Thursday 6 October 2016

අත්තම්මාගේ අත් බෙහෙත් 25: දෙළුම් (Pomegranate)

සුදු මේස්  බැනියමට උඩින් කළු කෝට් බෑයක් ඇඳන්, කොටු සරමට කට්ට ගෙවිච්චි රබර් සෙරෙප්පු දෙකක් දමන් අව්ව වැස්ස ඇතා හෝ නැතා හෝ නණ කැඩිච්ච කළු කුඩ කබල  අතයට ගහගෙන ගමෙන් ගමට ඇවිදපු ලවර සියා අපේ ගමේ අපි කුඩා කාලේ කාටත් අමතක නොවුණු චරිතයක්. ලවර සීයාගේ කුඩේ හුළඟට ගියේ හෝ සෙරෙප්පුව කැඩෙන්නේ දීග දෙන වයසේ ගැහැණු ළමයින් හෝ දීග ගෙනෙන  වයසේ පිරිමි ළමයින් සිටින ගෙවල්  ලඟදි පමණක් වීම තමා මේ චරිතයේ තිබුණු විශේෂත්වය.. ''මොකෝ ලවරයියේ සෙරෙප්පුව කැඩිලයි?'' යනුවෙන් අත්තම්මා අසන මේ  පැනයෙන් ආරම්භවෙන කතාව අවසන් වෙන්නේ  එවකට විවාහ වන වයසේ සිටි ලොකු මාමාට හෝ පොඩි මාමාට ගැලපෙන මනාලියන් කීප දෙනෙකු ගැන බොහෝ දිග   වර්නනාවකින්.


මහ  ගෙදර ඉස්තෝප්පුවේ තේ කෝප්පයක් සමඟ බුලත් විටක් සප්පායම් වීමෙන් පසු ''හාමිනේට කියන්න දෙළුම් ගෙඩිය වගේ ඇඟපත පාට වැටිච්චි සිරියාවන්ත කෙලි පොඩ්ඩ.....'', යනුවෙන් පටන්ගෙන අහල ගම් හතර පහකම  සිටින තරුණ ගැහැණු ළමයින්ගේ විස්තර කතනයකින් පසුව ලොකු මාමාගේ හෝ පොඩි මාමාගේ කේන්දරේ අත්තම්මාගෙන් ඩහැ ගන්නට ලවර සීයාට තිබුනේ අපූරු හැකියාවක්.

ගමකට අත්‍යාවශ්‍යා චරිතයක් වූ කපුවා කපෝති වූයේ ගෝලීයකරණයත් සමඟ ඔහුගේ රාජකාරිය ටියුෂන් පන්තිය, උසස් අද්‍යාපන ආයතන සහ පසු කාලීනව අන්තර්ජාලය වෙත පැවරීමෙනි. ගමටම මංගල්‍ය​කලත් ජිවිතයට මංගල කාරනා එක්වුණු බවක් නොදුටු ලවර කපු සියාගැන නම් නොවෙයි අද මේ සාකච්චාව. මංගල්‍ය​ සිදු වෙන්නට  පෙර ලවර සීයා  හැම ගැහැණු ළමයෙක්ම උපමාවට ගත්, අත්තම්මා දහසක් අත් බෙහෙතට යොදාගත් දෙලුමේ සිත්කළු වර්නනාවයි මේ...



ලවර සීයා කීවාක් මෙන් දෙළුම් ගෙඩිය වාගේ පැහැපත්ව සිටින්නට දෙළුම් ගෙඩියෙන් කල හැකි අත්තම්මා දැන හුන් අත් බෙහෙත්  නම්  එමටය. සම පැහැපත් කිරීමටත්, තෙල්  සහිත සම ඇති තරුණ ළමයින්ට සමේ ඇතිවන කුරුලෑ ගෙඩි වලටත්  දෙළුම් යුෂ ආලේපයෙන් ප්‍රතිකාර කල මුහුණේ ඇතිවන කුරුලෑ කැළැල් මැකීමට වියලූ දෙළුම් ඇට කුඩු භාවිතා කළා. සිගිරි ලලනාවියන් මෙන් ලස්සන වන්නටත්, ඇස් යට කළු වීම වැලක්වීමටත් , සම රැලි වැටීම වැලක්විමටත් නිතර දෙළුම් ආහාරයට ගත යුතු බව ඇය විශ්වාස කළා.



