Wednesday, 5 October 2016

අත්තම්මාගේ අත් බෙහෙත් 24: කොල්ලු



සුනිල්ගේ සහ නිමල්ගේ පියවරු දෙදෙනා එක මග වෙළඳාමේ ගොස් උපයා ගත්  මුදලින් හන මිටි දෙකක් රැගෙන නිවෙස් බලා එන්න ආපසු හැරෙනවා. ආපසු එන ගමනේදී ඔවුන්ට වෙනත් විවිධාකාර වෙළෙන්දන් මුණ ගැහෙනවා. සුනිල්ගේ පියා හන මිටිය අතහැර අතරමගදී ඔහුට හමුවන විවිධ වෙළෙඳුන්ගෙන් ලැබෙන දේට ඔහු අත ඇති දේ මාරු කරනවා. නමුත් නිමල්ගේ පියා තමන් මුලින් කරට ගත් හන මිටිය අත නොහැරම  නිවසට පැමිණෙනවා. සුනිල්ගේ පවුලේ අය අතමිට සරුව සතුටින් ජිවත් වෙද්දී, හන මිට කරගහගෙන පැමිණි නිමල්ගේ පවුලේ අය බොහෝ දුගී වී දුකසේ කාලය ගත කළා.


 හන මිටියේ කතාව මුලින්ම මම කියෙව්වේ තුන වසරේදී  පමණ පාසැල්  සිංහල පාඩම් පොතේ. ඉතිහාසය අපේ පාසල් පොතෙන් ඉවත් වෙද්දී, විෂය නිර්දේශයට එක්කල මේ කතාවේ හොඳ හරිය එළඹෙන්නේ දශක තුනහමාරකට- හතරකට පමණ පසුව අද දිනයි. අප බිම තැබූ හන මිටිය කර තබා ගත් අයගේ කතාව ඔබ අමන්දා නන්දයට පත් කරනු නොඅනුමානයි. කතාව ඔබට කීම මදකට පසෙකලා මා දැන් සූදානම් වන්නේ අරුනාලෝකයේ අවධිවන අත්තම්මා උදැසන අහරට පිළියෙළ කල අද කාලයේ දරුවන් අසා ඇත්දැයි සැක සහිත ඖෂධීය ගුණ ඇති රසවත් උදේ ආහාරයක් වු ''කොල්ලු'' නැමති  ධාන් වර්ගය ඔබ මතකයට ගෙන එන්නයි.

දුඹුරු පැහැ කුඩා මුං ඇටයක්  නැතහොත් උළුහාල් ඇටයක් ආකාර කොල්ලු අප කුඩා කාලයේ මසකට තුන් හතර වතාවක්වත් උදේ ආහාරයට එක්වුණු ධාන් වර්ගයක්. චූන් පාන් අයියලා නොසිටි කාලයේ දවසේ වැදගත්ම ආහාරය වන උදේ ආහාරය අත්තම්මලා අතින් පිළියෙළ වුනේ පවුලේ අයගේ ශක්ති  සහ ඖෂධිය අවශ්යතාවයන්  අනුව කල් ඇතිව සැලසුම් කිරීමෙන්. කුරක්කන් පිටි වලින් සෑදුනු රොටි, පිට්ටු වැනි රසවත් ආහාරයක්, අල බතල වර්ගයක් හෝ මුං, කව්පි කඩල වැනි ධාන් වර්ග අතර උදෑසන ආහාරයේ විවීධත්වය සහ රස පාලනය පිණිස එක්කල තවත් ධාන් වර්ගයකට හිමි තැන තමා එදා  කොල්ලු වලට හිමි වුයේ.

ශක්තිය සැපයීමට ඇති අසීමිත හැකියාව නිසා වැව් දාගැබ් බඳින්නට දශමහ යෝධයින් පෝෂණය කල අහරක් බවට අත්තම්මා කල පම්පෝරිය නිසා අකමැත්තෙන් ගිල දැම්මා  මිස, කොල්ලු පිලිබඳ එතරම් පැහැදීමක් කුඩා කාලයේ මාතුල තිබුනේ නැතයන්තම් කහට රසක් ආවත්, අමු පොල් සමඟ මිශ්රකර කොච්චි සම්බෝලයක් සමඟ  දුම් දමන උණු කොල්ලු අහුරක ඇති අපූරු රසය  අද නම් මා ප්රතික්ෂේප කරන්නේ නැත. එදාට වඩා එහි ඇති ගුණ ගැන අද ඇති අවබෝධය නිසයි.

