Saturday 14 January 2017

අත්තම්මාගේ අත්බෙහෙත් 30: දියබත්

        ජාතියක් නිරෝගී කල උදෑසන ආහාරය





ඊයේ පෙරේදා අපි නෑගම් ගියා..පිටරට ඉන්න අයට නෑගම් වෙන්නේ තමන්ගේ සමීප හිත මිතුරන් තමා. මේ නෑගම් ගියේ ඔටුන්න හිමි  කුමරුට අයත් වේල්ස් දේශයේ උතුරු බටහිර පිහිටි අලංකාර හංස මුහුදට (Swansea). සුවබර නින්දකින් පසුව උදේ අවධි වූ අප වෙනුවෙන් වේල්සයට අලුතින් එක්වූ   නෑයෝ බොහොම හුරු පුරුදු, මෙවන් පෙදෙසකදී කොහෙත්ම බලාපොරොත්තු නොවන උදේ ආහාර වේලක් අප වෙනුවෙන් සකස් කර තිබුනාමේ ප්‍රසන්න ආහාර වේල වේල්සයෙන් මිදී හිමිදිරි උදෑසන අත්තම්මාගේ  මුළුතැන් ගෙදරට මා මනසින් කැඳවා ගියා.  

දවස ප්‍රබෝධමත් කරන, ඊළඟ වේල්වලදී ඕනෑම සැර ආහාරයකට කුස සුදානම් කරවන, බොහෝ රෝග වලට අත් බෙහෙතක්ව ඒවා  දුර දිග යන්නට නොදී ජාතියක් නිරෝගිව තබන්නට උදව් වූ අත්තම්මාගේ මුළුතැන් ගෙයි පිළියෙළ  වූ දිව්‍ය ඖෂධයක් බඳු ''දියබත් '' වල සාර සොභාවයි මේ ලිපියෙන් මා ඔබ වෙත ගෙන එන්නේ..

අරුනාලෝකයේ අවධිවන අත්තම්මා පිළියෙළ කල උදෑසන ආහාර අතර මසකට තුන් හතර වතාවක්වත් නොවැරදුණු රසවත් ආහාරයක් දියබත්. රාත්‍රියේ මැටි හට්ටියේ ඉතිරිවන බත් දන්කුඩය යන්තම් වැසෙන්නට පිරිසිඳු ජලය දමා වසා තබන අත්තම්මා උදෑසන පිම්බි ඉදිමි ජලය සිඳී තිබෙන දන්කුඩ බත හට්ටියෙන් ඉවත් නොකර එයටම  උකු පොල්කිරි එකතු කර සිහින්ව ලියා ගත්  රතු ළූණු , අමුමිරිස් කරල් දෙක තුනක්, දෙහි යුෂ සහ අවශ් පමණ ලුණු දමා හොඳින් කලවම් කර ''දිය බත'' පිළියෙළ කරයි.


පලාතෙන් පලාතට දියබතට එක්කෙරෙන අමුද්‍රව්‍ය වල යම් යම් වෙනස් කම් සිදුවන අවස්ථාවත් දැකගත හැකියි. කොළඹ පළාතේ එක්කෙරුණු අමු මිරිස් වෙනුවට දකුණු පළාතේ මගේ ස්වාමියාගේ මහගෙදර කබලේ බැදගත් හෝ ගින්දරට පුළුස්සා ගත්  වියලි මිරිස් කරල් දෙක තුනක් කුඩා කැබලි කර එක් කෙරුණු අතර නුවර පළාතේ මිරිස් එක් නොකර කිතුල් හකුරු සමඟ ආහාරයට ගැනීම සිදුවේ. රසවත් බව වැඩි කර ගැනීමට සහ තම කැමැත්තෙ හැටියට ඉදුණු තක්කාලි ගෙඩියක් හෝ උම්බලකඩ කුඩු ස්වල්පයක් එක්කෙරෙන අවස්තාද මේ අතර ඇත.

