Wednesday 7 December 2016

ගඩා ගෙඩියක් ගැන 6 : රතු ජම්බු

        මිදි  වලට වඩා ගුණෙන් ඉහල රතු ජම්බු ...




''අහුවෙයන්කෝ මට දෙන්නම් ජම්බු උඹට...''

නාහෙට අහන්නේ නැති කොල්ලෙක් කුරුට්ටෙක් ඕන්නැති දෙයක් කල විට ගමේ වැඩිහිටියෙක් නැතිනම් උන්ගේම සගයෙක්ගේ මුවින් නිතර කියවෙන දෙබසක් මේ..හැබැයි මේ දෙන්නම් කියන ජම්බු නම් තරම් රසවත් නැහැ..

ජම්බු ගෙඩියක් වගේ පාට වැටීගෙන එන ඇහැට කනට පෙනෙන්න ඉන්න ගැටිස්සියක් හදිසියේ නොපෙනී යාම වට පිට ඉන්න කොලු රෑන හැඳින්නුවේ  '' ජම්බු ගහෙන් වැටීමක්'' ලෙස.. ..අවුරුදු කාලෙට ගස් වල රතු පාට ලයිට් වැලක් එල්ලූ ආකාරයෙන් පොකුරු පිටින් හැදෙන රතු ජම්බු කුඩා කාලේ අපේ ඇහැට පෙනුණු රස අඳුන්.

ගෙවත්තේ අලංකාරයට වාගේ අද නවීන තාලයට වවන්නට පටන් අරන් ඇති නමුත් දරුවන්ට හිතේ හැටියට කන්නට වැඩිහිටියන් ඉඩ නොදෙන රසට වඩා ගුණෙන් වැඩි රතු ජම්බු ගැන කුඩා සටහනක් අද මා ඔබ වෙත ගෙන එන්නේ..

වැඩි වටිනාකමක් නොදී ඉදි බිමට වැටි කුණුවී යන්නට ඉඩ හරින ජම්බු වලින් වාරයේදී ඔබට ලබා ගත හැකි ප්‍රතිලාභ ඔබ දැන සිටියාද? කැලෑවට  හෝ ගෙවත්තේ කිසිම සාත්තුවකින් තොරව අදටත් හැදෙන මේ පලතුර වර්තමානයේ   කෘෂි රසායන සහ පලිබෝධ නාශක, කල්තබා  ගැනීමට  හෝ ඉදවීමට යොදන අනිකුත් විස රසායන වලින් තොරව ලබා ගත හැකි  විටමින් වලින් බහුල බොහෝ පොෂණික ගුණ ඇති රසවත් පළතුරක්..

මීළඟ වතාවේ ඔබේ මුනුපුරා/මිනිපිරි නැතිනම් සහෝදර සහෝදරියන්ගේ  දරුවන්  බැලීමට යනවිට වසරකට පමණ පෙර නෙලා රසායනික වලින් පෙඟවූ දුවිලි ගසමින් අවුවේ එල්ලා තිබෙන මිදී හෝ ඇපල්  වෙනුවට වත්ත පහලින් ජම්බු අහුරක් කඩන්  යන්න..

ශිෂ්‍යත්ව  විභාගෙට ගේ ඇතුලෙත්, ටියුෂන් පන්තියෙත් හිරවී ව්‍යායාම​ අහිමිව  සිටින  කුඩා එකාගේ බඩ ගෙඩිය නෙරා අනවශ්‍ය​ ලෙස පපුව වැඩි ඇති බව පසු ගිය වතාවේ ඔබ දුටුවා නේද? එසේනම් ඔහු/ඇය නුදුරු දිනයකදී දියවැඩියා/හදවත්  රෝගීයකු වීම  පමා කිරීමට  මිදී වලට වඩා  මේ ජම්බු අහුර උපකාරී වේවි..

පහත ඇති වගුව දෙස බලන්න..හොඳින් අධ්‍යයනය  කලවිට මිදි  වලට වඩා ජම්බු පෝෂණීය ගුණ අතින් ඉහල බව ඔබට පෙන්වන්නට මේ වගුව උපකාරී වෙනවා..අඩු කැලරි /වැඩි ජල සංයුතියක් අඩංගු නිසා ව්‍යායාම අඩු දරුවන්ට මේ අනුව මිදී වලට වඩා ගැලපෙන්නේ ජම්බු.

විතරක් නොවෙයි විටමින් සී බහුල නිසා එදිනෙදා හැදෙන සෙම්ප්‍රථිශ්‍යාව​ වැනි ස්වසන ආසාධන තුවාල සුවයට ජම්බු වලට ඇති හැකියාව තිබෙන්නේ මිදී වලට වඩා ඉදිරියෙන්..

සාපේක්ෂව  මිදි  වල වැඩි පුර ඇති එකම වාසිය එහි විටමින් කේ අඩංගු වීම..නමුත් හේතුව නිසා  මිදි දරුවන්ට හෝ රෝගීන්ට දීමෙන් ඔවුන්ගේ  ශරීර වලට එකතුවන විස  රසානයික ප්‍රමාණයේ බලගතුකම අධික නිසා අපට වාසිය බැහැර කරන්නට සිදු වෙනවා..


