Wednesday 18 January 2017

බත් ගසෙන් පෑ හපන්කම් (Ancient Jack fruit Recipes)


         සූ සතලිස් වැදෑරුම්  කොස්  සූපවේධය 
     



 කොස් කොළ කෑමට ගැනීමේ නුතන අදහසත් සමඟම යලි අවධි වුනු කුඩා කල මතකයක් මේ. කුකුසින් පිරි ළමා වියක් හිමි වූ මා වැඩිහිටියන් කරන කියන සියල්ල මෙන්ම පරිසරයේ, ගහ කොලේ සිදුවන සියලු සියුම් වෙනස් කම් අවධානයෙන්  අධ්‍යයනය කරන්නටත්ඒ, පිළිබඳව බැන වැද පලවා හරින තුරු ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමටත් පුරුදු වී සිටියා..


ගෙවත්තේ  කොස් කඩන ආකාරයත්,  පවුලේ කාන්තා  පිරිස ඒවා කපා කොටා පිළියෙළ කරන අයුරුත්  ඇසට සුපුරුදු දසුනක් වුවද බත් පත ලැබෙන විට පැහැයෙන් , හැඩයෙන්, රසයෙන්, සුවඳින්  එකිනෙකට වෙනස් ලෙස කොස් ලැබීම මේ කාලයේ මට පෙනුනේ විජ්ජාවක් ලෙස.


එවන් දිනක අත්තම්මා සමඟ කල කතා බහක් මේ..


"අත්තම්මේ කොහොමද කන වෙලාවට කොස් වෙනස් වෙන්නේ? ගහෙන් කඩන කොට එකම වගේනේ?"

"චූටි දූ, හෙළයෝ සූ සතර විධියකට හෙරලි උයන්න දන්නවා..තුනපහ, ලිපේ ගින්දර, අනුපානෙට දාන දේවල් අනුව තමයි හැමදාම වෙනස් විධියට හැදෙන්නේ''



සිව් ඉරියව්වෙන් හිඳවත් යලි  මතක්  කර ගැනීමට නොහැකි වූ "හතලිස් හතර වැදෑරුම් කොස් සූපවේධය"  සොයා ගැනීමට අවසානයේ පිහිටට ආවේ "අරුනාලෝකයේ" මිතුරු පිරිස..සතර දිසාවට විහිදී මැකී යමින් තිබු දැනුම එක ලිපියට ඇමිනුනේ ඔවුන්ගේ කරුණාවට පින් සිදු වෙන්න..

සාම්ප්‍රදායික සූ සතර ක්‍රමවේදයද ඇතුලත්ව ඇතැයි  අනුමාන කල හැකි  මෙම වට්ටෝරුවේ ඉන් ඔබ්බට ගොස් නූතන දිනයේ "පොෂ් කොස්" වට්ටෝරුද, පොඩි බඩගින්නට "කෙටි කොස් කෑම" පවා ඇතුලත්..

සැම ගෘහනියක්ම අත්  පොතක් කර ගත යුතු  කොස් සාස්තරේ.....

ගැට පොලොස්




1. පොලොස් මාලුව 

2. සුදු පොලොස් ඇඹුල ( බැදපු තුනපහ වෙනුවට කොච්චි/අමුමිරිස් අඹරා සුදු පාටට)
3. පොලොස් මැල්ලුම
4. පොලොස් ගැට අච්චාරු 
5. පොලොස් සම්බෝල (තම්බා පොඩිකර ලුණු, අමු මිරිස්, තක්කාලි, උම්බලකඩ දෙහි දමා)


6.  තම්බපු පොලොස් මැල්ලුම (පොලොස් තම්බා වංගෙඩියේ කොටා තෙම්පරාදු කර පසුව අඹරපු පොල් දමා   මැල්ලුම සෑදීම)
7. තිබ්බටු පොලොස් මැල්ලුම (තම්බපු පොලොස් තිබ්බටු සමඟ    වංගෙඩියේ කොටා බැදපු හාල් මැස්සන් සමඟ මැල්ලුම)
8. පොලොස් වඩේ
9. කැති පොලොස්
10. පොලොස් කැඳ
11.ගැට පොලොස් බැදපු සම්බෝලය (ඇට මෝරපු නැති පොළොස් ගැට සාමාන්‍ය ගානකට ලියා ගැබුරැ තෙලේ බැද කරවිල සම්බෝලය ආකාරයට)
  

