Tuesday, 15 November 2016

පපුවේ දැවිල්ල (Gastritis/ Heart Burn) 2

  ලොවපුරා  සුපවේදීන්ගෙන් අපට ලැබුණු තෑග්ග





82 හැවිරිදි මේරි මා හමුවන්නට ආවේ ඇගේ සැමියා වූ ඩේවිඩ් සමඟ  වම්  පාදයේ ඇතිවූ සෙලියුලයිටිස් රෝගයට ප්රතිකාර ගන්න..ඩේවිඩ් වයස 88 සියා කෙනෙක්..දෙන්නාටම තිබුනේ  බැලු බැල්මට හොඳ නිරෝගී පෙනුමක්..වසර 60 යුග දිවියකින් පසුවත් ආදරයෙන් සිටිනා බවක් පෙනුණු මේ හුරු බුහුටි සුදු සියා තමා රෝගයේ විස්තර සපයන්න ඉදිරිපත් වුනේ රෝගී වූ මේරිට වඩා..සුදු ආච්චි වත්තේ මල් පැල  වලට සාත්තු කරද්දී පුංචි කූඹියෙක් දෂ්ඨ කරලා..එහි ප්‍රථිපලයක් ලෙස තමා කකුලේ ඉදිමුව පටන් ගත්තේ..

සුපුරුදු පරිදි රෝගියාගේ අනෙකුත් අතීත රෝග ගැන අහද්දී ඩේවිඩ් කියන්න ගත්තා..''මෙයාට කිසිම ලෙඩක් තිබිලා නැහැ මන් දැනුවත්ව..එත් මේ ලඟදි ඉඳලා ගැස්ට්‍රයිටිස් හැදෙනවා..ඒක  පටන් ගත්තේ ලඟදි ඉඳලා මෙයා පටන් ගත්තු විනෝදාංශයක් හින්දා..බි බි සි ගුඩ් ෆුඩ් චැනල් එක බලලා නැති බඩගින්නක් හදාගෙන ..දැන් ඒකෙන් ලෙඩ වෙලා..''


මේරි සහ ඩේවිඩ් කාමරයෙන් පිටත් වුනේ ලොකු පණිවිඩයක් දීලා..ඔවුන් මගෙන් ලබා ගත්තු දේට වඩා මට දුන් පණිවිඩයේ බර බොහෝ වැඩියි..මේ ඔස්සේ සෙවිය හැකි බොහෝ කාරනා සොයා බැලීමෙන් පසුව ඔබට අද මා ගෙන එන්නේ ඔබ පෙර නොසිතු පණිවිඩයක්..


ගැස්ට්‍රයිටිස්..ඇත්තටම ඔබට හැදුනාද? හැදුවාද? හදා ගත්තාද?

කෑම දිරෙව්වද ?

ගැස්ට්‍රයිටිස් හැදෙන විධිය කලින් ලිපියේ විස්තර කලානේ..අද  මන් කියන්න හදන්නේ අප ගන්නා ආහාර දිරවන විධිය..

මූලික පියවර කීපයකින් දිරවීම සිද්ධ වෙන්නේ..
 
පළමු පියවර : ආහාර දත් මගින් හොදින් ඇඹරීම සහ කෙල සමඟ මිශ්‍ර වී දිරවීම ආරම්භ කිරීම

දෙවන පියවර : ආමාශයේදී ජීරණ යුෂ මගින් ආහාර සිරුරට අවශෝෂණය කල හැකි සිනි, තෙල් වැනි කුඩා කොටස් වලට බිඳ හෙලීම. මේ ක්‍රියාව ආමාශයෙන් පහලට යද්දී හමුවන වෙනත් ජීරණ අවයව උදව් කරගෙන අන්තර දක්වා සිදුවෙනවා.. මේ පියවර  තමයි ගැස්ට්‍රයිටිස් කියන රෝගයේදී අපට  වැදගත් වෙන්නේ..

තුන්වන පියවර: අන්තර වලදී දිරවා අවසන් වූ කොටස් රුධිරයට අවශෝෂණය කර ගැනීම

හතරවන පියවර: දිරවීමේ ක්‍රියාවේදී ඇති වූ අතුරුපල ගුද මාර්ගය මගින් පිටවීම..


හ්ම්ම්ම් හරිම රසයි..ඔබත් අත්හදා බලන්න...