කුමන ආකාරයකට පිළියෙළ වූවත් දියබතේ රස සහ ගුණ මිස අගුණයක් ඇසු අවස්තා නම් නැත. කලාතුරකින් හැදෙන බඩේ දැවිල්ලට අත්තම්මා නොවැරැදු මේ ඖෂධය නිසාමදෝ අද වන විට ජාතියක්  රෝගී කර ඇති  ආමාශ  වන එසේ නැතහොත් ගැස්ට්‍රයිටිස් අසන්නට වත් තිබුනේ නැත

හිස් මුදුනින්  දාඩිය දාන්න  තරමට කොච්චි මිරිස් කෑ ජාතියක් වසර 20-30කට පසු අද වනවිට  මෙලෝ රහක් නැති කිරි රස ආහාර වලට හැරී ඇති නමුත් අද වන විට කාලින  රෝග එන්න එන්නම වැඩි වෙමින් පවතී. විවුර්ථ​ ආර්ථිකයත් සමඟම දියබත් වැනි අපේ පැරණි ආහාර රටාව ලිප් බොක්කට විසි කර දමා නොගැලපෙන ආහාර රටාවකට හුරු වීමයි මෙයට මුලික හේතුව යයි කීමට කරුණු කාරනා අනන්තය.

ශරීරයේ විෂ නසා සිසිල් කිරීමේ මහඟු ගුණයක් ඇති දියබත සැරට පායන වියලි දේශගුණ කාලවලදී ජිවිත බේරාගන්නා ඖෂධයක් මට්ටමට වටිනාකමින් වැඩිවේ. එවන් කාලවලදී ඇතිවන ඇස් රෝග, සමේ ආසාධන, කටදිව පැලිම, යටිපතුල් වල පැලීම්  වැනි ඌශ්නාධික   රෝග වලින් මිදීමට හෝ ඉක්මන් සුව ලබා ගැනීමට දියබත තරම් සමත් වෙනත් ඖෂධයක් නැත.

කට දිව පැලීමට බහුලව භාවිතා වන කතුරුමුරුංගා කොළ මෙන්ම හරි හරියට ගුණ දෙන දියබත දෙල්, බලමාලු, ඉස්සෝ, දැල්ලෝ  වැනි උෂ්ණාධික ආහාර බහුල කාලයේදී අත්තම්මා නොවරදවා උදේ ආහාරයට පිලියල කරන ආහාර අතරට වැටේ.. 

දියබතේ ගුණ අගුණ මනාව දැන සිටි අත්තම්මා සෙම් රෝග හෝ වැසිකාල වලදී දියබත නොගැලපෙන බවත් ප්‍රත්‍යක්ෂයෙන් දැන් සිටියා.

දියබත උෂ්ණාධික රෝග සහ  ගැස්ට්‍රයිටිස් රෝගයට සුවදායි වන බවට අපට ඇති ජිවිත අත්දැකීම් වලට අමතරව එය දේශීය/ආයුර්වේද සහ බටහිර වෛද්‍ය විද්‍යා මුල ධර්ම ඔස්සේත් සරලව විග්‍රහ කර පෙන්විය හැකියි

බටහිර  වෛද්‍ය විද්‍යාවේ මුල ධර්මය නම් ආම්ලිකතාවය වැඩි රෝගයකට භාෂ්මිකතාවය සහිත ඖෂධ දීමෙන් අම්ල-භෂ්ම සමතුලනය ඇති කිරීමයි. ගැස්ට්‍රයිටිස් රෝගයට බටහිර විද්‍යාවේ සියලු ඖෂධ පිළියෙළ කෙරෙන්නේ මේ සිද්ධාන්තය මුලික කර ගනිමින්. උදාහරණ ලෙස ගැවිස්කොන් වැනි ඖෂධ  ගත හැකියි. මේ සිද්ධාන්තයට අනුව බැලුවොත්  භාෂ්මික ද්‍රාවණයක් වන පොල්කිරි නිසා ගැස්ට්‍රයිටිස් වලට දියබත් සුවදායි වෙනවා.