උදේ ආහාරයෙන් නොනැවතුණු කොල්ලු දහවල් බතට රසවත් ව්යන්ජනයක් ලෙස සැකසුනු අපූරුවද අදටත් මටනම් අමතක නැහැ. කබලේ බැද පියලි කර පසුව තෙම්පරාදුවට පරිප්පු පිසින්නාක් මෙන් සැකසුණු කොල්ලු බත් පත  රසවත් කරන  ව්යන්ජනයක් වුනා




රැය  පුරා වතුරේ පොඟවා පැල වේගෙන  එන කොල්ලු මොටයි කරවල කැබැල්ලක් හෝ උම්බලකඩ රතුළූණු සමඟ තෙලට දමා  එදා අත්තම්මාගෙන් පසුව රස බැලු බවක් මගේ මතකයට එන්නේ නැහැ. කබලේ බැදගත් කොල්ලු පිටිකර කැවිලි වර්ග වලට එක්කිරිම වාගේම, තෙතට සාදාගන්නා  පිටි වලින් කැඳ  සහ රොටි පිළියෙළ කිරීමටත්, තලප වලට මිශ් කිරීමත් සිදු වුනා. වැඩිපුර  තක්කාලි දමා තෙම්පරාදුවට සාදන පියලි කල කොල්ලු මාළුව කයිදම් බතේ පවා නොවැරදුනු අපේ රසවත් ආහාරයක්.


නැවත හැරී බලන කල මගේ මතක පොතේ පිටු අතර කොල්ලු වලට ආහාරයකට වඩා වැඩිපුර ලැබෙන්නේ ඖෂධයකට හිමි තැනක්.. අත්තම්මා පවුලේ අයගේ විවිධ රෝගාබාධ වලට කොල්ලු භාවිතා කල අයුරු නිසායි. යුවතියන්ට සෑදෙන අක්රමවත් මාස් ශුද්ධිය හෝ අධික රුධිර වහනය සඳහා අත්තම්මා සම්මත කල විවිධ ආහාර අතරේ මුල් තැනක් ලද ආහාරයක් කොල්ලු. මේ ගැටලුව සහිත ගැහැණු  දරුවන්ට කොල්ලු පිටි වලින් සාදන කැඳ සතියකට දෙතුන් වතාවක් ලබා දීම හෝ මාස් ශුද්ධිය ඇතිවීමට සතියකට පෙර සිට කොල්ලු ඇගේ ආහාරයට ලබා දීමත් ජිවන අත් දැකුමෙන් හෝ ඇගේ වැඩිහිටියන්ගෙන් ඉගෙන ඇය කල අගනා ප්රතිකාරයක්.

එපමණක් නොව කිරිදෙන මවු වරුන්ට කිරි එරවිමටත්, නිතර සෙම්ප්රතිශ්යා උන රෝග හෝ පණු අමාරු සහිත කුඩා දරුවන්ටත් කොල්ලු ඉතා ගුණදායි බව විශ්වාස කල හෙයින් ඔවුන්ගේ ආහාරයට කොල්ලු එකතු කිරීමට අනුබල දෙන්නට ඇය පැකිලුනේ නැහැ. පෙර කීවාක් මෙන් දාගැබ් වැව් තැනු මුතුන් මිත්තන්ට ශක්තිය සැපයු බවට තිබු විශ්වාසය නිසා ගත වෙහෙසා වැඩ කෙරෙන කුඹුරු කාලයට ආහාර වේලේ නොවැරැදුණු කොල්ලු, මුත්රා ගල් ඇති රෝගීන් සඳහා අත්තම්මා පිළියෙළ කල ආහාරමය ඖෂධ අතරත් මුල් තැන ගත්තක්.

 වාත අමාරු වලට කොල්ලු වලින් ලබා ගත හැකි පිටුවහල දැන හුන් අත්තම්මා එවන් විටෙක කුමන හෝ ක්රමයකින් ආහාරයට කොල්ලු එකතු කිරීමට දක්ෂ උනා. අද මෙන් බහුලව නොවූවත් ඉඳහිට අහන්නට ලැබුණු දියවැඩියා රෝගියකුට දිය යුතු ආහාර අතර එදා කොල්ලු වලට ලැබුනේ ඉස්තරම් පිළිගැනුමක්. ගැහැණු ළමයින්ට සම රැක ගැනීමට මෙන්ම  බඩපුරා කා ඇඟේ  හැඩ පවත්වා ගැනීමටත් හැකි බවට එදා අත්තම්මලාගේ පරපුරේ අය දැනහුන් අපූරු ධාන් වර්ගයක් කොල්ලු.


සම්ප්රාදායික දේශීය සිංහල වයිද් ක්රමයේ කොල්ලු මුත්රා ආසාධන, ස්වසන රෝග, කාන්තාවන්ගේ ප්රජනන පද්ධතියේ සෑදෙන දිලිර ආසාධන, කාන්තාවන්ගේ රෝග, ප්රසවයෙන් පසු ඇතිවන රෝග, වාත රෝග, අර්ශෂ් ගෙඩි වැනි මෙකි නොකී බොහෝ රෝග  සඳහා ප්රතිකාර වලට භාවිතා කරනවා. ආයුර්වේදයේදී දියවැඩියාව, සෙංගමාලය, හ්රදයාබාධ, ඉදිමුව, පුරුෂයින්ගේ ශුක්රානු ප්රමාණය  සහ පුරුෂ හැකියාව වර්ධනයට, අක්ෂි ආබාධ, සන්ධි ප්රධාහ සහ පණු ආසාධන වැනි රෝග සඳහා ප්රතිකාර පිණිස කොල්ලු යොදා ගැනෙන බවයි කියවෙන්නේ.

