ඇත්තටම සිනි බෝවෙනවද?
නොකා මැරුනොත් අකල් මරණ - කාල මැරුනොත් කාල මරණ කියලනේ දැන් ඉන්න අය කියන්නේ..හැබැයි ඉතින් කාල දියවැඩියාව හදාගෙන ඇත්තටම පන ඩිංග යන්න එනකොට තමයි ඒකෙත් රගේ තේරෙන්නේ. ඔය විදියට කාල දියවැඩියාව හදා ගත්ත ඈයෝ නිතර අහන ප්රශ්නයක් තමා මේ.
මේ පිළිබඳව අපි උදාහරණ කීපයක් අරන් බලමු:
රෝසිගේ කතාව :
රෝසි බොහොම අග හිඟකම් තිබුණු වටපිටාවක හැදුනු ගැහැණු ළමයෙක්. හිතුමතේට දීග ගිහින් ජිවිතයේ ප්රශ්න එනකොට මසුරන් හොයන්න මැද පෙරදිග රැකියාවට ගියා. රෝසිගේ වාසනාවට ඇයට ලැබුනේ බොහොම කාරුණික හාම්පුතුන් සිටින නිවසක්..ඇයට කෑමෙන් බීමෙන් කිසි අග හිඟයක් තිබුනේ නැහැ. මේ ගෙදර නිතර පවතින සාද නිසා කොයි වෙලෙත් බොහොම ඉස්තරම් චීස්, බටර්, චොකලට් වර්ග වැහි වැහැලා තිබුනා.
කිසි දෙයකින් අඩුවක් පාඩුවක් නොතිබුණු මේ නිවසේ ස්වාමියාටත්, බිරිඳටත්, ඔවුන්ගේ දෙමව්පියන් ඇතුළු බොහෝ නෑයින්ටත් දියවැඩියාව තිබුනා . රෝසිට මේ කාලයේ ඔවුන්ට සාත්තු කරන්නත් සිදුවුනා.
තමන්ගේ සේවා කාලය අවසානයේ ගමරට බලා පැමිණි රෝසි
වැඩි දවසක් නොගිහින් නිතර අසනීප වන්නටත් හොඳින් තිබු සිරුර වැහැරෙන්නටත් වුනා..රුධිර පරීක්ෂාවක් කල ඇගේ වයිද්යවරයා පැවසුවේ ඇය දියවැඩියාවෙන් පෙලෙන බව. රෝසිට මේ පිළිබඳව අවබෝධයක් තිබුනේ නැහැ ..ඇගේ සිතට ආ එකම කාරණය ඇගේ හාම්පුතුන් මේ රෝගයෙන් දුක් විඳි බව..
රෝසිගේ පැණය : වැඩ කල නිවසේ අයගෙන් දියවැඩියාව බෝවුනාද?
කොහෙත්ම නැහැ. රෝසිට රැකියාවට යාමත් සමඟම අධික ලෙස තෙල්, ප්රෝටීන අඩංගු ආහාර රටාවකට පුරුදු වන්නට වුනා. මේ නිවසේ ආහාර රටාවේ මස් වර්ග තෙල් සහ සීනි අධික ආහාර මිස එළවලු පලතුරු වැනි දේ ආහාරයට්එක්වුණේ අඩුවෙන්.
මැද
පෙරදිගදී කාන්තාවකට හිමිවන නිදහස අඩු නිසා නිවසෙන් ඉවතට නොගිය රෝසිට ව්යායාමයක් ලැබුනෙත් නැහැ. මේ නිසා ඇය ඉක්මනින් තරබාරු වුනා. නිතර ලැබෙන තෙල් සහ සිනි සහිත ආහාර නිසා ඇගේ අග්න්යාශයට නිරන්තරයෙන් ඉන්සියුලින් නිපදවන්නට සිදු වීමෙන් අග්න්යාසය වෙහෙසට පත් වුනා..ඉන්සියුලින් නිපදවීම අඩු වුනා. මෙතැනදී තමයි මන් අර මුල් කොටසේදී කතා කල කළමනාකරණය කර ගන්න බැරි තරමට වැඩ රාජකාරි පැවරෙන කොට රජවාසලේ යෝධයා වෙහෙස වීමේ කතාව අදාළ වෙන්නේ..(දියවැඩියාව -1 කොටස කියවන්න)
ශරීරයේ මේධ පටකය වැඩි වීම නිසා අග්නයාශය පිඩනයට පත් වීම මීළඟ හේතුව.. එතකොට නිපදවෙන ඉන්සියුලින් ප්රමාණයේ ගුණාත්මක බව අඩු වෙනවා.. හරියට වැඩ කරන්නේ නැතිව හිටපු කම්මැලි යොදයාගේ කතාව වගේ..(දියවැඩියාව -1 කොටස කියවන්න)
රෝසිට දියවැඩියාව හැදුනේ මේ හේතු දෙක නිසා. ඇය වසර හත අටක්ම සේවයේ ඉද්දි ඇයට සෙමෙන් සෙමෙන් රෝගය ඇති වෙලා මිස ඒ නිවසේ අයගෙන් බෝ වුනේ නැහැ..නමුත් රෝගයේ ලක්ෂණ මතු වන්න පටන් ගන්න කාලයේ තමයි ඇය සේවා කාලය ඉවර කර නැවත මවු බිමට ආවේ.