බාගෙට පැසුණු කොස්
 1.    පැහි කොස් මැල්ලුම (කොසුත් පොළොසු ත් නොවන වයසේ ඇති බාගෙට පැසුණු කොස් සිහින්ව ඉරු, ඇට සමඟ ලියා ලුණු වතුරින්  තැම්බීගෙන එනකොට එකට අඹරාගත් පොල්, ගම්මිරිස්, අබ, අමු මිරිස්, ලුනු එකතු කර සාදන  කොස් මැල්ලුම) 

2.     බාගෙට පැසුණු කොස් මදුළු තෙල් දැමුම (හතු තෙල් දැමීමට සමානය)
3.    දඬු  කොස් (ලාවට කහපාට වුන කොස් මදුළු ඉරි සිවිඩි ලොකුවට කපලා තම්බලා කොච්චි කහ කරපිංචා එක්කර මැල්ලුමක පදමට හදලා)


 පැසුණු කොස්

 

1. කොස් මදුලු  කෑලි කපා තැම්බීම (පොත්ත අයින් කල ඇටත් සමඟ)
2. කොස් මදුල ඇටෙත් එක්කම බාගෙට දෙකට පලා තැම්බීම, කද්දි ඇටවල පොතු ගලවගන්න ඕන. (මෙය දකුණට ආවේනික ක්‍රමයකි)
3. කිරි අටු කොස් මාළුව (කොස් මදුලු දිගටි හැඩේට කපලා උණු වතුරේ දාලා වේලා සාදන කොස් මදුලු අටු කොස්. අවාරයේදී උණු වතුරේ පොඟවා කිරි කොස් ව්‍යංජනයට පිළියෙළ කිරීම)

4.සම්බෝල කොස් (තැම්බූ කොස් මුට්ටිදීම පොල්  සම්බෝල සමඟ  කවලම් කිරීම 
5.කිරි කොස් ව්‍යංජනය 
6.කොස් මදුළු පිරවුම (කොස් මදුල පිටින් ම තම්බා මැදට කැමති මිශ්‍රණයක් පුරවා පිස ගැනීම-මාළු මිරිස් පිරවීමේ ආකාරයට) 

7. සකස් නොකර නිකන්ම කන මදුලු  අටුකොස් (අර්තාපල් චිප්ස් ආකාරයට) 
8.මදුළු අටුකොස්  පැණි දමා බැදුම 
9.පැසුණු කොස් මැල්ලුම 
10.තෙම්පරාදු කොස් (කොස් තම්බලා අබ, ළූණු, මිරිස් කරල් කඩා තෙම්පරාදු කර) 

11.පොල් කොස් (තැම්බිගෙනඑනවිට කෑලි කැපූ පොල් කලවම් කිරීම)

12.කොස් නියඹලා (පැසුණු කොස් සිහින්ව ලියා ගන්න. කොස් ඇට බාගෙට තම්බාගෙන කහ, තුනපහ එක්කර ලියා ගත්  මදුළු සමඟ  මිශ්‍ර කරන්න. කොච්චි, ගම්මිරිස්, රතු ළූණු ,සුදු ළූණු, පොල් එකට අඹරා පොල් කිරි මිශ්‍රනයක දිය කර මද ගින්නේ පිස ගන්න) 
13.අමු කොස් මදුළු  බැදුම (සේවරී ක්‍රමයට): සිහින් තීරු වලට ඉරා තෙලේ බැද  ලුණු මිරිස් කුඩු ඉස) 
14.අමු කොස් මදුළු  බැදුම (පැණි රසට ) : සිහින් තීරු වලට ඉරා තෙලේ බැද උණුකළ සිනි දමා

කොස් ඇට

1. කලුපොල් මාලුව

2. පැසුණු කොස් ඇට මැල්ලුම (අමු ඇට දෙකට තුනට වංගෙඩියේ  තලා  පොතු හැර තම්බා අඹරපු පොල් සමඟ)
3. කබලේ බැදගත්  කොස් ඇට  අග්ගලා (ගම්මිරිස් දමා -සේවරී ක්‍රමයට)
4. කොස් ඇට ලඩු : තම්බල කොටල අග්ගලා හදනව. සිනි දමා (පැණි රසට)
5. තැම්බු වැලි කොස් ඇට අමු පොල් සමඟ

