මුරුංගා අත්තට නග්ගමු
මුරුංගා කිව්වම අපට නම් ඉතින් ලේසියෙන්ම මතක් වෙන්නේ මුරුංග අත්ත නොවැ . මොකෝ අපේ උන්දැලා මුරුංග අත්තට නගින්න බොහොම දක්ෂයි. විශේෂයෙන්ම ඔය දේශපාලනය කරන උතුමන්ලා බලයේ ඉන්න අවුරුදු පහ හය තනිකරම ඉන්නේ මුරුංග ගහේ
කරටියේ. උදාහරණයකට කියනවානම් ඔය කාලෙට ඒ
උතුමන්ලා තාප්පයක් උඩ
ඉඳගෙන හිටියොත් ඒකෙනුත් මුරුංග ගහේ
කරටියටම නග්ගලා තමයි අපේ කට්ටිය පස්ස බලන්නේ.
ඕන් ඉතින් මන් එක්ක අමනාප වෙන්න කාරී නැහැ. බොරුනම් ඔය කලින් බලේ හිටපු ඇත්තෝ දැන් මුරුංග ගහෙන් බිමට වැටිලා අඬු කඩන්
ඉන්න හැටි බලා ගන්න බැරිව යැයි. ඉතින් ඔය දේශපාලනය කිව්වම මට තවත් කාරණයක් මතක් වුනා නොවැ .
බලේ ඉන්න කාලෙට ඔය උතුමන්ලා මුරුංග අත්තේ ඉන්න ගමන් කරන අනිත් රාජකාරිය තමා තමන්ගේ තරහ කාරයින්ව පිස්සු බල්ලෝ වගේ හපා කන එක. උදාහරණ අවශ්යම නැහැනේ නේ? ඉතින්
අද මේ සටහනේ ලියවෙන්නේ බල්ලෝ හපා කෑමට නිට්ටාවටම හරියන
අත්
බෙහෙතක් වුනු අත්තම්මාට නැතිවම බැරි වුනු
ඖෂධිය මුරුංගා ගැන මිස දේශපාලනය ගැන නොවෙයි.
අපි කුඩා කාලේ නම් මුරුංගා හැම ගෙවත්තකම වැටකට ඉන්ඳලා තිබුණු ගහක්.
නිතර කොළ කඩා ආහාරයට හෝ ඖෂධිය භාවිතයට ගැනීම නිසා වැඩිපුර උස නොගියත් කඳ
මහත් වූ ශාක
තමා තෙත් කලාපයේදී අපිට දකින්නට ලැබුනේ. ඒ කියන්නේ ඒ කාලේ අත්තම්මලාට කාවවත් මුරුංගා අත්තේ යවන්නට
අවශ්‍ය වුනේ නැහැ. වියලි කලාපයේදී නම්
අනුරාධපුරය, ත්රිකුණාමලය යාපනය වැනි පලාත්වල කැලෑවට මහා විසල්ව වැඩුණු ගස් දැක ගන්න පුළුවන්.
දඩාවතේ යන බල්ලෙකු බළලෙකු
වැනි සතෙකු සපා කෑ විට අත්තම්මා
කල මූලික ප්රතිකාරය තමා තුවාලය හොඳින් සෝදා මුරුංගා ගහේ
පොත්ත දෙහි ඇඹුලෙන් කොටා තුවාලයට තබා බැඳීම. මේ හහේතුවටම
ඇතැම් පළාත් වල මුරුංගා කොළ කන හුණු සමඟින් කොටා තුවාලයට තබා බැඳීමත් කළා. හුණු සමඟ වැඩි ගනුදෙනුවක් නොතිබුණු අත්තම්මා නම් මේ ප්රතිකාරයට එක්කළේ දෙහි ඇඹුල් .
කිරි දෙන මවකගේ ආහාරයට එක්කරන පලා මැල්ලුමට මුරුංගා කොළ දෙමිටක් එක්කරන්නට අත්තම්මා අමතක කලේ නැහැ. ඒ මුරුංගා වල ඇති සුවිශේෂී කිරි එරවිමේ හැකියාව ගැන ජිවන අත් දැකීමෙන් ඇය දැන සිටි නිසා. යුවතියන්ගේ ඔසප්
වේදනා සහ අක්රමතා සුව කිරීමට අත්තම්ම භාවිතා කල තවත් බෙහෙතක් තමා මුරුංගා මැල්ලුම. බර වැඩ කරන්නන්ගේ ශරීරයේ ඇති වන වේදනා සඳහා මුරුංගා කොළ කොටා වන්ඩුවේ තම්බා තැවීම ඒ කාලේ කල තවත් වටිනා අත් බෙහෙතක්. මේ වේදනා කැක්කුම් නසා සුව නින්දක් ලබා ගැනීමට උපකාරී වන මහඟු ප්රතිකර්මයක්.
