කුරක්කන් රොටි සමඟ ලුණු මිරිස්
අරුණාලෝකය මිහිතලය සිපගන්නට පෙර අවදිවීමේ පුරුද්දක් එදා අපට තිබුණි. ගමනක් බිමනක් යාමේ වුව, නිවසේ එදිනෙදා කටයුතු උදෙසා වුව කුකුළා හඬලන්නට පෙර අවදිව කඩිසරව දවසේ කටයුතු සම්පාදනය කිරීමෙන් කාලය ඉතිරි කර ගැනීමටත්, එනිසාම දවසේ ඉතිරි කාලය ක්රමවත්ව පෙළ ගස්වා ගැනීමත් එහි ප්රධාන අරමුණ විය. අත්තම්මා නම් උදෑසන අවදිවුයේ කුකුළා හඬලන්නටත් පෙරය. අදටත් මට ඇති ගැටලුව කලින් අවදි වුයේ අත්තම්මාද නැතහොත් වැටෙන් එහා රාලහාමි මාමලාගේ කරමලය රතු කුකුළු නාම්බාද යන්නයි.
අද දරුවන්ට ඇති ඔරලෝසුවේ එලාම් ශබ්දය වෙනුවට එදා අප අවදි කර වුයේ කුකුළු නාම්බාගේ හඬලෑම සමඟම ආරම්භ වන ආත්තම්මාගේ මුළුතැන් ගෙයි හැලි වලන් ශබ්දය, එනමල් කෝප්පයට තේ කහට වත් කෙරෙන ශබ්දය, ඉඳහිට බොරළු පාරේ ඇදෙන කරත්තයේ ගොනු කුර හඬ හෝ ලිඳේ බොලොක්කය දවසේ මෙහෙවර අරඹන්නට බැරුවාක් මෙන් නගන කිරි කිරි ශබ්දයය. සමගාමි වේලාවක අවදිවීම පාඩම් වැඩ වල යෙදෙන කුඩා අපගේ නාස් කුහර විද ගෙන යන අත්තම්මා පිළියෙළ කල උදෑසන ආහාර වර්ග වල තිබු කුසගිනි වඩවන සුවඳයි මේ සමඟ මගේ මතකයට නැගෙන්නේ. අද මා ඔබ වෙත ගෙන එන්නේ අත්තම්මා උදෑසන ආහාර පිළියෙළ කිරීමට නිතිපතා යොදාගත් රළු කුරක්කන් වල සුමට කතාන්දරයයි.
එදා හේන් කුඹුරු, ඇල වේලි , වැව් අමුණු වල ගත වෙහෙසා වැඩ කල අත්ත මුත්තාලාට නොවරදවාම උදැසන ආහාරය පිළියෙළ කෙරුනේ කුරක්කන් පිටියෙන්. ඒ සෙමෙන් දිරවන පිෂ්ඨය ඇති,පැය ගණනාවක් පුරා කුසගිනි නොදැනී කය වෙහෙසා වැඩ කිරීමට ශක්තිය සැපයීමට මේ කදිම ආහාරයට තිබු හැකියාව නිසායි. මේ හේතුව නිසාම නිතර ආහාරයට ගැනීමෙන් දියවැඩියා රෝගය වැලැක්වීමත්, රෝගය වැළඳුනු අයට රෝග ලක්ෂණ පාලනය කර සාමාන්ය ජිවිතයක් ගත කිරීමටත් පුළුවන්. කුරක්කන් වලට සිරුරේ ඇති ඉන්සියුලින් ක්රියාකාරිත්වය වැඩි කර රුධිරගත් සිනි මට්ටම කළමනාකරණය කිරීමේ සුවිශේෂී හැකියාවක් තිබෙනවා.
එපමණක් නොවෙයි අද ලෝකය පුරා වේගයෙන් පැතිර යන සංකීර්ණ ප්රෝටීන විශේශිතයක් නිසා හට ගන්නා 'ග්ලුටන් ආසාත්මිකතාවය' (gluten
allergy ) සඳහා යෝගදා ගත හැකි විශ්වකර්ම ආහාරයක් ලෙසත් කුරක්කන් හඳුන්වන්න පුළුවන්. ඒ කුරක්කන් ස්වාභාවිකවම ග්ලුටන් රහිත ධාන්ය වර්ගයක් වීම නිසයි.