දෙළුම් යුෂ සහ මීපැණි යන දෙවර්ගයේම ඇති ඖෂධිය ගුණ ගැන ප්‍රභල විශ්වාසයක් තිබු අත්තම්මා මේ දෙවර්ගයම නිවසේ අයගේ සුවය සාදන්න යොදාගත්තා. ආම්ලික ගතිය වැඩියයි රස බැලුවන්ට සිතෙතත්  දෙළුම් යුෂ මීපැණි සමඟ මිශ්‍රකල විට එය ආමාශයේ තුවාල සඳහා අගනා ඖෂධයක් පමණක් නොවෙයි, ගුද මාර්ගයේ ඇතිවන ලේ ගෙඩි (piles) සඳහාත් ප්‍රතිකාරයක්අව්වේ වියලා ගත් දෙළුම් ලෙල්ල පසුව වංගෙඩියේ කෙටි කුඩු වී මුළුතැන්ගෙයි ගබඩා වන්නේ නිවසේ ඕනෑම කෙනෙකුට ඇතිවන අජිරණයකදී බෙහෙතක් වන්නටයි. දෙළුම් කෝපි නම් මේ කහට සහ තිත්ත අධික කසාය මට නම් පෙන්නන්නටම බැරි පානයක් වුවත් එක වතාවක් පානයෙන් බඩවල් පෙරලීම, වමනය ගතිය නැතිකර උදරය සාමාන් තත්වයට ගන්නට එයට ඇත්තේ අපූරුම හැකියාවක්.



මතක​ ශක්තිය වැඩි කර ගැනීමට දෙළුම් වලට හැකියාව ඇතැයි  විශ්වාස කල අත්තම්මා  නෙලන්නට කිට්ටු දෙළුම් ගෙඩිය දිනවල විභාග කටයුතු වලට සූදානම් වන පවුලේ සාමාජිකයා වෙනුවෙන් වෙන් කළා. මගේ ලිපි බොහොමයක් නැවත නැවත විස්තර කලාක් මෙන් බොහෝ මෑත කාලයක් වනතුරු  පණු අමාරුවට බටහිර බෙහෙත් ගැනීමේ පුරුද්දක් නොතිබුණු අපේ පවුලේ පණු අමාරුවට  ප්‍රතිකාර කෙරුනේ සඳහා පිලියෙල වුනු ඖෂධිය ආහාරයකින්, නිවසේ සාදන කැඳ  වර්ගයක් හෝ කසායකින්අවාසනාවකට පණු අමාරුවට දෙළුම් ගසේ විවිධ  කොටස් එක්කිරීමෙන් සාදාගත් කසාය පිලිබඳ අද වන විට මට ඇත්තේ  දියාරු මතකයක් පමණක් වූවත් වෙනුවෙන් දෙළුම් පළතුරද   භාවිතා කල බව නම් අදටත් මතකය.

සම පැහැපත් කිරීමට පමණක් නොව පංච කල්‍යාණයේ අනෙකුත් වැදගත්ම අංගයක් වන කේශ කල්‍යාණ රැක ගැනීමටත් දෙළුම් භාවිතා කරන්නට අත්තම්මා දැන  සිටියා. නිවසේ  හින්දන පොල්තෙලට නෙල්ලි, කි කිරිඳිය, රතුළූණු වැනි විවධ ඖෂධ යොදා තෙල සාදාගත් අයුරු මිට පෙර ලිපි වලදී සාකච්චා කළා ඔබට මතක ඇති. එවන් විටෙක අලුත් දෙළුම් ලෙල්ලක් ඇතිනම් එය  තෙලට එක්කිරීමටත් ඈ අමතක කලේ නැහැ. හිස කෙස් වැඩීමට, නිරෝගී පෙනුමට පවත්වා ගැනීමට මෙන්ම හිස්හොරි වලක්වා ගැනීමටත් එය උපකාරී වන බවයි පැවසුවේ.

කුඩා දරුවන්ට දෙන මුල් ආහාර අතර දෙළුම් යුෂයට එදා හිමිවුණේ විසල් තැනක්. ආහාරයක් ලෙස පමණක් නොවෙයි කුඩා දරුවන්ගේ උදරාබාධ, කිරි දෙන මවගේ ශරීර වේදනා සහ ප්‍රසවයේදී ඇති වූ තුවාල සුවයට අලුත වැදු මවක් සිටින නිවසට යන විට තම ගෙවත්තෙන් දෙළුම් ගෙඩියක් දෙකක් නෙලාගෙන යන්නට අපේ පැරණි අම්මලා අමතක කලේ නැහැ. ග්‍රීෂ්ම කාලයට පැතිරෙන අක්ෂි ආබාධ ඉක්මනින් සුව කර ගැනීමට එදා ඉවහල් වූයේ දෙළුම් කොළ තැම්බූ වතුරෙන් ඇස් දෝවනය කිරීමයි.

