අත්තම්මාගේ අත් බෙහෙත් 13
ඕන් මට ඊයෙ පෙරේදා දවසක හම්බ වුනා මගේ පරණ යාලුවෙක්. ආ ගිය තොරතුරු රස කතා අතරේ අපට මතක් වුනා අපේ පන්තියේ හිටපු ''කැඳයා''. ඌ දැන් මහා ලොකු රැකියාවක් කරනවලු. මන් දන්න පොඩි කාලේ පැත්තකට වෙලා හිටපු කැඳයෝ බොහොමයක් අන්තිමට ලොකු වනවිට නතර වුනේ බොහොම ලොකු තැන් වල. පස්ස පැත්තට ඉර වැටෙනකම් නිදා ගන්නවට බොහොම අකමැති වුනු අත්තම්මා ඒ වෙලාවට කී දෙයකුත් මේ වෙලාවේ මට මතක් වුනා. ''ඔහොම නිදා ගත්තොතින් උඹලට කැඳ හම්බවෙන එකක් නැහැ.'' ඇත්තටම මේ කතා දෙකෙන්ම කියවෙන විදියට අපේ සමාජයේ කැඳ ගැන ලොකු පැහැදීමක් නැහැ වගේ.
අත්තම්මලා ආවට ගියාට හරසුන් වචන පිට කල අය නොවෙයි. ඒ කාලේ මරණාසන්න අසනීපයක් හැදුනු කෙනෙකුට වුවත් අවසාන මොහොත වන තුරු ලබා දෙන ඖෂධයක් ලුණු කැඳ. ඔවුන් ගොඩ ගන්නම බැරි තරමට අසාධ්‍ය වුනු විට තමාකැඳ හැන්දක් දෙකක් පොවන එක නතර කරන්නේ. ඒනිසා ''කැඳ හම්බ වෙන එකක් නැහැ'' යනුවෙන් අදහස් කරන්නේ නෑදෑයින්හිතවතුන්ගෙන් වෙන්ව යනවා කියන තේරුමෙන්. වැඩිපුර නිදන අයට ලෝකය සමඟ සම්බන්ද වෙන්නට බැරි බව කිමක් මිස මේ කතාවේදී කැඳ වලට අපහාසයක් ඔවුන් කලේ නැහැ. ඒ වගේම පාසලේදීත් මේ කැඳයෝ නමින් හඳුන්වන්නේ වැඩි කලබලයක් නැති වැඩිපුර පොත පතට යොමුවුන අය. ඖෂදීය සහ පෝෂණීය වටිනාකම මිල කළ නොහැකි කැඳ ආහාරයට ගැනීමෙන් ඔවුන්ගේ ධාරණය කර ගැනීමේ ශක්තිය වැඩි වීමක් වෙන නිසා අන් අයට වඩා ඔවුන් වෙනස් වනවා යන්නයි මගේ නම් තර්කය.
''ලුණු කැඳ'' මේ අතරින් ප්රධානමඑකක්. අද වගේ විදුලියෙන් බත් පිසින උඳුන් නොතිබුණු එදා මැටි මුට්ටියකට අවශ්‍ය ප්රමාණයට වඩා යහමින් වතුර දාල තමයි දර ලිපේ සහල් පිස ගන්නේ. වතුර හොඳින් නටාගෙන පෙන දමාගෙන උතුරන විට නැඹීලියට පෙරා ලුණු ටිකක් මිශ්‍ර කල විට එය හඳුන්වන්නේ ලුණු කැඳ ලෙසයි. මේ නිසා ඒ කාලේ අපේ ගෙවල් වල කැඳ නොතිබුණු දවසක් නැතිතරම්.
