Thursday 26 January 2017

අත්තම්මාගේ අත් බෙහෙත් 32: චව් චව්

                          නෑමක් නොව වටිනා කෑමක් වන 
                   චව් චව් ගුණ හඳුනා ගනිමු




                      “තවත් හොඳ නෑමක්අපි අදත් නානව

මේ කතාව ඇහුනේ අපි පුංචි කාලේ බලපු බඩ  පැලෙනකම් හිනාවෙන්න පුළුවන් දොස්තර හොඳ හිත කාටුන් චිත්‍රපටියෙන්.  නාන කතාව නිතරම කිව්වේ චව් චව්..දොස්තර හොඳ හිතගෙ සත්තු එක්ක කතා කරන රහස ගන්න  හැම සෙල්ලමක්ම දාපු  දියරකුස්ගෙ කල්ලියෙ  සාමාජිකයෙක්.  

දුෂ්ට  වුනත් දැක්කත් හිනායන මේ චරිතයට හඬ කැව්වේ පරාක්‍රම පෙරේරා මහතා.

චව් චව් කීවාම අද ළමයින්ට නම් මතක් වෙන්නේ දියවන්නාව. යන යන තැන ඇදගෙන නාන, ඉන් පසු  ජනතාවට ඇදගෙන නාන්න සලස්වන කපටින් අද වෙනකොට ගාල් වෙන්නේ  දියවන්නාව මැද නිසා. නමුත් අද මං කතා කරන්නේ වගේ මෙලෝ ගුණයක් නැති චව් චව්ලා ගැන නොවෙයි..

කාලයත් සමඟ අපට අමතක වෙලා භාවිතයෙන් ඈත්ව ගිය, අත්තම්මා රසට පිසූ බොහෝ ඖෂධිය ගුණ ඇති චව් චව් නම් රසවත් එළවලුව ගැනයි මේ කුඩා සටහන..

අද නම් හැටියකට දකින්නත් නැති මේ අපූරු එළවලුව කාලේ අත්තම්මලා යොදා ගත්තේ බොහෝම නැණවත් ආකාරයකට...
ගර්භනී අම්මලාට හිතකර බව ජිවන අත්දැකීමෙන්දැන සිටි ඔවුන් පිළිසිඳ ගත මුල් කාලයේ ගැබ්බර අම්මලාට දෙන ආහාර වලට එකතු කල ව්‍යංජනයක් මේ..

දරුවාගේ අතපය නහය කට වාත්තු කළා මෙන් හැදෙන්නට, කිරි දෙන්නට සහ ප්රසවයට ගැබ්බර අම්මා පිළියෙළ කිරීමේ මුල් පියවරක් ලෙසයි ..


ගැබිණි මුල් තුන් මාසයේ ආහාරයට ගැනීමෙන් කලලයේ ඇතිවන ස්වභාවික විකෘථි වලක්වා නිරෝගී දරු සම්පතක් ලබා ගැනීමට උපකාරී වන බව අත්තම්මලාට තිබු දැනුම නම් ඉතා අපුරුයි
අද වන විට මේ සඳහා ගැබිණි මවු වරුන්ට අතිරේකව ලබා දෙන ෆෝලික් ඇසිඩ්, චව් චව් වල බහුලව තිබීම ඊට හේතුවයි.

දොළදුක් අම්මාගේ බත් පතේ පමණක් නොව ඇඟ පත නොසොල්වා  කඳ  බඩ  මහත් වුනු අප්පුහාමිලාට නිරෝගී බව පවත්වාගෙන යන්නටත් දියවැඩියා සහ හදවත් රෝගීන්ට පිළියෙළ කල බත් පතෙත් නොවරදුනු චව් චව් ව්යංජනය අද බොහෝ දෙනා දුක් විඳින බඩ  පපුව දැවිල්ලටත් අමුර්තයක් බව අත්තම්මා දැන  සිටියා..

රසවත් ලෙස පිසූ මේ ව්යංජනයට  අන් අයගේ  හිත නොගිය දිනෙක  අත්තම්මා ..''උන්ට එපා වුනාට මයේ මොකෝ..මගේ අතපය මන් රැක ගන්නවා '' යි මුමුනමින් ඇයම ආහාරයට ගත්තේ කුමන හේතුවක් නිසාදැයි දැනුනේ චව චව් ගැන පර්යේෂණ වාර්තා කියවන ඇගේ දැනුම පසසන්නට ඇය මෙලොව නැති අද දවසේ වීම නෙතට කඳුළු උපදවන අවාසනාවකි

අන් කිසිවක් නොව ගුණය නම් ආර්තවය නැවතුනු වැඩිහිටි කාන්තාවන්ගේ අස්ථි රැක දීමේ හැකියාවයි.



ලවන වර්ග බහුල තාවය නිසා කිරි දෙන මවුවරුන්ගේ හිසකේ ගැලවී යාම වැලක්විමටත්, ආර්තවහරණයෙන් පසු සමේ තෙතමනය පවත්වා ගැනීම, සම රැලි වැටීම වලකා තරුණ බව රැක ගැනීමටත් අනගි ආහාරයක් චව්  චව්.

