Wednesday 29 June 2016

අත්තම්මාගේ අත් බෙහෙත් 15 : ඉඟුරු

               අත්තම්මාගේ අත් බෙහෙත් 15


                                ඉඟුරු

''නාලිනී එන්න මල් පිපිදැයි බලන්න
බඩඉරිඟු
ඉඟුරු දෝසි
ඉඟුරු දෝසි බඩේ ගායට ගුණය..''


මේ එදා අපි හෝඩි පොතේ මුල් අකුරු උගත් හැටි. කුප්පි ලාම්පු එළියෙන්  හඬ නගා 'ඉඟුරු දෝසි' පාඩම් කරන අපගේ නිදිමත මඟ හැරුනේ එවන් විටෙක අපට ලැබුණු උත්තේජක පානය  වන ඉඟුරු  තේ කොප්පයෙනි. හෝඩි  පොතේ තිබුනාටත් වඩා ඉඟුරු හා සම්බන්ද මගේ කුඩා කාලය  මට සිහිපත් කරවන්නේ දේශපාලනික පිල් මාරුවන චන්දයක් ඇති විටෙකදියි. දේශපාලකයන් ගැන කිසිසේත් පැහැදීමක් නොතිබුණු  අත්තම්මා මෙවන් හැම විටෙකම කුස්සි පිලේ හිඳ මුණු මුණු ගෑවේ ඉඟුරු දී මිරිස් ගන්නට අප ඉතා රුසියන් බවයිඉඟුරු වුව,මිරිස් වුව උපේක්ෂාවෙන් විඳගෙන දෙකෙන් ගත යුතු ගුණ ගෙන අගුණ බැහැර කරන්නට  මනා  ඉවසිමක්ද අත්තම්මලාගේ පරම්පරාවේ අයට  තිබුණි. ඉඟුරු  වුව මිරිස් වුව ලද පරිදි  යොදා මුළුතැන්ගෙයි රස ගුණ මවන්නට ඇයට තිබු හැකියාව නම් වෙනත්ම විධියක ආශ්චර්යයකි. අද මා ඔබ වෙත ගෙන එන්නේ ඉඟුරු අලයෙන් එදා අත්තම්මා මැවූ රස ගුණ ආවර්ජනයයි.



''හෙලේ නගින් ඩෝන් පුතා ''කියා සිරි පතුල වන්දනාවට යන්නට සැරසෙන නඩේ ගුරාගේ පන්කොල මල්ලේ අග්ගලා වාගේම නොවරදවා සුදානම් වන අනිකුත් කැවිල්ල වන්නේ ඉඟුරු දෝසි. දිගුගමන් හුරු නැති වන්දනා කරුවන්ට වාහනයේදී ඇතිවන ඔක්කාරය සහ වමනය (motion sickness) නැති කර ගැනිමටත්, ගමනේ වෙහෙස අඩුවී ප්රබෝධමත් භාවය ගමන අවසානය දක්වා පවත්වා ගැනිමටත් සිදු කල අත් බෙහෙතක් ලෙස. පිටරට වල ජිවත් වන බොහෝ අය මව්බිම බලා එන විට ගෙන එන චොකලට් වර්ග වලින් හිස් වන ගමන් මලු වල ආපසු ගමනට ඇතිරෙන අනිවාර්ය අංගයක් තමා ඉඟුරු කොත්තමල්ලි අඩංගු පස් පංගුව. අපට ලොව කොයි දික්බාගයේ සිටියත් හෙම්බිරිස්ස,කැස්ස උන ඇතිවන වෙලාවට ඉඟුරු කොත්තමල්ලි හෝ පස් පංගුව නැතිවම බැරි නිසා.