කුඩා දරුවෙකුට මුලින් ඝන ආහාර පටන් ගන්න පෙර පුංච් බන්ඩිය බතට හුරු කරන්නට හෝ රෝගියකු වෙනුවෙන් නම් මිට ටිකක් වෙනස් විදියටත් පිළියෙළ කෙරෙනවා. සහල් මිටක් ගලේ තලා ලුණු සහ සිනි ස්වල්පයක් එක් කර පිස ගැනීමයි ඒ. දියරයට මල පහවෙන අතීසාරය රෝගියකුට නම් වැඩිපුර ලුණු සහ සිනි එකතු කල මේ කැඳ කෝප්පයටම, උණ රෝගියකු නම් සුදු ළූණු සහ රතුළූණු බිකක් දෙකක් එක් කරන්නට ඇය අමතක කලේ නැහැ.
කිරි වලට ආසාත්මික කුඩා දරුවන් (lactoseintolerance) අද නම් හැමතැනම දකින්න පුළුවන්නේ. එත් ඒ කාලේ මෙවැනි රෝගයක් තිබුනේ කලාතුරකින් පොඩි දරුවෙකුට. මේ වගේ දරුවෙකු ලොකු මහත් කරගන්න අත්තම්මලාගේ පිළියම වුයේ උකුවට හදා ගන්නා ලුණු කැඳ කෝප්පයම තමයි. පුංචි එවුන්ට හැදෙන දාඩිය බිබිලි, කිරි බිබිලි, දද වැනි සමේ ආසාධන වලට නැඹීලියේ පතුලේ ඉතිරි වී මිදුණු ලුණු කැඳ තැවරීම බොහෝ පල ගෙන දුන් මිල රහිත ප්රතිකාරයක්.
ලුණු කැඳ වැඩි විය පැමිණි ගැහැණු දරුවෙකුට ලබා දුන් ආහාර වල අනිවාර්ය අංගයක්. ඇය දොරට වඩින තෙක් අන් අයගේ ඇසෙන් මුවා වී සිටින කාලයේ මිදුණු කැඳ හෝ කිරිබත් වලින් සිරුර සම්බාහනය කිරීමත් ඒ කාලේ සිදු වුනා. ඒ දොරට වඩින යුවතියගේ නිරෝගී බව ආරක්ෂා කිරීමටත්, දිදුලන සමකින් රුව වැඩි කිරීමත් පිණිස.
සියවස් ගණනාවක් පුරා චීනය, ජපානය, ඉන්දියාව ඇතුළු ආසියාතික මිනිසුන්ගේ ආදරයට පත් වූ ලුණු කැඳ සිංහල බෙහෙතටත්, ආයුර්වේද ප්‍රතිකාරවලදීත්, රූපලාවන්‍ය කටයුතු වලදීත් යොදා ගැනුනේ එහි ඇති අමිල ඖෂදීය සහ පෝෂණීය ගුණ නිසාවෙන්. කුඹුරේ, කම්හලේ වැඩපල පිණිස පිටවෙන කම්කරුවාට ඉන්දීය ගෘහණිය උදෑසන ''බත් කැඳ'' කෝප්පයක්දෙන්නේ එහි ඇති ශක්තිය සැපයිමේත්, චිත්ත ඒකාග්රතාවය ඒකාග්රතාවය පවත්වා ගැනීමේත් හැකියාව ගැන ඔවුන්ට ඇති විශ්වාසය හේතුවෙන්. අතීසාර රෝගීන්ගේ ශරීරයෙන් පිටවන ලවන නැවත ලබාදී විජලනය වලක්වා ගන්නටත්, සිරුරින් පිටවන පෝෂක කොටස් නැවත ලබා දීමටත් හැකි ලුණු කැඳ දිවි බේරා ගැනීමට සමත් ඖෂධයක්.
ද්විත්වාකාර ගුණ ඇති ලුණු කැඳ මල බද්ධය ඇති රෝගීන්ට මල ධුලක ඉවත් කර අන්තර පිරිසිඳු කිරීමටත්, එමගින් ශරීරයට නැවුම් බවක් ලබා දීමටත් උදව් වෙනවා. මේ හේතුව නිසා අන්තර වල පිළිකා වලක්වන්නටත් ලුණු කැඳ උපකාරි වෙනවා.