නිර්මලාගේ කතාව:
නිර්මලා මැදි වයසේ කාන්තාවක්. දරුවන් දෙදෙනෙකුගේ මවක් වූ ඇයට
මාස් ශුද්ධිය නතර වීමේ ලකුණු පහල වෙමින් තිබුනේ. නිර්මලා නිතර වෙහෙසට පත් වුනා. අධික වෙහෙස නිසා ඇයට දවසේ කටයුතු කර ගැනීමත් අභියෝගයක් වෙලා තිබුනේ. ඇගේ සම කාලින මිතුරියන් කිවේ ඔය කාලෙට ඔහොම තමයි කියලා.
හදිසියේ ඇති වූ උදරාබාධයකට රෝහල් ගත කල ඇයට උදරයේ ශල්‍ය කර්මයකට මූණ දෙන්නට සිදු වෙනවා. ශල්‍ය කර්මයෙන් පසුව වාට්ටුවට පැමිණි වයිද්යවරයා ඇගේ සැමියා වන සුමිත් සහ ඇය වෙත ගෙන ආවේ අසුබ පණිවිඩයක්. නිර්මලාට දියවැඩියාව හැදිලා..ඉන් එහාට වෙන වගක් කියන්නට වයිද්යවරයා ඔවුන් සමඟ රැදුනේ නැහැ.
මේ ආරංචිය කනස්සලෙන් සිටි සුමිත් ,ඔහුගේ කාර්යාල මිතුරියකට පැවසුවා. ''අපරාධේ ඔය ඉස්පිරිතාලේ ඕක කලේ..අහවල් තැනට ගියා නම් ඉවරයි. ඔතන ඔපරේෂන් කරපු කීප දෙනෙක්ම ගෙදර ආවේ දියවැඩියාව හැදිලා'' මේ ඇගේ පිළිතුර.
නිර්මලාගේ පවුලේ අදහස: කිසි ලෙඩක් නැතිව හිටියේ. මේ ඔපරේෂන් එක කලාට පස්සේ දියවැඩියාව හැදුනා.
මෙතනදී සිදු වුනේ කුමක්ද?
නිර්මලාට
නිතර වෙහෙස දැනෙන්නට ඇත්තේ ඇයට දියවැඩියාව තිබුණු නිසා. නමුත් ඇය ගේ රෝග ලක්ෂණ මාස් ශුද්ධිය අවසන් වීමේ රෝග ලක්ෂණ වලින් වැසි ගොස් තිබුනේ.
ශල්‍ය කර්මය සිදු කිරීමට පෙර සිදුකෙරෙන රුධිර වාර්තා වලින් තමයි වයිද්ය වරුන්ඇයට රෝගය තිබෙන බව සොයා ගත්තේ. හදිසි ශල්‍ය කර්මයක් නිසා
ඒ ගැන රෝගියා සමඟ සාකච්චා කෙරුනේ ශල්‍ය කර්මය අවසානයෙදියි. එසේ නැතිව සුමිත්ගේ කාර්යාල මිතුරිය අදහස් කල ලෙස මේ රෝහලේ ශල්‍ය කර්මය කිරීමේදී දියවැඩියාව බෝ වන්නේ නැහැ.
රුවන්ගේ කතාව:
කාර්යාල රැකියාවක නියුතුව සිටි රුවන් ලඟදි විශ්රාම ගියා. විශ්රාම ලැබීමත් සමඟ ලැබුණු නිදහස නිසා රුවන් මෑතකදී දෙතුන් වතාවක් ගමේ සුබ සාධක සමිතියෙන්කෙරුණු වන්දනා චාරිකා වලට සහභාගී වුනා. මේ ගමන් වලදී රුවන් දුටු දෙයක් තමයි වන්දනා නඩයේ බොහෝ අය
දියවැඩියාව සඳහා ප්රතිකාර ගන්න බව. සමහරු ඉන්සියුලින් සහ දියවැඩියාව පෙති, සිනි අඩු වෙනවට පැණි බිම වර්ග වගේ දේවල් ළඟ තබාගෙන ගමන් කල හැටි ඔහු දැක්කා.
ඔහුගේ බිරිඳ රූපා මේ ගමන් වලට වැඩි කැමැත්තක් නැහැ. ලෝකේ නැති ලෙඩ ඔය යන අයට, ඉස්සර වගේ ඕවට ඇඟ පත ඔරොත්තු දෙන්නේ නැහැ. අවුරුද්දකට එක පාරක් ගියාම ඇති වගේ අදහසක් ඇයට තිබුනේ.
