Tuesday, 21 February 2017

ස්වභාවික ආහාර වර්ණක : Natural Food Colouring

                                              පොල් කුඩු නුවණ 




ඊයේ පෙරේදා කල ''කේක් ගෙඩියේ යකා'' ගැන හෙළිදරව්වේ  පසු සටහන මේ....


''කේක්
ගෙඩියේ යකා'' එක රැයින් ජනප්‍රිය වුනේ හරියටම කියනවා නම් ඉරාජ්ගේ අලුත්ම සින්දුවක් පිටවුනා වගේ.... මගේ ඉන් බොක්සුවේ   අම්මලාගේ විදුලි පණිවිඩ එකසිය ගානට..මේන්න මෙහෙම කියලා..

''මම බොහොම බය වුනා
 මගේ පන එපා  වුනා ..
 පාට පාට කේක් වලට මාව බය වුනා....'' 

හප්පට විතරක් නම් මදැයි..දැන් ඉතින් හොයාගත්තු යකා  එලවන්න තොයිලෙත් මටම නටාපන් කියලා...

කට්ටඩි කම කරන්න පළපුරුද්ද  ලබා දුන්නු හෝඩියේ, එකේ දෙකේ පංතියේ ගුරුවරුන්ට නමස්කාර කරලා මාත් ඉතින් වැඩේට බැස්සා.



මෙන්න මෙහෙමයි අපේ කාලේ ඔය කට්ටඩි කමට ගුරුහරුකම් ලැබුනේ..සිකුරාදාට ඉස්කෝලේ ඉවර වෙන්න   කලින් ටීචර්  කියනවා..

''ළමයිනේ සඳුදා එද්දී පාට පාට පොල් කුඩු අරන් වරෙල්ලා..අපි පොල් කුඩු අලවමු..''

අපිට කොහෙන්ද පූසෝ බලමාලු කිව්වැහේ ඒ කාලේ කොයින්ද කඩෙන් ගන්න පාට පාට ස්ටිකර්, පින්තුර කොළ?

වට පිටෙන් හොයාගත්තු  පොල්කටු, මදටිය ඔලිඳ ඇට, මැටි, පොල්කුඩු, ටොපිකොල  වගේ ඩස්ට් බින් අයිටම් වලින් තමයි අත් වැඩ පංතිය රන් වුනේ...

මේ වගේ සති අන්තයක් අපිට ෆුල් බිසී එකක්..මොකෝ ඉතින් අම්ම තාත්තා ගෙදර වැඩ කරලා දෙනවා කියලා ට්‍රෙන්ඩ් එකක් තිබ්බයෑ ..මොන වැඩේ තිබ්බත්  සිඳු ටෙලි නාට්ටියේ වගේ අපේ සෙල්ලම් ආතල් එක කඩා ගන්නත් බැහැනේ..

දැන් ඉතිං පොල්කුඩු වලට නිල් වතුර, කටරොඩු කොළ කොටපුවා, කුස්සියෙන් උස්සපු බිට් අලයක්, කහ කෑල්ලක් එහෙම දාලා, ගමේ හැම ගෙදරකම පොල්කුඩු ටික උස්සලා, කාගේ හරි ගෙදරක තියෙන හොඬල (රාජාල/දම් අල) වැලකට වැඩේ දීලා අම්බානකට  වැඩ..

ඒ අතරේ වෙන අබිලික් වැඩ එකසිය ගානට....වතුර වැඩි වෙනවා..පාට වැඩි වෙනවා..හදපු පොල්කුඩු වේලෙන්න තිබ්බාම වෙන එකෙක් උස්සනවා..බල්ලෝ පෙරලනවා..නැත්නම් මල්ලි ඒක පොලවට හලලා පස් එක්ක නියම මිශ්‍රණයක් දාලා පස් රොටියක් හදනවා..


කොහොමින් හරි ඔය විධියට ගහෙන් කොලෙන්, කුස්සියේ එලවලුවෙන්, කැලෑ ගෙඩියෙන්  ලබාගත්තු  වර්ණ පිලිබඳ ආචාර්ය උපාධිය තමයි තොවිලේ නටන්න ඕන කට්ටඩියා බිහි කලේ....

දැන් ඉතිං ඔක්කොම කීව එකේ මන් මුලින්ම නටපු තොවිලේ ගැන පොඩි කතාවකුත් කියන්නම්...


