Thursday, 23 February 2017

පිළිකා ගෙනෙන සැකසු මස් (Danger of Processed Meat)

                                      අනාගතය ජයගන්න 
                     අම්මිගේ  විශ්වාසය  සමඟ....


''අම්මා කෝ නැන්දා ...?''

''නැන්දා කඩේට ගියානේ පුතා..''

'' මේ එන්නේ....''

රස කැවිල්ලක් ලබා ගන්නඅම්ම තාත්තා , නැන්ද මාමලා එනතුරු පුංචි එවුන් මග  බලා සිටි  කාලේ ඉවර වෙලා .. වෙනුවට මේ පුතා බලා සිටියේ මස් කන්න..නිකන්ම  මස් නෙමෙයි ''සකස් කල මස් '' (Processed Meat )

මේ විධියට අපට කියන්නේ බකවාහිනියේ.. විතරක් නෙමෙයි පුංචි එකාගේ දිවි ගමන දිනවන රහස තියෙන්නේ ප්ලාස්ටික් පැකට් එකක අසුරපු රෝල් කරපු මස් ගුලි වල කියලා තමයි බකවාහිනියේ ඉන්න පියරු බබා අම්මාවරු, ගුරුවරියෝ  අපට කියන්නේ..

ලංකාවේ ''සැකසු මස් වර්ග'' විකුණන  සමාගම්  දෙමව්පියන් අන්දන්නේ මල් වගේ පුංචි දරුවෝ ,නැත්නම් ක්‍රිකට් ක්‍රීඩකයෝ ඉස්සරහට දාලා....

මේ වෙළඳ දැන්වීම් මගේ මතකයට ආවේ මෑතකදී මා සහභාගී වූ ලෝක ප්‍රතිජීවක සුරකින්නනගේ (Antibiotic Guardian )ලන්ඩනයේ පැවතී වාර්ෂික සම්මේලනයේදී ...

සත්ව නිෂ්පාදන නිසා සිදුවන ප්‍රත්ජිවකමය  සහ වෙනත් සෞක්‍යමය  හානි ගැන සාකච්චා කෙරුණු මේ  සම්මන්ත්‍රණයේදී අතුරු මාතෘකාවක් ලෙස  සකස් කල මස් වලින් නිවසට පැමිණෙන පිළිකා මාරයා ගැනද අවධානයක් යොමුවුනා.

''සකස් කල මස් නිෂ්පාදන'' පිළිකා කාරක අඩංගු සහ මිනිසාට අහිතකර  ආහාර වර්ගයක් ලෙස ලෝක සෞක්‍ය  සංවිධානය විසින් නම් කිරීම නිසා.

පිළිකා හැදීමේ සම්භාවිතාවය අනුව ලෝක සෞක්‍ය   සංවිධානය පිළිකා කාරක  වර්ග 5කට බෙදා තිබෙනවා. ''සකස් කල මස්’’ ඔවුන් වර්ග කර  ඇත්තේ අනිවාර්යෙන් පිළිකා හැදෙන බවට නම්  කර ඇති ''group 1'' කොටසටයි.. 

මෑතක් වනතුරු  මේ කාණ්ඩයට  අයත්ව තිබුනේ දුම්වැටි, ඇස්බැස්ටෝස්, ආසනික් සහ ඒ හා සමාන වෙනත් භයානක පිළිකා කාරකයි..ලෝක සෞක්‍ය සංවිධානය මේ තීරණය ගැනීමට පෙර එය සනාත කර ගැනීම සඳහා 800කට අධික පර්යේෂණ වාර්තා සැසඳීමට ලක් කල බවයි කියවෙන්නේ.



මොනවද මේ ''සකස් කල මස්'' කියන්නේ..?


''
සකස් කල මස්'' ලෙස  හැඳින්වෙන්නේ කල්  තබා ගැනීමට  විවධ රසායන වර්ග යොදා පිළියෙළ කරන මස් නිෂ්පාදන .

සොසේජස්, මිට් බෝල්ස්, නගට්ස්, ඩිපර්ස්, බර්ගර් වගේ සියලු මස් නිෂ්පාදන,හැම් , බේකන්, සලාමි වර්ග සහ ටින් කල මස් වර්ග ගැනෙන්නේ  සකස් කරපු මස්  ඝනයට..

ලේසියටත්  පහසුවටත් දරුවන්ට පාසල් ගෙනයන්න සකස් කරන්න  කියා බකවාහිනියෙන්  මව්වරුන් උනන්දු කරන්නේ මේ සකස් කල මස් වර්ගයි..
විතරක් යෑ මහත්තය ප්‍රොමෝෂන් ගත්තාම යාළුවො එක්ක ගෙදර එද්දී පාටියට හදන්නෙත් ඒවානේ..