ගැස්ට්‍රයිටිස් රෝගය සමනයට වටිනා ඖෂධයක් වන චව් චව් ඊට අමතරව, මල බද්ධය, මුත්‍රා ගල්, උදරයේ පිපිම, හදවත් රෝග වැලැක්වීම වැනි තවත් බොහෝ සෞක්යමය ප්‍රතිලාභ සිරුරට ගෙන දෙනවා.

දකුණු ඇමෙරිකාවේ බ්‍රසීලය උපත් දේශය ලෙස සැලකෙන චව් චව් මුල් කාලින දේශ ගවේශකයින් හරහා ආසියාව සහ මධ්‍යධරණී ප්‍රදේශ දක්වා පැතිරී ඇති සැලකෙනවා

විටමින් සහ ප්‍රතිඔක්සිකාරක අධික චව් චව් මද, කොළ  පමණක් නොව ඇටද  ආහාරයට ගැනීමෙන් පිළිකා රෝගය වලක්වා ගැනීමටත් පුළුවන් බව කියවෙනවා.

ආයුර්වේදයේ සහ දේශීය වෙදකමේදී චව් චව් ශාකයේ සියලු කොටස් අස්ථි සන්ධි ආබාධ, බඩවැල් වල රෝග, පණු රෝග, දියවැඩියාව සහ තවත් බොහෝ රෝග සුව කිරීමට භාවිතා කර තිබෙනවා.

පිපිඤඤා වලට සමාන එළවළුවක් වන චව් චව් ශරීරයේ බර අඩු කර ගැනීමට බෙහෙවින් උපකාරීවන අතර ග්‍රෑම් 100ක් ආහාරයට ගැනීමෙන් ලැබෙන්නේ කැලරි 16ක් වැනි ඉතා කුඩා ප්‍රමාණයක්. තෙල් වර්ග කිසිවක් අඩංගු නොවන මෙම අගනා එලවලුවේ ආහාරමය තන්තු, ඛනිජ ලවන, විටමින් බි, පොටෑසියම් සහ ප්‍රතිඔක්සිකාරක බහුලව අඩංගු වෙනවා.



අද වන විට බොහෝ දෙනෙකුට මේ ඖෂධිය එළවලුව අමතකව ගොස් ඇත්තේ එය නිසි ලෙස සකසා ගැනීමට කාන්තාවන්ගේ ඇති නොදැනුවත් බව නිසායි.

වියලි කාලයේ දාහය නිවීමට සමත් චව් චව් ලපටි ගෙඩි පිපිඤඤා ආකාරයට සලාදයට සාදා ගැනීම හෝ කොමඩු ආකාරයට යුෂ සාදා සිනි සහ දෙහි යුෂ දමා රසවත් පානයක් ලෙස සකස් කර ගැනීමටත් සුදුසුයි.

අතීතයේදී කයිදම් බතට පවා සැකසුනු චව් චව් අමු පොල් , හාල්, අබ අඹරා කිරට ව්යංජනය ලෙස හෝ බැදපු පොල් අඹරා මිරිසට සකස් කර ගැනීමට නැතහොත්  පරිප්පු එක්කර සුදට හින්දා පිළියෙළ කර ගැනීමටත් පුළුවන්. ගස්ලබු මැල්ලුම ආකාරයට පොල් අඹරා චව් චව් මැල්ලුම ආකාරයටත් පිළියෙළ කර ගත හැකියි.

සුප් වර්ග වලට ඊටම ආවේනික රසයක් ලබාදෙන චව් චව් එහි ඇති දිරවීමේ පහසුව නිසා රෝගීන්ට සහ බර අඩු කර ගැනීමට අවශ් අයට සාදන සුප් වලට එක කිරීමට ඉතා සුදුසුයි. මේ ගුණයම නිසා මුලින් ආහාර ගන්න ළදරුවන්ටත් ඉතා වටිනා එළවළුවක් මෙමගින් සැපයෙනවා.


කොස් කොළ ආහාරයට ගැනීම සාකච්චා වන යුගයක මෙන්න ඔබට අපූරු ආරංචියක්. ගෙඩි පමණක් නොව චව් චව් දළු සහ  ලපටි කිනිති ව්යංජනයට හෝ සලාද ආකාරයට හෝ කංකුන් ආකාරයට තෙල් දමා රසවත්ව ආහාරයට ගැනීමටත් පුළුවන්

කොස් කොළ බිමට සාදා ගන්නා ආකාරයටම චව් චව් වැලේ මේරූ කොළ වියලා තම්බා  ඔසු පැනක්  ලෙස භාවිතයෙන් දියවැඩියාව සහ හදවත් රෝග වලක්වා ගැනීමට හෝ රුධිරගත සිනි ප්‍රමාණය අඩු කර ගැනීමටත් පුළුවන්.


වට්ටක්කා වලට සමාන නමුත් එතරම් විශාලව නොපැතිරෙන චව් චව් වැලක් ගෙවත්තේ පහසුවෙන් වගා කර ගැනීමෙන් ඔබට ලබා ගත හැකි ආර්ථිකමය සහ සෞක්යමය වාසි බොහොමයි. බොහෝ දෙනාගේ මතකයෙන් ගිලිහි ගිය  මේ වටිනා ඖෂධිය  එලවලුවට ඔබේ අවධානය යොමු වේවා යැයි පතමින් අදට නවතිමි.



රේණුකා විමලරත්න : ලන්ඩනයේ සිට

චායාරූප අන්තර්ජාලයෙන්




No comments:

Post a Comment