මේක උනේ මගේ පැන්චිට අවුරුදු දෙකක් විතර කාලේ ..මෙලෝ දෙයක් කවා ගන්න බැරි ඉතියෝපියන් ඉස්ටයිල් කෙට්ටුවක් තමා කෙල්ලට  තිබ්බේ..කොටින්ම කිව්වොත් පාරේ යන මිනිස්සු මට රවන්නේ කෙල්ලගේ පංගුව මං ගිල්ල ගානට...


දවසක්
උණ හෙම්බිරිස්සාව වගේ අවුලකට කළුබෝවිල ඉස්පිරිතාලෙට  ගිහින් හෙන කට්ටක් කාලා ආපහු එන ගමනේ පොඩි එකිගේ අම්මට හිතුනා නුගේගොඩ හන්දියේ මුස්ලිම් කඩෙන් බුරියානි ''ටේක් අවේ'' පාරක් දාන්න..

ඒක නම් සදා පුජනිය වන්දනීය පට්ට රහක් තිබුන හෙන කලර් ෆුල් බත් එක ..හතර පාරක් විතර සබන් දාලා අත හේදුවත් නොයන තරමට තෙල්, පාට පහක ඩයි දාපු බත්..සුදු, කහ, රතු, තැඹිලි, කොළ පාට මිශ්රණයක්..ලෝබ නැතිව යහමින්  අජිනමොටෝ දාපු මේ බුරියානිය දවස් ගානක් නොකාපු කෙල්ල මෙන්න බොලේ කාගෙන කාගෙන යාපී...

ඊට  පස්සේ මෙන්න මේකි ස්ට්‍රයික් කොරාපි..''පාට පාට බයියන් විතරයි කන්න පුළුවන්'' කියල...

ඕන් ඔය  වෙලාවේ තමයි කෙල්ලගේ අම්මණ්ඩිට  ''පොල් කුඩු නුවණ '' පහල වුනේ..



 මයි ඉස්ටයිල් බුරියානි එකේ පාට පහ හැදුනේ මෙහෙම..

සුදු බත් : රම්පෙ කෑල්ලක්, කරදමුංගු කරාබු නැටි දාලා නිකන්ම 

කහ බත්: අත්තම්මා ඉස්ටයිල් ..බත් එකට කහ සහ ලුණු




රතු බත් : අලුත් බිට්රූට්අලයක් දෙකක් කොටු  කපලා බත් එකට දානවා..මෙතැනදී වර්ණ හරිම ලස්සනට ගැලපෙනවා.. බීට් කෑල්ල කිට්ටුව බත් ඇට වලට තද පාටක් සහ ඉන් එහාට පාට අඩු වේගෙන යන විධියට..බත් එක බතික් දාලා වගේ .. වගේම බිට් වලින් බත් එකට අපුරු රසක් එකතු වෙනවා..

(ටිප්: පහතරට ප්‍රදේශ වල අලුතෙන් වවන කනාටු බිට් වලින් මේ විජ්ජාව සාර්ථක නැත..උඩරට අලුත් කොළ සමඟ එන බිට් තෝරාගන්න)

කොලපාට: කරපිංචා,රම්පේ  හෝ නිවිති බ්ලෙන්ඩර් කර පෙරා වතුරෙන් බත පිසීම.. රම්පේ, නිවිති කොළ තද කොළ පාට ලැබෙනවා..කරපිංචා වලින් ලැබෙන්නේ ලා කොළ පාට

තැඹිලි පාට: අමු බිට් බ්ලෙන්ඩර් කරලා කහ කුඩු ඩිංගක් ඒකට දිය කරනවා..මේ හැදෙන තැඹිලි පාට බත් එක ඉදුණු ගමන් උනුවෙන්ම බත් වලට  ඉහලා තමන් කැමති විධියට වර්ණ ගන්වන්න පුළුවන්..

එහෙම බැරිනම් කැරට් ජුස්.. 


කොහොමින් හරි එදා හැදුනු මේ බුරියානි එක අදටත් ලන්ඩනයේ ඉන්න මගේ යාළුවො අතර ජනප්‍රියයි.. විශේෂයෙන්ම ඒ එහි තිබෙන වර්ණ සංකලනය සහ ඒ ඒ වර්ග මගින් බතට ලැබෙන අපුරු රස සංකලනය බුරියානියේ අවසාන ප්‍රතිපලයට කෙරෙන දායකත්වය නිසා..