කොල්ලු පිලිබඳ හදාරන පෝෂක වේදීන් පවසන්නේ තැම්බූ කොල්ලු ග්රෑම්  100 කැලරි 321ක් වැනි විශාල ශක්ති ප්රමාණයක් අඩංගු වන බවයි. වෙහෙස වී වැඩ කරන ශක්තිය වැඩිපුර අවශ් අයට කොල්ලු ගැලපෙන ආහාරයක් වන්නේ මේ නිසාවෙන්. සත්ව ආහාරයක් ලෙස කොල්ලු යොදා ගැනුමට හේතුව වන්නේත් එයයි. නමුත් කොල්ලු කුඩා ප්රමාණයක් ආහාරයට ගැනීමෙන් ඉක්මනින් කුස පිරෙනවා. වාගේම දිගු වේලාවක් සෙමෙන් දිරවමින් ශක්තිය පිට කරන නිසා තරබාරුව අඩු කරන්නට කදිම පිලියමක් වෙනවා. කොල්ලු වල අහිතකර තෙල් වර්ග කිසිත් අඩංගු නැහැ. නමුත් අධික ප්රමාණයකින් කැල්සියම්, පොස්පරස් සහ යකඩ අඩංගු වෙනවා.

කොල්ලු පිලිබඳ බටහිර ලෝකයේ මතය විමසා බැලීමත් වැදගත්. අප බිම තැබූ හන මිටිය අහුලා ගත් අයගේ කතාව කොල්ලු වලට සම්බන්ද වෙන්නේ මෙන්න මෙතනදියි. ඔවුන්ට අනුව අනාගත ලෝකය රැක  දෙන ආහාරය තමා කොල්ලු (National Academy of Sciences US). ඔවුන්ගේ පර්යේෂණ දත්ත වලට අනුව කොල්ලු වලට ඇත්තේ දියවැඩියාව වැළකීමේ සහ ශරීරයේ බර අඩු කිරීමේ  අපූරු හැකියාවක්. ඇමරිකාවට විශාල සෞක් ගැටලුවක්ව පවතින තරබාරුව මට්ටු කිරීමට කොල්ලු යොදා ප්රතිකාර කිරීමටයි ඔවුන්ගේ සූදානම

මිට අමතරව ඔවුන් පවසන්නේ කොල්ලු වලට ශරීරයේ ඇති අනවශ් දියර ඉවත් කිරීමේ හැකියාවක් (Diuretic ) ඇති බවයි. සමඟම කොල්ලු වල ඇති ශාකමය මේධ මගින් ආමාශයේ තුවාල සුව කිරීමත්, උදරයේ ඇති වාතය ඉවත් කිරීමටත් හැකි බව ඔවුන් පවසනවා. කොල්ලු වල අඩංගු අධික ටැනින් සාන්ද්රණය ප්රති ඔක්සිකාරකයක් ලෙස ක්රියාත්මක වෙමින් රෝග සුවයටත්   පිළිකා  වැලක්විමටත් උපකාරී වන බව පවසන ඔවුන් කොල්ලු ආහාරයට ගැනීමෙන් හර්දයාබාධ වලින් තොර නිරෝගී දිවියක් ගත කල හැකි බවයි පවසන්නේ.


ඇමෙරිකානුවන් අපට හඳුන්වාදුන් තිරිඟු පිටිවලින් සෑදු කිඹුලා බනිස් ගිලින්නට අපට කියාදී ඔවුන් කොල්ලු පාරේ හඹා යාම අපේ හන මිටිය ඔවුන් කර තබා ගැනීමට සම කිරීමට මා යොදා ගත උපහැරණයට දැන්   ඔබ එකඟ වනවාද???

නව ආරට හන මිටිය බිම තබා බටහිර පදයට පොල්තෙල් වෙනුවට පාම් තෙල්ද, කොල්ලු වෙනුවට මැටි පාන්ද ආහාරයට එක්කරගත් සුනිල්ගේ පවුලේ අය මහ රෝහලේ දියවැඩියා  බෙහෙත් පෝලිමේ යාම හන මිටියේ කතාවේ මා දකින අලුත්ම පරිච්චේදයයි. හන මිටිය බිම නොතැබූ නිමල් ලා සිටියානම් ඔවුන් අදටත් සතුටින් නිරෝගිව සිටිනා බවට අටුවා ටීකා අවශ්යම නැත. බටහිරෙන් අපට බස්සවන්නට ගෙනෙන බෝල ගෙඩිය පිටින් තවදුරටත් සොයා බැලුමකින් තොරව  ගිලිනවාද නැද්ද යන්න තීරණය කිරීම ඔබට බාර කරමින් අදට සමුගමි.

රේණුකා විමලරත්න: ලන්ඩනයේ සිට
චායාරූප අන්තර්ජාලයෙන් 


No comments:

Post a Comment