Tuesday 27 December 2016

සුබ නත්තලක් වේවා

එක්සත් රාජධානියේ නත්තල සැමැරෙන අයුරු




විවිධ තර්ක වාද විවාද  තරහ මරහ මැද්දේ දන්නෙම නැතිව  2016 වසර ගෙවිලා ගියා . කවුරු කවුරුත් යටියන්තොට යන දවස තවත් වසරකින් කෙටි වෙලා. මේ ගත වෙන්නේ වසර අවසානයේ නිවාඩු සමයයි..ලෝකේ ඉන්න කොයි කවුරුත් කුමක් හෝ හේතුවක් සොයාගෙන මේ දෙසතිය උත්සවකාරව සමරන්න, විවේකයක් ගන්න උත්සාහ කරනවා..ජනවාරි 2 වෙනිදා පහුවෙනකොට නැවතත් ගැල බැඳී ගවයා මෙන් සුපුරුදු ජිවන ගමන පටන් ගැනීමට නියමිත නිසා..

බොහෝ බටහිර සහ කතෝලික පසුබිමක් ඇති රටවල මේ දෙසතිය වැදගත් වන්නේ ජේසුස් වහන්සේගේ උප්පත්තිය සැමරෙන  නත්තල නිසා. මැද පෙරදිග වැනි ඉස්ලාම් රටවල් සහ චීනය ජපානය වැනි බෞද්ධ රටවල් ගෙවුණු වසර සිහි කිරීමට හෝ එළඹෙන  වසරට සෞභාග්‍යය පතමින් සතුටු වන්නට එය අවස්තාවක් කර ගන්නවා..

කිතුනු ආගම වැළඳ ගන්නට යයි බල කරමින් අපේ රටේ මිනි මැරූ එංගලන්තයේ  සුද්දන් තව දුරටත් කිතුනු ආගම අදහන්නේ නැහැ

හුදෙක්ම මේ රටේ පල්ලි වලට ඇදෙන්නේ පිටරටවලින් පැමිණි ජනතාව පමණයි. මෑතකදී මා වෙසෙන නගරයේ පල්ලියට මිතුරියක සමඟ ගොඩ වැදුණු විට දැක ගන්නට ලැබුනේ පිලිපිනු ජාතිකයින් සහ දකුණු ඉන්දියානු කතෝලික පිරිසක්  දෙවියන් යදින අයුරුයි

පාදිලිතුමා සහ තව සුදු ජාතිකයින්  දෙතුන් දෙනෙකු දකින්නට ලැබුනත් ඔවුන් මෙරට සුදු ජාතිකයින් නොවන බව පසුව දැන ගන්නට ලැබුනා. ලන්ඩනයෙන් ඈතට වන විට තත්වය මිට වඩා තරමක් යහපත් වුවත් එවන් පල්ලි වල සිටින්නේ වයසක ආත්තම්මලා සීයලා පිරිසක් පමණයි.


 ආගම පැත්තෙන් කතාව මෙසේ වුවත් උත්සවාකාරයෙන් නම් නත්තල පෙරටත් වඩා ශ්‍රී විභූතියෙන් බැබලෙන බව නොකියා නොහැකියි. එම අංශයේදී ජේසු තුමා කුණු ගොඩට හැලී ගොස් නත්තල් සීයා දේවත්වයට පත්වී ඇත

නත්තල් දිනයටවත් පල්ලියට යන්නේ සුදු ජාතිකයින්ගෙන් කලාතුරකින් කෙනෙකි. 

ආගමික චාරිත්‍ර නැතත් සුදු ජාතින් පවුලේ සියලු දෙනා එකට එකතු වීමේ, තමන් අතින්  සිදු වූ වැරදි අඩු පාඩු වලට සමාව ගැනීමේ සහ තම හිත මිතුරන්ට තෑගී බෝග දීමට ඔවුන් හා කාලය ගත කිරීමට යොදා ගන්නේ මේ කාලයයි. රෝහල්, පොලිසි, සන්නිවේදන  වැනි අත්‍යාවශ්‍ය සේවා හැර සියලු  ආයතන වසා දමා සේවකයින්ට  පවුල් වල අය සමඟ ගත කිරීමට අවස්තාව ලැබේ.

වැඩිහිටි නිවාස වල සිටින දෙමව්පියන් බැලීමට ඔවුන්ගේ දරුවන්, මුණුපුරන් නොවරදවාම තෑගී ඇතිව පැමිනෙන කාලය මෙයයි. එවැනි තැන වල වෙසෙන මවු පියන් නත්තල් දිනයේ දවල් ආහාරය සඳහා කැඳවාගෙන යාම , නත්තල් සතිය ඔවුන් හා රඳවා ගැනීම වාගේම ඇතැම් දරුවන් උදේම එම ස්ථානයට පැමිණ දවස පුරා තම දෙමව්පියන් සමඟ ගත කර යන අවස්ථාද දකින්නට ලැබෙයි.


