Tuesday, 1 November 2016

අත්තම්මාගේ අත් බෙහෙත් 29: මුං ඇට






 ''අද නම් නියම පරිප්පුවක් කෑවා , ආයිත් නැහැ තෙම්පරාදු කරලම''

''අපොයි අපි කන පරිප්පු වල හැටියට ඕවත් පරිප්පුද බන්?''

අසල්  වැසි රටේ දල ජාතික පරිප්පු නිෂ්පාදනයෙන් අම්බානක ප්‍රතිශතයකට වසරක් පාසා වගකියන අපේ ජාතික  ආහාරය සහ භාෂාව පරිප්පු බවට පත් වුනේ 70 දශකයේ අග භාගයේ සිට  ...


පරිප්පු වලට දොසක් කියන විට දෙපාරක් හිතන තරමට පරිප්පු වූ සංස්කෘතියක් තුල අද අපි ජීවත්වනවා යයි කිවොත් නිවැරදියි.

'අපේ ළමයි නම් කන්නේ පරිප්පුයි චිකනුයි විතරමනේ, හින්දා අපි හැමදාම පරිප්පු උයනවා..''

මේ සමහරක් මවු වරුන් පරිප්පුවට ආවඩන හැටි ..

දවස් පුරා පාසල්, ටියුෂන් පන්ති වල පරිප්පු කා ගෙදර ඇවිත් පරිප්පුයි බතුයි කන පුංචි එවුන්ට ගැන දොසක් කීමට බැරි වන්නේ උන් ඊට වඩා පරිප්පුවක් ගැන නොදන්නා බැවින්..අපි මේ පරිප්පුව කවදා හෝ කන බව පුල පුලා කි යම් කෙනෙකු සිටියා නම් අත්තම්මා මිස වෙන කෙනෙකු නොවේ..

ඇති ගුණ සැඟවීමේ පහත්  ගති නොතිබූ අත්තම්මා  පරිප්පු කිසි දින හෙලා නොදැක්කත් පරිප්පු කන්නට ඇගේ  එතරම් කැමැත්තක් තිබුනු බවක් මට මතක නැත....

අන් කිසිවක් නිසා නොව පරිප්පු හා සමාන ලෙස බත් පතේදී හැසිරෙන   නමුත් ඉන් ඔබ්බට ගිය බොහෝ රස ගුණ පිරි, නිතිපතා නිවසේදී අත් බෙහෙතක් වූ ඖෂධිය මුං ඇටයට ඇය වඩා පෙම් බැඳී නිසායි


අරුනාලෝකයට පෙර අවධිවන අත්තම්මා පිළියෙළ කල රසවත්  උදේ ආහාර ගොන්න අතර  අඩුම ගනනේ සතියකට  දෙකකට වරක්වත් නොවැරදීම තිබුණු රසවත් මුං ඇටය ආහාරයකටත් වඩා සකස් කලේ පවුලේ අයගේ හෝ අසල්වැසියන්ගේ කුමක් හෝ රෝගාබාධයකට ප්‍රතිකාරකට යයි කිවොත් වඩා නිවැරදියි

අද මෙන්ම නැතත් කලාතුරකින් කෙනෙකුට අසන්නට ලැබෙන පපුවේ දැවිල්ල නැතහොත් ගැස්ට්‍රයිටිස් රෝගයට මුං ඇට  කැඳ අගනා බෙහෙතක්...මේ අගනා කැඳ වර්ගය සතියකට දෙවරක් පානය කිරීමෙන් ගැහැණු ලමයිනේගේ මුහුණේ ඇතිවන කුරුලෑ ලප කැළැල් සුව කර ගැනීමටත් අර්ශෂ් රෝගය ඇති අයට ආහාර මාර්ගයේ හට ගන්නා ලේ ගෙඩි සහ මල බද්ධය  සුවකර ආහාර මාර්ගයේ  සහ ශරීරයේම ඇති ධූලක ඉවත් කර ගැනීමට පුළුවන්.

