Wednesday 24 August 2016

අත්තම්මාගේ අත් බෙහෙත් 20:කොහිල

                                 මූලග්ගින්නද?

                          


බුදුන් දවස විශාකාවගේ පියා දීග යන විශාකාවට අවවාද කලේ පිට ගින්දර ගෙදරට නොගන්නත් ගෙයි ගින්දර පිටට නොදෙන්නටත් කියා. අත්තම්මලාගේ කාලේ නම් කාන්තාවන් බොහෝදෙනෙක් මේ අවවාදය විදියටම පිලි පැද්ද බවයි මට මතක. පවුලේ අයට ආහාර වේලක් පිස දෙන්න කියන අවවාදයවත් අද දීග යන දියණියන්ට මවුපියන් දෙනවාදැයි කියා සිතෙන්නේ දිනෙන් දින දිගුවන දික්කසාද පොතේ පිටු දැකීමෙන්.

 අද ගෘහනියන් බැලු බැල්මට බලා සිටින්නේ ස්වාමියා සමඟ ඇවිලෙන්නටයි. කොටින්ම කිව්වොත් ඔවුන් නිතරම ඉන්නේ මල පැනපු ගමන්. මා දන්නා තරමින් නම් ''මල පැනපු'' අය ඇවිලෙන්නට විධියක් නැත. මල නොපනින විට නම් අපේ අත්තාට නහුතෙට නගින බව නොකියා බැරිය. වෙලාවට අත්තම්මා කිවේ ඕන් දුවේ ඔය කටුපිටින් කොහිල ටිකක් උයාපන් කියායි. මුලග්ගින්න නැතහොත් මල නොපැනීමට අත්තම්මාගේ පිළියම වූ රසබර ආහාරය ''කොහිල'' ගැනයි මේ සටහන.

අප කුඩා කාලයේ අපේ මුළුතැන් ගෙවල් වල කොහිල සතියකට වරක්වත් වැරදුනේ නැහැ. අද නම් කුඩා ළමුන් තුල පවා බහුල මල බද්ධය කාලේ අසන්නට ලැබුනේ කලාතුරකින් වැඩිපුර ව්යායාම අඩු මහලු රෝගියකුගෙන් පමණයි. එවන් අයකුට අත්තම්මා කලේ කොහිල කැඳ කෝප්පයක් සාදා දීමයි. බත් සහ වෙනත් ව්යංජන සමඟ කොහිල ආහාරයට දීමෙන් එය රෝගියාට දිරවීමට තවත් ආයාසයක් ගත යුතු බව ඇය දැන සිටියා. කැකුළු සහල් ස්වල්පයක් ගල් වංගෙඩියේ කොටා පොල් කිරි සමඟ සාදා ගනා කොහිල කැඳ ශරීරයේ ආම්ලික බව අඩු කරන, දිරවීමට පහසු මහඟු ඖෂධයක්. එපමණක් නොවෙයි එදා කොහිල කැඳ විෂ ශරීර ගත වීමටත්, සර්පයින් දෂ්ඨ කල විටත් නොවරදවා ලබා දුන් අත්දුටු අත් බෙහෙතක්.

වැඩි ප්රතිශතයකින් සෙලියුලෝස් සහ ජලය අඩංගු කොහිල වල ඇති කැලරි ප්රමාණය ඉතා අඩුයි. එමනිසා ස්ථූලතාවය ඇති අයට බියක් නැතිව ගන්නට හැකි ආහාරයක් කොහිල.වැඩිපුර තරබාරු දරුවන් දකින අත්තම්මා කිවේ මුන්ගේ තෙල් යන්න කොහිල ටිකක් උයාදිපන් කියයි. අප්රබ්රංශය එදා මට නොතේරුණත් කොහිල පිලිබඳ විචාරය කල අද දවසේ මට හිතෙන්නේ ළමා තරබාරුවේ ඇති දියවැඩියා සහ වෙනත් ආබාධ ඇති වීමේ අවධානයත් ඒවා වලක්වන්නට කොහිල වලට ඇති මහඟු හැකියාවත් ඇය එදා දැන සිටි බවයි.