ආයුර්වේදයේ සහ දේශීය වෙදකමේ මුලික සිද්ධාන්තය බටහිර වෙදකමෙන් ප්‍රතික්‍ෂේප කෙරෙන විසෙන් විෂ නැසීමයි. අම්ල ද්‍රාවණයක් ඇති කෝප්පයකට භෂ්ම ද්‍රාවණයක්  එක්කර එය සමතුලනය කිරීම සිදු වුවත් ශරිරයේදී සිද්ධාන්තය ඊට ප්‍රතිවිරුද්ධ බවයි ඉන් කියවෙන්නේ


එනම්   දිවට දැනෙන රස මගින් ආම්ලික හෝ භාෂ්මික බව හඳුනාගෙන ඊට විරුද්ධ ප්‍රතික්‍රියාවක් ශරීරයෙන් සිදුවන බව..උදාහරණයකට ඇඹුල් වැනි ආම්ලික රසයක් දිවට දැනුනු විට අම්ලයක් පැමිණෙන බව දැන ආමාශය භාෂ්මිකතාවය ස්වභාවිකව වැඩිකර ගැනීම.

මේ නියමය දියබතට අදාළ වන්නේ කෙසේද

දෙහියුෂ සහ රතුළුණු ආම්ලික ආහාර. දියබත දිවට වැටුණු වහා මුලින් දැනෙන්නේ මේ ආම්ලික ඇඹුල්  රස. නිසා ආමාශය භාශ්මියකරණයට සුදානම් වෙනවා අම්ල අඩුකර. දැන් මතට තවදුරටත් භාෂ්මියකරණය අඩංගු පොල්කිරි යැවෙනවා..එමගින් ශරීරයේ ස්වභාවික ආම්ලික බව අඩුකිරීම උත්තේජනය කර බාහිරිනුත් ආම්ලික බව අඩු කෙරෙන ආහාරයක් යැවෙනවා..

දේශීය වෙදකමේ ආකාරයට විෂෙන් විෂ නසා ඔන්න ඔහොමයි දිය බතෙන් ගැස්ට්‍රයිටිස්  සුවකලේ  අත්තම්මලාගේ හැඳිමිටේ නුවන භාවිතා කරලා..

දවස පුරා කුඹුරේ කමතේ ගත වෙහෙසවා වැඩ කරන පවුලේ අයට  දියබත උදෑසන ආහාරයක් සැපයුවේ කෙසේද?


දියබත පිළියෙළ කෙරෙන අමුද්‍රව්‍ය අතර ප්‍රධාන වන්නේ හීල්බත. අද වන විට උදෑසන ආහාරය සපයන පාන් සහ තිරිඟු පිටි නිෂ්පාදන අධික තාපයට හසුව එහි ඇති එන්සයිම වර්ග, හෝර්මෝන වර්ග සහ ප්‍රතිඔක්‌සිකාරක ආදී යහපත් රසායනික සංයෝග බොහොමයක් විනාශ වෙලා

නමුත් එදා අප ආහාරයට ගත් කැකුළු සහල පිසෙන විට හැර වෙනත් ආකාරයට තාපයට හසුවීමක් නැහැ. පිෂ්ඨය ඇතුළු සහල් නිවුඩ්ඩේ  ඇති විටමින් වර්ග, ලවන සහ ඛනිජ අඩංගු පෝෂ්‍යදායි සෙමෙන් දිරවන ආහාරයක් හීල් බත.

