බටහිර වෛද්‍ය ක්‍රමයට අනුව සීනි හොඳකරන්න බෑ. නමුත් ජීවනරටාව වෙනස්කර ගැනීමෙන් සාමාන්ය ජීවිතයක් ගත කරන්න පුලුවන්. මනා ලෙස පාලනය කරගැනීමෙන් රෝගය නිසා ඇතිවන භයානක සංකූලතා වලක්වාගෙන සාමාන්ය ආයුකාලයක් වලඳන්නටත් පුලුවන්.
මේ සඳහා උදාහරනයක්
විදිහට මගේ රෝගියෙක්ව පෙන්වන්න පුලුවන්. ඇය
මේ වනවිට වයස 82 ක අත්තම්මා කෙනෙක්. ඇයට ළමා දියවැඩියාව ඇතිබවට රෝග විනිශ්චය සිදු උනේ
1948 දී. අද වනවිට වසර 68 ක කාලයක් පුරා ඇය තමන් විසින්ම ඉන්සියුලින් එන්නත් කර ගනිමින් සංකූලතා නැති ඉතා සෞක්‍ය සම්පන්න ජීවිතයක් ගතකරනවා.
මේ වනවිට ඇයට දෙමුණුපුරන් පවා සිටිනවා.
මේ ඉන්නෙ කෑම් . මගේ හොඳම මිතුරියක්.
තුන්වෙනි දරුවා පිළිසිඳගැනීමෙන් පසු කෑම් ''ගැබිණි දියවැඩියාවෙන්'' පෙළෙන බවට රෝග විනිශ්චය කලා. සාමාන්‍යයෙන් ගැබිණි දියවැඩියාව දරු ප්‍රසූතියෙන් පසුව සුවවන නමුත් ඇයට ඒ සුවය ලැබුනේ නෑ. මෙට්ෆෝමීන් 850G පෙත්තක් දවසට තුන්වරක් ගැනීමට වෛද්‍යවරිය ඇයට නියමකලා.
මේ වනවිට කෑම් ගැබ්ගැනිමේදී සහ කිරි දීමේදී ඇතිවන ශරීරබර එකතුව ඇගේ උසට ප්රමාණවත් නොවන අධික බරකින් යුක්ත උනා. සාමාන්‍ය මට්ටමට දියවැඩියාව පාලනය කරගන්නනම් අඩුම තරමින් කිලෝ 25 ක වත් ශරීර බරක් අඩු කර ගත යුතු බව , ඇගේ දියවැඩියාව සම්බන්ධ හෙදිය ඇයට දැන්නුවා.
මේ පිලිබඳව ඇගේ ප්‍රතිචාරය උනේ කුමක්ද ?
මුලින්ම ඇය දරුවන් තුන්දෙනා දෙස බැලුවා. මේ දරුවන් වැඩෙනතුරු ඔවුන්ට නිරෝගී මවක් සිටිය යුතුයි. ඒ නිසා ඇය ජීවිතයේ තමන් අතින් ඉටුවිය යුතු යුතුකම් ඉටුකිරීමට තමන් ජීවත්ව සිටිය යුතු බවදැන මේ රෝගය අභිබවා යන්නට තමන්ටම සපථ කර ගත්තා. ඒ කියන්නෙ දියවැඩියාව පාලනය කරගන්නාබවට දැඩි අධිශ්ඨානයකට පැමිනියා (Self-Motivation).
දෙවනුව ඇය සිදුකලේ දියවැඩියාව ගැන ස්වයං අධ්‍යයනයක් කිරීම (Disease Education). අන්තර්ජාලය ඔස්සේ , දියවැඩියාව ගැන කියවා හදාරා එක්, එක් රෝග ලක්ෂන ඇයට අදාලවන අයුරු ගැන ස්වයං සන්සන්දනයක් කලා.
පසුකාලීනව දියවැඩියාව සම්බන්ධව ඇගේ අධ්‍යාපනය මට්ටම කොතරම් ඉහලින් පවත්වාගත්තාද කිවහොත් ක්ෂේත්රයේ සිදුවන ඇතැම් වෙනස්වීම් මටත් කලින් දැනගෙන ඇය මා දැනුවත් කළා.