මෑතකදි කතරගම ගිය වන්දනාවේදී මැණික් ගඟේ නාද්දී රුවන්ගේ කකුල ගලක හැපුණා. යන්තම් හම ඩිංගක් කැඩුණු එක හැර වෙන ලොකු ආබාධයක් තිබුනේ නැහැ. රුවන් එය
ටික වේලාවකින්ම අමතක කළා. වන්දනා ගමනෙන් දින කීපයකට පසුව රුවන් දැක්කා මේ කුඩා තුවාලය පැසවා ඇති බව. බෙහෙත් දැමීමෙන් වත් ප්රතිජිවක ඖෂධ වලින් වත් සුව නොවුණු නිසා වයිද්යවරයා රුධිර පරීක්ෂාවක් නියම කළා. එමගින් කිවේ රුවන් දියවැඩියාවෙන් පෙලෙන බවයි.
රුවන්ගේ බිරිඳ රූපාගේ අදහස :කතරගම වන්දනා ගමනේ සිටි දියවැඩියා රෝගීන්ගෙන් දියවැඩියාව බෝ වෙලා..
සම්පූර්ණ වැරදි අදහසක්. මෙතැනදී සිදු වුනෙත් නිර්මලාට සිදු වුන සිදු විමමයි. රුවන්ට කාලයක් සිට දියවැඩියාව තිබිලා. මේ තුවාලය සුව නොවුනේ ඒ නිසා මිස කතරගම ගමනේදී අන් අයගෙන් දියවැඩියාව බෝ වුනේ නැහැ.
දියවැඩියාව ගැන අදටත් ජනතාව අතර ඇත්තේ නොදැනුවත්කමක් . ඉහත උදාහරණ ඔබට ඉදිරිපත් කලේ ඒ ගැන අවධාරණයට ලක් කිරීමට මිස ඔවුන් සමච්චලයට ගන්න නොවෙයි. නම් ගම් මනකල්පිත වූවත් මේ සැබෑවට මට හමුවුණු චරිත.
සාරාංශයක් ලෙස නැවත අවධාරණය කරන්නේ නම්:
දියවැඩියාව බෝවන ලෙඩක් නොවේ. තමන්ගේ ආහාර සහ ජිවන රටාව නිසා ශරීරයේ පරිවුර්තිය ක්රියාදාමයේ වෙනස්කමින් ඇතිවන ජිවිත කාලය පුරා පවතින රෝගයක්..
මීළඟ කොටස: දියවැඩියාව සුව කල හැකිද?
ලිපි මාලාව ගැන:
අද වන විට ලොව පුරා වෙසෙන ඇස්තමේන්තුගත දියවැඩියා රෝගීන් ගණන මිලියන 415කි. ඒ අනුව ලෝක ජනගහනයෙන් 11කින් එක් අයකු දියවැඩියාවෙන් පෙලේ. මින් වැඩිම ප්රමාණයක් රෝගීන් අයත්වන්නේ ඉන්දියාව ඇතුළු දකුණු දිග ආසියාවටයි. තුන්වන ලෝකයේ අධ්යාපනය සහ ආර්ථික මට්ටමින් පහල රට වල ශීග්රයෙන් පැතිර යන, සුව කල නොහැකි දියවැඩියාව, ලංකාව වැනි අකුරු හැකියාව වැඩි රටක පැතිර යන්නේ ඒ පිළිබඳව නිසි අධ්යාපනයක් නැතිකම, ආහාර රටාව සහ ව්යායාම මද කම නිසාවෙන්. 2011සංගණන වාර්තාවන්ට අනුව දකුණු ආසියාවේ දියවැඩියාව වැඩිම රටවල් අතරින් තුන් වන රට බවට පත්ව ඇත්තේ ලංකාවයි. මේ වාර්තාවට අනුව 2011 දී දියවැඩියා ලංකාවේ ජාතික ප්රවනතාවය 7.8%කි. වසර 5කට පසුව ඊයේ පෙරේදා මාදුටු වාර්තාවකින් කියවෙන්නේ ලංකාවේ වැඩිහිටියන් හය දෙනෙකුන් එක් අයෙකු එනම් 16.6%ක් අද වන විට දියවැඩියාවෙන් පෙලෙන බවයි. හෙට දින ඔබ වෙත මරු ගෙන එන දියවැඩියා රෝගය වලක්වා ගැනීමට හෝ රෝග පාලනය කිරීමට ඒ වෙනුවෙන් ඔබ දැනුවත් කිරීමේ ලිපි මාලාවයි මේ.
මුල් ලිපි මෙතනින් බලන්න
දියවැඩියාව1
දියවැඩියාව2
දියවැඩියාව4
දියවැඩියාව5
මුල් ලිපි මෙතනින් බලන්න
දියවැඩියාව1
දියවැඩියාව2
දියවැඩියාව4
දියවැඩියාව5
රේණුකා විමලරත්න : ලන්ඩනයේ සිට
(Qualified
Diabetic Nurse Specialist: Masters level: Buckinghamshire New University:
London)
(චායාරූප අන්තර්ජාලයෙන් )
References:
International Diabetes Federation
World Health Organization
American Diabetes Association
Diabetes UK
මිනිසුන් තුල මුල්බැස ඇති මිථ්‍යා මත තුරන් කර දැනුවත් කිරීමේ වැදගත් කාර්යය කිරීම ගැන ස්තුතියි.
ReplyDelete