Friday, 24 June 2016

අත්තම්මාගේ අත් බෙහෙත් 5 : දියලබු

                    අත්තම්මාගේ අත් බෙහෙත්  5

                               දියලබු


අද කාලයේ කුඩා දරුවන්ට දුව පැන ඇවිදින්නට කොහෙවත් ඉඩක් නැත. ඉඩක් ලැබුනත් ඔවුන්ට දුව පනින්නට දෙමව්පියන්ගෙන් අවසරයක් නැත. 'ඔය එහෙ මෙහෙ දුවල අත පයක් කඩා ගත්තොතින් අපිට ඉස්පිරිතාලේ යන්න වෙලාවක් නැහැ' යනු දෙමව්පියන්ගේ නිදහසට කාරණයයි. අසුව දශකයට එහා අපි කුඩාවුන් සන්ධියේදී නම් වැටි අත පය කඩා ගත්තාට අපේ දෙමව්පියන්ට එතරම් ලොකුවට එය දැනුනේ නැත්තේ ඔවුන් අප ඔසවා ගෙන ඉස්පිරිතාල වලට දුව නොගිය නිසා වන්නට ඇති.

එකල හැම ගමකම වාගේ කැඩුම් බිඳුම් වෙද මහතෙක් අනිවාර්යයෙන් සිටියා. මේ වෙද මහත්වරුන් මුදලක් ගත් බවට එතරම් මතකයක් නැතත් කාගේ ගෙවත්තක හෝ හැදෙන පළතුරක් එළවළුවක් නොවරදවාම ඔහුගේ නිවසට යැවුණු බව අදටත් මට මතකයි. අපේ ගමේ හිටි 'ජයකොඩි' වෙද මහතා ජනප්රිය නිලි ගීතා කාන්ති මහත්මියගේ පියතුමායි. එතුමාට ඕනෑම අස්ථි බිඳුමක් කෙටි කලකින් සුව කිරීමේ මනා දැනුමක් තිබුනා.

වෙද මහතාගෙන් අසා ගන්නා පත්තුවටත්, තෙලටත් වඩා ඉක්මනින් බිඳුණු අස්ථින් සුව කිරීමේ මහා මෙහෙවර ඊළඟට පැවරුනේ නිවසේ කාන්තා පක්ෂයටයි. මෙවන් අවස්ථාවකදී අත්තම්මාගේ රස ඔසු පැන් , තම්බුම් හොද්ද සතියකට දෙතුන් වරක් වත් කුස්සියේ ඉදෙනවා. නමුත් ඊටත් වඩා මුල් තැන ගන්නා රසවත් ආහාරයක් වන 'දිය ලබු මාළුව' ගැනයි     මේ විස්තරය ලියවෙන්නේ.












බිඳුණු අස්ථින් ඉක්මණින් නැවත සුව කිරීමේ විශ්ව කර්ම හැකියාවක් දිය ලබු වලට තියෙනවා. අස්ථි බිදුමක් ඇතිවුණු විගස අත්තම්මා මේ රසවත් ව්යංජනය නිවසේ ආහාර වේලට එකතු කරනවා. දිය ලබු පොල් අඹරා ගෙන මිටිකිරි, රතු ළුණු දමා සුදට සාදා ගත් විට ඊට ගැලපෙන කරවල බැදුමක් වැනි පිලි වර්ගයක් හා සමග බොහොම ප්රිය ජනක ලෙස පිලි ගන්වන්න පුළුවන්. වගේම පොල් දුඹුරු පාටට බැඳ සියඹලා ඉස්ම ස්වල්පයක් දමා මිරිසට පිස ආහාරයට ගන්නත් පුළුවන්


දිය ලබු යුෂ උණුසුම් දිනයක රසවත් සිසිල් පැනක් ලෙස පරිභෝජනය කරන්නත් පුළුවන්. එපමණක් නොවෙයි දිය ලබූ මදය සුරා ගෙන සිනි මිශ්ර කර දෝසි වර්ගයක් සාදා ගැනීමටත් අපේ අත්තම්මල දැන සිටියා.අපේ අසල්වැසි රටේ ඉන්දියානුවන් දියලබු සුප් ලෙසටත් විවිධාකාර අතුරුපස ලෙසටත් පිළියෙළ කර ආහාරයට කර ගන්නවා.