සැකසු මස් වර්ග වැඩිපුර ආහාරයට ගන්නේ කවුද?


දියුණු රටවල සකස් කල මස් වර්ග මිනිසුන්ගේ සෞක්‍යයට  අහිතකර ආහාරයක් ලෙස හඳුන්වා දී ඇත්තේ දශක කිහිපයක  සිට. විශේෂයෙන්ම සොසේජස්, බර්ගර් වැනි ආහාර නිතර ගැනෙන්නේ සෞක්‍යයට අහිතකර  ආහාර රටාවක් ඇති  නිතර දුම්බීම සහ මත්පැන් බිමට ඇබ්බැහි වූ අධ්‍යාපන මට්ටමෙන් අඩු අය..එහෙමත් නැතිනම් අඩු ආදායම් ලබන පවුල් වල අය.. අහිතකර ආහාර නිසා මේ රටවල මිලෙන් අඩුයි විකුණා ගැනීමේ පහසුවට..

සාමාන්‍ය ආර්ථික මට්ටමක් සහ අධ්‍යාපනය සහිත  පවුල් වල මෙවැනි ආහාර ගැනෙන්නේ කලාතුරකින් විනෝද චාරිකාවක් බාබකිව් සාදයක් වැනි  අවස්තාවක . ඒවායේ ඇති භයානක කම ගැන ඔවුන්ට ඇති  අවබෝධය නිසා 

අවාසනාවකට දරුණු පිළිකා කාරක සහිත මේ ආහාර අපේ රටේ වැඩි වශයෙන් ලබා දෙන්නේ කුඩා ළමයින්ට. දෙමව්පියන් මාළු/ එළවලු  කන අතරේ ළමයින්ට පමණක් සොසේජස් ගෙනත් දීම, බකවාහිනියට ඇබ්බැහි වී ඇති ළමුන් සොසේජස් නැතිව බත් කන්නට බැරි බව කියමින් උද්ඝෝෂණ වල යෙදෙන අවස්ථා මා දැක තිබෙනවා..එමෙන්ම මිල අධික මේ ආහාර වැඩි වශයෙන් ගැනෙන්නේ අධ්‍යාපනයක් සහිත යමක් කමක් ඇති අය.

සැකසු මස් වලින් පිළිකා හැදෙන්නේ කොහොමද?

මස් වර්ග කල් තබා ගැනීමට එකතු  කරන රසායන වර්ග අතර මුලික වර්ගයක් ''සෝඩියම් නයිට්රයිට්’’

වගේම මස් සකස් කිරීමේදී කුඩාවට ඇඹරීම නිසා මස් වල ඇති ප්‍රෝටීන් මගින් ‘’සෝඩියම් නයිට්රයිට්’’ පිටවෙන බවකුත් සොයා ගෙන තිබෙනවා..සාමාන්‍ය තත්ත්ව යටතේ සිරුරට හානිකර නැති මෙම රසායනය පිසීම සඳහා ආහාර උෂ්ණත්වයට ලක්වූ වහාම ''Nitrosomine '' නම් රසායනය බවට හැරෙනවා. Nitrosomine ආහාර මාර්ගයේ පිළිකා ඇති කරන දරුණු පිළිකා කාරකයක්..

මස් වර්ග අධි තාපයට අල්ලා  පිසීමේදී පිටවන  ''Hetarocyclic Amines''  නම් රසායනය පිළිකා කාරක වීම ඊළඟ හේතුවයි. මෙම  රසායනය ඕනෑම මස් වර්ගයක අඩංගු  නමුත් සොසේජස් වර්ග  පිසීමේදී  සෞක්‍යයට  තර්ජනයක් වන ලෙස අධිකව  නිපදවෙන බවයි කියවෙන්නේඒනිසා  නිතර සොසේජස් ආහාරයට ගන්නා අයට රෝගය ඇති වීමේ සම්භාවිතාවයද වැඩියි..

දුම්ගසා සකස් කරන සලාමි වර්ගයේ සොසේජස් වල සහ බේකන් වල විශාල වශයෙන් ඇතැයි  සොයාගෙන ඇති ''Polycyclic Aromatic Hydrocarbon'' නමැති රසායනය තවත් හේතුවක්. මෙයද ආහාර මාර්ගයේ පිළිකා සඳහා හේතුවන භයානක රසායනයක් .

''සැකසු මස්'' නිසා පිළිකා ඇතිවීමට ගත වෙන කාලය??

සොසේජස් ආහාරයට ගත්  පමණින් එකවර  පිළිකා ඇතිවන බවට සාධක හමු වී නැහැ.. දැනට සොයාගෙන ඇති සාධක වලට අනුව  නිතර ආහාරයට ගන්නා කෙනෙකුට  වසර 10-15ක් පමණ කාලයක් ගතවූ පසු පිළිකා ශෛල වැඩීම  ආරම්භ වෙන්න පුළුවන්..