යහමින් ඉඟුරු දැමු තේ කෝප්පයක් පානයට දීම ඉඳහිට හැදෙන හිසරදයන්ට අත්තම්මා කල අත් දුටු අත් බෙහෙතක්. මෙමගින් හිස රදයේ තිව් තාවය අඩු වී ඉක්මන් පහසුවක් ලැබෙනවා. සෙම්ප්රතිශ්යාවේදී ඇතිවන සෙම තද වීමට අප කවුරුත් කරන දෙහි කොළ දුම ඇල්ලිමටම, තලා ගත් ඉඟුරු ස්වල්පයක් එක් කිරීමෙන් සමඟම ඇතිවෙන හිස රදයත් අඩු කර ගන්න පුළුවන්. ආයුර්වේදයේදී ඉඟුරු කොටා තලපයක් (ginger paste) සේ සාදාගෙන නළලේ ටික වේලාවක් තැබීමෙන් හිස රදය අඩු කරගෙන තිබෙනවා. ආහාර අජිරණයකදී ඇතිවන බඩ පිපුම , වමනය, උදරය පෙරලෙන වේදනා නැතිකිරීමට ඉඟුරු යුෂ තේ හැන්දකට තිබුනේ විශ්ම කර්ම හැකියාවක්.

  ගර්භනී මව් වරුන්ගේ උදෑසන වමනයට අත්තම්මා කල රහසිගත කෙමක් ඔබ සමඟ බෙදාගන්නට කැමතියි. කතානොකර ඉඟුරු පෙති කපා මි පැණි වල පොඟවා ගැබිණි මවට නිතර හපන්නට දෙන්න. වමනය නතරවී මවට ආහාර රුචිය යලිත් ලැබේවි. මල්වර වූ අලුත යුවතියන්ගේ ඔසප් වේදනා අඩු කිරීමටත් ඉඟුරු තේ, ඉඟුරු කොත්තමල්ලි ඉතා හොඳ ප්රතිකාරයක්. කැස්සට ප්රතිකාර පිණිස ගන්නා මීපැණි ලෙමන් යුෂ අතරට ඉඟුරු යුෂ ස්වල්පයකුත් එක් කිරීමෙන් කැස්ස සමනය වනවා වගේම මෙය ගායනා කරන්නන්ගේ කටහඩ මෘදුව පවත්වා ගැනීමටත් ඉවහල් වෙනවා. හේනේ කුඹුරේ වෙහෙස වී වැඩපල කල අත්තලා මුත්තලාට නින්දට පෙර අත්තම්මා වෙනිවැල්ගැට සමඟ ඉඟුරු තම්බා දුන්නේ මේ දෙවර්ගයේම ඇති වේදනා නාශක ගුණ හොඳින් දැන සිටි නිසා.

ඉඟුරු වල රස ගුණ රහස සොයා මා කල විද්යාත්මක ගවේෂණයේදී උගත් දෑ ඉතාමත් රසවත්. මිනිස් සිරුරේ බොහෝ භෞත ජීව රසායන (phyiological ) ක්රියාදාමයන් සිදු වන්නේ 'ප්රොස්ටග්ලැන්ඩින් (prostaglandin) නමැති හෝමෝනයකට සමාන විශේෂිත රසායනිකයක් නිසා.සිරුරේ ඇති සුමුදු පේශීන් සංකෝචනය සහ විස්තාරණය කිරීම (smooth muscle constriction and dialation) සහ එමගින් රුධිර පීඩනය පවත්වා ගැනීම (regulate blood pressure), අහාර මාර්ගයේ ජීරණ යුෂ ශ්රාවය වීම පාලනය කිරීම(gasric acid regulation), ආසාධන පාලනය කිරීම (control inflammation) , ශරීරයේ උණුසුම පාලනය කිරීම (regulate body temperature) වේදනාව අඩුකිරීම (pain control)වැනි මිනිස් සිරුරේ අරාක්ෂාව පිණිස ගොඩ නැගී ඇති ස්වභාවික ආරක්ෂක පද්ධතියේ වගකීම පැවරී ඇති සෙනෙවියා ලෙස මේ prostaglandin හඳුන්වන්න පුළුවන්. ඉඟුරු වල ඇති විසල් රහස වන්නේද එහි ඇති ස්වභාවික යුෂ (volatile oil ) වල අඩංගු prostaglandin වලට සමාන නමුත් අවශ්‍ය අවස්තා වලදී ඊට විරුද්ධව ක්‍රියාකරන විශේෂ රසායනිකයයි.