මල බද්ධය සඳහා පමණක් නොව නිතර මල දියරයට යන වෙනත් රෝගයක් නැති කුඩා දරුවකුටත් අත්තම්මා කිවේ කොහිල කවන්නට කියා. ආහාර මාර්ගයේ අභ්යන්තර ස්ථරයේ ඇති සුමුදු පටලය (mucous membrane) ආරක්ෂා කර ප්රදාහයෙන් වලකා මල ප්රමාණය වැඩි කිරීමට ඇති හැකියාව නිසා කොහිල auto immune රෝග වන Chrone's Disease සහ Irritabale Bowel Syndrome සඳහා ඉතා ගුණදායි බව රසායනාගාර පර්යේෂකයන් පවසනවා. එසේනම් එදා අත්තම්මා නිතර මල පහවන දරුවන්ට කොහිල කැවුයේ මේ හේතුව නිසා නොවේ යයි කියන්නට අද අපට තර්ක ඉතිරි වී තිබේද?


දවස පුරා ඇලේ දොලේ වැලි පොළවේ නැටු දරුවන්ට එදා මුදල් ගෙවා පණු බෙහෙත් දීමක් සිදු වුනේ නැහැ. මාස තුන හතරකට වරක් කුඹුරු ඇට තම්බා දීමට අමතරව පණු බිත්තර නසන කොළ සහ එළවලු වර්ග අත්තම්මලා දැන සිටියා. අතරින් ප්රධාන වන කොළ වර්ගයක් තමා කොහිල. අද හැමදෙනාම පාහේ වඳ විදින gastritis රෝගයටත්  කොහිල අල ව්යංජනය මනා ප්රතිකාරයක්.

ආයුර්වේදය සහ රාවනා රජ සමයේ අපේ සිංහල වෙදකමේ කොහිල දිවය ඖෂධයක් ලෙසින් භාවිතා වී තිබෙනවා. කොළ සහ අල වලින් සාදා ගත ආලේපන සමේ පිළිස්සුම් ප්රතිකාරවලටත්, යුෂ ක්ෂය රෝගය, ඇඳුම, ස්වාසනාල ආසාදන සහ නියුමෝනියාව සුව කිරීමටත් යොදාගෙන තිබෙනවා. මිට අමතරව සරම්ප සහ පැපොල රෝගීන්ට ප්රතිකාර පිණිසත්, rheumatoid artharitis රෝගය සහ වෙනත් සන්ධි ප්රධාහ වලටත් කොහිල පැලෑටි සාරය සිංහල වෙදකමේ යොදාගෙන තිබෙනවා.

 Rheumatoid artharitis කියන්නෙත් chrones සහ irritable bowel syndrome වගේම auto immune රෝගයක්. කියන්නේ ශරීරයේ ඇති ප්රතිශක්තිය ශරීරයේම කොහේ හෝ කොටසකට එරෙහිව ක්රියාත්මක වීම නිසා ඇතිවන අවාසනාවන්ත රෝග විශේෂයක්. මේ දත්ත සියල්ල විශ්ලේෂණය කර බැලු විට පෞද්ගලිකව මට හැඟෙන කාරනාව නම් සිරුරේ ඇතිවන ප්රතිශක්තිය සිරුරටම එරෙහි වීම නිසා ඇතිවන රෝග වලට කොහිල මනා ප්රතිකාරයක් කියායි.


නූතන වෛද්ය පර්යේෂණ වලින් සොයා ගෙන ඇති ආකාරයට කොහිල වල ඇති රුධිර සිනි මට්ටම අඩු කිරීමේ ගුණය ඉතා ඉහලයි. මේ නිසයි දියවඩියා රෝගීන්ගේ ආහාර වේලට කොහිල නිතර එකතු කිරීමෙන් රුධිර සිනි මට්ටම පාලනය කර ඔවුන්ට සංකූලතා අඩු සාමාන්ය ආයු කාලයක් ගත කරන්නට පුළුවන් වන්නේ . ඔවුන් පවසන ලෙසට කොහිල වල ඇති ධූලකහරණ ශක්තිය ඉතා විශාල පරාසයක පැතිරී තිබෙනවා. නිසා රුදිරය පිරිසිඳු කිරීමත් ශරීරයට ඇතුළුවන සර්ප/කෘමි විෂ නැසීමත්, රසායනික විස වර්ග සිරුරින් ඉවත් කිරීමටත් කොහිල වලට පුළුවන් . එම පර්යේෂණ වලදීම ඔවුන් සොයා ගත තවත් කාරනාවක් වන්නේ කොහිල ආහාරයට ගත් අයගේ මල වල ඇති පණු බිත්තර සංඛ්යාව කොහිල ආහාරයට ගන්නට පෙර තිබුනාට වඩා විශාල පරාසයකින් අඩු වන බවයි.