ලස්සන වන්නට දිනපතා නා නා ප්‍රකාර ආලේපන අත් හදා බලන්නට හැකියාවක් නොතිබුණු එදා ගැහැණු ළමයින්ට ගෙදර දොරේදී සිදු කල හැකි රුපලාවන් කටයුතු වලට වියදමක් නැතිව මුළුතැන් ගෙදරින් සොයා ගත් වටිනා රුපලාවන්‍ය ඖෂධයක් තමා මුං ඇට

රාත්‍රිය පුරා පෙඟෙන මුං ඇටය  උදෑසන බෙහෙත් වංගෙඩියේ ඇඹරි මුදවාගත් මීකිරි මිශ්‍ර කල ආලේපනය හිරු එලියට පිළිස්සුනු සම අලුත්වැඩියා කිරීමටත්, සමේ තෙතමනය රැක  ගැනීමටත් අගනා අත්  බෙහෙතක් සැපයුවා

මේ ආකාරයටම අඹරා ගත්  මුං ඇට මි පැණි සමඟ මිශ්‍ර කර ආලේප කිරීමෙන් සමේ පැහැය බබලවන්නත් , පොල්තෙල් සමඟ මිශ්‍ර කර හිසකෙස් වල ආලේප කිරීමෙන් කැඩුණු හිසකෙස් පිළිසකර කර ගැනීමටත් අත්තම්මාට  තිබු දැනුම අද රුපලාවන්‍ය ඩිප්ලෝමාධාරින්ටවත් තිබේද යන්න සැක සහිතයි.

දවස පුරා ගිනි අව්වේ කුඹුරේ කමතේ කය වෙහෙසා වැඩ කරන්නට දහවල් කයිදම් බත ගෙන යන තුරු සෙමෙන් ශක්තිය සැපයෙන මුං ඇටය දියවැඩියා රෝගීන්ටත්, හදවත් රෝගීන්ටත් ගැලපෙන  ප්‍රතිකාරමය ආහාරයක් බව අත්තම්මා දැන  සිටියා

මුං ඇටයේ ඇති දිරවීමේ පහසුව ගැන අචල විශ්වාසයක් තැබූ අත්තම්මා අලුතෙන් ආහාර ගන්නා කුඩා දරුවන්ට පළමුව දෙන ආහාර අතර කිරට උකුවට පිසූ මුන් ඇටය වැරද්දුවේ නැහැ. මේ නිසා අද පරිප්පුව විසින් හිමිකරගෙන ඇති තැන හිමි කරගෙන සිටි  මුන් ඇටය එදා කය්දම් බතේ, රෝගියාගේ බත් පතේ හෝ අලුතින් ආහාර ගන්නා දරුවාගේ බත් පතේ වැරදුනේ නැහැ.


කාන්තා රෝග සඳහා ප්‍රතිකාර පිණිස අත්තම්මා සකස් කරන ආහාර ලයිස්තුවේ ඉහලින්ම තිබුණු මුං ඇට මල්වර ගැහැණු දරුවෙකු වතුර නාවා කල එලිබසිනතුරු සමයේ දෙන ආහාර ලැයිස්තුවේ නොවරදින්නක්. රුධිරය පිටවීම පහසු කර වේදනා මග හරවා ශරීරය පිරිසිඳු කර නැවුම් බවක් ලබා දෙන්න

දරුවෙකු ලැබෙන්නට ඉන්න අම්මලාට ප්‍රසවයේඅවසාන කාලයේ මුං ඇට  ආහාරයට ලබා දීමෙන් දරු ප්‍රසුතියේදී  සිදුවන රුධිර වහනය වෙනුවෙන් කල්තියා සුදානම් කිරීමත්, මල බධ්ධය වලක්වා ප්‍රසවය පහසු කිරීමත් සිදු කෙරෙනවා. මවු කිරි වැඩීමේ අපමණ හැකියාවක් ඇති මුං ඇට ගර්භනී කාලයේදී සහ ප්‍රසවයෙන් පසු ආහාරයට ලබා දීමෙන් කිරි කළ 7ක් දවසකදී එරවා ගත හැකි බවයි අත්තම්මලා කිව්වේ.