ආයතන ප්‍රධානින් සේවකයින්ට තම ලාභයෙන් කොටසක් බෙදා දීම එසේ නොවන අවස්ථා වල සේවකයන්ට, පවුලේ අයට තෑගී බෝග යැවීම හෝ එසේ නැතිනම් සේවකයන් වෙනුවෙන්  රාත්‍රී සාදයක් පවත්වා සංග්රහ කිරීම මේ කාලයේදී බහුලව සිදුවේ.. බෝනස් නොලැබෙන රාජ්‍ය ආයතන වල සේවකයින් එකට එකතු වී ඔවුන්ගේ මුදලින් හෝ එක්ව ආහාර වේලක්  ගැනීම සම්ප්‍රදායයි.

නත්තල් තෑගී ගැනීම නම් එක්තරා අන්දමක උන්මාදයක් යයි නොකියා නොහැකියි. ව්‍යාපාරිකයින් මෙතරම් ලාභ ලබන කාලයක් තවත් නැත. ඇඳුම් ආයිත්තම්, සෙල්ලම් බඩු , සුවඳ විලවුම් සාමාන්‍යයෙන් දෙන තෑගී අතර මුල් තැනට එයි. එවන් ආයතන පාරිභෝගිකයින්ගෙන් ඉතිරි පැතිරී යයි. ගන්නා තෑගී එවෙලේම ඔතා දීමට වෙනමම ව්‍යාපාර බිහිවේ..ප්‍රධාන සාප්පු සංකීර්ණයෙන් ඉවතට යන්නට පෙර තෑග්ග ලස්සනට ඔතා ලේබල් කර ගෙදර ගෙන යන්නට මේ සේවා උපකාරී වේ. නත්තල් සැරසිලි සහ කාඩ් පමණක් විකුණන තාවකාලික ව්‍යාපාර හතුපිපෙන්නා සේ මතු වේ.

සාප්පු සංකීර්ණ මේ කාලයේදී බලන්න ලස්සනය. විසල් නත්තල් ගස් වලින් සරසා, හොලී බේරී කොළ වලින් මල්කම් ලියවැල් සාදා විවිධ වර්ණ ආලෝක  රටා මවා  සුර ලොවක් සේ  සාප්පු සංකීර්ණ ආලෝකමත් කෙරෙන අතර තැන් තැන් වල නත්තල් සියා ලෙස ඇඳ ගත්  නළුවන් කුඩා ළමුන් සුරතල් කිරීම, ඔවුන් සමඟ චායාරුප වලට සහභාගී වීම දකින්නට පුළුවන.

 ගවලෙන් හෝ ජේසු බිලිඳාගේ, ජේසුතුමාගේ ආකෘති නම් දකින්නට වත් ලැබෙන්නේ නැත. කඩ සාප්පු වල 'jingle bells'  'last Xmas ' වැනි නත්තල් ගීත නොනවත්වා වාදනය කෙරෙන නමුත් අද පරම්පරාවේ කුඩා ළමුන් නත්තල් ගීතිකා යනු කුමක්දැයි දන්නෙවත් නැතිවාට සැකක්  නැත.

නගර මධ්‍යයට වන්නට මහා මාර්ග විදුලි ආලෝකයෙන් වර්ණවත් කර සැරසීම පළාත් බාර කවුන්සිලයට (නගර සභාව වැනි ආයතනයකි) පැවරෙන අතර, බොහෝ  දෙනා තමන්ගේ මිදුල් අලංකාර ලෙස විදුලු බුබුලින් සැරසීම පෞද්ගලිකව කර ගැනේ. මේ දෙක එකතුව අඳුර වැටෙද්දී පරිසරය වර්ණවත් වී ශීත කාලයේ මුසල පෙනුම නැති වී ගත සිත කිසියම් ප්‍රීතියකින් ඇළලී උත්සව ස්වභාවයක් සියල්ලන්ටම දැනෙන්නට පටන් ගනී.

නත්තලට පෙරදින හවස හතර පමණ වන විට බොහෝ වෙළඳසැල් වැසි පාර තොට හිස් වේ..මෙවර නත්තල් දින උදෑසන හිතෘ ගුවන් තොටට ගිය මා දුටුවේ වෙනදා කඩි  ගුල සේ ඇවිස්සී ඇති ලොව කාර්‍ය බහුලම යයි සැලකෙන  ගුවන් තොට පවා මිනිසුන්ගෙන් තොරව හිස්   පාලු වී තිබු අයුරුයි.