 හැම නිවසකම ලින් මිදුලේත්, කුඹුරු අයිනෙත් කැලෑවට පහසුවෙන් වැවුණු ජලාශ්රිත ශාකයක් කොහිල. ලංකාව ඇතුළු ආසියානු භූගෝලීය සම්බවයක් ඇති කොහිල ඉන් ඔබ්බට සොයා ගත හැක්කේ පැපුවා නිව්ගිනි රටේදියි. සදාහරිත පැලෑටියක් වන කොහිල නිසි ලෙස නොපිස ආහාරයට ගතහොත් ශරීරයට විෂ වන්නටත් පුළුවන්. එහි ඇති කැල්සියම් ඔක්සලේට් නමැති රසායනිකය නිසා. අමු කොහිල කොළ හෝ හබරල කොළ වැරදීමකින් හෝ විකිමෙන් ඇතිවන ඉඳිකටු වලින් විදින්නාක් මෙන් ඇතිවන වේදනාව සහ කට කැසිම ඇතිවන්නේ මේ රසායනය නිසා. නමුත් පිසීමේදී මේ රසායනය බිඳවැටී විෂ සහිත ක්රියාකාරිත්වය නැතිවී යනවා.

 ගුණ පමණක් නොව රසයෙනුත් ඉතා ඉහල ආහාරයක් තමා කොහිල. දිය නා ගන්නට ලිඳට හෝ ඇලට යන අත්තම්මා අතේ ලපටි කොහිල දළු මිටක් වැරදුනේ නැති තරම්. මිටිකිරි, රතුලූනු, උම්බලකඩ ස්වල්පයක් සමඟ අඟුරු මත පිසුණු කොහිල වයන්ජනය තරු පහේ හෝටලයක ආහාර වලට වඩා මට නම් රසවත්. වංගෙඩියේ කොටා බැදපු මිරිස් සමඟ අත්තම්මා අතින් සැදෙන කොහිල අල ව්යංජනය නැති ගමේ පන්සලේ දානය රස මදි කියායි අපේ අසල් වැසීයන් පැවසුවේ.

කොහිල අල තෙලේ බැඳී සදා ගත් කොහිල අල අච්චාරුව හෝ සම්බෝලයත් මගුල් මේසයට අගනා රසවත් ආහාර. අසනීප වූ විටෙක කුස පුරවන ගත සනසන ආහාරයක් කොහිල කැඳ .මෙතරම් රසවත් සහ ගුණවත් ආහාර ''ගොඩේ'' මල්ලට දමා තැබීම අද සමාජයට සිදු වූ විශාල අත් වැරද්දක් කියායි මා නම් සලකන්නේ. නිවසේ ඇවිලෙන සියලු වර්ගයේ ගිනි නිවන මේ මහඟු ඖෂධය ඔබේ බත් පතටත් එක්කර ගන්නා ලෙස ඉල්ලමින් අදට නවතිමි. නැවත හමුවන තුරු ඔබට ආයු බෝ වේවා!!

රේණුකා විමලරත්න: ලන්ඩනයේ සිට
චායාරූප අන්තර්ජාලයෙන්



11 comments:

  1. රේණුකා ඔයාගේ බ්ලොග් එක ෂොක් , කරුමෙට ඔයා ඉන්නේ නරකම බ්ලොග් ටෙම්පලේට් එක උඩ , ඔය ගුගල් ෆෝපයිල් එකෙන් අයින් වෙලා , බ්ලොගර් ෆෝපයිල් එක උඩට ඇවිත් , බ්ලොග් එකට වෙන සිම්පල් ටෙම්පලේට් එකක් දාල , බ්ලොගර් ෆලෝවරටත් දාල , ලිපි ටිකට ලේබල් ටිකක් දාල , පරණ ලිපි හොයාගන්න පුලුවන් විදිහට ඒ ගජට් එකත් දැම්මානං පංකාදු හතයි , ටිකක් හිතල බලන්න