බත් සහ පෑන් කේක් වගේ සේවරී කෑම වලට මේ ක්‍රමය හරි ගියාට කේක්, පොල් ටොපි, අයිස්ක්‍රීම්  වගේ රස කැවිලි වලට  යොදා ගන්න බැහැනේ..

පහතින් සඳහන් වන්නේ රසකැවිලි වලදී අනුගමනය කල හැකි ක්‍රම.

 අවශ්‍ය උපකරණ

 බ්ලෙන්ඩරයක්/ජුස් මේකර්
පෙරහනක්

අමුද්‍රව්‍ය:
පහත සඳහන් පලතුරු/එළවලු වර්ග
අවශ්‍ය  පමණට ජලය
කවදාවත් ආහාර වර්ණක යොදා නොගත් ගෘහනියකගෙන් කතා නොකර ගලවා ගත්  කෙස් ගහක්

සාදන ක්‍රමය 


කහ 
පැසි ඉදුණු අඹ..(කාබයිට් අඹ වල මදයේ ස්වභාවික  වර්ණක නැතකෑලි කපා බ්ලෙන්ඩ් කර අයිස් ක්‍රීම්ජෙලි වැනි ආහාර වලට යොදා ගැනීමට පුළුවන්..පාට පමණක් නොවෙයි රසත් ආහාරයට ඇතුල් වෙනවා..


අයිසින් කිරීමේදී පදම පිලිබඳ ගැටලුව නිසා වතුර නැතිව බ්ලෙන්ඩ්  කර ස්වභාවික සාරය රැදුණු තද පාට ලබා ගන්න.



 රතු 

බිට්රූට් තැම්බූ වතුර..හෝ අමු බීට් බ්ලෙන්ඩ් කර ගන්න. බිට් වල ඇති ස්වභාවික පැණි රස එකතු වීමෙන් සිනි අඩුවෙන් දමා ගන්නත් පුළුවන්..සිනි අඩුවීම ළමයින්ට කරන ලොකුම යහපතක්.

දෙළුම් යුෂ / රතු ගස්ලබු යුෂ

වදමල් 

චුටි බබාලට තම්බලා දෙනකොට වද මල් වතුර රතුපාට වෙන බව දැකලා ඇතිනේ..පුංචි කාලේ සෙල්ලම් කරද්දී ලිප්ස්ටික් වගේ කට රතු කරගන්න කෑවේ ,..අන්න ඒවා..මෙය ආහාර වර්ණකයක් ලෙස භාවිතා කල හැකි බව සුපවේදී පබිලිස් සිල්වා මහතා පවා පවසා තිබෙනවා..




බටහිර රටවල සිටින අපේ ගෘහනියන්ට මේ සඳහා ස්ට්‍රෝබෙරි, රාස්ප්බෙරි හෝ රෙඩ් කරන්ට්/ක්රෑන්බෙරි  යොදාගන්න පුළුවන්.

කොල

නිවිති යුෂ තමා මෙතනදීත් භාවිතා කරන්න තියෙන හොඳම දේ..කොල කැඳ  වලට ගන්නා විවිධ කොළ වර්ග යුෂ අත්හදා බලන්නත් පුළුවන්.. රසේ වෙනස් කම් නොදැනෙන්නේ සිනි ස්වල්පයක් එක්කර සකස් කර ගැනීමට කාන්තාවන් බුද්ධිමත් විය යුතුයි.

රම්පේ කොළ සාරයත් කොළ පාට රැඳෙන අගනා ස්වභාවික
වර්ණකයක් 

නිල් කටරොඩු කොළ තරම් තදට කොලපාට වර්ණකය ඇති කොළ වර්ගයක් මේ වනතුරු මං දැක නැහැ. යුෂයේ ඇති තිත්ත ගතිය නිසා ආහාර වලට භාවිතා කිරීමේ හැකියාව අත් හදා බලා නැහැ..


අලුත් දෙයක් සොයන කාන්තාවන්ට පැණි රස එකතුකරලා පර්යේෂණ කරලා බලන්න වටිනවා..




