Friday 18 November 2016

100000 +

අත්තම්මාට මුවා වී සිය දහසක් මා හමු වූ දා...




ලියන- කියන, ගයන -වයන වැඩ වලට ඩිංගක් විතර හපන්කම් තියෙන බව තේරුනේ පුංචි ඉස්කෝලේ සාහිත්‍ය​සංගම් වලට පුංචි පුංචි ලිපි - කවි පද  ලියපු දවස් වල....

මිට වඩා වැඩක් කරන්න පුළුවන් කියල කිව්වේ සිංහල උගන්වපු සිරිවර්ධන ටීච රචනාවට ලකුණු 100ක් දෙන ගමන්..කනිෂ්ඨ සාහිත්‍ය සංගමයේ ලේකම් ධුරය බාරගන්න බෑ කිව්වට තියෙන අමනාපය පෙන්වන්න....

සංගීතය උගන්වන්න ඉස්කෝලෙට ගුරුවරියක් නොහිටිය නිසා සින්දු කියන හීනය පැත්තකින් තිබ්බාම සෞක්‍ය පැත්තට ඇදලා ගත්තේ පාට පාට ජෝජට් සාරි ඇඳලා දිගකොන්ඩේ කරලට ගෙතුව පාසලේ හිටිය ලස්සනම ටීච රම්යා මිස්..එතනින් විද්‍යාවට ඇදල ගත්තේ විජේරත්න සර්..ජිවිතේ යන්න හිටිය පාර නෙමෙයි වෙනත් පාරකට හරවලා...


කෙටිකතා කවි ලිවිම..රචනාවට තිත වැටුනේ ඔන්න ඔහොම..ආයිමත් පාරේ ඩිංගක් විතර ගියේ කොළඹ හෙද විදුහලේ වේදිකාව අයිති වෙච්චි කාලේ..ලෙක්චර්ස් යන අතරේ උගන්වපු සිස්ටර්ගේ ගුණ කවියෙන්  ලියලා ඩෙස්ක් එක යටින් හොරෙන් චිට්පාස් කරපු කාලේ.. කවි  අහුවෙලා දඩුවම් විඳීම කවි ලිවිම වැඩි කරන්න තවත් හේතුවක් වුන සුන්දර කාලේ... කවි වල රස කියන්න දන්නා වෙන අය කොහෙද චන්දී ,පොඩ්ඩි   දිස්නා සහ සුදත් තරම්...

රාගම මහ රෝහලේ හෙදි නේවාසිකාගාරයේ එක ළඟ කාමර දෙකේ ඉඳන් පත්තර වලට  කවි කතා ලියපු මා එක්ක සිටි අනෙක් කිවිඳිය සහ ලේඛිකාව ..තමයි මගේ ආදරණිය යෙහෙළිය ප්‍රිති. මගේ ඊළඟ රසිකාවිය වුනේත් ඇය ..ඇගේ කවි සහ සාහිත්‍ය නිර්මාණ වල අපුර්වත්වයත් කියන්න බැරි තරම්..



අන්තර්ජාල කලින් ආදර හසුන් පෙම් කවි ලියවුනෙත් මේ කාලෙමයි..මටත් වඩා කවි නිසදැස් ලියන්න, ලස්සනට ලියුම් ලියන්න පුළුවන් වුනු අද මගේ  ආදරණිය ස්වාමියා තමයි ලෝකේ වෙන කවුරුත් නොදැක්ක ලස්සන කවි රචනා වල ඊළඟට මගේ රසිකයා වුනේ.

කළුබෝවිල මහා රෝහලේ 17 වාට්ටුවේ සුතිකාගාරයේ බෙහෙත් කබඩ් එකකකට දාලා වහලා දැම්ම ලිවීමේ සහ රස විඳීමේ හැකියාව වසර ගණනාවකට පසු නැවත එලි බැස්සේ චන්දන  සොයුරාගේ දයාබර ආරාධනාවකින් දැනට වසර දෙකතුනකට කලින්.. ඔහුගේ කවි පිටුවකටත්..දුරු රට තොරතුරු පිටුවටත් ලියන්න කියා ..

එක දෙක ලියු ලිපි වලට පසු පසින් හිඳ තල්ලුව දැම්මේ..ලියන්නට උනන්දු  කලේ දේශපාලනයට දෙපැත්තට බෙදී මා එක්ක මරා ගන්න ආදරණිය තිස්ස මඩවල අයියා..

මේ කාල වකවානුවෙදිමයි මගේ ආදර ආත්තම්මා අප හැරදා ගියෙත්..පවතින තුරු අගය නොදැනෙන හෙළ ගතියට ඇගේ වටිනාකම එළවලු වට්ටියෙන්..කුස්සියේ පහේ බෝතලෙන් එලියට පැනලා මගේ ඇහැට ඇගිල්ලෙන් අනින්න පටන් ගත්තේ ඇය අපෙන් සමුගත්තාට පසු..


කුස්සියේ පහේ බෝතලය අත්තම්මාගේ මතක හරහා ගේ මැද සාලේ සාකච්චාවට ගැනුණු ශීතල සැන්දෑවක ලැප් ටොප් එකෙන් පටන් ගත්  හා සම්බන්ධ විද්‍යාත්මක පර්යේෂණ වාර්තා ටිකෙන්  ටික හාර්ඩ් ඩිස්ක් එකේ ගොඩ ගැහෙන්න පටන් ගත්තා..