ආසියාවට ආවේනික ජම්බු ලංකාවේ පමණක් නොවේ පිලිපීනය, තායිලන්තය, මැලේෂියාව,  ඉන්දියාව වැනි අනෙකුත් ආසියාතික රටවලත් බහුලව වැවෙනවා..ඌශ්නාධික පරිසරය ප්‍රිය කරන ජම්බු පසු කාලීනව ලෝක සංචාරකයින් මගින් ලොව පුර ව්‍යාප්ත වුනු අතර  අද වන විට අප්‍රිකාවේ ජැමෙයිකාව, පැසිෆික් දූපත්  සහ දකුණු අමෙරිකාවේඇතැම් රටවලද  සොයා ගත හැකි බව පැවසෙනවා.. 

අධික උණුසුම් පරිසරයේ පිපාසය නිවාලන රසවත් ජම්බු වසර දහස් ගණනක් ආයුර්වේදයේ සහ දේශීය වෙදකමේ විවිධ ප්‍රතිකාර සඳහා භාවිතා වී තිබෙනවා..



තදබල ලෙස රෝගී වූ අයගේ විජලනය වලක්වා ගැනීම මින් ප්‍රධාන වූ අතර මීළඟට බහුලවම භාවිතා කර ඇත්තේ දරු පල අඩු පිරිමින්ගේ ශුක්‍රානු වල ශක්තිය වඩවා ගැනීමටයි..මේ කාරනා දෙකටත්, අක්මාවේ රෝග ප්‍රතිකාරයටත් ජම්බු පලතුර මෙන්ම කොළ, පොතු සහ මුල් පවා භාවිතා කර තිබෙනවා.. එපමණක් නොවෙයි මල බද්ධය වලක්වා ගැනීමටත් ජම්බු අගනා පළතුරක්.

මිට අමතරව ඇස් රෝග සුවයටත් , කාන්තාවන්ගේ රුව වඩවා ගැනීමටත් ජම්බු ශාක  සාර සහ පලතුරු භාවිතා කර තිබෙනවා. වාගේම ජම්බු ශාකයේ පොත්ත ලිංගික අවයව වල ඇතිවන දිලිර ආසාධන ප්‍රතිකාර සඳහා මෙන්ම කොළ යුෂ සන්ධි ප්‍රධාහයට ප්‍රතිකාර ලෙසත් දේශීය වෙදකමේදී අදටත් බහුලව භාවිතා වෙනවා..

විටමින්  බහුල  සිසිල් පළතුරක් නිසා ගර්භනී කාලයේ ආහාරයට ගැනීම ඉතා සුදුසු පළතුරක්  ලෙස පෙර අපර දෙදිගම වයිද්‍යවරුන්  සම්මත කරන අලංකාර පළතුරක් ජම්බු. 

අධික උෂ්ණත්වයේදී විජලනය වලක්වා ගැනීමට පමණක් නොවෙයි පොටෑසියම්  බහුල බව නිසා  අධික දහදිය දැමීමේදී ඇතිවිය හැකි මස් පිඬු පෙරලීම වලක්වා ගැනීමටත් ජම්බු වලින් ඉහල දායකත්වයක් ලැබෙනවා..


ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්යාලයට අනුයුක්ත ඉන්දියාවේ බැංගලෝරයේ ඇති ඖෂධ පර්යේෂණ විශ්ව විද්යාලයකින් ජම්බු පිළිබඳව සිදු කර ඇති අධ්‍යයන මාලාවක වාර්තාවලින් කියවෙන පරිදි ජම්බු වල ඇති ඖෂධිය වටිනාකම සුළු පටු කර සලකන්නට බැහැ

මේ පර්යේෂණ  වාර්තාවට අනුව ජම්බු වල ඉතා ඉහල පාචනය වැළකීමේ , දියවැඩියාව වැළක්වීමේ, ප්‍රතිශක්තිය ඉහල දැමීමේ හැකියාවක් අන්තර්ගත වෙනවා. එපමණක් නොවේ වාරයේදී ඇති වෙන්න ජම්බු කන්නට දීමෙන් ශිග්‍රයෙන්  පැතිර යන පිළිකා අවධානය වලක්වා ගන්නත් පුළුවන්..එපමණක් නොවෙයි, මේ අනර්ඝ පලතුරේ අඩංගු ඉහල ප්‍රති ඔක්සිකාරක සංයුතිය නිසා එය වේදනා නාශක සහ ආසාධන වැලැක්වීමේ හැකියාවෙනුත් ඉහල මට්ටමක පවතින බවට සාධක ඔවුන් ඉදිරිපත් කරනවා..

නවීන විද්‍යාඤයින් මේ බව සොයා ගන්නට පෙර ඈත අතීතයේ පටන් කුඩාවුන්ට තහංචි නැතිව ඇති හැටියට කන්න දී සුවතාවය  පවත්වාගත්  රසවත් පළතුරක් ජම්බු. අත්ත මුත්තලා කොන්ඩේ බැඳී නිසාදෝ පසු කාලීනව ඉවත දැමුවේ නමුත් දැන් ඉතින් බටහිරින් කියන නිසාවත් විස රසායන වලින් පෙඟවූ  මිදී වෙනුවට ආයිත් ජම්බු දෙන්නට පටන් ගත්තොත් නරකදැයි අසමින් අදට සමු ගනිමි..

රේණුකා විමලරත්න : ලන්ඩනයේ සිට
චායාරූප අන්තර්ජාලයෙන්





6 comments:

  1. මගෙ යාලුවෙක් (කෙල්ලෙක්) ජම්බු ගහකින් වැටිල මලා.

    ReplyDelete
  2. Very nice work Renu. This will be very helpful to wise people.
    Thank you for your efforts.

    ReplyDelete