දහදිය නිසා සිරුරින් ඉවත් වන ලවන එසැනින් වහා ශරීරයට සපයා දීමේ හැකියාව වගේම මෙමගින් ලබා දෙන කැලරි ප්රමාණය අවම හෙයින් ස්ථුල තාවය අඩු කර ගැනීමටත් හැකි වෙනවා. සිරුර සිසිල් කර, ආහාර දිරවීමේ හැකියාව වර්ධනය කිරීමේ අගනා හැකියාවක් ඇති දිය ලබු වලින් රුධිරයේ සිනි ප්රමාණයත් අඩු කරවනවා. මීටත් අමතරවදියලබූ ප්රති දුලකයක් (ඇන්ටි ඔක්සිඩන්ට්) ලෙසත්, මල බද්ධය නැති කිරීමටත් ඉවහල් වෙනවා.
 





දියලබු මුත්රා දැවිල්ලට කියාපු බෙහෙතක්. එහි ඇති භාෂ්මික ගුණ සහ මුත්රා   වැඩි කිරීමට ඇති හැකියාව නිසා අසාධානයකදී සෑදෙන සාන්ද්රහාවය සහ ආම්ලික බව අඩුකර වේදනාව අඩු කිරීමට උපකාරී වෙනවා. ආයුර්වේදයේදී අක්මා ශයිල අලුත්වැඩියාව සඳහා වැඩිපුර භාවිතා කෙරෙන දියලබු සිංහල බෙහෙතේදී  අකලට හිසකෙස්  සුදුවීම වලක්වා ගැනීමට සහ සජලනය පවත්වා ගැනීමට ශරීරයෙන් ජලය ඉවත්වන වමනය සහ පාචනය වැනි රෝග වලදී බහුලව භාවිතා කර තිබෙනවා.


 ලෙඩ ආහාරයක් හෝ එසේ නැත්නම් රසින් අඩු එළවළුවක් ලෙසින් බොහෝ අය එතරම් වටිනාකමක් නොදෙන්නේ මා අදහන පරිදි නම් එය නිසි ලෙස පිළියෙළ කර ගැනීමට ඇති නොහැකියාවයි. අපේ අත්තම්මා පිසූ දිය ලබු මාළුව නම් ඇතිලියත් පිස දමාගෙන කන්න පුළුවන් තරමට රසවත්. සාම්ප්රධායිකව අත්තම්මාගේ ක්රමයට පිස ගත නොහැකිනම් අද කාලයේ 'රුපවාහිනී සුපවෙදිනියකගෙන්' අසාගෙන මොඩර්න් ක්රමයකට පිළියෙළ කරගෙන පරිභෝජනයට ගත්තත් මේ අගනා ඔසු එලවලුවෙන් ඔබට සෙතක්ම මිස අගුනක් සිදු නොවෙයි. තවත් මෙවැනි අත් බෙහෙතකින් හමුවන තුරු, ඔබට ආයු බෝ වේවා!
 
රේණුකා විමලරත්න : ලන්ඩනයේ සිට

චායාරූප: අන්තර්ජාලයෙන් (නම නොදත් ශිල්පියාට සියලු ගෞරව පුද කරමි)





















4 comments:

  1. හන්දි වෙදකමේදී වැරදියට සවිවූ අස්ථි බුරුල් කිරීමටත් දිය ලබු යොදා ගන්නවා. ඔස්ටියෝපොරොසිස් වැනි අස්ථි දිරායාමේ රෝග වලින් පෙලෙන අයට දියලබු අගුණයි කියලා අහලා තියෙනවා. ඒ ගැනත් කිියන්න හැකි නම් හොඳයි. වටිනා කරුනු ඇතුලත් ලිපියට බොහොම පිං.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි

      Delete
  2. වටිනා සටහනක්.. ස්තුති...!

    ReplyDelete