සොයා ගැනීම් ගලප ගලපා අත්තම්මාගේ  ජිවන රසායනාගාරයේ සොයා ගැනීම් සාකච්චා වුණු තවත් දවසක යෝජනාවක්..''නරකද මේවා පත්තරේකට වගේ ලිව්වොත්?'' නැවතත් මගේ ආදරණිය ස්වාමියාගේ අදහසක්..

''නෑහ්හ්හ් ...'' මේවා කවුද කියවන්නේ...''

ආයෙත් යටගිය මේ අදහස තවත් වසර දෙකකට පමණ පසු උඩට ආවේ පසු ගිය වසරේ ශිත  කාලයේ හරියටම වසරකට පෙර  ලන්ඩනය පුරා පැතිර ගිය ඉන්ෆ්ලුවන්සා උණ රෝගයත් සමඟ..


දින ගණනාවක් කන්න බොන්න බැරිව ඉඳලා කිරි හොදි ලුණු මිරිස් සමඟ අත්තම්මාගේ බෙරි බත ලන්ඩන් කුස්සියේ ඉදුණු දා...

''කිරි හොදි සහ ලුණු මිරිස අත්  බෙහෙතක් වූ අයුරු.''

 අත්තම්මාගේ අත් බෙහෙත් පළමු ලිපිය එලියට ආවේ අයුරින්..

පැය 24ක් වැනි කාලයක් තුර සිය ගණනක් අතර බෙදී ගිය ලිපිය සහ වෙත ලැබුණු ප්‍රතිචාර මත තමයි අද ඔබ කියවන '' අත්තම්මාගේ අත්  බෙහෙත් '' ලිපි මාලාව කල එලි බැස්සේ..

එක ලිපියෙන් දෙකෙන් නොනවත්වා දිගටම ලියන්නට නිරන්තර දිරි ගැන්වීම් කලේ තිස්ස අයියා, චන්දන , අශෝකා , තනු නංගි, සූරී වගේ හිතාදර මිතුරු මිතුරියන් සහ මගේ ස්වාමියා.

ලිපි මුණු පොත හරහා අන්තර්ජාලයේ   බෙදී යද්දී ඊළඟට මා මුහුණ පෑ විශාලම ගැටලුව අන්තර්ජාල හොරු විසින් ලිපි සොරා ගෙන මුදල් උපයන ඔවුන්ගේ වෙබ් සයිට් වල යොදා ගැනීම..



බ්ලොග් එකක් හදමු..එහෙම කිව්වේ මගේ යෙහෙළිය බුද්ධිනි..බොහෝ ඈත කැනඩාවේ ඉඳන් ඇවිත් අදහස අනුමත කලේ නිමලවංශ මහත්තයා..අන්තර්ජාල හොරුන්ගෙන් බේරගන්න කල සංරාමයේදී පිහිටට ආව, හැම ලිපියක්ම කියවලා ලඟින් හිටි තවත් කෙනෙක් තුශාන්ත..කාන්තාරයෙන් සෙවනට විසල් රුකක් වගේ..සෞදියේ ඉඳන්...

ලිවිම මිසක් කොම්පියුටර් හරඹ නොදත් මට ආරාධනාවක් නැතිවම ස්වේච්චාවෙන් පිහිටට ආවේ බණ්ඩාර සහෝදරයා..බ්ලොග් එකක් හදන්න..හදාපු බ්ලොග් එක හැඩ වැඩ දාලා අලංකාර කරල දුන්නේ අටන් මල්ලි..හැමෝම කියන විධියට සිංහල බ්ලොග් කරුවන්ගේ ගැලවුම්කරුවා..එත් අනාරාධිතව ස්වේච්චාවෙන්...හිත හොඳ යෝධයෝ  දෙන්නෙක්..

බ්ලොග් එක මේ විධියට පන ගහලා වැඩ පටන් ගත්තේ ජුනි මාසේ අග..දැනට මාස හතරහමාරකට කලින්..අද වෙනකොට ලක්ෂයක් අත්තම්මාට මුවා වෙලා ලියු ලිපි වලින් ආලෝකය අරන්..



සහයෝගය දුන්නු තව බොහෝ දෙනෙක් ඉන්නවා නම කිව්වේ නැතිවට.. පලවෙනි ලිපියේ ඉඳන් හැම එකක්ම කියවපු..අලංකාර කොමෙන්ටුවකින් දිරි දුන් අනුර මහත්තයා..සහ ගොඩ්ෆ්රී අයියා, ආසිරි මල්ලි .. වගේ තවත් බොහෝ අය..නම් වශයෙන් නොලිව්වාට අමනාප වෙන එකක් නැහැ ඔවුන්..නම් ලිස්ට් එක ගොඩක් දිග නිසා.. වගේම මගේ පුංචි දෝණි..අමතක කරන්න බැහැ ඇගේ දිරි ගැන්වුම...


 මේ පුංචි සටහන..ඔබ සියලු දෙනා වෙනුවෙන්..පිළිගන්න මේ තුති මල් මිට…. අත්තම්මාට මුවා වී සිය දහසක් මා හමු වූ දා...

රේණුකා විමලරත්න : ලන්ඩනයේ සිට
චායාරූප අන්තර්ජාලයෙන්

No comments:

Post a Comment