Friday, 7 October 2016

සීනි හැදිලද? දියවැඩියාව (2 කොටස) Diabetes


පහුගිය ලිපියෙන් මන් කතා කලේ සීනි හැදෙන විධිය, මතක නැති උදවිය ආයේ වංගියක් කියෙව්වනම් හොඳා..


අර සිනි හැදිච්ච මහත්තයා පෙති බීලා ජාමේ බේර ගන්න ලෑස්ති වුන වෙලාවේ ගැන මන් කල විස්තරය..

පහුගිය ලිපියේ සාරාංශයක් වශයෙන් සහ සීනි හැදුනම අඳුනගන්න පුළුවන් රෝග ලක්ෂණ ටික ආපහු  හැරිලා බැලුවොත් මෙන්න මෙහෙමයි..


  • මහා ග්රිස්මයකට අහුවුනා වාගේ රැයක් දවාලක් නැතිව හැදෙන  හැදෙන  පිපාසාව
  • හිල් කූඩේ වගේ වැසිකිලියට වරින් වර දුවන්න වෙන චූ බර
  • ඇඟේ පතේ පන කලඳක් නැතිවෙන්න දවස පුරා තියෙන මහන්සිය
  • හුඹහෙන්ඇදල  ගත්තු තලගොයා වගේ හේතුවක් නැතිව දිරලා යාම නැත්නම් කෙට්ටු වීම


දැන් ඉතින් ඔය ටික තමා මූලික ලක්ෂණ..ඊට අමතරව තව රෝග  ලක්ෂනත් තියෙනවා..

රෝග ලක්ෂණ ගැන අඳුන ගන්න මන් පොඩි පරීක්ෂණයක් කියන්නයි යන්නේ..


හොඳට සිනි දාල හදපු තේ කෝප්පයක් මිදුලට හලන්න..දැන් ටික වෙලාවකින් කොහොමද බලන්න.. කොඩෙව්, කළු කූඹි, රතු කූඹි, කඩි , දිමි වැනි නොයෙකුත් කුඩා සත්තු මෙතනට වහ වැටිලා ලොකු පාටියක් දාන්නේ නැද්ද කියලා.. අපිට ඇස්  දෙකෙන් පෙනෙන  සත්ව කොට්ටාශ විතරනේ..

දැන් මෙතන  ඔය අන්වීක්ෂයක් වගේ දෙයකින් බැලුවොත් ලක්ෂ කෝටි ගානක් ඇසට නොපෙනෙන ජිවිනුත් මේ පාටියට ඇවිල්ලා ඉන්නවා..පාටි කියන්නේ කෑම තියෙන තැන නේ..බොහෝ ඇසට නොපෙනෙන බැක්ටීරියා වර්ග එන්නෙත්  මේ වගේ  සිනි වැඩි කෑම තියෙන තැන් වලට. වෙනසක් නැහැ අපි වගේමයි නේ :)

ඔය සන්තැනියම තමා අපේ ශරීර කූඩුවේ සිනි වැඩි වුනාම වෙන්නෙත්..දැන් ඔය චූ වල සිනි තියෙන නිසා චූ දාන අවයව වටේ කොච්චර පිරිසිදුවට හිටියත් බැක්ටීරියා වැහි වැහැලා..ඕන ඉතින් කසනවා කසනවා..හේතුවක් දන්නේ නැහැ..ඔය තමයි දියවැඩියාව තියෙන බව දන්නේ නැති අයට ඇති වෙන තවත් රෝග ලක්ෂණයක්..

දැන් ඔන්න තව කතාවක් මේ අස්සේ මතක් වුනා..දියවැඩියාව අලුත් කාලේ ෆැෂන් ලෙඩක් කියලා හිතුවට අද වගේ  වසංගතයක් විධියට නැතත් ඕක බොහොම ආදී කාලේ ඉඳලා තිබුන රෝගයක්. දියවැඩියාව තියෙනවද කියලා හොයාගන්න කාලේ ග්රීක, චීන, ආයුර්වේද වාගේම අපේ සිංහල වෙද උතුමන්ලා ලෙඩාට කියලා තියෙන්නේ එකම එක දෙයයි..

''ආන්  අර මිදුලට ගිහින් චූ දාපිය....''  දැන් මේ චූ දාපු තැන කූඹි වැහුවද ..එහෙනම් බඩු තමා...(මන් කිව්වේ මිදුල හොදේ)

ඊළඟට පොඩි තුවාලයක් වුනා කියමු..ලේ වල තියෙන පැණි රසට වටේ පිටේ ඉන්න ඔක්කොම බැක්ටීරියා එකතු වෙනවා මෙතනට..

''හම්මට මෙන්න නියම කෑමක්..අඩා  වරෙව් මාස ගානකට කෑම'' කියලා පවුලේ  අය විතරක් නෙමේ අඳුරන පුංචි අම්මගේ පුතාලත් එක්ක එනවා..

අනේ ඉතින් මේ තුවාලේ හිමිකාරයා මොන තරම් බේත් බිව්වත් බේත් දැම්මත් කිසි ගුණයක් නැහැ..මොකද බෙහෙත් වල පවර් එකට වඩා ලේ වල තියෙන සිනි පැණි රස නිසා එතන පාටි දාන බැක්ටීරියා උන්දැලගේ පවර් එක වැඩියි..කල් පවතින සුව නොවෙන  තුවාල තමයි ඉතින් ඔය සිනි හැදුනාම වෙන තවත් ලක්ෂණයක් වෙන්නේ..