    ReplyDelete
  2. කොහිල අල කැද අද තරු පන්තියේ ආහාර වල උදෑසන ආහාර වේලට දෙනව. ලපටි කොහිල දළු මිටියක් ගන්නනම් උදේම එළවලු ගන්න යන්න ඕනෙ.
    යහමින් අබ දාල හදන කොහිල තෙම්පරාදුව නියම කෑමක්.
    අටන් කිවුව වගේ පරණ පෝස්ට් බලන්න පුළුවන් විදිහට හදන්න. මේ වගේ ලිපි කියවන්ඩ අතපසු වෙන එක පාඩුවක්.

    ReplyDelete
  3. ජලාශ බොහොමයකට කෘමිනාශක වල්නාශක එකතුවීම නිසා කොහිල අල ආහාරයට ගන්න හොඳනැහැ කියල මතයක් සමාජගත වුනා කාලෙකට කලිං.ඒ බැර ලෝහ කතන්දරේ ඇත්තක් තියනවද?
    බ්ලොග් එකට පාර පෙන්වීම අටම්ගෙන් !

    ReplyDelete
  4. ලෝකෙම එක යායක් වීමේදි අපේ හිත තුල ඇති වන මා, මගේ, මට, මම යන සිතුවිලි වලට ගැටලු මතුවීම වැලැක්විය නොහැකියි.. එවැනි සිමා මායිම් වලට අපේ හිතට කොටු වීමට නොදිම අපේ සාර්ථකත්වයයි කියලා මට හිතෙනවා... බ්ලොගයට පාර අටම්ගෙන්..

    ReplyDelete
  5. Thank you. I decided to start eating kohila v.soon.

    ReplyDelete
  6. නියමයි. මේක අගනා බ්ලොග් එකක්. ඔය උඩ අටමා කියල තියෙන් උපදෙස් පිලිපදින්න..ඒවට තෑග්ගක් හැටියට අටමට කොහිල මිටියක් යවන්න

    ReplyDelete
  7. නියමයි. මේක අගනා බ්ලොග් එකක්. ඔය උඩ අටමා කියල තියෙන් උපදෙස් පිලිපදින්න..ඒවට තෑග්ගක් හැටියට අටමට කොහිල මිටියක් යවන්න

    ReplyDelete
  8. අටම්ගෙ පාරෙන් අවේ ..ඇත්තටම වෙනස් ආරයක බ්ලොග් එකක් .. සන්තෝසයි ..අපි වගේ නොරට ඉන්න කට්ටියට මේ එළවලු වර්ග සුපර් මාර්කට් වලින් ගන්න පුළුවන් උනාට ..උයන විදිහ දන්නේ නෑ .. විශේසයෙන් අපි වගේ තනියම ඉන්න අයට ..පුලුවන්නම් රෙසිපි ලේබල් එකක් එකතු කරන්න ..අපි වගේ අයට ගොඩක් ප්‍රයෝජන වෙනවා ..

    ReplyDelete
  9. බොහෝම ස්තූතියි . . අටම් පෙන්නපු පාර දිගේ ආවේ.

    මම ජීවත් වෙන අබුඩාබි නගරයෙත් ලන්කාවේ එලවලු විකුනන තැන් තිබුනට අපි නිතර ගේන්නේ නැති එලවලුවක් මේ කොහිල. ඊලඟ දවසේ ඉඳන් අනිවාර්යෙන් ගේනවා. බොහෝම ස්තූතියි මේ ලිපියට.

    මේ ලින්ක් එක මූනු පොතේ ශෙයා කරන්න අවසර දෙන්න පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. අවසර ඕනේ නැහැ ඕන කෙනෙකුට ෂෙයාර් කරන්න පුළුවන්

      Delete
  10. ගර්භනී මව්වරුන්ට කොහිල අල, දළුත් සමඟම කොටා කැඳ බීම ඉතාම ගුණයි.

    බොහෝම ස්තූතියි ලිපියට......+++++++

    ReplyDelete