තැඹිලි

කැරට් යුෂ, තද තැඹිලි පාට ගස්ලබු යුෂ හෝ කහ රතු මිශ්‍රකර  සකස් කර ගැනීම
තැඹිලි පාට සඳහා පහසුම ස්වභාවික වර්ණකය කුංකුම රේණු (සෆ්රෝන් ) භාවිතය වුනත් එය මිලෙන් ඉතාම අධිකයි



දම්

ලංකාවේ කාන්තාවන්ට දම් පාට හදන්න තියෙන හොඳම වර්ණකය තමා හොඬල (රජාල/දම් අල) ගමේ ගොඩේ පොළකින් තාමත් හොයා ගන්න පුළුවන්. කොළඹ  අවට අයගේ හොඳම තැන දෙල්කඳ පොළ..


නිවිති ඇට : පහසුවෙන් දම් පාට සොයා ගන්න පුළුවන් තවත් ක්‍රමයක්..

එහෙම බැරි වුන අවස්තාවක දම් පාට ගෝවා  වතුර ස්වල්පයක් සමඟ තම්බා ගැනීමෙන් අලංකාර දම් පාට ලබා ගන්නත්  පුළුවන්

පොලක අම්මා කෙනෙකුගෙන් සොයා ගන්නා ඉදුණු දං  හුන්ඩුවක් පහසුවෙන් ඔබට අවශ්‍ය  වර්ණය සපයාවි..දං කාලෙට පොල්කුඩු පාට කරන්නත් ඒ කාලේ යොදා ගත්තේ අපට නම් ඕන පදන් හොයාගන්න  දං තිබුණු නිසා. 

බටහිර වසෙන ගෘහනියන්ට බ්ලු බෙරි සහ බ්ලැක් බෙරි යුෂ



නිල්

නිල්  කටරොඩු මල 

මේ මා විසින් අත්හදා බලා නැති, නමුත් සාර්ථකව භාවිතා කරන මගේ රසිකාවියක් විසින් මට දැනුම් දුන් වර්ණකයක්.
තට්ටු මල් නිල්  කටරොඩු මල් කීපයක් බතට එකතු කර ගැනීමෙන් දරුවන් ආසා කරන විධියට නිල් පාටට බත් සකසා ගන්න පුළුවන් බවයි ඇය කිවේ..

නිල්  කටරොඩු මලේ යුෂ හෝ මල් කීපයක් ජලය  ස්වල්පයක් සමඟ තම්බා ඒ වතුර නිස්සරණය කර ගැනීමෙන් කේක්, පෑන් කේක් වැනි අතුරුපස වලට ස්වභාවික නිල් පාට පහසුවෙන් සකසා ගැනීමට පුළුවන් වේවි. 


නිල් කටරොඩු බොහෝ ඖෂධිය වටිනාකම් සහිත පැලෑටියක් .තට්ටු නිවාසයක වෙසෙන කෙනෙකුට වුව පහසුවෙන් පෝච්චියක වවා බැල්කනියේ යැවීමෙන් අලංකාර මල් වැලක් හදා ගන්නටත් පුළුවන්.

නිල්  කටරොඩු මල් සොයාගන්න බැරි අය ඉහතින් සඳහන් කල ක්‍රම වලට සාදා ගන්න දම් පාට වර්ණකයට බේකින් පවුඩර් හැඳි කාලක් විතර එක්කරලා පුංචි විජ්ජාවක් කරන්න..දම් පාට ඉබේම නිල්  පාට වෙනවා...බොහොම සුළු වැඩක් 

ලෝකයේ මුලිකව ඇත්තේ වර්ණ තුනයි..රතු, කහ සහ නිල් ..මේ වර්ණ තුන ඇතිනම් ඒවා  කලවම් කර අවශ් ඕනෑම පාටක් හදා ගන්න මහාචාර්ය උපාධියක් අවශ්‍ය නැහැ..වැස්සකට ඉස්කෝලේ ගිහින් තිබ්බොත් හොදටෝම ඇති..


ආහාර වලට වර්ණක දමන්න බොහෝ විට අම්මලාට අවශ්‍ය වන්නේ දරුවන් නිසා.ස්වභාවික  වර්ණක සකස් කිරීමේදී අම්මලාට ඒ සඳහා තමන්ගේ සිඟිත්තන් සහභාගී කර ගන්න පුළුවන්..එය ළමයින්ට මානසික වර්ධනය ලබාදෙන, පාට හඳුනා ගන්නට උදව් වෙන  පාසලේදී ලබා ගන්න බැරි විශාල අධ්‍යාපනික පාඩමක් ..