අත්තම්මා පැවසු ලෙස මන් මාවත් නැතිව දුර ගමන් ගිය අතීතයේදී වල්මත් වුවන්ට හසුවන ඕනෑම ජලාශයකින්, ඇල දොළකින් ජලය පානය කර කිසිඳු රෝගාභාදයක් නොවැළඳී යහතින් යලි එන්නට ලැබුනේ වනාන්තරයේ තිබු මුරුංගා ගස් නිසාලු. නොදන්නා බිමක ජලය පානයට පෙර
මුරුංගා ඇට කීපයක් පොඩිකර දිය ලබ්බට (එකල ජලය ගෙන යාමට දියලබු කටුවෙන් සකස් කල උපකරණය) දැමු විට ඕනෑම අපවිත්‍ර වූ ජලයක් එසැනින් බිමට සුදුසු ලෙස පිරිසිඳු වෙනවාලු.
පුරාන සිංහල වෙදකමේ මෙන්ම ආයුර්වේදයේ මුරුංගා ගසේ කොළ, පොතු, මල් ,අතු යනාදී සියලු කොටස් එකසේ ඖෂධ සඳහා යොදාගෙන තිබෙනවා. මේ ශාකයේ සියලු කොටස් වල එක හා සමානව ක්ෂුද්‍ර ජීවි නාශක ගුණ ඇතත් මලේ සාපේක්ෂව එම ගුණ
වැඩි බවත්, ආය්ර්වෙදයේදී මල් බහුලව භාවිතා වන බවත් කියවෙනවා.
මුරුංගා කොලයේ ඇති ගුණ සාපේක්ෂව මුරුංගා කරලට වඩා බොහෝ වැඩි බවයි කියවෙන්නේ. යකඩ ගැන කතා කලවිට හැමෝගෙම මුවට නැගෙන නිවිති කොලය මුරුංගා කොලයට පැරදෙන බව ඔබ දැන සිටියාද? මුරුංගා කොලවල නිවිති වලට වඩා 24 ගුණයක් යකඩ, කිරි වලට වඩා 16ගුණයක් කැල්සියම්, කැරට්
වලට වඩා 9ගුණයක් විටමින් ඒ
සහ කෙසෙල් වලට වඩා තුන් ගුණයක් පොටෑසියම් තිබෙන බව
තමයි නවීන විද්යා පර්යේෂකයින් පවසන්නේ.
මීට අමතරව සිරුරට අත්‍යාවශ්‍ය ඇමයිනෝ අම්ල විශාල ප්රමාණයක් සහ දොඩම් වලට වඩා 7 ගුණයක් විටමින් සී
සමඟ කිරි වලට වඩා දෙගුණයක් ප්රෝටීන් අඩංගු
මුරුංගා කොළ සතියකට වරක් දෙවරක් ආහාරයට ගැනීමෙන් ඔබේ සිරුරේ බොහෝ පෝෂක අවශ්යතා නිට්ටාවට සපිරෙන බවත් ඔවුන් පවසනවා.
මුරුංගා කරලේද මේ හා සමානව හෝ යම්තාක් දුරට අඩු වැඩි වශයෙන් මේ පෝෂක ගුණ අඩංගු බව කියවෙනවා.
මුරුංගා වල ඇති බැක්ටීරියා, පරපෝෂිත සහ දිලිර විනාශ කිරීමේ ගුණ මැනවින් දැනහුන් රාවනා පරපුරේ දේශීය වෙදදුරන් බොහෝ ආසාදන වලට
ප්රතිකාරයක් ලෙස මුරුංගා භාවිතා කර තිබෙනවා. විශේෂයෙන්ම ආහාර මාර්ගය හා සම්බන්ද විවිධ ආසාධන වලට සහ ආමාශික තුවාල වලට
මුරුංගා දිව්යමය ඖෂධයක් ලෙසයි දේශීය වෙදකමේ මෙන්ම ආයුර්වෙදයේත් සැලකෙන්නේ.
2005 වසර වන තුරුම බටහිර වයිද්‍ය ක්ෂේත්‍රයට රහසක්ව පැවතුනු මේ අපූරු ක්ෂුද්රජීවී නැසීමේ ගුණයට හේතුව මුරුංගා වල ඇති ස්වාභාවික
benzyl glucosinolate නමැති රසායනිකය බවයි කියවෙන්නේ.
නූතන පර්යේෂකයින් මුරුංගා වල ඇති යෝධ බලය ලෙස කියවෙන්නේ එහි ඇති පිළිකා වැළක්වීමේ ශක්තියයි. මේ ශක්තිය කොපමනක්දැයි කියනවානම් ඔවුන් පවසන ලෙසට මුරුංගා ශාකයේ ඇති පිළිකා නාශක ගුණ විස්තාරණය කර ගත හැකිනම් පිළිකා රෝගය වලක්වා ගැනීමට ලොවට අවශ්‍ය මුරුංගා ශාකය පමනක්ලු. පිළිකා සඳහා chemo therapy ලබා ගන්නා රෝගීන්ට මුරුංගා ආහාරයට දීමෙන් අතුරු ආබාධ අඩු කර ගැනීමටත් හැකියාව ලැබෙනවලු.