6. තැම්බු වැලි කොස් ඇට පැණි තෝර කොළ සමඟ
7. අටු කොස් ඇට ( ඇට තම්බා අවුවේ වේලා ගැනීම. සකස් නොකර නිකන්ම කන-වේලපු කොට්ට කෙලෙංගු ආකාරයට)
8. කොස් ඇට තෙල් දැමුම: කබලේ බැද තලා ළූණු කෑලි මිරිස් දමා තෙල් දැමීම

9. කොස් ඇට  ආනම: කොස් ඇට කබලේ බැද වංගෙඩියේ කොටා කොල්ලු ආනම ආකාරයට
10. අමු කොස් ඇට බැදුම : පොතු හැර තීරු කපා  ලුණු කහ අත ගා ගැඹුරු තෙලේ බැදීම
11. කොස් ඇට මඩු දළු ව්‍යංජනය
12. කොස් ඇට තිබ්බටු මැල්ලුම
13. කොස් ඇට බත් (තලා පොතු හැර ලුණු  දා හාල් සමඟම මිශ්‍ර කර පිසීම) 
14. කොස් ඇට පිටි  රොටි/ කැවිලි වර්ග (මයියොක්කා පිටි සාදන ආකාරයට)
15. මුරුංගා කොස් ඇට (යාපනයට ආවේනික)
16. ගිනි අඟුරේ  පිලිස්සු කොස් ඇට
17. වී කොස් ඇට (වී තම්බන විට තට්ටුවක් උඩින් අතුරා- අපුරු රසයක් එක්වී කොස් ඇටද කියා සොයා ගන්න බැරිලු, බොහොම පැරණි ක්‍රමයක්)
18. උණු අළු කොස් ඇට (උණු අළු යට දමා පුළුස්සා පොල් කැබලි, කොච්චි සහ ලුණු ඇටයක් සමඟ කෑමට ගනී)
19. කොස් ඇට වඩේ

ඉදුණු කොස්


1. වැල ගෙඩියේ වහල්ල (මදුළු වටේට එල්ලී ඇති කොටස) දුමේ දමා වේලා ව්‍යංජනය (කැකිරි/වට්ටක්කා ආකාරයට)
2. වේලපු වරකා බැදුම ( අව්වේ වේලා  තෙලේ බැදීම)
3. ඉදුණු පැණි වරකා

4. ඉදුණු වැල
5. ගිනි කොස් වරකා සලාදය
6. මි පැණි වරකා (වරකා මි පැණි වල ගිල්වා සාදන පුද පුජා වලට ගන්නා යාපනයේ ක්‍රමයකි)
7. වරකා බැදුම 


කොස් ඉරු සහ සිවිඩ්ඩ

1. කොස් ඉරි මැල්ලුම් (කොස් මදුළු ගලවලා ඉවර වුණ වහල්ලේ ඉරි සමඟ සුදු පාට sponge වගේ කොටස හීනියට ලියලා පොල් අඹරා)
2. කොස් සිවිඩි ව්‍යංජනය (තලන බටු ආකාරයට)
3.පනා පතුරු ව්‍යංජනය (කරවිල ව්‍යංජනය ආකාරය)
4.කොස් සිවිඩි පපඩම්
5. කොස් සිවිඩි  මැල්ලුම


කොස් කොළ 

1. කොස් දලු පපඩම්
2.  කොස් දලු කලවම් පලා
3. කොස් දළු ව්‍යංජනය (තම්බා දිය හැර කැබැල්ල දළු ව්‍යංජනය මෙන්)
4. කොස් දළු සලාදය (මද උණුසුම් ලා උණු වතුරේ සුළු වෙලාවක් දමා මිරිකා සම්බෝලයට හදන්න) 

කොහොල්ලෑ



1. වියළි කොහොල්ලෑ ව්‍යංජනය (ඉන්දියන් චීස් ක්‍රමයට )

