Showing posts with label පරිසරය සුරකිමු. Show all posts
Showing posts with label පරිසරය සුරකිමු. Show all posts

Sunday, 16 October 2016

දෙල්කඳ පොලෙන් ගෙනා - හොඳ කිරි අළුවා

      අපේ දරුවන් වෙනුවෙන්- ප්ලාස්ටික් වලින් තොර                       දේශයක් ගොඩ නගමු




 අද ගියා ඉරිදා පොලේ..දෙල්කඳ නෙමෙයි..වට්ෆොර්ඩ් පොළ..පොළ (market) කියන සංකල්පය ලෝකේ හැම රටකම තියෙනවා. එංගලන්තයේ වගේම යුරෝපයේ විවිධ රටවලදීත් පොළවල් මන් දැක තිබෙනවා. අපූර්වත්වය වෙන්නේ මේ හැම රටකම පොළ එදා වගේම සාම්ප්රදායිකව පවත්වා ගැනීමටත් උත්සාහ කිරීමයි. පොළ කියන්නේ  තමන්ගේ වටපිටාවේ වත්තේ පිටියේ තමන්ගේ නිෂ්පාදන ගෙනත් යමක් උපදවා ගැනීමට චිරාත් කාලයක් පවත්වාගෙන යන ආයතන..


 පොලේ ගිහින් ආවම කාන්තාවන්ට තියෙන ලොකුම කටයුත්ත තමයි ගෙනා දේවල් අසුරන  වලින් ඉවත් කරලා  අස් පස් කරලා පිළිවෙලකට තමන්ගේ මුළුතැන්  ගෙයි අසුර ගන්න එක..ඕන් පටන් ගත්තා..

හතු - ප්ලාස්ටික් පෙට්ටියක
අල -ප්ලාස්ටික් කවරයක
ගෝවා - ප්ලාස්ටික් කවරයක
කැරට් - ප්ලාස්ටික් කවරයක
කිරි- ප්ලාස්ටික් ඉවත දමන බෝතලයක
දොඩම් යුෂ - ප්ලාස්ටික් බෝතල්
පාන්- ප්ලාස්ටික් කවරයක

පිපිඤඤා ගෙඩිය- ප්ලාස්ටික් කවරයකින් සීල් කර

බ්රවුනිස්  (කිරි අලුවා වලට සමාන චොකලට් වලින් හදන මෙහෙ කැවිල්ලක් )- ප්ලාස්ටික් කවරයක්

ඇපල් - ප්ලාස්ටික් පෙට්ටියක
ස්ට්රෝබෙරි -ප්ලාස්ටික් පෙට්ටියක


 අප්පච්චියෝ අපි ජිවත් වෙන්නේ තනිකර ප්ලාස්ටික් ලෝකෙකනේ.. කිරි අලුවා කන්න බලාගෙන හිටපු අයට මන් පොඩි ලනුවක් දුන්නේ..හැබැයි දිරපු එකක් නෙමෙයි.. ප්ලාස්ටික් ලනුවක්..

ඔහොමම අල්ලන් ඉන්න බය නැතිව..දැන් මන් කියන්න යන්නේ මේ දිරච්ච ලනුව අපිට කවන්න කලින් ප්ලාස්ටික් නැතිව අපි ජිවත් වුනු හැටි..මේ තරමට ප්ලාස්ටික් නැතිව අපිට ජිවත් වෙන්න ඇත්තටම බැරිද?



අපේ අම්මා හෝ අත්තම්මත් ඉරිදා පොලට ගියා.. ගියේ වේවැල් කූඩයක් අරන් ..ඒකට කිව්වේ වට්ටක්කා කූඩේ . පොලේදී අම්මා එළවලු ගන්නවා..

''මුදලාලි රතු ළූණු 500ක් දෙන්න''
''අල්ලන්න නෝනා කූඩේ.. ''  ළූණු කූඩෙට වැටුනා.. ඊළඟට ''මුදලාලි ඉන්නල 500ක් දෙන්න''  ''අල්ලන්න නෝනා කූඩේ.. ''  එකත් කූඩෙට වැටුනා.. මේ විධියට ගන්න හැම දේම කූඩේ එක ගොඩේ..එකින් එකට වෙන වෙනම ප්ලාස්ටික් බැග් එකක් ගැනුනේ නැහැ.


දැන් යන්නේ මාළු ලෑල්ලට ..'මුදලාලි හාල් මැස්සෝ 500ක් දාන්න..' මුදලාලි ඔතනවා ඕක..හබරල කොලයක්..ඊළඟට පත්තර පිටුවක...ඒකත් කූඩේ

ඊළඟට..හාල් පරිප්පු තුනපහ කඩේ..හාල් කිරෙනවා.. හන ගෝනියකට..පරිප්පු තුනපහ, කඩදාසි බෑග් වල



වත්තේ පිටියේ නැති පලා වර්ග..මිටි බැඳිලා බෙලි පට්ටෙන්..නැතිනම් කෙසෙල් පට්ටෙන් ..ප්ලාස්ටික් ලනුවෙන් නෙමෙයි..