කලින් ලිපියේදීත්   විස්තර කර ඇති පරිදි හයිඩ්‍රොක්ලොරික්  නමැති  පිළිස්සෙන සුළු රසායන වර්ගය පවා අඩංගු ආමාශයෙන් පිටවන දිරවීමේ එන්සයිම පිටවීම පටන් ගන්නේ කොයි වේලාවේද?

ආහාරයක් මොනයම් විධියකින් හෝ දැකීම, සුවඳ දැනීම, එහෙමත් නැතිනම් තමා සිටින මානයේ ආහාරයක් තිබීම නිසා හිතේ ඇතිවන ''ආහාරය ගැන දැනීම'' නිසා තමයි මේ දිරවීමේ එන්සයිම ගැලීම පටන් ගන්නේ..(Gland regulation  by Para Sympathetic Nerve stimulation)
ඒ කියන්නේ අපි රූපවාහිනියෙන් හෝ කොම්පියුටර් තිරයේ ආහාරයක් දැකීමෙන් ආහාරයක් ළඟ තිබුනා සේ  ආහාර දිරවීමේ එන්සයිම වලින් අපේ ආමාශය පිරි යනවා..


නවීන තාක්ෂනය නිසා රුපවාහිනිය හෝ කොම්පියුටර් තිරය මගින් අපට පෙන්වන දසුන් අප සාමාන්‍ය ඇහැට දකිනවාට වඩා සිත්කළු ස්වභාවයට පෙනෙන්නේ..මේ තිරයකින් දකින ආහාර අපිට ගෙදර දොරේදී දකින, කෑමට ගන්නා ආහාර වලට වඩා අලංකාරය වැඩියි..ඒ නිසා නොදැනීම මේ දිහා බලන් ඉන්න අයගේ ආමාශය එන්සයිම වලින් පිරිලා තිබෙන්නේ..කටේ කෙල පිරෙන්නේ කොයි පමනින්ද ඒ සමානව හෝ ඊටත් වැඩියෙන්  ආමාශයත් පිරිලා..



මිට අමතරව මේ වෙලාවේම තවත් දෙයක් සිද්ධ වෙනවා..ඒ තමයි ආහාර  දැකීමත් එක්කම ආමාශයේ ඇතුලත Ph අගය වෙනස් වෙලා ''ගැස්ට්‍රින් '' කියන හෝමෝනය පිටවෙන්න පටන් ගන්නවා. ''ගැස්ට්‍රින් '' වලින් පිළිස්සෙන රසායනය හයිඩ්‍රෝක්ලොරික්   අඩංගු ආමාශයේ එන්සයිම වැඩි පුර පිටකරන්න උදව් කරනවා..

හත් දෙයියනේ..බඩ  කෑම දිරවන්න අම්බානකට ලෑස්ති වුනාට අන්තිමේ රූප රාමුවේ හිටපු මාලනී නැන්දා ඒ කෑම එක තලු මර මරා තනියමම කෑවා..දැන් ඉතින් අපිට තියෙන්නේ බඩ ලෑස්ති කරපු එන්සයිම වලින් අපේ ආමාශයම දිරවා ගන්න..ඒ අදහසත් නරකම නැහැ නේ?

මේ සිදුවීම දවසකට කි වතාවක්  ඔබේ ශරීරයට සිදු වෙනවාද කියා එක දිනයක් ඇතුලත ගණන් කර බලන්න..රුපවාහිනි වෙළඳ දැන්වීම් වලින් 95%ක් පමණ අප දකින්නෙත් කෑම බිම ගැනමයි.. ඒ හැම මොහොතකදීම මේ ක්‍රියාව සිදු වෙනවා..ඒ විතරක් නොවෙයි අන්තර්ජාලයේ ආහාර රුපයක් දකින හැමවිටමත් මේ දේ සිද්ද වෙනවා..


දවස පුරා හයිඩ්‍රෝක්ලොරික් ඇසිඩ් වලින් ඔබ නොදැනම ඔබේ ආමාශය පිළිස්සෙමින් සහ තැම්බෙමින්  තිබෙන බව මින් පෙර මොහොතකටවත් සිතුනාද?

අම්මෝ රස පාටයි..කටට කෙළත් ඉනුවා..

මේ සිදුවීම වුනේ දැනට දශක දෙකකට පමණ පෙර.....දවල් කෑමට සුදු ජාතිකයින් ගෙනෙන්නේ පාන් පෙති දෙකක් නැතිනම් එළවලු සලාදයක් වගේ කෑමක් ..මන් ගෙදරින් ගෙනිච්චේ අපේ විධියට හදපු එළවලු මාළු එක්ක බත් පෙට්ටියක්..මයික්‍රෝ උදුනේ රත් කරන්  කෑම එක කන්න යනකොටම ලඟට ආවේ මා එක්ක එකට සේවය කරන සුදු ජාතික ඈන්..