මුරුංගා වල ඇති ප්රති ආසාත්මික (anti -histamine) ගුණත් ඉතා ඉහල බව ඔවුන් පවසනවා. මයියොක්කා
තම්බන විට හෝ, දැල්ලෝ
ඉස්සෝ වැනි ඌශ්න ගුණ සහිත ආහාර පිසීමේදී මුරුංගා කොළ අහුරක් දෙකක් ඒ ආහාරයට එක් කිරීම අත්තම්මාගේ
අනිවාර්ය සිරිතක් වුනේ අත්තම්මා ඔවුන්ට බොහෝ පෙර මේ හැකියාව දැන සිටි නිසා
යයි මා කරන තර්කයට ඔබ එකඟ වන බව නොඅනුමානයි. ඒ වාගේම මුරුංගා වලට
මාංශ පේශින්ගේ විඩාව නිවාලිමේ බලයකුත්, ශරීරය සැහැල්ලු කර සුව නින්දක් ලබා දීමේ හැකියාවකුත් තිබෙනවා.
මුරුංගා වල ඇති ඖෂධිය ගුණ තව දුරටත් විග්රහ කිරීමේදී එහි ඇති වකුගඩු සහ මුත්රා ගල් ඉවත් කිරීමේ හැකියාව අමතක කරන්නට බැහැ . මේ ගුණය විශේෂයෙන්ම ඇත්තේ මුරුංගා බිජයේ. ආයුර්වේදයේ අප ඉවත ලන මුරුංගා බීජය වියලා කුඩු කර ඖෂධිය වට්ටෝරු
බොහොමයකට භාවිතා කරන්නේ එහි ඇති සිරුරේ ජලය ඉවත් කිරීමේ හැකියාව (diuretic effect ) උපයෝගී කරගෙන.
මුරුංගා වල ඇති මේ මහඟු ගුණාංග විසල්ව
අධ්යයනය කල පිටරැටියන් මුරුංගා කරල්, පෙති, ඇඟේ ගල්වන ආලේප වශයෙන් පිළියෙළ කර තිබෙනවා.
මිල ඉතා අධික මේ නිෂ්පාදන
amazon, e-bay වැනි අන්තර්ජාල වෙළඳපොලෙන් ගෙදරටම ගෙන්වා ගන්න පුළුවන්.
මේ සමඟම කුඩා කාලයේ තවත් සිදුවීමක් මගේ මතකයට නැගෙනවා. හීනයක් වගේ මතක මේ සිදු වීම වන විට මගේ බාල සොයුරා ඉපදී දින කීපයයි. ඒ වන විට අපේ ගමට විදුලි ආලෝකය තිබුනේ නැහැ. හවස හය වෙනකොට කට්ට කරුවල නිසා අප කිසිවෙක් එලියට බහින්නේ නැහැ.
රාත්රී හතට පමණ අත්තම්මලාගේ පූසා අමුතු ශබ්දයක් නගනු ඇසි ඒ බලන්නට ගිය ඒ වන විට අවිවාහකව සිටි මගේ ලොකු මාමාට ටෝච් එලියට දකින්නට ලැබුනේ අඩි 7-8ක් විතර දිගැති විශාල පොලගෙක් පූසා සමග ගිනිකන වැටි සිටි අයුරු. ගමේ සිටි සර්ප වෙද මහතාට අනුව මේ ගැහැණු පොලගෙකු නිසාත් උගේ බඩේ බිත්තර තිබුණු නිසාත් පළාතේ විශාල පොලොන් ජනගහනයක් ඇති බවත් රාත්රියේ එළියක් නැතිව පිටට නොයන්නත් ගමේ සියලු දෙනාට අවවාද කෙරුනා. මේ අනතුරින් බේරෙන්න අත්තම්මා කල උපක්රමය නම් මුරුංගා පොතු, කොළ, රාත්රිය වනවිට ගේ ගේ අසල මිදුලේ බිම විසුරු වීම. මුරුංගා කොලයේ ඇති සුවඳට සර්පයන් අකමැති බවයි ඇය එදා පැවසුවේ.
මුරුංගා හොද්දක් මැල්ලුමක් ආහාරයට ගෙන ආයු වැඩිකර ගැනීමට මිස මෙය ලියු මා මුරුංගා අත්තේ තබන්නට කාලය වැය නොකරන මෙන් ඉල්ලමින් අදට සමු ගනිමි. ඔබ සැමට ආයු බෝ වේවා.
රේණුකා විමලරත්න: ලන්ඩනයේ සිට
චායාරූප අන්තර්ජාලයෙන්
Good one!
ReplyDeleteමෙතනට එන්න ලැබුණෙ අටම්පුහරේ උදවුවෙන් ඔබෙන් සිදුවෙන්නෙ විශාල සේවයක් ස්තුතියි ජයවේවා
ReplyDeleteAththatama loku sewayak oya karanne. Digatama liyanna. Pin sidda wenawa.
ReplyDeleteVery good...
ReplyDeletedanuma labadeema loku pinak
ReplyDeleteGood publication.
ReplyDelete