තව කට්ටියක් ඉන්නවා කිසි හේතුවක් නැතිව උන්දැලාට ඇහේ දැල බැන්දාහේ බොඳ වෙලා පේන්න  ගන්නවා. දැන් මේක කොහොමෙයි කියා දෙන්නේ..


ආයිමත් හදමු ඉස්සෙල්ලා හදපු වැඩි සිනි තේ කෝප්පේ..දැන් ඕක ඔහොමම තියමු පැයක් හමාරක්..ඊළඟට මේ තේ කෝප්පේ හලලා ඉවර වෙලා කට්ටිය බලමු කෝප්පේ දිහා..යහමෙට දාපු සිනි මිදිලා නැතෑ කෝප්පේ බිත්ති වල..ඔය සංසිද්ධියම තමයි අපේ ලේ නහර වලට වෙන්නෙත්..නිතර සිනි වැඩි ලේ ගමන් කරනකොට ලේ නහර වල බිත්ති වල ටිකෙන් ටිකේ සිනි බැඳෙනවා.. 

ඕක මුලින්ම බලපාන්නේ අන්තිම පුංචි ලේ නහර වලින් පෝෂණය වෙන අවයව වලට.. කියන්නේ ඇහේ කාචය වගේ සියුම් අවයව වලට යන කුඩාම ලේ නහර සිනි බැඳිලා බ්ලොක් වුනාද මෙන්න පෙනුම අඩු වෙනවා.. 

කරුමේ කියන්නේ මේක ආයිත් යතා තත්වයට ගන්නත් බැහැ .. වුනාට හුඟක් උදවිය සිනි හැදිලා කියලා දැන ගන්නෙත් මේ තරමට වැඩේ සිරාවට ගියාට පස්සේ.. 


ඔය විධියට ශරීරයේ විවධ අවයව  වලට ලේ ගෙනියන ලොකු හෝ කුඩා හෝ වේවා නහර බ්ලොක් වුනාම අවයවයට අදාලව රෝග ලක්ෂණ ඇති වෙනවා..හාර්ට් ඇටෑක්, වකුගඩු නතරවීම වගේ ලොකු ලොකු රෝග තමයි ඒවා.. ගැන අපි හිමින් සීරුවේ කතා කරමු..

ඕන් ඔහොමලු සිනි හැදුනාම අපට දැනෙන විව්ධාකාර රෝග ලක්ෂණ මතු වෙන්නේ..ඔය මන් පැහැදිලි කලේ දියවැඩියාව මුලින්ම හොයා ගන්නට උදව් වෙන රෝග ලක්ෂණ..දැන් ඉතින් තම තමන්ගේ ශරීර වලට මේ ලක්ෂණ අදාළ කරගෙන බැලුවනම් තමා හොඳ..මේ කිව කාරනා  අදාලද කියලා..

දියවැඩියාව බෝ වෙනවාද?? ඊළඟ ලිපියෙන් ගැන කතා කරමු..




ලිපි මාලාව ගැන:


අද වන විට ලොව පුරා වෙසෙන ඇස්තමේන්තුගත දියවැඩියා රෝගීන් ගණන මිලියන 415කි. ඒ අනුව ලෝක ජනගහනයෙන් 11කින් එක් අයකු දියවැඩියාවෙන් පෙලේ. මින් වැඩිම ප්‍රමාණයක් රෝගීන් අයත්වන්නේ ඉන්දියාව ඇතුළු දකුණු දිග ආසියාවටයි. තුන්වන ලෝකයේ අධ්‍යාපනය සහ ආර්ථික මට්ටමින් පහල රට වල ශීග්‍රයෙන් පැතිර යන, සුව කල නොහැකි දියවැඩියාව, ලංකාව වැනි  අකුරු හැකියාව වැඩි රටක  පැතිර යන්නේ ඒ පිළිබඳව නිසි අධ්‍යාපනයක් නැතිකම, ආහාර රටාව සහ ව්‍යායාම මද කම නිසාවෙන්. 2011සංගණන වාර්තාවන්ට අනුව දකුණු ආසියාවේ දියවැඩියාව වැඩිම රටවල් අතරින් තුන් වන රට බවට පත්ව ඇත්තේ ලංකාවයි. මේ වාර්තාවට අනුව 2011 දී දියවැඩියා ලංකාවේ ජාතික ප්‍රවනතාවය 7.8%කි. වසර 5කට පසුව ඊයේ පෙරේදා මාදුටු වාර්තාවකින් කියවෙන්නේ ලංකාවේ වැඩිහිටියන් හය දෙනෙකුන් එක්  අයෙකු එනම් 16.6%ක්  අද වන විට දියවැඩියාවෙන් පෙලෙන බවයි. හෙට දින ඔබ වෙත මරු ගෙන එන දියවැඩියා  රෝගය වලක්වා ගැනීමට හෝ රෝග පාලනය කිරීමට ඒ වෙනුවෙන් ඔබ දැනුවත් කිරීමේ ලිපි මාලාවයි මේ.

මුල් කොටස 
දියවැඩියාව3
දියවැඩියාව4

දියවැඩියාව5


රේණුකා විමලරත්න : ලන්ඩනයේ සිට
(Qualified Diabetic Nurse Specialist: Masters level: Buckinghamshire New University: London)

(චායාරූප අන්තර්ජාලයෙන් )

References:
International Diabetes Federation
World Health Organization
American Diabetes Association
Diabetes UK




No comments:

Post a Comment