''අම්මෝ සුවඳ"..

ඇය කෑම  එකට එබිලා බලලා කිවා ..ඒ විතරක් නෙමෙයි ලොකු කෙල ගුලියක්  මට පේන්නම ගිල්ලා..

ඇගේ සහයට ආව තවත් කෙනෙක්..අයත් කෑම එකට එබුනා.

.''රස පාටයි..මට බඩගිනි උනා'' එයාටත් කෙල  ආවා..

ලන්ඩනයට ආගන්තුකයෙක් වුන කාලේ මෙය මට නුහුරු අත්දැකීමක් වුනා.. අනුන්ගේ කෑම එකකට එබිලා කෙල ගිලීම අපිට පුරුදු නැහැ..ඒ විතරක් නෙමෙයි ඉන් එහාට කෑම එක කන්නත් මට එපා වුනා.


''අද නම් බඩේ අමාරුවක් හැදෙයි '' කියන සිතුවිල්ල විතරයි මට ආවේ.මගේ කෑම  පිඟානෙන් ඔවුන් දෙදෙනාට වුන හානිය තේරුනේ ඊට පහුවදා .. දෙන්නාම නෙට් එක පීරලා අපේ කෑම විකුණන කඩ හොයලා..

අනුන්ගේ කෑම වලට ප්‍රසිද්ධියේ කෙල ගිලින්න අපි පුරුදු වුනේ බටහිරෙන්..
 ඒ විතරක් නෙමෙයි අනුන්ට පෙන්නලා තමන්ම තනියෙන් කන පුරුද්ද අපට ආවෙත්  බටහිරෙන්.
මේ කෙල ගිලීම අද වෙනකොට ජාතියකටම ගැස්ට්‍රයිටිස් හදවන්න මුල් වෙලා ...

රෑ කෑමට එලියට යන්….

''මොකෝ මේ කන්නේ නැත්තේ..'' නදිකාගෙන් මෙහෙම ඇහුවේ කාන්ති..කාර්යාලේ කෑම විවේකයේදී

 ''අද රෑට කෑමට එලියට යනවා..දන්නවද අහවල් රෙස්ටුරන්ට් එක..අලුතින් දාල තියෙන්නේ..රෑට බඩ  පිරෙන්න කන්න බඩේ ඉඩ ඉතුරු කර ගන්න ඕනෙනේ .."

'' කාල ඇවිත් අපිටත් රස  කියන්න..මාත් හබිට කියන්නම්''


 නදීකා මුළු දවසම හිතුවේ රෑට කන්න යන කෑම එකේ රස ගැන . හිතන වාරයක් පාසා අනේ ඒ බඩ කෙමිකල් වලින් පිරිලා.. වෙනදට කන උදේ දවල් කෑම වෙල් දෙකත් අඩු කරලා.. ඒ මදිවට කාන්තිත් ඒ ගැන හිතන්න පටන් අරන් ..අපොයි එයාගෙත් බඩ  පිච්චෙනවා..

මේ ඔබත් මාත් නිතර දකින තවත් සිදු වීමක් නෙමෙයිද?

කොස් කඩනෝ ඕඕ ..ඕන අය එන්ඩෝ ඕඕ...

මේ අපි පුංචි කාලේ ගමේ නිතර ඇහෙන ශබ්දයක්..ගහෙන් කඩන කොස්  ගෙඩිය  ගහ යටදීම පොල් අත්තක් උඩ  තියලා ඉරු හත අටකට කපලා ඉන් එකක් හෝ දෙකක් විතරයි ගෙදරට ගන්නේ...ඉතුරු ටික අරන් යන්න එන්න කියලා කෑ ගහලා අනිත් අයට බෙදාදීම..කොස් දෙල් විතරක් නෙමෙයි වත්තේ පිටියේ කොයි දේත් අන් අය අතර බෙදුනේ එහෙම..



''අනේ චූටී දුවේ..කන්න කලින් මේක අබරන් ආතට  දීලා දුවල වරෙන් කෙල්ලේ..'' එහෙම කියලා අත්තම්මා මට දෙන්නේ පොල්කොළ වට්ටියකට කෙසෙල් කොලයක් එලා ඒ මත බෙදු ගෙදර හදන කෑම වලින් කොටසක්..තවත් කෙහෙල් කොළයකින් වහලා..සුවඳට සුවඳේ..