පොල් වල ඇති ගුණ මෙතකැයි කියා නිම කල නොහැකියි. පොලේ ඇති ඖෂධිය සහ පෝෂණීය ගුණ පොත් ගණනාවක් ලිවිය හැකි මුත් මෙහිදී පොල් කිරි එකතු කිරීමෙන් දියබතට ලැබෙන පෝෂණ ගුණ පමණක් සුළුවෙන් විමසා බලමු..

පොල් කිරෙන් දියබතට ලැබෙන අපුර්ව රසය සහ භාෂ්මිකතාවයට අමතරව අපට ලැබෙන වාසි රැසකි. සංතෘප්ත මේධය ශක්තිය ලෙස යොදවා කොලෙස්ටරෝල් අඩු කර හදවත් රෝග අඩු කිරීමේ අසාමාන්‍ය බලයක් පොල් වල ඇත. මිට අමතර  පොල් වල  අඩංගු අධි ලවන සංයුතිය මානසික  ආතතිය , අධි රුධිර පීඩනය, විජලනය සහ  මල බද්ධය වලක්වයි. ප්‍රතිඔක්සිකාරකයක් සේ ක්රියා කර ශරීරයේ ඇති ධුලක ඉවත් කිරීමට සමත් පොල්කිරේ  සහ  ක්‍ෂුද්‍රජීවින් විනාශ කිරීමේ (Anti-microbial effect) ගුනද අඩංගුයි.

විටමින් සී සහ   බහුල ආහාර වන දෙහි,   රතුළුණු සහ අමුමිරිස්   වල  ඊට අමතරව විශාල වශයෙන් ලවන සහ ඛනිජ වර්ගත් අඩංගුයිප්‍රතිඔක්සිකාරක අතර ඉහලින් වැජඹෙන විටමින් සී බොහෝ රෝග වලක්වා ශරීරය ධුලකහරණය කර නැවුම් බවින් පුබුදුවන්නට සමත් වෙනවා


කැල්සියම්, සෝඩියම් පොටෑසියම් වැනි ලවන වර්ග වලින් ශරීරයට ලැබෙන ප්‍රතිලාභ බොහෝයි. දෙහි-රතුළුණු-අමුමිරිස් සුසංයෝගය ඛේට ග්රන්ථි උත්තේජනය කරආහාර රුචිය ඇති කර එපමණකින් නොනැවතී දවස පුරා  ආහාර දිරවිම සහ  අවශෝෂනයත්  පහසු කරනවා



මේ සියලු හේතු නිසා ආහාරමය වශයෙන් දියබත  බොහෝ පෝෂණීය ගුණ සහිත  ශක්ති ජනක ආහාරයක්. දවස  පුරා සිරුර නැවුම් බැවින් තබා බොහෝ රෝග වලින් ඔබ වලකන දියබතට ඔබේ මුළුතැන් ගෙයි නිසි තැන ලබා දෙන්නට කාලය ඇවිත්.

විශේෂ ස්තුතිය: දියබත යලි මතක් කර දුන් තනු-ගයාන් යුවලට.


රේණුකා විමලරත්න:ලන්ඩනයේ සිට

චායාරූප අන්තර්ජාලයෙන්



3 comments:

  1. දියබතේ ගුණ හසර වෛද්‍ය විද්‍යාත්මක පැහැදිලි කිරීමක් සමගම දුන් ඔබට පින්. මේ කෑමට බොහොම මනාප අපේ ගෙදර එක්කෙනා වියලි මිරිස් බැදලා ලොකුවට කොටලා /කපලා හදන ලුණු මිරිසක් එක්ක කන්නේ. දුව නිකම්ම කන අතර මම හකුරු සමග වළඳමි. දකුණේ උපන් මගේ තාත්තා මි කිරිත් මිශ්‍ර කරගෙන කන්නේ.

    ReplyDelete
  2. දියබත් ගැන හොඳ විස්තරයක්

    ReplyDelete
  3. Thanks so much ..... math kanna patan gattha ange ushne adu wenna kiyala.

    GODAK PIN

    ReplyDelete