මේ ගේන එළවලු කූඩය කුස්සිය මැද්දේ ගෝනියකට හලනවා..ඊළඟට පුංචි අපිට වැඩක්..එක වගේ දේවල් එකට ගොඩ ගහන්න..

ළූණු පැත්තක..ඉන්නල තව පැත්තක, එළබටු මැද්දේ ආදී වශයෙන්..

අතරේ ගණන් පාඩමක්..ගනින්න බලන්න බටු ගෙඩි කියද?..එළවලු වර්ග කියද? තව අභ්යාසයක්..එක පාට දේවල් එක පැත්තක..රවුම් ඒවා මේ පැත්තේ..දිග කරල් අනිත් පැත්තේ..අද වගේ එකේ පන්තියේදී ටියුෂන් යන්න ඕන වුනෙත් නැහැ මේ හින්දම (අතුරු කතාවක් ).

මේ එළවලු ඇසිරුනේ පන් කොළ වට්ටි වල....

රෙදි වේලන වැල හැදුනේ..වැට බඳුනේ, කොහු ලනුවෙන්..ප්ලාස්ටික් ලනු තිබුනේ නැහැ.. ගේ අතු ගාන කොස්ස පොල් කොහු කොස්ස..ප්ලාස්ටික් නෙමෙයි..


 දවල් බත් ගෙනිච්චේ කෙසෙල් කොලේ..ප්ලාස්ටික් ලන්ච් ෂිට් නැහැ..


වන්දනාවේ ගියාම නැත්නම් හේනේ කුඹුරේ  කෑම කෑවේ නෙලුම් කොලේ..ප්ලාස්ටික් පිඟන් නැහැ..බත නිවෙන්න දැම්මේ..පොල් කොළ වට්ටියට..බත කුඹුරට ගෙනිච්චේ පොල්කොළ නැතිනම් සැවන්දරා කොළ පෙට්ටියේ..

හකුරු මුල එතුනේ කෙසෙල් පට්ටේ..නැත්නම් කන්ද කොලේ..පැණි ගෙනාවේ පුවක් කොලේ නැතිනම් ..විදුරු බෝතලේ..

තෙල් ගෙනාවේ විදුරු බෝතලේ..

බිම බෝතලේ ආවේ ගෙදරින් ගෙනියන බෝතලේ කඩේට දුන්නට පස්සේ..

නිවාඩු කාලේදී හදන අඹ අච්චාරුව, කැලෙන්  කඩාපු  දන් අහුර බෙදා හදා ගත්තේ වල්  බෙලි කොළ ගොට්ටට..




 වන්දනාවේ ගිහින් එනකොට ගෙනා තල් හකුරු මුල් පන් කොළ ගොට්ටේ... ටික දැම්මේ කඩදාසි බැග් එකේ..නිවාඩුවට නැන්දලාගේ ගෙදර ගෙනිච්ච ඇඳුම් පැළඳුම් දැම්මේ රෙදි බැග් එකේ...




 අත්තම්මා අව්වේ වේලපු කොස්, දෙල්, අඹ, බත් වගේ දේවල් වේලුනේ පුවක් කොලේ..ඒවා කුස්සියේ ගබඩා වුනේ පන් කොළ පෙට්ටි වල..

 හාල් පෙලුනේ වේවැල් කුල්ලෙන් 

පිට්ටු බම්බුව උන බටෙන් - ඉඳිආප්ප තට්ටුව වේවැලෙන්

හොද්ද රසවුනේ පොල්කටු හැන්දෙන් ..හැන්ද එල්ලුවේ පන්කොළ හැඳි අලුවේ 

කොළ ලියුවුනේ, පිටි හැලුනේ  පන්කොළ ඇතුල්පතට

වත්ත පහලින් කොච්චි කැඩුනේ කෙසෙල් පරඩලේ...

මේ මට මතක් වුනු දේ..මට අමතක ඔබට මතක තව බොහෝ ඇති ..

 ප්ලාස්ටික් දිරවන්න අඩුම ගානේ වසර 450ක් වත් ගත වෙනවා..බෝතල් නම් වසර 1000ක් දක්වා කාලයක් ගත වෙන්නත්  පුළුවන්මේ වගේ දියුණු රටවල ප්ලාස්ටික් ප්රතිචක්රීය කරණය කරන්න විවිධ වැඩ පිළිවෙලවල් තිබෙනවා..


එහෙම වැඩ පිළිවෙලක් නැති අපේ රටවල මෙහෙම ගියොත් කොතනින් නතර වෙයිද?

අද අප සිටින්නේ ස්වභාව සෞන්දර්යය, සත්ව වර්ග , ජල උල්පත්, වනාන්තර ප්ළාස්ටික් නිසා වේගයෙන් විනාශ වී යාමේ මහත් ව්‍යසනයක් ඉදිරිපිට ...

මදක් සිතන්න..ඔබේ දරුවාගේ හෙට දවස වෙනුවෙන් ප්ලාස්ටික් භාවිතය අවම කරන්න..

රේණුකා විමලරත්න : ලන්ඩනයේ සිට
චායාරූප අන්තර්ජාලයෙන්