ශක්ති ජනක ආහාරයක් ලෙස ප්‍රසිද්ධ මුං ඇට තැම්බූ කෝප්පයක ඇති සිනි ලෙස දිරවිය​ හැකි පිෂ්ඨය ප්‍රමාණයෙන් ග්‍රෑම්  4කටත් වඩා අඩු යයි ඔබ විශ්වාස කරනවද?  

පිෂ්ඨය වෙනුවට වෙනුවට මේ කුඩා ධාන්‍ය  වර්ගයේ පිරි තිබෙන්නේ ප්‍රෝටීන, ලවන වර්ග සහ විටමින යයි පැවසුවොත් ඔබ පුදුම වේවි. මේ නිසා තමයි දියවැඩියා සහ හදවත් රෝගීන්ට මුන් ඇටය අතිශයෙන්ම හිතකර ආහාරයක් වන්නේ.

වැඩි වශයෙන් පවතින ප්‍රෝටීන වලට අමතරව මැග්නීසියම්, කැල්සියම්, යකඩ,  සින්ක් ලෝහ අයනත් අධික ප්රමාණයකින් තයමින්, විටමින් බි 1, බි5 සහ බි 6 අඩංගු වෙනවා. මේ විටමින ප්‍රති ඔක්සිකාරක ලෙස ක්‍රියා කිරීමෙන් තමා ශරීරයේ ධුලකහරණය සිදු වෙන්නේ

වැඩිපුර ප්‍රෝටීන සහ විටමින් බි වර්ග අඩංගු වීම නිසා එළවලු පමණක් ආහාරයට ගන්න අයට මුං ඇට කදිම විසඳුමක් සපයනවා..ඉක්මනින් කුස පිරවීමේ සහ සෙමෙන් ශක්තිය පිටකිරීමට  ඇති හැකියාව    නිසා වැඩි පුර ආහාරයට නොගැනීමෙන් සහ වැඩි වෙලාවක් කුස ගිනි නොදැනීමෙන් මුන් ඇට අප නොසිතන ආකාරයකට ශරීරයේ බර අඩු කර ගැනීමටත් දායක වෙනවා..

හෙළ සිරිතට විරිතට   සමීප සම්බන්ධතාවයක් ඇති මුං ඇට මගුලට, දානයට, වප් මගුලට,කොටහලුවට සිංහල අවුරුද්දට යනාදී වශයෙන් ඕනෑම උත්සවයකට සාදන කැවිලි  වලට නැතිවම බැරි අමු ද්‍රව්‍යයක්. මේ නිසා ඕනෑම කෙනෙකුට හිතෙන්නේ මුං අපේම ආහාරයක් කියා.

නමුත් මුං වගාවේ නිජබිම ලෙස හැදින්වෙන්නේ  දැනට වසර 4000කට පමණ පෙර සිට මුං ආහාරයට ගත බවට සාධක ඇති වර්තමාන ඉරානය නමින් හැඳින්වෙන පර්සියාව. පසු කාලීනව ඉන්දියාව හරහා චීනය සහ දකුණු ආසියාවේ අපේ වැනි රටවලට සම්ප්රාප්ත වී ඇතත් දැනට වසර දහස් ගණනකට පෙර නිසා අපට අපේම ආහාරයක් ලෙස මුං ඇට හඳුන්වන්න බැරි කමක් නැහැ.

ආයුර්වේදයේදී මුං ශරීර ශෝධනය නැතහොත් ධුලකහරණය  සඳහා භාවිතා කල අතර ශරීරයේ ඌශ්නාධික බව නිසා ඇතිවන විවිධාකාර   රෝග සුව කිරීමේ මුල ද්‍රව්‍යයක් ලෙස භාවිතා වුනා.. මේ අතර මානසික රෝග, දියවැඩියාව, රක්ත වාතය නිසා ඇතිවන සමේ රෝග, අක්ෂි ආබාධ, කාන්තා රෝග, රක්තහීනතාවය මුල් තැන ගත්තා.