ග්රීස්ම රටවල මිනිසුන්ට ලුණු කැඳ වඩාත් ගුණ වන්නට අනිකුත් හේතුව වන්නේ එහි ඇති සිරුරේ උණුසුම තුලනය කිරීමේ හැකියාව. ආසාධනයක් නිසා හෝ පාරිසරික හේතූන් මත වැඩි වන ශාරීරික උණුසුම දහදිය මගින් පිට කර සිරුර සිසිල් කිරීමටත් දහදිය නිසා වැයවන ලවණ නැවත සිරුරට සැපයීමටත් ලුණු කැඳ සමත් වෙනවා. හිරු එළිය නිසා සම පිලිස්සීමෙන් වලක්වා ගැනීමට සමත් ''inositol'' නමැති රසායනය සහල් නිවුඩ්ඩෙන් ලුණු වලට එක්වී තිබෙනවා. මිට අමතරව බහුලව ඇති විටමින් ඊ සහ බී සංකීර්ණය ශයිල අලුත්වැඩියාව උත්තේජනය කර මුහුණේ රැලි වැටීම, ඇස් යට ගිලා බැසීම වැනි වයසට යාමේ ලකුණු ප්රමාද කරනවා.
සම දැලක් ආකාරයට වියමින් රැලි ගැසීම වලක්වා ගැනීමටත්, හිරු රැසේ ඇති අහිතකර කිරණ වලින් ආවරණය කිරිමටත් සමත් වෙනවා. විටමින් ඊ සහ ''gamma oryzanol'' අඩංගු නිසා සම රැක ගැනීම පමණක් නොවෙයි හදවතේ සුවයත් වැඩෙනවා. මොනතරම් ආලේපන ගැල්වුවත් යන්තම් 40 පනින විට අද කාලේ අයගේ මුහුණු රැලි වැටුනද, එදා අත්තම්මලාගේ 60/70 වන තුරු සුන්දර මුහුණු පැවතුණේ එදිනෙදා නිතර ආහාරයට ගත් ලුණු කැඳ නිසා විය නොහැකිද?
කුඩා දරුවන්ට මාරාන්තික ''පාචන රෝගය'' ආසියාතිකයින් නිවසේදීම පාලනය කර ගැනීමත්, පාචනය නිසා ලෝකයේ සිදුවූ ළදරු මරණ සංක්යාව සාපේක්ෂව ලොව අනිත් රටවලට වඩා ආසියාවේ අඩුවීමත් ගැන උද්යෝගිමත් වූ ඇමෙරිකානුවන් 1985දී අපේ මේ ලුණු කැඳ ගැන විශේෂ අද්යයනයක් කළා.
''lancetstudy'' නමැති මේ පර්යේෂණ වාර්තාවට අනුකූලව පාචනයේදී ශරීරයෙන් ඉවත් වන glucose, ලවන සහ පිෂ්ඨය නැවත ශරීර ගත කිරීමටත්, අන්තර වලින් පාචනයට හේතු කාරිවු බැක්ටීරියා ශරීරයෙන් ඉවතට යවා අන්තර පිරිසිඳු කිරීමටත් ලුණු කැඳ සමත් වෙනවා. බංග්ලාදේශයේ පාචන පර්යේෂණ කණ්ඩායම (International Centre for Diarrhoeal Disease Research, Bangladesh1987) මේ ගැන අධ්යයනය කර මේ තොරතුරු තවදුරටත් තහවුරු කර තිබෙනවා. ලුණු කැඳ වල ඇති සමට හිතකර බව ගැන බොහෝ පර්යේෂණ කල Dr Mark Posenberg (1988) පවසන්නේ Eczema රෝගයට ලොව දැනට පවතින ප්රත්යක්ෂම ස්වභාවික ප්රතිකාරය ලුණු කැඳ ආලේපය බවයි. මේ සංසිද්ධිය පිළිබඳව උනන්දු වූ බෙල්ජියම් වෛද්‍ය කණ්ඩායමකට අනුව සමේ ආසාධන (Dermatitis) ඇතිවීම ලුණු කැඳ භාවිතයෙන් 20%කින් අඩු කර ගන්නට පුළුවන්.