තරබාරුව අඩු කර ගැනීමට කුරක්කන් උදව් වනවා යයි කිවොත් ඔබ පුදුම වෙනවාද? කුරක්කන් වල ඇති විශේෂිත ඇමයිනෝ අම්ල මගින් ආහාර රුචිය අඩු කෙරෙනවා. ශාකමය තන්තු අධික නිසා ජීරණය සිදුවන්නේ සාමාන්ය ආහාරයකට වඩා බොහෝ අඩු වේගයකින්. මේ නිසා බොහෝ වෙලාවක් කුසපිරි ඇතිවාක් මෙන් කුසගිනි අඩුවී යනවා. කුරක්කන් වල ඇති ශාකමය අසන්තෘප්ත මේධ නිසා අහිතකර කොලෙස්ටරෝල් අඩුවීමෙන් හදවතේ සෞක්ය තත්වය මනා ලෙස පැවැත්වෙනවා. කැල්සියම් සහ විටමින් බහුල කුරක්කන් අස්ථි ශක්තිමත් කිරීමටත් උපකාරී වෙනවා.
මේ නිසා ගත වෙහෙසා වැඩ කරන්නන්ට පමණක්ම නොවෙයි ගර්භනී සහ කිරිදෙන මව්වරුන්ටත්, වැඩෙන දරුවන්ටත්, ඔසප් නැවතුනු කාන්තාවන්ටත් ස්වභාවිකව කැල්සියම් ලබා ගැනීමට හැකි පහසුම විධියක් තමා නිතර කුරක්කන් ආහාරයට ගැනීම. කුරක්කන් වල අධික වශයෙන් අඩංගු යකඩ නිරක්තිය වළක්වාලීමට කදිම ප්රතිකාරයක්. රාත්රීය පුරා පෙඟවූ කුරක්කන් අංකුර සැදෙන්නට හැර ගෙදරදීම පිටි සකසා ගැනීමයි එදා සිදු කලේ. එමඟින් අංකුර වල ඇති විටමින් සී පිටි වලට එක්කර කුරක්කන් වල ඇති යකඩ ශරීරයට අවශෝෂණය කර ගැනීම උත්තේජනය කිරීමක් සිදුවී තිබෙනවා.
දියවැඩියා රෝගියකුගේ නම් නිවසකට ගොඩ වන විට චාරිත්රානුකූලව අපේ අත්තම්මා රැගෙන ගියේ කුරක්කන් පිටි මල්ලක්. සරම්ප, පැපොල වැනි වෛරස ආසාධන හෝ ඇඟේ ඌශ්නය පිට දැමීමෙන් ඇතිවන ඕනෑම රෝගයකදී අපේ මහ ගෙදර සව් කැඳ හා සමගාමිව කරට කර පිළියෙළ වුයේ කුරක්කන් කැඳයි. මානසික ආතතිය වඩවන පවුලේ යම්කිසි කරදරයක් ඇති විටක අත්තම්මා නොවරදවා නින්දට යාමට පෙර කුරක්කන් කැඳ කෝප්පයක් පවුලේ අයට ලබා දුන්නේ තුන්සරණ සමාදන් වූ පසු තව දුරටත් මනස විවෙකවත් කර සුව නින්දක් ලබා දීම උත්තේජනය කිරීමටයි.
නූතන රසායනාගාර පර්යේෂකයන් අත්තම්මා එදා කුරක්කන් යොදා සිදුකල සියලුම අත් බෙහෙත් වල ගුණ ඒ අන්දමටම ඇති බව විද්යාත්මකව පෙන්වා දී තිබීම තමා ඉතාමත්ම අපූරු කාරනාව වන්නේ. උදාහරණයක් ලෙස ඔවුන් පවසනවා කුරක්කන් වලට ශරීරයේ පටල වල එකතුවන දියර ඉවත් කිරීමට හැකියි කියා.අත්තම්මා සිදුකලේ හන්දිපත් අමාරුව හෝ පාද වල ඉදිමුව අඩු කිරීමට වැඩිපුර කුරක්කන් දමා යන්තම් පැණි රසට සාදාගත් හැලපයක් හෝ රොටියක් සාදා ආහාරයට එක්කිරීමයි. ඉතින් එදා අපේ අත්තම්මලාගේ දැනුම විශ්මිත් යයි කියන්නට මීටත් වඩා අටුවා ටීකා තවත් අවශ්යද?