ලෝහ ලවන සහ වෙනයම් විෂ ද්‍රව්‍ය ශරීර ගත වීම් වලදී ශරීරයේ විස ඉවත් කිරීමට දේශීය පාරම්පරික  වයිද්‍ය විද්යාවේදී මුං බහුලව භාවිතා වී තිබෙනවා.. 

දේශීය වේදකමේදී මුං ආයුර්වේදයේදී භාවිතා කල රෝග හා සමාන අම්ල පිත්ත රෝග, පිත්තාශයේ සහ මුතරා ගල් ඉවත් කිරීමට, රුධිර පීඩනය, සෙංගමාලය, අර්ශෂ්, මල බද්ධය වැනි මෙකි නොකී දහසක් රෝග සුවයට යොදාගත් අපූර්ව ඖෂධයක්.


මේසා ගුණ ඇති මුං, බටහිර ලෝකයට පෙනෙන මුහුණුවර කුමක්ද කියාත් පුංචි පහේ සෝදිසියක යෙදුනු මට හමු වුනේ මහා විසල් පර්යේෂණ වාර්තා...බටහිර ලෝකයට මහත් ආර්ථික බරක් පටවන රුධිර ධූලකතාවය (septicemia) සඳහා දැනට පවතින ප්‍රතිජීවක වෙනුවට භාවිතාකල හැකි ඖෂධයක් සකස් කිරීමට මුන් ඇට යොදාගැනීමට ඇති හැකියාව දෙස ඔවුන්ගේ දැඩි අවධානය යොමු වී පවතිනවා

එයට මුලික හේතුව අද ලෝකය මුහුණ දී ඇති ප්‍රතිජීවක ප්‍රතිරෝධිතාවයයි 
 (antibiotic resistance). ඉදිරි වසර 25-50ත් අතරදී සියලුම ප්‍රතිජිවක වල ක්‍රියාවන් අඩපන වී ලොව නැවත සියවස් ගණනාවකට පෙර පැවති වකවානුවට සමාන සෞක්‍ය මට්ටමකට යාමේ අවධානම ගැන පවසන ලෝක සෞක්‍ය සංවිධානය ඇතුළු බටහිර ලොක්කන් සුදානම් වන්නේ ඉන් පෙර  එවන් වකවානුවකදී අප වැනි කුඩා රටවල තිබුණු සියලු රහස් ඖෂධ ඔවුන්ගේ ග්‍රහණයට ලක් කර ගන්නටයි.

මුං ඇටයේ ඇති ශරීරයේ ධුලකහරණයට ඇති හැකියාව වෙත තමයි මොවුන්ගේ මේ දැඩි උනන්දුව යොමුවී තිබෙන්නේ.. 

මේ සඳහා මුලික පදනම ලෙස ඔවුන් භාවිතා කරන්නේ වසර සිය ගණනක් සිට දේශීය වෙදදුරන් ශරීරයෙන් වස විස ඉවත් කිරීමට යොදාගත් නියාමයයි. මිට අමතරව ඔවුන් Li Shi Zhen (1518-1593) නමැති චීන වයිද්‍යවරයාගේ ලිපි සහ ලේඛන වල මුල ධර්මයන් මේ සඳහා භාවිතා කරනවා.