prostaglandin හෝර්මෝන වර්ගයක් වූවත් එය රුධිරයෙන් නිපදවෙන්නේ නැහැ. පටක බිඳ වැටීමකදී ඒ ආශ්‍රිත මේධ මගින් නිපදවන prostaglandin එම පටක බිඳවැටීම ආශ්‍රිතව ඉදිමුව, වේදනාව වැනි ස්වභාවික සුව කිරීම් ක්‍රියාවලිය ආරම්භ කරනවා.. නමුත් ඇතැම් අවස්තාවලදී මෙම හෝර්මෝනය අධික වූ අනවශ්‍ය ලෙස ඇතිවන වේදනාවකදී prostaglandin ප්‍රමාණය පාලනය කිරීම අවශ්‍යයි. ඉඟුරු වල ඇති විශේෂිත හෝර්මෝනය ක්‍රියාත්මක වන්නේ මෙවැනි අවස්තාවලදියි.





උදාහරණයක් ලෙස අධික ලෙස ඔසප් වේදනාව ඇති යුවතියන්ට බටහිර වෛද්‍ය විද්‍යාවෙන් දෙනු ලබන පෙති වලින් මූලිකව සිදු කෙරෙන්නේ  prostaglandin ශ්‍රාවය අඩු කිරීමයි. විද්‍යාත්මක දැනුමක් නොතිබුණු අත්තම්මා එදා යුවතියන්ට දුන්නේ ඉඟුරු තේ, සහ ඉඟුරු සහිත වෙනත් පිලියෙල කිරීම්.. ඉඟුරු වල ස්වභාවිකවම මේ ගුණය ඇති බව අත්තම්මලා දැන සිටි නිසා.


නුතන පර්යේෂකයන් පවසන්නේ මේ හේතුව නිසා ඉඟුරුභාවිතයට ගැනීමෙන් හදවතේ සෞක්යය ආරක්ෂා කර ගැනීම, වේදනාව අඩු කර ගැනීම, බැක්ටීරියා වයිරස ආසාධන වලක්වා ගැනීම, අහාර මාර්ගයේ ඇතිවිය හැකි ඔක්කාරය, වමනය, වේදනාව වැනි බොහෝ ආබාධ, හිස රදය අඩුකර ගැනීම, දරු ප්රසුතිය පහසු කිරීම, ඔසප් වේදනා අඩු කර ගැනීම වැනි බොහෝ සුව ප්රතිපල ලඟා කර ගත හැකි බවයි. මීටත් අමතරව ඉඟුරු වලට රුධිර සිනි ප්රමාණය අඩු කර දියවැඩියා රෝගය වළක්වාලීමටත්, පිළිකා රෝග අඩුකිරීමටත් හැකි බවයි ඔවුන් පවසන්නේ.

ශාක සහ පැලැටි වල ඉතිහාස කතා සොයන ගවේශකයින් පවසන්නේ ඉඟුරු මිනිස් වර්ගයේ ආරම්භය සිදු වූ දා පටන්ම ඖෂධයක් ලෙස භාවිතා වී ඇති බවයි. සාධක ලෙස ගත්තොත් අපට පෙනෙන්නට ඇත්තේ පුරාන ග්රීක සහ චීන ඉතිහාස ග්රන්ථ වලත්, ඊජිප්තු පිරමිඩ යුගයේත් ඉඟුරු භාවිතය ගැන විද්වතුන් හෙළි කරන දත්තයි. මධය කාලින යුගයේ සශ්රික බව සංකේතවත් කරන්නට ප්රභූවරුන් භාවිතා කල බවත් සඳහන් වෙනවා. ඉඟුරු වල භූගෝලීය සම්බවය හිමිවන්නේ ගිනිකොන ආසියාවයි.