ලංකාවේ වියලි කලාපයේ තැනිතලා බිම් ආශ්රිතව වැවෙන කුරක්කන් ඉන්දියාව, සහ අප්රිකාව පුරා ව්යාප්ත වී පවතින ධාන්ය වර්ගයක්. ලෝහ යුගයටත් වඩා දීර්ග ඉතිහාසයක් ඇති කුරක්කන් වල මුල් භූගෝලීය සම්භවය ඇතිවී තිබෙන්නේ ඉතියෝපියාවෙයි. විවිධ කාල ගුණ තත්වයන්ට අනුකූලව හැඩ ගැසුණු විශේෂිත ගණනාවකින් යුතු කුරක්කන් මුහුදු මට්ටමෙන් ඉහල ශීතල සහ තෙත් පරිසර වලත් සරුවට වැවෙනවා. විවධ දේශ ගුණයන්ට අනුවර්තනය වීමටත් වඩා විශේෂිත කාරනාව වන්නේ කුරක්කන් පැලෑටිය තුල ඇති ස්වභාවික කෘමිනාශක ගුණ නිසා රසායනික කෘමිනාශක භාවිතයකින් තොරව වගා කර ගැනීමට හැකි වීමයි.
කුරක්කන් වල ඇති ඖෂධිය ගුණ පිළිබඳව නොදන්නා ළමා කාලයේදී මා නම් කුරක්කමට පෙම් බැන්දේ එහි ඇති දිව පිනවන රසයටයි. අත්තම්මාගෙන් පසුව එම රසයම ඇති කුරක්කන් මට මෑතකදී හමු වුයේ මින්නේරිය වැවේ නාන්නට ගිය අවස්තාවකදියි. වැවේ නාන සංචාරකයින්ට ඔවුන්ගේ ගෙවත්තේ සකසන යමක් විකුණා කියක් හෝ උපයා ගැනීමට පැමිණි ගැමියෙකු ළඟ තිබු ඔහුගේ නිවසේ සැකසී ගෙන ආ කුරක්කන් පිටියි ඒ. පැණි පොල් දමා කැන්ද කොලයේ ඔතා සාදන හැලපය බෙහෙතක් කියා කාට නම් කිව හැකිද?
කලටි පොල් දමා ලුණු මිරිසක් සමග උදෑසන ආහාරයට එක්වන කුරක්කන් රොටිය හෝ පිට්ටුව තලු මර මරා ගිල දමද්දී අත පය ශක්තිමත් වීමට හෝ හිසකෙස් දිගුවන්නට අපට දුන් බෙහෙතක් යයි අප නිකමටවත් දැන සිටියාද?
අවාසනාවකට මෙන් කුරක්කන් අද අපේ භාවිතයෙන් බොහෝ ඈතට ගොසින්. ලොව පුරා සුපිරි ආහාරයක් ලෙසට නම් දරා යුරෝපයේත් ඇමෙරිකාවේත් සුද්දන් කුරක්කන් සොයා යද්දී චූන් පාන් අයියාගේ කිඹුලා බනිස් ගෙඩියෙන් සැනසි ෆාමසියෙන් මිලට ගත් කැල්සියම් යකඩ පෙති ගිලිමුද? තීරණය ඔබටම භාර කරමි. නැවතත් හමුවන තුරු ඔබ සැමට ආයු බෝ වේවා!
රේණුකා විමලරත්න : ලන්ඩනයේ සිට
චායාරූප අන්තර්ජාලයෙන්
චායාරූප අන්තර්ජාලයෙන්
හරිම වටිනා ලිපි.. ඒවගේම රසවත් විදියට ලියනවා. බොහොම ස්තුත්යි මේ දැනුම බෙදා ගන්නවට...
ReplyDeleteපුළුවන්කමක් තිබේ නම්, මේ ගුණවත් ආහාර යොදාගෙන හදන්න පුළුවන් ගුණදායක ආහාර වට්ටෝරු ඉදිරිපත් කරන්න කියල මම අරාධනා කරනවා. එක හුඟක් වටිනවා..
This comment has been removed by the author.
ReplyDeleteආඩම්බරයි අපේකම...
ReplyDeleteනියමයි!
ReplyDeleteBest
ReplyDelete