ගර්භනී මවු වරුන්ගේ උදෑසන වමනයටත්, කල් පවතින තුවාල සුවයටත්, මුත්‍රාගල් සහිත රෝගීන්ට  මෙන්ම නිතර සෙම්ප්රතිශ්යා උන වැනි වයිරස ආසාධන සෑදෙන දරුවන්ටත් ප්‍රතිකාර පිණිස දෙළුම් නමැති මේ විශ්මිත ඖෂධය අත්තම්මා යොදා ගත්තා. සිංහල වෛද් ක්‍රමයේදී සර්වාන්ගයේ සෑදෙන සියලුම රෝග සඳහාත්, ආයුර්වේදයේදී වාත පිත සේම ඇතුළු සියලු රෝග සුවයටත් භාවිතා කරන අතලොස්සක් ඖෂධ ඇත්නම් අතර දෙලුමට හිමි වන්නේ මූලික තැනක්.

භූගෝලීය සම්භවය මැද පෙරදිග සහ මධ්යධරණී දූපත් ලෙස සැලකෙන දෙලුමේ ඉතිහාසය ක්‍රි:පූ: 3500-2000 අතර  ලෝහ යුගය දක්වා පැතිර යන්නක්. ඉරානය, ඊජිප්තුව සහ උතුරු ඉන්දියාවේ  සිට පසු කාලීනව ආසියාව සහ අප්රිකාව හරහා යුරෝපයට පැතිර ගිය බවට සාධක ඇති දෙළුම් අද වන විට ලොව පුරා ජනප්‍රි  ''සුපිරි ගනයේ'' ආහාරයක් සහ ඖෂධයක්. අතීතයේ පටන් දෙලුමේ ඇති ගුණ පිළබඳව මිනිසුන් දැන සිටි බවට ඇති ප්‍රභලම සාධකයක් වන්නේ තුතන්කාමන් රජුගේ දේහය සමඟ බඳුනක දමා මරණින් පසු ඔහු සමඟ ගෙනයන්නට දෙළුම් සුරක්ෂිත කර තිබීමයි. බෞද්ධ ඉතිහාසයේ සහ ජෙරුසලම සම්බන්ධ පුවත් වලද, රෝම ඉතිහාස කතා වලද දෙළුම් ගැන කියවෙන්නේ දෙලුමේ අගය පිලිබදව සදාකාලීනව මිනිසාට තිබූ අවබෝධය නිසා වන්නට ඇති.

පෝෂක වේදීන්ගේ පර්යේෂණ වලට අනුව දෙළුම මෙතරම් ගුණදායි වන්නේ එහි ඇති අසාමාන් ප්‍රමාණයක විටමින් සහ සිරුරට අත්යාවශ්  ලවන වර්ග වල  එකතුවයි. විටමින් සි, බි 1-12, , ඩී සහ සෝඩියම්, පොටසියම්, කැල්සියම්, සින්ක්, කොපර්  සහ යකඩ බහුලව ඇති දෙළුම් ග්රෑම් සියයක අඩංගු වන්නේ කැලරි 83ක් වැනි සුළු ප්රමාණයක්. විටමින් , සින්ක් සහ කොපර් වල ඇති සමට ඇති හිතකර බව නිසා ඉක්මනින් සමේ ගෙවීයන සහ හිරු එලියට පිළිස්සෙන ශයිල ප්රතිසංස්කරණය කර  සම පැහැපත් කිරීමට, තුවාල සුවයට සහ සම රැලි ගැසීම වලක්වා තරුණ බව රැක ගැනීමට  දෙළුම් යුෂ සමත් වන්නේ.