අබරන් ආතා  හිටියේ පාරෙන් එහා පැත්තේ රාලහාමි මාමලාගේ වත්තේ  පැත්තක  පුංචි හේනක් වවාගෙන..කසාදයක් බැඳලා නොහිටි කාත් කවුරුවත් නෑයෙක් නොහිටි අබරන් ආතා තනියමමයි උයා පිහා ගත්තෙත්..ඒ නිසා වටේ පිටේ කොයි ගෙදර වුනත් රසට උයන බත් වේලේ අබරන් ආතාගේ කොටස වැරදුනේ නැහැ..

මේ පුරුද්ද බොහෝ මෑතක් වනතුරු තිබුනත් දැන් දැන් තාප්ප වලින් වටවෙච්ච ගෙවල් ඇතුලේ තනියම උයාගෙන කෑම තමයි සිදුවෙන්නේ..

අපේ සංස්කෘතිය බෙදා හදා ගෙන කෑම..


බෙදා හදාගෙන කෑමෙන් තමන් හදන කෑම නිසා වටපිට පැතිරෙන සුවඳින් හෝ තව කෙනෙක් දුටුවිට පෙනුම නිසා අනුන්ගේ කුසේ එන්සයිම පිරවීම වැලක්වීම....

අන් අයට බඩේ ගාය නැතිනම් ගැස්ට්‍රයිටිස් හැදීම වැලක්වීම....

මචන් මට පොඩි දොළ දුකක් ඇවිත්...

මේ කතාව ඇහුනේ තරුණ  පිරිමි ළමුන් දෙදෙනෙක් අතර ප්‍රසිද්ධ ස්ථානයකදී.  එක්කෙනෙකුට දොළදුකක් ඇවිත් කඩේකින් එළවලු රොටි කන්න..

''පුතා බඩට මාස කියද?'' කියා අහන්න මගේ කට නලියව්වත් නොහඳුනන දෙන්නෙක් නිසා මට කට පාලනය කර ගන්න වුනා..

අබුද්දස්ස කාලේ පිරිමින් විතරක් නෙමෙයි අද පාසල් යන පුංචි ළමයින්ටත්..වයසක ආච්චිලා සියලාටත් දොළ දුක හැදෙනවා..


දොළ දුක කියන්නේ කාන්තාවක් දරු ගැබක් ඇතිවූ විට සිරුරේ ඇතිවන හෝමෝන ක්‍රියාකාරිතවයේ පෙරලියක් නිසා ඇතිවන ආශාවක්..මේ හෝමෝන පෙරලිය ප්‍රධාන වශයෙන් බලපාන්නේ ආහාර මාර්ගයට ..ඒ නිසා තමයි උදෑසන වමනය ඇති වෙන්නෙත්..අපේ කාලේ දොලදුක සලකන්නේ බොහොම ''ශුද්ධවූ දෙයක් වගේ..'' ඒ වෙනුවෙන් පවුලේ සියලු දෙනා කැප වෙලා සොයා බලා කටයුතු කරන්නේ..


නමුත් අද වෙන විට දොළ දුක ''පෙරේතකම'' කියන වචනය ප්‍රසිද්ධියේ භාවිතා කරන්නට යොදා ගන්න ලාබ වචනයක් බවට පද පෙරලියක් වෙලා..බාල මහලු ගෑනු පිරිමි බේදයක් නැතිව ඇතිවන පෙරේතකම නිසා ආමාශ මල්ල නිතරෝම ඇසිඩ් වලින් පිරිලා..අහන අහන හැමෝටම දොලදුක ..
 හැමෝටම ගැස්ට්‍රයිටිස්.. 

අඹ අච්චාරු කමුද?

ඔන්න දැක්කනේ..කිව්ව ගමන් කෙල ඉනුවා..ඇඹුල් වර්ග දැකීම සහ සිතීම නිසා ස්නායු පද්ධතියට දැනෙන උත්තේජනය අන් ආහාර වලට වඩා බොහෝ ප්‍රභලයි..මේ නිසා තමයි අන් කෙනෙක් අච්චාරුවක් හදපු ගමන් තව කෙනෙකුට හදන්න හිතෙන්නේ..
අඹ හොයා ගන්න නැති දුර රටක ඉන්න කෙනෙකුට එහෙමත් නැතිනම් අවාරයේ මේ සිතුවිල්ල පහල වුනොත් වෙන්නේ ආමාශය ඇසිඩ් වලින් ඒ ආහාරය ලැබෙන තුරු පුරවලා තැබීමක් වෙන්නේ..