කෙටියෙන් කිවොත් නිතර මේ ආහාර ගන්නා දරුවෙකුට ඔහුගේ/ඇයගේ  තරුණ කාලයේදී පිළිකා ඇති වීමට පුළුවන්.. ළමා තරුණ කියා වෙනසක් නැතිව සියලු දෙනාම පිළිකා අවධානයට ලක් වෙනවා

සකස් කල මස් නිසා ඇතිවිය හැකි  වෙනත් සංකුලතා මොනවාද?

පිළිකාවට අමතරව තරබාරු බව, හදවත් රෝග, දියවැඩියාව, සතුන්ගේ බර වැඩිකිරීමට ලබා දෙන ලිංගික හෝමෝන නිසා වයසට පෙර ලිංගික පරිනත බව වැනි වෙනත් බොහෝ රෝග ඇති වීමේ සම්භාවිතාවය මෙම ආහාර නොගන්නා  අයට වඩා ගන්නා  අයට වැඩි වේ.

අපේ රටේ ඇත්තේ නියම සොසේජස් නෙමෙයි කියන්නේ ඇත්තද?

සොසේජස් වර්ග දෙකක් තිබෙනවා

එකක් මස් ලොකු කැබලි වලට අඹරා සකස් කරන සොසේජස්..පහත රුපයේ  දැක්වෙන්නේ එම සොසේජස්.


අනික් වර්ගය ජර්මන් සොසේජස්.. තමා  ෆ්රන්ක්ඵර්ට් සොසේජස් (Frankfurters ) නැත්නම් හොට් ඩෝග් (Hot Dog) කියන වර්ගය. ''හොට්  ඩෝග්'' සාදන්නේ මස් ඉතා සියුම්ව ඇඹරීමෙන්.



නිසි ලෙස තත්ත්ව  පරිපාලනය නැති රටවල මේ වර්ගයට පහසුවෙන් ඉවත දමන මස් වල තෙල් කොටස් සහ කාටිලේජ වැනි දේ එකතු කිරීමට හැකියාව තිබෙනවා. අපේ රටේ සොසේජස් ලෙස වෙළඳ පොලේ ඇත්තේ ''හොට් ඩෝග් '' කියන වර්ගය.

මස් සියුම් ලෙස ඇඹරීමේදී  මස් වලට සිදුවන හානිය වැඩිවීම  සහ අනිකුත් කාරනා සලකා බලන විට අපේ රටේ තිබෙන්නේ ගුණාත්මක බැවින් අඩු වර්ගය.

වෙළඳ දැන්වීම් වලින් කියන තරම් ප්‍රෝටීන සහ පෝෂක කොටස් ''සකස් කල මස් නිෂ්පාදන'' වල තිබෙනවාද?

ඕනෑම ආහාරයක පෝෂක කොටස් එහි ඇති පරිදිම අඩංගු වන්නේ එය නැවුම්ව ලබා ගන්න අවස්ථාවේ. කල් ගතවෙන විට පෝෂක කොටස් විනාශ වෙනවා

වෙරළෙන් අල්ලාගත් ගමන් මාළුවෙකුගේ තිබෙන පෝෂණය ෆෝමලීන් දමා කල් තබා ගත් මාළුන්ගේ නැති බව ඔබ දන්නවානේ..ෆෝමලීන් නිසා විස වුනු මල කුණක් විතරයි .

මස් සකස් කිරීමේදී ඇඹරීම, රසායන වර්ග එකතු කිරිම සහ දිගු කලක් තබා ගැනීම වැනි හේතු නිසා නිසා නැවුම් මස් වල ඇති පෝෂක ගුණ බලාපොරොත්තු වන්නට බැහැ .

පසු සටහන:
''සකස් කල මස්'' පිළිකා අවධානය අධික ලෝක සෞක්‍ය සංවිධානයෙන් පිළිකා කාරක අඩංගු නිසා භාවිතා නොකළ යුතු බවට නම් කල ආහාරයක්.

නිතර ආහාරයට ගැනීමෙන් මේ අවධානය වැඩි වේ..

මේ ආහාර නොගන්නා ලෙසට   ලිපියෙන් නොකියමි. එහි ඇති අවධානය සහ  දත්ත පමණක් දක්වා ඇත. භාවිතය ඔබේ රුචි අරුචිය මත වේ.