මෙරට පදිංචි වී සිටින ලොව විවධ රටවලින් පැමිණ ඇති ජනයාද ඔවුන්ට ලැබෙන එකම නිවාඩුව නිසා ආගමික නොව ජාත්‍යන්තර නිවාඩු සැමරුමක් ලෙස නත්තල සැමරීමට පුරුදුව තිබේ. ආගමික බේධයක් නැතිව හැම නිවසකම පාහේ කුඩා නත්තල් ගසක් ඉදිවන්නේ කුඩා ළමයින් සතුටු කිරීමටයි

ස්වභාවික දේවදාර ගසක මුදුනක් ගේ මැද  සිටුවා හෝ කෘත්රිම නත්තල් ගසක් විදුලි ආලෝකයෙන් සරසා, නත්තලට පෙර දින රාත්රියේ නින්දට පෙර  කිරි වීදුරුවක් තෑගී ගෙනෙන නත්තල් සියා වෙනුවෙන්දකැරට්  අල කීපයක් පිනි මුවා වෙනුවෙන්ද තබා නින්දට යාම කුඩා දරුවන්ගේ සිරිතයි.



රෑ දොළහට පිනි මුවා බැඳී කරත්තයේ නැගී වහල මතට පාත් වී දුම් කවුළුවෙන් ගේ තුලට ඇතුල්  වන නත්තල් සියා කිරි බි පිනිමුවාට කැරට් කන්නට දී  නිවසේ අයට ඔවුන්   ප්‍රාර්ථනා කල  තෑගී බෝග නත්තල් ගස යට අතුරා රහසේම පිටත්ව යයි..අද වන විට නත්තල් සීයාට මේ කාරිය කරන්නට බර පැන සැපයීම සිදුකරන්නේ ගෘහ මුලිකයා විසින් වුවත් ගැන කතා කිරීමෙන් නත්තල් ආශ්වාදය නැතිවීමේ අවධානයක් ඇත.

නත්තල් දින ආහාර වේල ගැනද මෙහිදී සරල මතක් කිරීමක් කල යුතුයි. ටර්කි (turkey) යනුවෙන් හදුන්වන පාත්ත වර්ගයේ පක්ෂියෙක් උඳුනේ පුළුස්සා, අර්තාපල්, කැරට් , පාස්නිප් අල වර්ග උඳුනේ පුළුස්සා සකසන මේ ආහාර වේල  ශීතල නත්තල් දිනයේ ශක්තිය සහ උණුසුම සපයන ශිත  රටවලට ගැලපෙන රසවත් ආහාර වේලක්. බ්‍රැන්ඩි විස්කි හෝ වයින් වර්ගද මේ ආහාර වේලට එක්කිරීම සම්ප්‍රදායික වන අතර නන්නත්තාර වෙන්නට පෙරේත කමට වෙරි වන්නට බිමක් ආහාර මේසයේදී සිදු නොවේ.

පාත්තයින් නත්තල් ආහාරයට ගැනීම ආරම්භ වී ඇත්තේ 8 වෙනි හෙන්රි රජුගේ කාලයේ සිටයි. අද මෙන් ආහාර සුලබ නොවන කාලයක  බිත්තර ගැනීමට සිටින කුකුලන්ද, කිරි ගැනීමට හරකුන්ද රැක ගැනීමට අවශ් නිසා වෙනුවට පාත්තයින් වර්ග ආහාර මේසයට එක්කර ගත්  බවකුයි පැවසෙන්නේ

ඓතිහාසික සිරිත් විරිත් ලෙසම පවත්වා ගැනීමට තද කැමැත්තක් දක්වන සුදු ජාතිකයින් අනුව යමින්  ආහාර මේසය සකසන්නටත්, සරසන්නටත් අති දක්ෂයෝ වෙත්

ලොව කොයි රටක සිටියත් තමන් උපතින් පුරුදු වූ ආහාර රටාවට ඇලුම් ලෑමේ මිනිස් ස්වභාවය උරුම මෙහි වෙසෙන අප පුරුදුව ඇත්තේද අපේ ආහාර රටාවකට වුව, වසරකට වරක්  ලොව විවිධ රටවලින් සංක්රමණය වූ අන් ජාතිකයින් මෙන්ම මේ විශේෂිත දිනයේදී 'නත්තල් මේසය ' සකස් කිරීමට අපද පුරුදුව සිටිමු

බැලු බැල්මට අලංකාර වුවත් සැකසීම ඉතා අපහසු සුදු ජාතිකයින්ගේ සම්ප්‍රදායික නත්තල් කෑම වට්ටෝරුව පසුව ඔබ වෙත ගෙන එන්නට පොරොන්දු වෙමින් අදට සමු ගනිමි.

ඔබ සැමට ප්‍රීතිමත් නත්තලක් සහ පැතුම් ඉටුවන  වාසනාවන්ත නව  වසරක් වේවා..!!!!

රේණුකා විමලරත්න: ලන්ඩනයේ සිට
 චායාරූප අන්තර්ජාලයෙන්