ඇඹුල් කියන්නේ අපේ සංස්කෘතියේ බෙදාගෙන මිසක තනියම නොකෑ ආහාරයක්..හේතුව දැන හෝ නොදැන අත්තම්මලා කිවේ ඇඹුල් බෙදා නොගත්තොත් අපට බඩේ අමාරුව හැදෙන බව..

 ඇත්තටම බෙදා නොගත්තොත් බඩේ අමාරුව හැදෙන්නේ ඒ කෑම නොලැබුණු කෙනාට.
‘the more intense the thought of food more you secrete gastric juiceආහාරය ගැන ඔබේ අදහසේ තිවර තාවය වැඩි වෙන්න වැඩි වෙන්න ඔබ නිපදවන ගැස්ට්රික් ඇසිඩ් ප්රමාණය වැඩි වෙනවා..
එහෙම කියන්නේ ඇමෙරිකානු වයිද්‍ය වරියක් වෙන Dr Carmella Wint ..

ඔබ නොදැනම අඹ අච්චාරුව ගිය දුර..

ලෙඩ වුනේ ඇඟ විතරද?

රුප පෙට්ටියේ දකින කෑම පින්තුරයෙන් ඇත්තටම ලෙඩ වුනේ ශරීරය විතරද?
ආහාරය දැකීමෙන් එයට ඇතිවූ තන්හාව සහ ආශාව වැඩි වෙලා එයම උපාදාන කර රසයට බැඳී සංසාර ගමනත් දිගු කර ගන්නා  බව ඔබට සිතුනේ නැහැ නේද?

සංසාර රෝගය ඔබ නොසිතාම දික් වූ තරමක්..


සිල්වත් භික්ෂුන් වහන්සේ සිවුරට ඇලි හදිසියේ මිය ගොස් කාවෙක් වෙලා උපන්නා නම්..
පන් සිල් වත් නොරැකෙන අපි...

 අච්චාරුවට අඹ කඩන්නට ගොස් ගහෙන් වැටි මළොත් අඹ ගෙඩියේ පණුවෙක් විය නොහැකිද?
රෑ කෑමට රෙස්ටුරන්ට් එකට යද්දී වාහනය අනතුරකට ලක් වුනොත් ඒ කෑම ගොඩේ උපදින පණුවෙක් විය නොහැකිද?

ඩේවිඩ් සීයාගේ පාඩම..

ගැස්ට්‍රයිටිස්..

හැදුනාද?
හැදුවාද?
හදා ගත්තාද?

කාලීනව සංස්කෘතියක, ආහාර රටාවක ඇතිවූ වෙනස්කම නිසා දායාද වී ඇති රෝගාබාධ බොහොමයි..ඒ අතර ගැස්ට්‍රයිටිස් රෝගය තිබෙන්නේ අන් රෝග වලට වඩා ඉදිරියෙන්..දකින, අහන, කතා කරන සියලු දෙනා ගැස්ට්‍රයිටිස් රෝගයෙන් පෙළෙනවා..



ඒ කාලේ බෙදා ගන්න තරම් ප්‍රමාණයක් පිළියෙළ කර නැති නම් ගෙදර හදන  කෑම වහලා තියන්නේ අනුන්ට නොපෙනෙන්න.. රසවත් ආහාරයක් කෑවත් ඒ ගැන එහෙම නොලැබෙන අය සමඟ පාරම් බෑම නොකිරීම, යාචකයෙක් හෝ තිරිසන් සතෙක් කෑම වෙලාවේදී ආවොත් තමාගේ කොටස හෝ පුදකර  උන්ගේ සාගිනි නිවන උතුම් ජාතියක් වුනු අපි අද ප්‍රසිද්ධියේ ලැජ්ජාවක් නැතිව අනුන්ගේ කෑම වේලට කෙල ගිලින මට්ටමට පහතට වැටිලා. 

ඒ නිසාමදෝ මන්දා අද තරම් ආහාර බහුල නැතත් සමාජයේ ගැස්ට්‍රයිටිස් රෝගය අහන්න ලැබුනෙත් කලාතුරකින්. මේ සමාජ විපර්යාසයට කලින් ලිපියේ විස්තර කල අනෙකුත් හේතුනුත්  එක් වුනාම සමාජයක් ගැස්ට්‍රයිටිස් රෝගයෙන් පෙලීම අරුමයක්ද? 



ඔබට සිතන්නට යමක්..