මීලඟට ඇය කලේ රුධිරයේ සීණි මට්ටම මනින්නට හැකි කුඩා මැෂිමක් ෆාමසියකින් මිළදී ගැනීම. එමගින් නිවසේදීම දවසේ විවිධ වේලාවල් වලදී රුධිරගත සීණි මට්ටම මනිමින් වාර්තාවක් සේ සටහන් තබා ගන්නට ඇය පෙළඹුනා. උදාහරනයක් ලෙස විටෙක උදේ ආහාරයට පෙර , තවත් විටෙක දවල් ආහාරයෙන් පසු , එසේ නැත්නම් ,රාත්‍රි නින්දට පෙර යනාදී වශයෙන්.
මේ වාර්තාවේම ඇය එදා දවසේ ගත් ආහාර වර්ග සහ එදා දවසේ ක්‍රියාකාරිත්වයනුත් ලියා තැබුවා. සුලු කාලයකින් මේ වාර්ථාව අධ්‍යයනය කිරීමෙන් ඇයටම
හැකිවුනා
ඇය ගන්නා ආහාර සහ දවසේ සිදුවන ව්‍යායාම අනුව ඇගේ රුධිරයේ සිනි මට්ටම හැසිරෙන ආකාරය හඳුනා ගන්න. (Further self-study and motivation).
මේ සියල්ල සිදුකරන අතරතුරේ ඇයට නියමකල බෙහෙත් ගන්නටත් ඇය අමතක කලේ නෑ.
ඊලඟ පියවර වනවිට කෑම් හඳුනාගෙන තිබුනා ඇගේ රුධිරයේ සීණි මට්ටම වැඩිකරන ආහාර මොනවද යන්න. ආසියානු සම්භවය නිසා ඇගේ ප්‍රධාන ආහාරය උනේ අපේ වාගේම බත්. ඒ වගේම කැලරි අධික ඉන්දියානු සෝස්වර්ග සහ ගිතෙල් ඔවුන්ගේ වෑන්ජන වල අඩංගුයි. උදාහරනයකට ඉන්දියානු චීස් (Paneer) ගන්නට පුලුවන්. එය අධි කැලරි ආහාරයක්. එවැනි
ආහාර වර්ග ඇය ක්‍රමයෙන් අඩු කරන්නට පටන් ගත්තා. කෑම වෙලාවෙදි පිඟානෙ ඇති බත් ප්රමාණය ක්‍රමයෙන් අඩුකලා.
ඒ වෙනුවට බඩ පුරවාගන්න වැඩිපුර එළවලු වර්ග , සලාද වර්ග අඩංගු කලා. මස් වෙනුවට මාළුත් , ගිතෙල් වෙනුවට පොල්තෙල් හෝ ඔලිව්තෙල් පිසීමේදී යොදාගත්තා
(Dedication ). ඒ උනත් යොදන මිරිස් ,තුනපහ වැනි දේ අඩුකලේ නෑ. ඒනිසා රසය අඩුවක් උනෙත් නෑ.
මීටත් අමතරව අනවශ්‍ය ලෙස ගන්නා කේක් ,බිස්කට් ,ඉන්දියානු පැණිරස කෑම, අල පෙති වැනි අමතර ආහාර සම්පුර්ණයෙන්ම නැවැත්තුවා. ඒ අතුරුකෑම පළතුරු (Fruits) , ධාන්‍ය (pulses) සහ ඇටවර්ග (seeds) හඳුන්වා දුන්නා.
ඇගේ සැමියාත් ඉන්සියුලින් ගන්නා දියවැඩියා රෝගියෙක්. මේ ආහාර රටාව වෙනස් කිරීම ඇගේ සැමියාගේ රුධිර සීණි මට්ටම අඩුකරන්නටත්, දරුවන්ගේ බර අඩුවී ,නිරෝගි පෙනුමක් ලැබීමටත් හේතු උනා. ඒ නිසා කෑම්ගෙ මේ ව්‍යායාමයට මුලු පවුලේම පූර්න සහයෝගය ලැබුනා (Team Work ).
ආහාරවලින් පමණක් රුධිර සීණි මට්ටම අඩුකරගන්න පුලුවන්ද ?
ආහාර වලින් කල වෙනසේදී කෑම් ගේ ශරීර බර තරමක්දුරට අඩුවී තිබුනත්,රුධිරයේ සීණි මට්ටම වේගයෙන් ඉහල පහල යාම නතර උනත් තවමත් ඇයගන්නා බෙහෙත් ප්රමාණය අඩුකිරීමට ඇගේ දියවැඩියාව සම්බන්ධ හෙදිය එකඟ උනේ නෑ.
" බෙහෙත් අඩුකරන්න ඕනනම් ඇඟේ බරත් පොඩ්ඩක් අඩුකරගන්න "
එහෙමයි ඇගේ හෙදිය කිව්වෙ.
''හිත ඇතිනම් පත කුඩාද?"
ශරීරයේ බර අඩු කරගන්නඉතාමත් නුවනක්කාර ක්රමයක් කෑම්ට කල්පනා වුනා. ඇගේ දරුවන්ගේ පාසල තිබුනෙ ගෙදර ඉඳන් සැතපුමක් විතර දුරින්. ඇය දරුවන් පාසැලට ගෙනියන්නෙ වාහනයෙන්. මේ ක්රමය වෙනස්කර ඇය වාහනයෙන් දරුවන් ගෙනයාම වෙනුවට උදේ හවස දරුවන් පයින් පාසලවෙත ගෙනයන්න පටන්ගත්තා. මේ වෙනුවෙන් ඇයට ශීතල දේශගුණයේ පැයක් පමණ වේලාසනින් අවදිවෙන්න සිදු උනා. නමුත් දැන් ඇය දවසකට සැතපුම් දෙකක් පයින් ඇවිදිනව.
කාලයත් සමග මේ ඇවිදීම ඇය ටිකෙන්ටික වැඩිකරගත්තා.දරුවන් පාසලට හැරලවූ ඇය පාසලේ සිට සැතපුමක් පමණ දුරින් තිබුනු ඇගේ රැකියා ස්ථානයට පයින් යන්න පටන්ගත්තා.ටික කාලයකින්ම ඇය දවසට සැතපුම් 4ක් පයින් ඇවිදින්න පටන්ගෙන තිබුනා. කාලයත්සමග එය තවත් වැඩිකරගැනීමෙන් එදිනෙදා පොලට , බෙහෙත් ශාලාවට යනාදී දුරවල් පයින්ම යන්නට ඇය පුරුදු උනා.
මාස 18 කට පසු පසුගිය මැයි මාසයේදී ලන්ඩනයේ වාර්ෂිකව පියයුරු පිළිකා පුන්‍යායථනය (Breast
Cancer Charity) ආධාර පිණිස වාර්ෂිකව පැවැත්වෙන පැවැත්වෙන සැතපුම් 26.2 ක් සඳ එළියේ පා ගමනට (Annual London Moon Light Walk) සහභාගී වීමට තරම් ඇගේ ඇවිදීමේ ශක්තිය ඉහල ගොස් තිබුනා.
එතකොට බෙහෙත්වලට මොකද උනේ ?
කෑම්ගේ ශරීර බර ක්‍රමයෙන් ඇවිදීමත් සමග අඩු උනා. ශරීරබර අඩු වනවිට සීණි මට්ටමත් ඒ අනුව පහලට වැටුනා. ඒ අනුව දියවැඩියාවට දිනකට තුන්වතාවක් ගත් ඖෂධ දිනකට දෙවරක් ලෙසත් පසුව එක්වරකුත් ඊටත් පසුව සම්පූර්ණයෙන්මත් නතරකරන්න ඇය සමත් උනා.
මේ වනවිට කෑම්ගේ දියවැඩියාව පාලණය වෙන්නෙ ඇය ගන්නා ආහාර මගින්. තවදුරටත් ඖෂධ අවශ්‍ය නෑ.
ඖෂධ ගැනීම සිදු නොවුනත් මේ වනවිට ඇය පෙර තිබූ සෞඛ්යමත් නොවන ආහාර රටාවට නැවත නොයන තරමට ඇගේ ජීවන චර්යාව වෙනස් කරගෙන.එපමණක් නෙවෙයි මේ වනවිට ඇගේ සැමියාත් ඉන්සියුලින් එන්නත් වෙනුවට පෙති ගන්නා මට්ටමට රෝගය පාලනය කරගන්න සමත්වෙලා තියෙනව.
වෙනස්වීමට අකමැතිකම සාමාන්‍ය මනුශ්‍ය ස්වභාවයක් .මේ තත්වය අපේ රටේ බොහොම භයානක විදිහට පවතිනව. උදාහරන විදිහට දේශපාලන මතිමතාන්තර ගන්න පුලුවන්. හරිදේ හරි ලෙසටත් ,වැරදි දේ වැරදි ලෙසටත් නොපෙනෙන්නෙ ඒ වෙනස්වීමට ඇති අකමැත්ත නිසා.