2. කොහොල්ලෑ ඔම්ලට් (සාදන ක්‍රමය කොස්කොළ ලිපියෙන් බලන්න)
3.කොහොල්ලෑ කිරි හොදි (අලුත් කොහොල්ලෑ කිරි හොද්දට/කරවල හොද්දට එක් කිරීම. දිය වී ගොස් හොද්දේ කිරි රස වැඩි වෙනවාලු)

කොස් බීම

11. වරකා ජුස් (කාමරන්කා/අන්නාසි ජුස් සාදන ආකාරයට)
2. කොස්කොළ තේ (කොස් කොළ ලිපියෙන් බලන්න)




කොස් අතුරුපස 

1. වරකා ටොපි: වරකා තම්බා පොඩිකර සීනි උණුකර  අල/වට්ටක්කා ටොපි සාදන ආකාරයට
2. පැණි වරකා දෝසි (පුහුල්/ඉඟුරු දෝසි ආකාරයට)
3.ගිනි කොස් වරකා සලාදය
4. පැණි පොල් පිරවූ වරකා මදුළු
5. සව්  කැඳ වරකා (සව් කැඳ ඉදිගෙන එන විට කැබලි කැපු වරකා එක්  කිරීම)

6. සිනි කැරමල් වරකා ( පිටි සහ පැණි රස ගතිය අඩු වරකා  සිනි උණුකර දමා ගැනීම)


පොෂ් කොස් රෙසිපි

1  1. පොලොස් කට්ලට් 
    2. කොස් කට්ලට් (අල වෙනුවට තම්බපු කොස්  යොදා)
3.පොලොස් සුප්

4. කොස් මදුළු රෝල්ස් (කොස් මදුල මැදට අල මාළු මිශ්රණයක් පුරවා පාන් කුඩු තවරා ගැඹුරු තෙලේ බැදීම)


5. බාබකිව් හෝ උඳුනේ පුළුස්සන පොලොස් (පොලොස් ගෙඩිය පිටින්ම කටු  වහල්ල ඉවත් කර දෙකට පලන්න. මද වහල්ල සෙමෙන් අයින් කර පොලොස් මදය පිහියකින් ඇන බුරුල් කර  ගෙඩිය තුල තිබියදීම කැමති පරිදි දුරු මිරිස් කළු කුඩු ලුණු එක්කර නැවත ගෙඩියේ පියන් දෙක එකට එක්කර තම්බා ගන්න. පසුව උදුනේ හෝ බාබකිව් ලෙස පුළුස්සන්න)

6. පොලොස් සොසේජස් (පොලොස් තම්බලා පොඩි කරලලු හදන්නේ)
7. වරකා කේක් (අන්නාසි කේක් ආකාරයට)
8. වරකා ජෑම් (අන්නාසි ජෑම් ආකාරය)
9. වරකා චට්නි (රට ඉඳි චට්නි ලෙස)
10. වරකා ෆ්රුට් සැලඩ්

11. වරකා වයින්
12. බාබකිව් කොස් ඇට
13. කොස් ඇට කට්ලට්
14. කොස් ඇට ඔම්ලට් (තම්බා පොඩිකර බිත්තර මිශ්‍රණයට දමා)
15. පොලොස් ඔම්ලට් (තම්බා පොඩිකර බිත්තර මිශ්‍රණයට එක්කර)



විශේෂ ස්තුතිය : අරුණාලෝකය පිටුවේ කරුණු සොයා දීමට වෙහෙසුණු සියලුම සාමාජිකයින්ට

රේණුකා විමලරත්න : ලන්ඩනයේ සිට
චායාරූප අන්තර්ජාලයෙන්



3 comments:

  1. කොස් ගහට බත් ගහ කියන්නේ නිකමට යෑ.. කොස් කොල කන්න කියන උදවිය මේ දැණුම සමාජගත කරන්න සුළු හෝ දායකත්වයක් දෙනව නම් ආහාර හිගයකට මුහුණ දෙන්න එතරම් අපහසු වෙන එකක් නෑ... මේ වටිනා කරුනු එක් තැන කරපු රේනුකා මහත්මියටයි ලිපියට කරුණු සොයා දුන් සැමටයි බොහොම පිං.

    ReplyDelete
  2. ස්තුතියි බණ්ඩාර මහත්තයා

    ReplyDelete
  3. ස්තුතියි ඔබට

    ReplyDelete