රේණුකා විමලරත්න: ලන්ඩනයේ සිට

චායාරූප අන්තර්ජාලයෙන්



8 comments:

  1. බොහෝම ස්තූතියි මේ විස්තරයට.

    ReplyDelete
  2. හිතන්නට ගොඩක් දේවල්.. අන්තර්ජාලයේ හා මාධ්‍යවල කෑම පිටු හා වැඩසටහන්වලින් දැනුමක් බෙදනවා සමගම රෝගයකුත් බෙදනවා වගේ. අපේකම මගහැරලා අපිම කරගෙන තියන දේවල්...හැමෝටම ඉගෙනගන්න ලොකුම කතාවක් සමග රෝගයේ මුලයන් ගැන දන්වුවට ස්තුතියි.

    ReplyDelete
  3. මේකනම් කාටත් අලුත් වගේම ඉතා වැදගත් පණිවුඩයක් . ඔන්න ගැස්ටික් හැදෙන්න හේතුවක් .ඉස්සර අපේ ගෙවල්වල අහාර ගැනීමෙ පිලිවෙලක් තිබුනා . අමුත්තෙක් ඉන්නවනම් එයාට මුල්ම කොටස පිලිගැන්නුව.කන්න කලින් බත්ගුලි කීපයක් පිඟානෙ පැත්තකින් තියනව .ඒව දානයක් විදිහට කුඩා කූඹින්ට පවා කන්න ලැබෙනව . කෑම කන දිහා සතෙක් බලන් ඉන්නවනම් එයාටත් කොටසක් දෙනව.

    ඒත් අද ......තියෙන ලට්ට ලොට්ට ඔක්කොම උයලා ,ලස්සනට පොටෝ අරන් මූනුපොතේ දානව . ඉතින් ඕක බලන සියගානක් , රසපාටයි ...... කටට කෙල ඉනුවා....මට බඩගිනි උනා....කියනව . පොටෝ දාපු කෙනා කියනව , එහෙනම් කට්ටියම බෙදාගෙන කන්න කියලා. ඉතින් කන්න වෙන්නෙ ,කම්පියුටර් මොනිටරය, නැත්නම් ජංගම දුරකථනය . අග හිඟකමෙන් පෙලෙන බහුතරයක් ඉන්න අපේ රටේ අයට , හැමවෙලේම රසම කෑම ලැබෙන්නෙ නෑ .ඉතින් ඒ අසරනයො අර කෑම වල පිතූර බලලා ලෙඩවෙන එක හරිම කනගාටුදායකයි .මේ තිත්ත ඇත්ත හෙලිකල රේණුකා මහත්මියට බොහොම පිං ලැබේවා.

    ReplyDelete
  4. Bohoma pin..eththatama denagena hitiye ne eka...

    ReplyDelete
  5. අපොයි දෙවියනේ!!!

    'කෑම කන්න විතරක් කට අරින්න' කියන වචන ටික මට සිහියට ආවා. නොදැන උනත් මේ වැරදි කෙරෙනවා කියලාත් හිතුනා ඒ එක්කම. බෙදා හදාගෙන කන කෑමක වටිනාකම කොයිතරම් ද කියලා හිතටත් සතුටක් දැනුනා. මේ ගැන කියලා දුන්නු ඔබට පින්.

    ReplyDelete
  6. අපොයි දෙවියනේ!!!

    'කෑම කන්න විතරක් කට අරින්න' කියන වචන ටික මට සිහියට ආවා. නොදැන උනත් මේ වැරදි කෙරෙනවා කියලාත් හිතුනා ඒ එක්කම. බෙදා හදාගෙන කන කෑමක වටිනාකම කොයිතරම් ද කියලා හිතටත් සතුටක් දැනුනා. මේ ගැන කියලා දුන්නු ඔබට පින්.

    ReplyDelete
  7. අන්තර්ජාලයෙන් කළහැකි ලොකුම සේවය ඔබ කරන බව  පැහැදිලියි. සිංහළ පුරුද්දට කෑම පමණක් නොවෙයි, දැනුමත්  බෙදා දෙන්නට ඔබ කරන්නෙ වැදගත් සේවයක්. ... නොනවතින්න. ඉදිරියටම යන්න.  (මානිවත්ත අභික්කම - බුදුන්  වහන්සේ)

    ReplyDelete
  8. අද නැත්තටම නැති වෙලා තිබෙනේ ශික්ෂණය එයයි මේසියල්ලටම හේතුව....

    ReplyDelete