මිට අමතරව දිනපතා බටහිර කෙරෙන පර්යේෂණ වාර්තා ඇසුරින් ඔවුන් පවසන්නේ මුං අධික ප්‍රතිඔක්සිකාරක ගුණ සහිත  ශරීරයේ බර අඩු කරන, හදවත් රෝග, දියවැඩියාව වලක්වන හෝ ප්‍රතිකාර ලෙස යොදා ගත හැකි ප්‍රතිශක්තිය වඩවන, ශයිල ඉක්මනින් අලුත් වැඩියා කිරීමේ හැකියාව නිසා සමේ සහ මොලයේ සෞක්‍ය වඩවා අල්සයිමර් (alzimer ) සහ ඩිමේන්ෂියා (dimentia)වැනි රෝග වලක්වාගත හැකි ප්‍රභල ආහාරයක් වශයෙන්

රසායනාගාර පර්යේෂණ වාර්තා නැතිව මේ දේ මේ අයුරින්ම දැන එදිනෙදා ගෙදර දොරේ සියලු අයගේ ලෙඩ රෝග  සඳහා මුං ඇට  පිළියෙළ කල අත්තම්මලා අප දුටු ප්‍රථම විද්යාඤයන් බවට මා කරන තර්කයට ඔබ දැන් එකඟ වනු නොඅනුමානයි.


උදේ ආහාරයට පොල් සහ ලුණු මිරිස්  සමඟ එක්වුණු තැම්බූ මුං ඇටයෙන් පටන් ගෙන, දවසේ ඕනෑම ආහාර වේලකට සරිලන ලෙස මුන් පිළියෙළ කිරීමට අත්තම්මට තිබුණු  හැකියාවත් හරිම අපූරුයි. තැම්බූ මුං ඇටයෙන් නොනැවතී උදේ ආහාරයට ඇතැම් විට කිරිබත් වශයෙන් හෝ රසවත් කැඳ අයුරෙනුත් මුං ඇට එකතු වුනා

දහවල්  ව්‍යංජනයට  රසවත් මුං ඇට කිරි ව්‍යංජනය අද යොදා ගන්න පරිප්පුවට වඩා රසිනුත් ගුනෙනුත් ඉතා ඉහලයි . රැයක්  පොඟවා බාගෙට පැල කරගත් මුං ඇට මොටයියන් බැදුම හෝ ව්‍යංජනයත් මේ අතර ඉඳහිට වැරදුනේ නැහැ.

නිතර හැදෙන  මුං ඇටයෙන් විඩාවට පත් වීම වලක්වන්නට කබලේ බැද පියලි කර පොල් බැද රස වෙනස් කර බත් පතට ඇතුළු කල ඇය තවත් වරෙක  මුංඇට මැල්ලුමක් විලසින් සකස් කළා. වැස්ස කාලයට හවස තේ වේලට හැදුනු මුං ඇට අග්ගලා තවත් එවැනිම රසවත් ආහාරයක්.

සිංහල අවුරුද්දට මගුළට නොවරදුනු මුං කැවුම් නැතහොත් නාරං කැවුම් අපේ සංස්කෘතියේම කොටසක් වගේ

මෙතරම් රස ගුණ පිරි මුං ඇටය,  හැමදාමත් එක විධියට හැදෙන පරිප්පුවේ සම්ප්රාප්තියත් සමඟම බත් පතෙන් ඈතට විසිවී කලාතුරකින් හැදෙන ව්‍යංජනයක් බවට පත් වෙලා. සියල්ල පරිප්පුකරණය වී ජාතියක් රෝගී වන්නට මෙයම හේතුවක් වන්නට නොහැකිද?????


රේණුකා  විමලරත්න : ලන්ඩනයේ සිට

චායාරූප අන්තර්ජාලයෙන්


2 comments:

  1. මුං පෙඟෙන්න දාල පැලවෙන්න දවස් දෙකක් විතර තිබ්බම අඟලක් විතර සුදුපාට මුල් ඇද්දම යකඩ බහුල ආහාරයක්. තෙල්දාල බෝම රසයි.. පුංචි මුං ඇටේ ගුණ කියා දුන්නට පින්..

    ReplyDelete
    Replies
    1. මමත් කන්න කැමතිම විධියක්..පැල මුං ඇට බඩුම..ස්තුතියි රසුදැල්

      Delete