මවට දරුවාට දෙදෙනාටම විනෝදාත්මක ,දරුවා සහ මව අතර බැඳීම විශ්වාසය ගොඩ නැගෙන, දරුවාගේ ආත්ම විශ්වාසය වර්ධනය වන මුදලට ගැනීමට බැරි ක්‍රියාකාරිත්වයක්..

කේක් ගෙඩියේ මාරයා එලවන්න බිලි පුජාවට තමන්ගේ දරුවන් ඇතුළු පවුලේ අය පොරොන්දු නොවී මේ සරල ස්වභාවික  උපක්‍රම භාවිතා කර බලන්න...

හැමෝටම ජයවේවා !!!

රේණුකා විමලරත්න : ලන්ඩනයේ සිට
චායාරූප අන්තර්ජාලයෙන්




21 comments:

  1. Chuty duwek inna mata me lipiya hugak wedagath... Godak pin ape renuka madamta... me denuma apata laba denawata....

    ReplyDelete
    Replies
    1. සතුටුයි මධු ඔයා වගේ චුටි බබාලා ඉන්න අය මේ ලිපි වලින්ප්‍රයෝජන ගන්න බව දන ගැනීමට ලැබීම..ස්තුතියි අදහස් දැක්වුවාට

      Delete
  2. අගය කරන්න මගේ වචන මදි. දිගටම ලියන්න සුබ පැතුම් .!

    ReplyDelete
    Replies
    1. ඔබටත් ස්තුතියි මගේ ලිපි කියවීම සහ ඒවා අගයා දිරි දෙන වදනක් මෙහි සඳහන් කලාට

      Delete
  3. නිල්පාට ගැන කථා කරනව නම්, මම නිල් බත් හදන්න ගන්නේ නිල්පාට පොකුරු කටරොඩු මල්. පාටේ තද හෝ ලා ගන්න නම් දාන මල් ප1මණෙය අඩු වැඩි කරන්න තමයි තියන්නේ.

    ReplyDelete
    Replies
    1. රන්දුලා හැමදාමත් මගේ ලිපියක් කියවා සටහනක් තැබීම ගැන ස්තුතියි..නිල කටරොඩු කොලේ තිත්ත ගතියක් තිබෙන නිසා කවදාවත් මල් ගැන හිතුවේ නැහැ..මේ කරුණ මං ලිපියේ සඳහන් කරන්නම්..කියවන අයට බොහෝ ප්‍රයෝජනවත් වේවි..

      Delete
    2. ඇත්තටම මම මේ පෙළ නොවරදවාම බලනවා. මේ ලිපි පෙළ නිසා වෙනදා වර්ණ-රස ගළපලා හදාගත්ත මගේ ආහාර වේලට ගුණ ගළපගන්න දැනුමත් එකතු කරගන්න පුළුවන් වුණා. ඉතින් මම දන්න පුංචි දේට අගයක් ලබා දීම ගැනත්, මේ බ්ලොග් එක මගින් අපේ දැනුම වාඩි කරගදෙන එකටත් මම ඔයාට ගොඩක් ස්තූතිවන්ත වෙනවා.

      Delete
    3. ඔබ වගේම තව කීපදෙනෙක් මට අමතක වෙලා තිබු දේ මතක් කළා..වදමල කොහොම අමතක කරන්නද පුංචි කාලේ ලිප්ස්ටික් කියලා කට රතු වෙන්න කන්නේ..ඒ වගේම නිවිති ඇට ..ලිපිය මේ වන විට ද්තුන් වතාවක් සංස්කරණය වුනා ඒ වගේ හැලුණු දේ එක කරලා . නැවතත් ස්තුතියි ඔබට

      Delete
  4. ලන්ඩනයේ හදන බතේ ෆොටෝවකුත් තිබ්බානම් මරු ��

    ReplyDelete
    Replies
    1. හදපු වෙලාවක ෆොටෝ එකක් අරන් දාන්නම්..වෙලාව හුඟක් ගතවෙන නිසා විශේෂයෙන් අමුත්තෙකු එන වෙලාවක හැර හදන්න හිතන්නේ නැහැ..කන්න ඉන්නේ අපි දන්නා විතරයි..ඒක කාලා ලොකු වුන දෝනි දැන් වෛද්‍ය විද්‍යාලේ..සති 4-5කට සැරයක් තමා ගෙදර එවෙන්නේ..එයා ආපු වෙලාවට තමා හැදෙන්නේ තාමත් ඉස්සර වගේම කැමති නිසා

      Delete
  5. මේ ලිපි ටික දාල පොතක් ගැහුවා නම් හරි. ඉංග්‍රීසියෙන් ලියන්න අදහසක් නැත්ද. අපේ බිරිඳ හෙම බොහොම කැමති වෙයි.