දෙළුම් යුෂ වල ඇති වේගයෙන් ශයිල ප්රතිසංස්කරණය කිරීමේ ගුණය  සමට පමණක් නොව මුළු සිරුරටම බලපෑමෙන් හිස කෙස් ඉක්මනින් වර්ධනය වීම, මොලයේ ශයිල පිළිසකර වීම නිසා මතකය පවත්වා ගැනීමටත්, වයසට යාමේදී ඇතිවන කල්පනාව අඩුවීමේ රෝග, හදවත් රෝග, මුඛයේ ආසාධන වැනි මෙකි නොකී ශරීරයේ විව්ධාකාර රෝග වලක්වා ගැනීමට හැකි වෙනවා

රසායනාගාර පර්යේෂණ දත්ත වලට අනුව දෙළුම් වල ඇති අධික ප්රති ඔක්සිකාරක ගුණ හේතුවෙන් කාන්තාවන්ගේ පියයුරු පිළිකා සහ පුරුෂයින්ගේ ප්රොස්ටේට් පිළිකා ඇතිවීම වලක්වා ගන්නට පුළුවන්. යකඩ බහුල බව නිසා නිරක්තිය සහ කාන්තා රෝග වලටත් දෙළුම් විශේෂයෙන් ගුණ බවයි ඔවුන් පවසන්නේ.  

දෙළුම් පිළිබඳව අද ලෝකයේ පවතින උනන්දුව කොතරම් දැයි කිවහොත් පිළිබඳව ඇති පර්යේෂණ වාර්තා කියවා නිම කරන්නට බැරි තරම්. එපමණක් නොවෙයි එහි ඇති ගුණත් මෙවන් ලිපියකින් තබා පොතක් ලිවීමෙන් වත් අවසන් කල නොහැකි තරම්. ඖෂධිය ගුණ වලටත් වඩා අද වන විට දෙළුම් ගැන වඩා උනන්දු වන්නේ සුපිරි ඝනයේ සූපවේධින්  යයි කිවොත් වරදක් නැහැ.

  එදා අප දැන සිටියේ දෙළුම් පළතුරක් ලෙස හෝ යුෂ ආකාරයෙන් ආහාරයට ගැනීමට වූවත් අද වන විට  ලොව තරු පහේ හෝටල් වල අරක්කැමියන් දෙළුම් යොදා ගන්නේ ඔවුන්ගේ සුඛෝපබෝගී මිල අධික ආහාර වට්ටෝරු රසවත් කරන්නටයි. අතර විවිධ සලාධ වර්ග, මස් මාළු පිළියෙළ කිරීම් මෙන්ම විව්ධාකාර අතුරුපස වර්ගත් ඇතුළු වෙනවා.

දෙළුම් වල ඇති සෞක්යමය ප්රතිලාභ මනා ලෙස අවබෝධකර ගත් බටහිර ලෝකය දෙළුම් පෙති වශයෙන් සකස් කර ඇති අතර  එහි ඇති සමට  සහ හිසකෙස් වලට ඇති හිතකර බව නිසා දෙළුම් ෂැම්පු, ක්රීම්  වැනි රූප අලංකරණ නිෂ්පාදනත් ඉතාමත්ම ජනප්රියයි. දෙළුම් අද ලෝකයේ ඕනෑම රටක වෙළඳ පලකින් ලබා ගත හැකි නමුත් මින් බොහොමයක් ජාන  තාක්ෂනය මගින් ව්‍යුත්පන්න කල ප්රමාණයෙන් විසල් සහ පාටින්  අධික රතු ස්වභාවිකත්වය පිළිබඳව ප්‍රශ්නාර්ථයක් දනවන ඵලයන් වීම කනගාටුදායකයි.


පැහැය තද රතු කිරීමට විවධ කෘත්රිම රසායනික වර්ණ ශාකයට එන්නත් කරන බවත්, කෘමි නාශක බෙහෙවින් භාවිතා වන බවත් මේ වගා බිම් ගැන ලියවෙන වාර්තා වල කියවෙනවා. මා කුඩා කාලයේ දුටු ගෙවත්තේ සැදුනු දෙළුම් ගෙඩිය සාපේක්ෂව ප්රමාණයෙන් කුඩා වුනු අතර ලා රෝසපාට මදයකින් යුක්තයි. හැකියාවක් ඇත්නම් දෙළුම් පැලයක් තම ගෙවත්තේ වවා ගැනීමට උනන්දු වන්න.. ඔබට සදාකාලික නිරෝගී සුව ලබා ගන්නට එයම උපකාරී වේවි.

රේණුකා විමලරත්න: ලන්ඩනයේ සිට

චායාරූප අන්තර්ජාලයෙන් (නම නොදත් ශිල්පීන්ට සියලු ගෞරවය හිමිවේ)

No comments:

Post a Comment