සුපුරුදු විදියට අපේ දේ
සොරකම් කරන බටහිර ඇත්තෝ ඕන් දැන් ලුණු කැඳ වල ගුණ සහිත සහල් නිවුඩ්ඩෙන් පෙත්තක් හදලා. මේ පෙති 50ක් රුපියල් 1600 (£7.99) සිට රුපියල් 10,000 (£47.99) අතර විවිධ මිල ගණන් වලට ලන්ඩනයෙන් මිලදී ගන්නට පුළුවන්. ඒ විතරක් නෙමෙයි එයින් තෙලක් පවා නිස්සාරණය කරලා ''healthyoil'' විදියට වෙළඳ පොලේ ගිනි ගණන් වලට විකුණන්නට තිබෙනවා. ලුණු කැඳ බොන්නට තරම් ගොඩේ නොවුණු සමහර ''පොෂ්'' උදවියට නම් මෙය වැදගත් පණිවිඩයක් වේවි. දිනපතා ආහාරයට, ඖෂධයට, රුව රැක ගැනීමට පමණක් නොවේ ගෙදර දොරේ වෙනත් කටයුතු වලටත් අත්තම්මාට නම් බත් කැඳ නැතිවම බැරි වුනා. එදා පාසැල් සුදු ගවුමේ රැළි සීරුවට හිටින්නට පොල්කටු ඉස්ත්රික්කයෙන් මදින්න පුළුවන් වුනේ බත් කැඳ දමා සෝදා ගත් පසුවයි.
සමුගන්නට පෙර අකලට සුදු වූ කෙස් කළු කර ගැනීමටත්, කළු කෙස් රැක ගැනීමටත් මහත් වියදමක් දරන යුවතියන්ට 'කැඳ රහසක් කියන්නයි මේ සූදානම. බත් කැඳ පෙරා ශීතකරණයේ තබා පසුදින shampoo වෙනුවට හිස ගලවන්න. ඔබේ හිසකෙස් වල දීප්තිය වැඩිවී සුමට බවක් සහ ගැට ගැසිම වැලකේවී. නැවත හමුවන තුරු ඔබ සැමට ''කැඳ '' අනාගතයක් වේවා!!
රේණුකා විමලරත්න : ලන්ඩනයේ සිට
චායාරූප අන්තර්ජාලයෙන් (නම නොදත් ශිල්පියාට සියළුම ගෞරව හිමිවේ)
ස්තුතියි අද දැක්කේ. මම නම් ඔබ කියපු දේවල් කවදත් අදහන කෙනෙක්. සිංහල වේද පොතක බත් වර්ග 5 ක් හෝ 8ක් තිබුනා .... දුම්තෙල් බත් ආදී වශයෙන්..... එකක්. කුඩු බත.. සමහරු අයින් කරන මෙම සහල් ඇටයේ රතු කූඩු හකුරු හෝ පැණි දමා උයා ගැනී මක් එය.
ReplyDeleteගෙදර වී කොටන දවස්වල අපේ ආච්චි අපට මේ කුඩු සීනි.. පැණි දමලා ගුලිකරලා අමුවෙන් කන්න දුන්නා.
මට දැන් ටික වෙලාවකට කලින් වී මෝලක් ළඟ ඉන්න කෙනෙකුගෙන් ඒ කූඩු කිලෝ දෙකක් විතර ලැබුනා..... වැඩි විස්තර පිරික්සන කොට තමයි ඔබේ ලිපියත් දැක්කේ.