    ReplyDelete
    Replies
    1. මගේ ලිපි බොහොමයක තියෙන්නේ ලංකාවේ හද්ද පිටිසර ගොඩේ කෑමනේ අජිත්..ඒවා සුදු මිනිසුන්ට වැඩක් නැති නිසා මහන්සියෙන් පලක් ලැබෙන එකක් නැහැ කියා හිතෙනවා..තිසොරස් එකක් හදලා යුනිවසිටි දාන්න නම් ලාවට අදහසක් තියෙනවා..නමුත් කම්මැලියි ඉස්සර වගේ ඕවා කරන්න..බලමු එහෙම කලොත් ඔයාට එවන්නම්

      Delete
    2. එකම ප්‍රශ්නේ ඒ කෑම ජාති මෙහෙ හොයන එක. හැමදේම නැහැනේ. ඒ ඇරෙන්න අනිත් ඒවා අපට කරනන් පුළුවන්. සාමාන්‍යයෙන් මගේ බිරිඳ ඉඳි අප්පා හැදීම රොටි හැදීම ආප්ප වාටිය දාල හැදීම රුලන් අලුවා හදිං කරනවා. ඔක්කොම යු ටියුබ් බලල තමයි. සුදු මිනිස්සු තමයි වැඩිපුරම ඕව හොයන්නේ දැන්.

      Delete
    3. අහන්නත් සතුටුයි..වෙලාවක එන්න සින්දුවක් අහලා ආප්පයක් කාල යන්න අපේ පැත්තේ...අත්තම්මාගේ රහසිගත පොලොස් රෙසිපි එකක් තියෙනවා නෝනට කියලා දෙන්නම්

      Delete
  6. ape gedarath nil katarodu mal yayak tiyenawa .. kawadawath me wage deyak karanna puluwan kiyala hithune na.. godak pin oyata mewa kiyala dunnata .. mamath adama hadala balannam..

    ReplyDelete
    Replies
    1. මගේ ලිපි වල නැවත නැවතත් මං සඳහන් කරන්නේ මෙන්න මේක තමයි..තාමත් අපේ රටේ වස විස නැතිව සොයාගන්න දේ තියෙනවා..නැත්තේ ඒ පිලිබඳ දැනුමයි. ගෝලීයකරණය කියලා බටහිරෙන් එන වස බදා ගන්නවා අපේ දැනුම අමතක කරලා..අද ඉන්න ආත්තම්මලා රූපවාහිනියේ ටෙලි නාට්ටිය වලට යට වෙලා..අද සිට නිල කටරොඩු මල් වලින් වැඩක් ගන්න..ස්තුතියි ඔබේ අදහස් දැක්වුවාට

      Delete
  7. Nisansala maihripala23 February 2017 at 07:30

    මගේ චුටි දුවත් කෑම කන්න හරි හොරයි.. ගොඩක් ස්තුතී වටිනා අදහස් වලට

    ReplyDelete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. අපිට ගෙදර කෑම හදද්දී පාවිච්චි කරන්න පුළුවන් හා ඇත හදා බලන්න පුළුවන් වර්ණක ගැන හොඳ දැනුමක් දෙවැනි ලිපියෙන් ලැබුනා.ස්තුතියි

    ReplyDelete
    Replies
    1. ලද දැනුම භාවිතා කරලා පවුලේ නිරෝගිකම පවත්වාගන්න..ජය වේවා

      Delete
  10. රේනුකා ඔයා මේ ටික එකතු කරල පොතක් හැටියට එලි දක්වන්නකො. මේක හරි වටිනව දැන් හැදෙන ලමයින්ට. අපි කරපු දැකපු අත්දැකපු දේවල් දැන් හැදෙන ලමයින්ට හිතා ගන්නවත් බැහැනේ .

    ReplyDelete