බොහෝ ගුණ ඇති ඉඟුරු වල ගුණ මෙන්ම අගුනද දැන සිටි අත්තම්මා මයියොක්කා කෑමට ගත දිනෙක නම් ඉඟුරු ඇගේ වෙනත් ආහාර පැත්ත පලාතකටවත් ගත්තේ නැහැ. මේ දෙවර්ගය අතර සිදුවන ප්රතික්රියාවක් නිසා ඇතිවන ධුලක හේතුවෙන් හදවත නතර වන බවයි ඇය එදා කිවේ. මේ ගැන විද්යාත්මක පැහැදිලිකිරීමක් මේ වන තුරු මට හමුවී නැහැ. මයියොක්කා වල නම් සයනයිඩ් ස්වල්ප ප්රමාණයක් අඩංගු බව බොහෝ පර්යේෂණ වලින් ඔප්පු කර තිබෙනවා



ඔබ රුධිරය තුනී කිරීමට ගන්නා warfarin ගන්නවානම් ඉඟුරු භාවිතා කිරීමෙන් ඔබ රුධිර ගැලීමේ අවධානයට ලක් වෙනවා. nifidipine සමඟ ඉඟුරු ගැනීමෙන් ඔබේ රුධිර පීඩනය අවදානම් ලෙස පහලට වැටෙන්නට පුළුවන්. මෙවන්  බොහෝ ඖෂධ වර්ග තිබෙන්නට හැකි නිසා බටහිර ඖෂධ ගන්නා අය මේ කරුණුත් අවධානයට ගැනීම වැදගත්.





ඉඟුරු වල ගුණ පමණක් නොව රසත් දැන සිටි අත්තම්මා බොහෝ අහාර රසවත් කිරීමටත් ඉඟුරු යොදා ගත්තා. මස් මාළු වර්ග පිස ගන්නා විටත් අච්චාරු වර්ග සාදිමේදීත් සුදුළුණු ඉඟුරු සෑහෙන පමණ අඹරා එකතු කරන්නේ මස් මාළු වල ඇති වස විස නසා, දිරවීම පහසු කර ප්රසන්න රසයක් ලබාදිමටයි. පොලොස් මාලුව, කොස් ඇට ව්යංජනය වැනි අහාර වලටත් යන්තම් ඉඟුරු ස්වල්පයක් එක්කර වාත දෝෂ නසා රස වැඩි කර ගත හැකියි. මස් මාංශ බහුලව භාවිතා කරන පකිස්තානය වැනි රටවල ඉඟුරු අපට වඩා විශාල ප්රමාන වලින් ආහාර පිසීමට භාවිතා කරනවා. ඉඟුරු භාවිතා නොකරන සුප වේධ ලොව කොහෙවත් නැති තරමට ව්යාප්ත වුනු ඉඟුරු ගැන අප තවමත් දන්නේ ඉතා සුළු වශයෙන් යන්නයි මගේ නම් හැඟීම.


අවසාන වශයෙන් කිව හැක්කේ ඔබත්, මමත්, කුමුදුමතීත් දැන සිටියේ ඉඟුරු දෝසි බඩේ ගායට ගුණය කියා පමණකි. ඒත් අත්තම්මා ඉන් බොහෝ එපිට රෝග ආබාධ වලට ඉඟුරු ගුණය කියා දැන සිටියාය. අත්තම්මාගෙන් උගත් දේ ඔබ සමඟ බෙදා ගන්නට යලිත් මෙවැන්නකින් හමුවනතුරු ඔබ සැමට ආයු බෝ වේවා!!!

රේණුකා විමලරත්න: ලන්ඩනයේ සිට
චායාරූප අන්තර්ජාලයෙන් (නම නොදත් ශිල්පීන්ට සියලු ගෞරවය හිමිවේ)



















1 comment:

  1. බඩේ රුදාවට, සෙම්ප්‍රතිශ්‍යාවට නැතිවම බැරි ඉඟුරු ගැන තව බොහෝ තොරතුරු ගෙනාවට පින්. සර්ව රාත්‍රික පිරිත් දෙසුමේ යෙදෙන හාමුදුරුවන් වහන්සේලාටත් නැතිවම බැරි ඉඟුරු ගැන දැන් දැනුවත්

    ReplyDelete