනින් සුවවීම සහ කැසීම අඩු කර ගැනීමටත් කතුරු මුරුංගා උදව් කර ගත හැකියි.













කතුරුමුරුංගා මල් කාලයට ගස එකවරම සුදු පලසකින් වැසි ගියා සේ මල් හට ගන්නවා. මේ මල් තවත් රසවත් ව්යංජනයක් ලෙස ආත්තම්මා සකස් කර ගත් හැටි මට අදටත් මතකයි. එහි ඇති දිරවීමේ පහසුව නිසා අවුරුද්දට අඩු අලුතෙන් ඝන ආහාර ගන්නා ළදරුවන්ට රතුළුණු සහ පොල්කිරි ස්වල්පයක් එක්කර මිරිස් නොදමා පිස දීම අපි කුඩා කාලේ අපේ අම්මලා සිදුකල දෙයක්. කතුරුමුරුංග මල් උම්බලකඩ සමග තෙල් දැමීමෙන් රජ බොජුනකටත් වඩා රසවත් බත් කන්දක් ගිල දැමිය හැකි ව්යංජනයක් සාදා ගත හැකියි.



 කතුරු මුරුංගා මල් වලත් බොහෝ ආයුර්වේද ගුණ තිබෙනවා. බැක්ටීරියා සහ වෛරස වලට විරුද්ධ ප්රතිජීවක සහිත කතුරු මුරුංගා මල් ආහාරයට ගැනීමෙන් හිසේ රුදාව, පිනසය, කැස්ස සහ උන රෝග වලින් වැලකි සිටීමට හෝ වැළඳුනු පසු පහසුව ලබා ගැනීමටත් හැකියාව ලැබෙනවා.





අත්තම්මා නමැති නිවසේ සිටි වේද හාමිනේගේ 'රස පිරි -දිව ඔසු' අද පරම්පරාවට අමතක වීගෙන යාම ගැන හදවතට දැනෙන්නේ ඉතාම සංවේගයක්. කොත්තු සහ ෆ්රයිඩ් රයිස් සංස්කෘතියේ අතර මන් වී දියවැඩියාව කරා කෙමෙන් ලං වෙන නුතන පරපුරේ එක අයෙක් හෝ මේ ලිපි පෙලින් ප්රයෝජනයක් ගනිවායි පතමින් අදට නවතිමි. නැවත හමුවන තුරු ඔබ සැමට ආයු බෝ වේවා.


රේණුකා විමලරත්න : ලන්ඩනයේ සිට

චායාරූප: අන්තර්ජාලයෙන් (නම නොදත් ශිල්පියාට සියලු ගෞරව පුද කරමි)









2 comments:

  1. කතුරුමුරුංගා වවන්න අමාරුත් නැහැ. පොඩි කාලේ පණුවන්ගෙන බේරගත්තොත් ගස් හැදෙනවා. කොලයි මලුයි ඔක්කොම කන්නත් පුළුවන්.. යකඩ ගොඩ..මේ ලිපියෙන් තවත් බොහෝ ගුණ දැනගත්තා

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete