Wednesday 21 December 2016

බතල හොඳට පැහිලා තියෙනවා...(patient adherence)

               බූරුවා කරගහගෙන යමුද

එකමත් එක රටක තාත්ත කෙනෙකුයි පුතෙකුයි ගමනක් යන්න පිටත් උනා. මේ දෙන්නට මගදි මිනිස්සු කීපදෙනෙක් හමු උනා.
පළවෙනි මිනිසා : අපොයි මෙහෙමත් මෝඩයො දෙන්නෙක්. බූරුවෙක් ඉද්දී පයින් යනව.
මේක ඇහුනගමන් තාත්තා පුතාව බූරුව උඩින් තිබ්බා.
දෙවෙනි මිනිසා: වයසක තාත්තා පයින් යද්දි පුතා යනව බූරුවගෙ පිටේ. අනේ අද හැදෙන ළමයි?
මේක ඇහුනගමන් පුතා බූරුවගෙ පිටෙන් බැහැලා තාත්තා බූරුවගෙ පිටට නැග්ගා.
තුන්වෙනි මිනිසා:අනේ මෙහෙමත් තාත්තලා. ළමය පයින් යද්දි තාත්තා බූරුව උඩ යනවා.
ඒ පාර තාත්ත පුතාවත් බූරුව උඩට නග්ග ගත්තා.
 හතරවෙනි මිනිසා : අපොයි අසරණ බූරුවා . මේ දෙන්නෙක්ගෙම බර කරගහගෙන යන්න වෙලා.
ඊට පස්සෙ දෙන්නම බූරුවගෙ පිටෙන් බැහැලා  බූරුවව ඔසවගෙන ගමන යන්න පිටත් උනා.
 ලොව බොහෝදෙනා විශ්වාස කරන උපරිම සුවය තමයි  කායික සහ මානසික නිරෝගී කම. ලෝක ස්වභාවයට අනුව කායිකව රෝගීවන කෙනෙකුගේ මනස ඊටත් වඩා දරුණු ලෙස බිඳ වැටීමකට පත් වෙනවා.  එවන් විටෙක දැනෙන අසරණ කම නිසාම නිවැරදි තීරණ ගැනීමේ හැකියාව අඩු වෙලා අන් අයගේ සහය සොයා යන්න ඉබේම පෙළඹෙනවා..

එවන් අවස්තාවක බූරුවා කර තබා නොගොස්, වල්මත් නොවී නිවැරදි තීරණ ගන්නට කුඩා අත් වැලකුයි  මේ ලිපියෙන් සැපයෙන්නේ..
නෝනට හරියන පාටත් ඕන
මෑතකදී අසනීප වුනු අවස්තාවක් මතකයට ගන්න.

බිරිඳ: අපි අහවල් දොස්තර ලඟට යමු
කන්තොරුවෙ යාලුවෙක් :අපොයි ඔතන ප්‍රතිකාර හරියන් නෑ. මෙන්නෙ මේ අහවල් තැන ඉන්නව ඔයිට වඩා හොඳ දොස්තර කෙනෙක්..
තව යාලුවෙක් : ඕව කරල හරියන් නෑ .සිංහල බෙහෙත් ගන්න.
අසල්වැසියෙක්: මටනම් හිතෙන්නෙ හූනියමක්
නැන්දම්මා: අහවල් ගමේ හොඳ වෙදමහත්තයෙක් ඉන්නව.
මූණු පොත: බතල හොඳට පැහිල තියෙනවා..හාරනකම් ටිකක් ඉන්නකෝ...
මේ විධියට රටේ ඉන්න ඔක්කොම අය කියන දේවල් කරලා තොවිලෙකුත් නැටුවා කියමුකෝ. නටපු නැටුමකුත් නෑ බෙරේ පලුවකුත් නෑ කියන්නා වගේ අතේ තිබුනු තුට්ටු දෙකටත් තට්ටුවෙලා මේ වනතුරුත් ලෙඩේට හොඳ ප්‍රතිකාරයක් නැති විධියේ කථා නේද නිතර ඇහෙන්නේ?
කියන්නෙ ඔබ මෙතෙක් කරල තියෙන්නෙ බූරුවා කරගහගෙන දිවීම.
 වඩුවා ලවා බිත්ති බැඳීමේ සම්ප්‍රදාය
අසල්වැසියාගේ වහලය හොඳින් ගැසූ පමනින් වඩුවාට ඔබේ නිවසේ බිත්ති බඳින්න දෙනවාද?
අසනීපයකදි උපදෙස් ගන්න ඕන ඒ සම්බන්ධව දන්නා කෙනෙක්ගෙන් පමණයි.
නෝනට තිබුනෙ ඔලුවෙ කැක්කුම නම්,
කන්තෝරුවෙ යාලුවට තිබුනෙ බඩේ කැක්කුම නම් ,
අනිත් යාලුවට තිබුනෙ කොන්දෙ කැක්කුම නම් ,
අසල්වැසියට තිබුනෙ මානසික ආබාධයක් නම් ,


නමුත් ඔබට තියෙන්නෙ මේ කිසිවක්ම නැතුව දියවැඩියාව නම් ඔබ යන්න ඕන දියවැඩියාව සම්බන්ධ වෛද්‍යවරයෙක් ලඟට මිස ඔවුන්ට හොඳවූ පමනින් ඔවුන්ගේ වෛද්‍යවරයා ලඟට නෙවෙයි.

ඩියුලැක්ස් ද? ලංකාලැක් ද?
ගෙදරට පාට ගානකොට මොන වර්ගය තෝර ගන්නවද කියන එකවගේම වැදගත් අසනීපයකට ප්‍රතිකාර ක්‍රමය  තෝරා ගැනීම. තරඟකාරීත්වය හැම එකේම වාගේ ප්‍රතිකාර ක්‍රමයේත් ඉහල ගිහින්..
බටහිර, දේශීය, ආයුර්වේද, හෝමියෝපති, ගස් වෙද්දු මේ ආදී වශයෙන්..තමන්ට ගැලපෙන සහ තමන් වැඩියෙන් විශ්වාසදායි ක්‍රමය තෝරා ගන්න..

ජීවිතේට බටහිර බෙහෙත් නොබීපු අත්තම්මට දැන් පෙති දුන්නොත් ඇය එය දකින්නේ වස පොවනවා කියලා..
ඒ වගේම ජීවිතේට කොත්තමල්ලි බීපු නැති කෙනෙකුට කසාය පෙනෙන්නේ වස විධියට..
අතේ කියුටස් කිසිදා මැකුණු නැති කෙනෙකුට දේශීය පත්තුව අපිරිසිඳු කුණු ගොඩක්..
තමන් විශ්වාස නොකරන ප්‍රතිකාර ක්‍රමයක් අනුගමනය කිරීමෙන් මනස ලෙඩ වීම නිසා රෝග තත්වය තවත් වැඩි වෙන්න තිබෙන අවධානම වැඩියි.

පට් පට් ගාල වේලෙන්නත් ඕන
කොහොමින් හරි නිසි වෛද්‍යවරයා සහ සුදුසු ප්‍රතිකාර ක්‍රමය ලඟට ගියා කියමුකො.දැන් කොහොමද පට් පට් ගාල හොඳ කරගන්නෙ ?
 එකමත් එක ගමක හිටිය සුනිල් ,කමල් , නිමල් කියලා යාලුවො තුන්දෙනෙක්. මේ තුන්දෙනා ගමනක් යනකොට අනතුරක් වෙලා, තුන්දෙනාගෙම වම් කකුලෙ විලුඹ තුවාල උනා.
 මේ තුන්දෙනාගේ තුවාල වලට මොකද වුනේ?
සුනිල්ගේ තුවාලය :
සුනිල් තරුණයි ,නිරෝගියි , වෙනත් රෝග තත්ව නැහැ , පිරිසිදුයි. සුනිල්ගේ තුවාලය සතියෙන් හොඳ උනා.

නිමල්ගේ තුවාලය:
නිමල් ටිකක් බර වැඩියි ,රාජකාරි කරන්නෙ දූවිල්ල තියෙන තැනක ,පිරිසිදුකම ගැන එතරම් සැලකිල්ලක් නැහැ, වැඩකරල ඉවරවෙලා හවසට මත්පැන් වීදුරුවක් බොන සිරිතකුත් තියෙනව.නිමල්ගෙ තුවාලෙ හොඳවෙන්න සති තුනක් විතර ගත උනා.
කමල්ගේ තුවාලය :
කමල් අහිතකර ආහාර රටාවක් ගන්නෙ, තුවාලය ගැන සැලකීමක් නැහැ. කකුලෙ දැනීමත් අඩුයි. ලේවල සීණිත් ටිකක් තියෙනව. කමල්ගෙ තුවාලෙ මාස හයක් වෙනකනුත් හොඳ උනේ නෑ.
එක් එක්කෙනාගේ ජීවන රටාව,ආහාර පුරුදු, රැකියාව, වෙනත් රෝග තත්ව, ආකල්ප අනුව රෝගයක් සුවවෙන්නට ගතවන කාලය එකිනෙකට වෙනස්. විශේෂයෙන්ම දියවැඩියාවහෘදරෝග, තරබාරු කම, පිළිකා රෝග, නීරක්තිය වැනි රෝග ඇති අයට  අන් අයට වඩා කාලයක්  රෝගය සුවවෙන්නට ගතවෙනවා.
මෙය වෛද්යවරයාගේ දුර්වලතාවයක් හෝ දෙන බෙහෙතේ වැරැද්දක් කියා වෛද්‍යවරයා හෝ ප්‍රතිකාර ක්‍රමය වෙනස් කිරීමෙන් රෝගය සුවකරගන්න බැහැ. සඳහා තමන්ගෙන්  සිදු විය යුතු චර්යා වෙනස් කිරීමෙන් කැප වීම සහ ඉවසීම අවශ්‍ය වෙනවා.
ඔයාගෙන් පෙත්තක් මටත් දෙන්න පුලුවන්ද?
ප්‍රේමවතියි සෝමවතියි ගිය පෝයට කතරගම වන්දනාවෙ ගියාප්‍රේමවති එයාගෙ දියවැඩියාව පෙති ගෙනියන්න අමතක උනා.සෝමවතීටත් දියවැඩියාව තියෙනව.
මේ දෙන්නගේ දෙබසක්
ප්‍රේමවති: ඔයා දියවැඩියාවට ගන්නෙ සුදුපාට පෙතිද ? සෝමවතී: ඔව් මං ගන්නෙත් සුදුපාට පෙති තමයි.
ප්‍රේමවති: මට පෙති ගේන්න අමතක උනා. ඔයාගෙන් පෙත්තක් දෙනවද ?
අනුන්ගෙන් පෙති හුවමාරු කරගෙන බොන එක අපිට නිතරම අහන්න ලබෙන දෙයක්.
පාටෙන්වත්,හැඩයෙන්වත්, එය ගන්නා රෝගය එකම නිසාවත් එය එකම බෙහෙත වෙන්න විදිහක් නෑ. විවිධ ඖෂධ සමාගම් විවිධ පාට සහ හැඩ වලින් බෙහෙත් පෙති නිපදවනව. එකම පාට එකම සමාගමේ එකම ඖෂධයේ වුනත් මාත්‍රාව එකිනෙකට වෙනස් වෙන්න පුළුවන්.
 උදාහරනයක් විදිහට දියවැඩියාව සඳහා ගන්නා Metformin  500 mgs, 850mgs හෝ 1000 mgs විදිහට එන්න පුලුවන් .  ප්‍රේමවති ගන්න මාත්‍රාව සෝමවතී ගන්නා මාත්‍රාව නොවෙයිනම් එහෙමත් නැත්නම් එකිනෙකට සම්පූර්ණයෙන්ම වෙනස් බෙහෙතක් උනා නම් සිද්ධවෙන්න පුලුවන් මහ විනාශයක් නේද ?
 කැස්සට බෙහෙත් මං දෙන්නම්

 සුණීතයි විනීතයි එක කාර්යාලයෙ වැඩකරන්නෙ. සුණීතට දැන් දවස් දෙකතුනක ඉඳන් කැස්සක් තියෙනව.
සුනිතා: දොස්තර කෙනෙක් ලඟට යන්න වෙලාවක් නෑ.

විනිතා: බෙහෙත් ගන්න යන්න ඕන නෑ.මාලඟ බෙහෙත් තියෙනව,  මං දෙන්නම් .
 සුනීතා:ඔයාලඟ කොහෙන්ද බෙහෙත් ?
විනිතා: මතක නැද්ද ගියමාසෙ මටත් කැස්සකුයි පපුවෙ අමාරුවකුයි හැදුනා? වෙලාවෙ ගත්ත පෙති . දවස් දෙකෙන් හොඳ උනා.මාලඟ තියෙනව තව දවස් තුන හතරකට .

 මෙතැනදී සුනිතට දුන්නු බෙහෙත විනිතට ආසාත්මික වීම හෝ සම්පුර්ණයෙන්ම නොගැලපීම හැරුණු කොට තවත් විශාල අවධානමක් තිබෙනවා.
 ආසාදන වලදී දෙන ප්‍රතිජිවක​ ඖෂධ වෛද්‍යවරයෙකු  නියමකරන්නෙ දවස් 5 - 7 ත් අතර ප්‍රමාණයකට අසාධානයේ ඇති උග්‍රතාවය අනුව. නමුත් මේ ඖෂධ​ පළවෙනි මාත්‍රා 4 -5 ගැනීමෙන් පසු රෝගලක්ෂන සාමාන්‍ය මට්ටමට අඩුවීමක් සිද්දවෙනව
නමුත් එහි තේරුම රෝගය සම්පූර්ණයෙන් අවසන් කියන එක නෙවෙයි. ක්‍ෂුද්‍රජීවීන් යම් මට්ටමකට පාලනය වෙලා රෝගය සුවවීම ආරම්භ  වූ බවට දැනෙන පෙර නිමිත්තක් පමණයි. රෝගය සම්පූර්ණයෙන් සුවවෙන්න රෝග ලක්ෂණ තව දුරටත් නැතත් සම්පුර්ණ කාලවකවානුවම අන්තිම පෙත්ත දක්වා ඖෂධ​ගත යුතුයි.

 මේ පිළිබඳව අවබෝධයක් නැතිව දින 2-3කින් ප්‍රතිකාර නැවැත්වීමෙන්   සිද්දවෙන්නෙ , මේ විශේෂිත ක්‍ෂුද්‍රජීවියා ඔබගේ ඇඟට හුරුවීම. කියන්නෙ නැවත වතාවක් ඔබට මේ රෝගය හැදුනවිට  එම ප්‍රතිජිවකයම ලබාගතහොත්  සුවවීම බෙහෙවින් පමා වීම හෝ කිසිඳු ප්‍රතිපලයක් නොලැබීම.
ඊට පස්සේ සිද්ධ වෙන්නේ දකින දකින වෛද්‍යවරයා හෝ ප්‍රතිකාර ක්‍රමය පස්සේ දිවීම..වැඩ වරද්දාගෙන තිබෙන්නේ අපිම නේද?

කවුරුත් කියල දුන්නේ නැහැනේ...

''රෝගයක් සුව වීමේ වගකීමෙන් 75%ක් තිබෙන්නේ රෝගියාට, ඉතුරු 25% තමයි වෛද්‍යවරයාට  පැවරෙන්නේ" මේ දියුණු රටවල සෞක්‍ය ක්‍ෂේත්‍රයේ පිළිගත් කියමනක්..

නමුත් වෛද්‍යවරයා/හෙදිය/චිකිත්සකයාගේ වගකීම මේ 75% රෝගියාට කියා දීම. එහෙම කියා නොදුන් විට තමයි ඇදුම් මාරු කරන විධියට වෛද්‍යවරු /ප්‍රතිකාර ක්‍රම මාරු කරන්න රෝගියා පෙළඹෙන්නේ.

රෝගියකු ප්‍රතිකර්ම වලට අනුරූපව චර්යා වෙනස් නොකිරීම හඳුන්වන්නේ '' patient non- adherence'' කියලා. අද වනවිට ලෝකයේ දියුණු රටවල පවා මෙය විශාල සෞක්‍ය සහ ආර්ථික ගැටලුවක් වෙලා තිබෙනව. වෙනුවෙන් දියුණු රටවල  සෞක්‍ය ක්‍ෂේත්‍රයේ  වැඩකරන වෛද්‍යවරුන්/  /හෙදියන් /චිකිත්සකයින් වැනි අයට ''රෝගී අධ්‍යාපනය'' නමින් පුහුණුවීම්  නිතිපතා ලබාදෙනව.

විශේෂයෙන්ම රෝගියෙකුට ප්‍රතිකාර/ඖෂධ  නියමකරනවිට ඖෂධය  ලබාදෙන්නේ ඇයි?, ගතයුතු මාත්‍රාව, බලාපොරොත්තු වන අතුරු ප්‍රථිඵල , එම අතුරු ප්‍රථිඵල ලැබුනවිට රෝගියා අනුගමනය කලයුතු ක්‍රියා මාර්ග  වැනි උපදෙස් ලබා දීමට ඔවුන් රාජකාරියෙන් බැඳී සිටිනවා.
මීටත් අමතරව ඔවුන්ට තවත් උපදෙස් අවශ්‍ය නම් එය ලබාගතයුත්තේ කාගෙන්ද යන්න ගැනත් දැනුමක් ලබා දෙනවා.

නමුත්  අපේ රටවල මේ සඳහා කිසිම සැලසුමක් නැහැ. ඖෂධවේදියෙක් ,වෛද්‍යවරයෙක් හෝ හෙදියක් රෝගියෙකුට උපදෙසක් ලබාදෙන්න කාලය වැය කරන අවස්ථාවක් මෑතකදී දුටු බවකට මතකයක් නෑ.
මේ හේතුව නිසා තමයි අසරණ රෝගීන් ප්‍රතිකර්මවෛද්‍යවරු , බෙහෙත් වර්ග හිතුමතේට වෙනස්කරන්න පෙලඹෙන්නෙ.
ඔවුන් රෝගයෙන් අසරණ වෙලා තියෙන නිසා. නිසි උපදෙස් ලබාගැනීමට තැනක් නැතිනිසා. වාගේම සුවවීමට ගතවන කාලය නොදන්නා නිසා ඇතිවන නොඉවසිල්ල නිසා.
සෞඛ්‍ය අමාත්‍යංශයේ බලධාරීන්ගෙන් හෝ වෛද්‍යමය වෘත්තිකයින්ගෙන් මේ වගකීම ඉටු නොකෙරෙන  අප වැනි තුන්වන ලෝකයේ  රටවල වගකීම දුප්පත් රෝගීන්ට තම තමන් විසින්ම දරාගන්න වෙනවා.

 මීළඟ වතාවේ ප්‍රතිකාර සොයා යෑමට  පෙර සිතන්නට යමක්....  

·       ඔබෙන් සිදුවිය යුතු 75% දායකත්වය ඉටු වුනාද?
·       නිසි උපදෙස් ගන්නේ කාගෙන්ද?
·       බුරුවා කර ගසා ගන්නවාද?

විශේෂ ස්තුතිය: පරිඝනක අකුරු කරණය කල නිමලවංශ දශනායක මහතාට

රේණුකා විමලරත්න: ලන්ඩනයේ සිට

චායාරූප : අන්තර්ජාලයෙන්



No comments:

Post a Comment