සෞක්‍ය ගැටලුවකදිත් මේ තත්වම මේ අයුරින්ම පවතිනව.බොහෝදෙනෙක් කැමති නෑ තමන්ගේ චර්යා රටාව වෙනස්කරන්න. නමුත් දියවැඩියාව රෝගයෙදි චර්යා සහ ආහාර රටාවන් වෙනස් නොකලොත් ඔබට ගැලවීමක් නැහැ. කෑම්ගෙ කතාවෙදි වෙනස්වීමට ඇයට තිබුණු හැකියාව, අධිශ්ඨානය සහ කැපවීම මේ සඳහා හොඳම උදාහරනයක්.
මේ උදාහරණයෙන් අපට ගතහැකි ආදර්ශයනම් ජීවනරටාව වෙනස්කිරීම සහ නිසි කැපකිරීම මගින් දියවැඩියාව
පාලනය කර සංකූලතා වලක්වා සාමාන්ය ආයු කාලයක් සහ නිරෝගී ජිවිතයක් ගත කල හැකි බව.
මීළඟ කොටස: දියවැඩියාවේ කෙටිකාලීන සංකූලතාහඳුනා ගනිමු.
ලිපි මාලාව ගැන:
අද වන විට ලොව පුරා වෙසෙන ඇස්තමේන්තුගත දියවැඩියා රෝගීන් ගණන මිලියන 415කි. ඒ අනුව ලෝක ජනගහනයෙන් 11කින් එක් අයකු දියවැඩියාවෙන් පෙලේ. මින් වැඩිම ප්රමාණයක් රෝගීන් අයත්වන්නේ ඉන්දියාව ඇතුළු දකුණු දිග ආසියාවටයි. තුන්වන ලෝකයේ අධ්යාපනය සහ ආර්ථික මට්ටමින් පහල රට වල ශීග්රයෙන් පැතිර යන, සුව කල නොහැකි දියවැඩියාව, ලංකාව වැනි අකුරු හැකියාව වැඩි රටක පැතිර යන්නේ ඒ පිළිබඳව නිසි අධ්යාපනයක් නැතිකම, ආහාර රටාව සහ ව්යායාම මද කම නිසාවෙන්. 2011සංගණන වාර්තාවන්ට අනුව දකුණු ආසියාවේ දියවැඩියාව වැඩිම රටවල් අතරින් තුන් වන රට බවට පත්ව ඇත්තේ ලංකාවයි. මේ වාර්තාවට අනුව 2011 දී දියවැඩියා ලංකාවේ ජාතික ප්රවනතාවය 7.8%කි. වසර 5කට පසුව ඊයේ පෙරේදා මාදුටු වාර්තාවකින් කියවෙන්නේ ලංකාවේ වැඩිහිටියන් හය දෙනෙකුන් එක් අයෙකු එනම් 16.6%ක් අද වන විට දියවැඩියාවෙන් පෙලෙන බවයි. හෙට දින ඔබ වෙත මරු ගෙන එන දියවැඩියා රෝගය වලක්වා ගැනීමට හෝ රෝග පාලනය කිරීමට ඒ වෙනුවෙන් ඔබ දැනුවත් කිරීමේ ලිපි මාලාවයි මේ.
මුල් ලිපි මෙතනින් බලන්න
දියවැඩියාව1
දියවැඩියාව2
දියවැඩියාව3
දියවැඩියාව5
මුල් ලිපි මෙතනින් බලන්න
දියවැඩියාව1
දියවැඩියාව2
දියවැඩියාව3
දියවැඩියාව5
විශේෂ ස්තුතිය: පරිගණක අකුරු කරණය කල නිමලවංශ දසනායක මහතාට
රේණුකා විමලරත්න : ලන්ඩනයේ සිට
(Qualified
Diabetic Nurse Specialist: Masters level: Buckinghamshire New University:
London)
(චායාරූප අන්තර්ජාලයෙන් )
References:
International Diabetes Federation
World Health Organization
American Diabetes Association
Diabetes UK
Great
ReplyDeleteThank You
Deleteදියවැඩියාව තියෙන කෙනෙක්ට ගන්න සුදුසු ආහාර මොනවද
ReplyDelete