සටහන අවසන් කිරීමට පෙර එක්තරා වෛද්‍යවරයකු මෑතකදී පුවත් පතකට කල වටිනා ප්‍රකාශයක්ද  මතක් කිරීමට කැමැත්තෙමි.
'' අද යන විධියට ගියොත් දරුවන්ගේ මිනි වලට දෙමව්පියන්ට කරගසන්නට වන අනාගතය බොහෝ දුර නොවේ''

Rerences:

රේණුකා විමලරත්න: ලන්ඩනයේ සිට
චායාරූප: අන්තර්ජාලයෙන්






10 comments:

  1. අම්මල හිතට ගන්නම ඕන දෙයක්. විශේෂයෙන් දරුවන්ට ආහාරය පිලියෙල කරන්න වෙලාවක් නැතැයි කියමින් ඉක්මන් ආහාර වෙත දිවෙන දෙමාපියන්ට... ලංකාවෙ දෙමාපියො පුදුම තරමට වෙළඳ දැන්වීම් විශ්වාස කරනවා. හරිම වැදගත් කවුරුන් හරි දැන්වත්හිතට ගන්නවනම්..

    ReplyDelete
    Replies
    1. බකවාහිනියේ ඕන ගොනෙකුට ඕන කුණුගොඩක් ගුඩ්නස් කියලා විකුණා ගන්න පුළුවන්..අපේ මිනිස්සු ඩෝන් ගාලා ලනුව ගිලිනවා..දැන් ඉතින් පරක්කු වැඩියි වගේ නැව ගොඩක් දුර ගිහින් හමාරයි..

      Delete
  2. අනේ මන්දා. මම නම් ඔය නිෂ්පාදනවලින් මීට්බෝල්ස් ඇරෙන්න අනිත් දේවල් නම් ගේන්නේ සීමා සහිතව. මීට් බෝල්ස් ගේන්නෙත් මම ගෙදර නැති වෙලාවට මහත්තයට පහසුවෙන් මොනව හරි හදාගෙන කන්න ලේසියට.දැන් මට මීට් බෝල්ස් ගන්නත් බයයි වගේ.

    ReplyDelete
    Replies
    1. බය වෙන එක හොඳයි එතකොට දෙපාරක් හිතනවා..පහසුව නිසා තමයි හුඟක් අය මේ දේවලට පෙළඹෙන්නේ..එත් ඉතින් පහසුයි කියලා ජයරත්න මල් ශාලාවට කලින් ඇඩ්වාන්ස් දෙන්න ඕනේ නැහැනේ..ඔයා වගේ අය අඩුයි..සතුටුයි.

      Delete
  3. ඔව්වා හදන්න සත්තු කොහොම අඹරනවාද කවුද දන්නෙ . මැරිලා කුනු වෙච්ච එවුන් , ලෙඩ හැදිච්ච එවුන් පවා ගන්නව ඇති.කුකුල් ෆාම් වලින් ගන්න පොහොර දාලා වවපු තැඹිලි වගාවක රට යවපු ගෙඩි ප්‍රතික්ශේප උනාලු , අනවශ්‍ය රසායන ද්‍රව්‍ය ඒ වතුරවල තියෙන නිසා . ඉතින් හිතාගන්න පුලුවන් නෙ තත්වෙ.මිනිසාට ආහාර මාර්ගය හුඟක් දිගට හැදිලා තියෙන්නෙ ශාකමය ආහාර ගන්න . මෙව්වා කිව්වට කීදෙනෙක් අහයිද මන්දා . හැමදාමත් අවදානම පෙන්වාදෙන රේණුකා මහත්මියට බොහොම පින්.

    ReplyDelete
    Replies
    1. අපේ රටේ භාවිතා වෙන හොට් ඩෝග් වර්ගයේ සොසේජස් වල ඇත්තෙන්ම මස් බොහොම කුඩා ප්‍රතිශතයක් හෝ මස් නැති තරම්.. තිබෙන්නේ මස් වල කපා කොටා ඉතිරි වෙන කාටිලේජ, සම් , මේධ කොටස්, රසායන වර්ග, සහ රස කාරක..

      Delete
  4. බොහොම හොඳ ලිපියක්. අපිත් සෑහෙන්න අඩු කරගෙන යනව ඕව කන එක.

    ReplyDelete
  5. ස්තුතියි අජිත්..අඩුකිරීම සෞක්‍යයට බොහොම හිතකරයි

    ReplyDelete
  6. Important information for mothers thank you if you can please add some recipes of vegetable sausages

    ReplyDelete
  7. මේකෙ තියෙන ගැටලුව, කල් තබා ගන්න යොදන දේවල් නේද. අපිටම උනත් ගෙදර හදන්න පුලුවන් නම් sausages, ham, bacon, head cheese කියන්නෙ බොහොම අතීතෙක ඉදල Europa වල හාවිතා වුනු දේවල් නේද. ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ chemical නැතුව අපේ රටේ කාලගුණය එක්ක කල් තියා ගන්න බෑනෙ. ගොඩක් හොද ලිපි එකතුවක්. බොහොම ස්තූතියි.

    ReplyDelete