Monday 27 June 2016

රේණුකාගේ පලා මල්ල 1: කංකුන්

                      රේණුකාගේ පලා මල්ල 1


                              කන්කුන්



පිස්සාගේ පලාමල්ලේ ඇති පලා මොනවා දැයි ඌවත් දැන සිටියේ නැත. ඒත් ගම හාමිනේ නම් බොහෝ පලා වර්ග දැන සිටියාය. ගෙදර හිටි උන්දැ එලවා ගන්නට 'පල නොකියා පලා' බෙදන්නට ඇයට හැකිවුයේ නිසාවෙන්ය. කන්කුන් කොළයත් පිට රටින් ගෙන්වන කාලේ අද අපේ උන්දැලාගෙන් පලා ගැන ඇසුවොත් අපට වන්නේ කන පලා ගන්නටය. මගේ මේ වෑයම කන පලා නොගෙන පලා ගැන මා දන්නා යමක් ඔබ හා බෙදා ගන්නටය. වැව්, කුඹුරුහෝ ජලාශ්රිත වගුරු බිම්වල කැලෑවට සරුවට වැවුණු කන්කුන් පිට රටින් ගෙන්වන තරමට අප රටින් වඳව ගොස් ඇතැයි ඇසීමෙන් දැනුනු කම්පනය නිසා මගේ පලා මල්ලේ මුල් කොටසට මා ඉතා ප්රිය කරන රසවත් කන්කුන් ඇතුළු කරන්නට අදහස් කලෙමි.


ආසියාවට ආවේනිකව, ඉන්දියාව,ශ්රී ලංකාව,වියට්නාමය , චීනය වැනි බොහෝ රට වල ජලජ ප්රදේශ වල වැවෙනා කන්කුන් කැල්සියම්, යකඩ,විටමින් ,සි,ප්රෝටීන් සහ තන්තු අඩංගු ඉතා රසවත් පලාවර්ගයකි. දශක දෙකතුනකට පමන පෙර කිසිඳු වටිනා කමක් නොලැබුණු මේ පලා වර්ගයට එදාත් අදත් ආයුර්වේදයේ නම් ඉතා වැදගත් කමක් හිමිවූ බව පොත පතෙහි සඳහන් වේ


'tenia pedis ''නැමති පාදවල සහ ඇඟිලි කරුවල කැසුම ඇතිකරන දිලිරයටත්, 'ring worm' නමැති සමේ ආසාධන ඇති කරන දිලිරයටත් ප්රතිකාර පිණිස ආයුර්වේදයේදී කන්කුන් භාවිතා කර ඇත. භාෂ්මික ගුණ ඇති කන්කුන් යුෂ වස විස ශරීර ගත වූ විට වමනය ඇති කිරිම පිනිස යොදා ගෙන ඇති අතර උන රෝගය සඳහා සහනය ලබා දීමට කන්කුන් මිශ් කල ජලයෙන් සිරුර දෝවනය කර තිබෙනවා. අන්තර වල පරපෝෂිත පණු අසාධන සුව කිරීමටත්, අක්මා ප්රදාහයටත් (hepatitis and jaundice ) කන්කුන් යුෂ පානය කිරීමට දීම හෝ බහුලව ආහාරයට දීම ආයුර්වේදයේ සිදු කර ඇති තවත් ප්රතිකාර ක්රමයක්.
 

නවීන විද්යාවට අදටත් අදහා ගත නොහැකි ලෙස ගර්භනී මව් වරුන්ට සෑදෙන දියවැඩියාව (gestational diabetes) සුව කර නිරෝගී දරු උපතක් බිහි කිරීමටත් ආයුර්වේදයේ කන්කුන් උපයෝගී කරගෙන තිබෙනවා. කන්කුන් සම්බන්ධව බොහෝ පර්යේෂණ සිදු කර ඇත්තේ ඉන්දියාව සහ මැලෙශියාව වැනි රටවල් වීම තවත් විශේෂිත කරුණක්. මිට හේතුව ඇමෙරිකා එක්සත් ජනපදය කන්කුන් විෂ සහිත වල පැලෑටියක් ලෙස හඳුන්වාදීමයි. පර්යේෂකයින් පවසන අන්දමට කන්කුන් වල කොලෙස්ටරෝල් සහ ට්රයිග්ලිසරෝල් අඩු කිරීමේ විශේෂ හැකියාවක් ඇති හදවත රැක දෙන පලා වර්ගයක්. එමෙන්ම කන්කුන් වල අඩංගු ප්රතිධූලක ශක්තිය නිසා සිරුරින් ධුලක ඉවත් කර අක්මාවේ ශයිල ප්රතිසංස්කරණය කිරීමේ හැකියාවක්ද තිබෙනවා

යකඩ බහුල බව නිසා නිරක්තිය සුව කිරීමටත්, ඇස වල සෞක්යය ආරක්ෂා කිරීමටත්, මල බද්ධය නැතිකර අන්තර වල සුවතාවය ගැනීමට කන්කුන් වලට ප්රභල හැකියාවක් ඇති බවත් ඔවුන් පවසනවා. පරපෝශිතයින්ට මාරු කැඳවන කන්කුන් නිසා සමේ ආසාධන දුරු කර ,සමේ අලංකාරය රැක ගැනීමටත්, තරුණ බව රඳවා ගැනීමටත් පුළුවන්. එපමණක් නොවේ, කන්කුන් වලට පිළිකා රෝග වැලක්වීමටත් හිසකෙස් ඝනව වඩවා ශරීරයේ ප්රතිශක්ති පද්ධතිය පවත්වා ගැනීමටත් අසාමාන් හැකියාවක් ඇති බව සොයා ගෙන තිබෙනවා.
ආසියාවේ රටවල සුපවේදීන්ට කන්කුන් නැතිවම බැරි ඉතා රසවත් ආහාරයක්. දැන් දැන් අපේ රටේත් අවන්හල්වල'චීන කන්කුන්' නැතුවම බැරි වන මට්ටමට ජනප්රිය ආහාරයක් වෙලා. මා නම් බොහෝ ප්රිය කරන්නේ සිංහල ක්රමයට සාදන කන්කුන් බැඳුමටයි. උම්බලකඩ හෝ හාල්මැස්සන් සමඟ රතුළුණු දමාකොළ පැහැය විනාශ නොවන ලෙස බාගෙට ලිපෙන් බා ගන්නා කන්කුන් බැඳුම (stir fry style) බත් මරන්නට පුළුවන් රසවත් ව්යන්ජනයක්. කලවම් පලා මැල්ලුමට එක් කර හෝ පරිප්පු/කොස් ඇට සමඟ හිදෙන්නට පිසින කන්කුන් මාළුවත් ඉතා රසවත්. රස ගුණ සපිරි මේ වටිනා පලා වර්ගය පිටරටින් ගෙන්වන්නට ඉඩ නොදී ගෙවත්තේ වගා කර ඉදිරි පරපුර වෙනුවෙන් රැක ගැනීමේ වගකීම ඔබට පවරමින් අදට සමු ගනිමි.

රේණුකා විමලරත්න - ලන්ඩනයේ සිට
 චායාරූප අන්තර්ජාලයෙන් 
(නම නොදන්නා ශිල්පියාට සියලු ගෞරවය හිමිවේ)



No comments:

Post a Comment