''නැන්දා-බයෝටික්'' රැකවරණය නැති දා...
අපේ මුත්තලා යුද්ධෙට යද්දී කැවුම්
අරගෙන ගියාලු..තුවාල උනාම පුස් කාපු කැවුමක්
තුවාලේ බැඳලා සුවකරන්
ආයේ දිගටම යුද්ධ කලාලු..ඒ වුනාට ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින් මාමා පුස් පිරිසියකින් පෙනිසිලින් හොයා ගත්තලු..ඒ තමයිලු ලෝකේ මුල්ම ''නැන්දා-බයෝටික්'' එක
කියලා 1945දී සුදු මාමිට නොබෙල් තෑග්ගත් දුන්නලු..
හාද?
පුංචි දරුවෝ ඉන්න නැන්දලා සුදු මාමෙක් හොයාගත්තු ''නැන්දා-බයෝටික්'' වලට
හරිම ආදරෙයි..
බය නැතිව
කියන්නේ මගේම පවුලේ අයගෙන් මං අහන දකින දේවල් නිසා.. මගේ නෑනන්ඩිලා කොයි වෙලේ බැලුවත් පොඩි එවුන්ට නැන්දා-බයෝටික් පොවන්න ෆාමසියේ.. නැත්නම් හන්දියේ දොස්තර ළඟ..
''පොඩි එකාට හච්චිමක් ගියා..මං මේ ඉක්මනට අරන් ගියා ''
''නැන්දා-බයෝටික්'' හිතුමතේ පාවිච්චිය නිසා අද හෙට මුහුණ දෙන මහා ගැටලුවට ලෝක බලවතුන් අඹුඩ තද කරගෙන විසඳුම් හොයද්දි ..
''No Problem- Sri Lanka'' අපි බොමු හෙම්බිරිස්සාවට හිටු කියලා ''Antibiotics''
හච්චිමට නැන්දා-බයෝටික් ගන්න අපේ නැන්දලා පොඩියක් පැත්තකින් තියලා අපි බලමු නැන්දා- බයෝටික් ඇත්තටම ඕනේ කාටද කියලා..
එංගලන්තේ විතරක් අවුරුද්දකට ශල්‍යකර්ම හතලිස් ලක්ෂයක් කරනවලු..
ශල්‍යකර්මයකට පෙරත්, පසුවත් තුවාල පැසවීම වලක්වා ගන්නේ නැන්දා- බයෝටික් වලට පින් සිදු වෙන්න..ලෝකයේ
දරු උපත් වලින් 1/5ක් වන සීසර්
ශල්යකර්ම වලදී මවගේ ජීවිතය රැකෙන්නේත් ඇන්ටිබයෝටික් නිසා. වකුගඩු බද්ධ කල රෝගීන් සහ දියවැඩියාව, පිළිකා වැනි
ප්‍රතිශක්තිය ඌන රෝගීන්ගේ ජීවිතය රැඳී තියෙන්නේත් ප්‍රතිජීවක මත..
එහෙනම් ''නැන්ද-බයෝටික්'' නැති වුනොත් මේ රෝගීන්ගේ ඉරණම කුමක් වෙයිද?
අද අපේ පරිසරයේ ඉන්න බැක්ටීරියා ඇතුළු ක්‍ෂුද්‍රජීවින් ඉස්සර තරම් බයෝටික් නැන්දට බය නැහැ. ඔවුන් ආයුධ
සන්නද්ධ
සෙබළුන් වගේ ප්‍රතිරෝධයෙන් ශක්තිමත් වෙලා. සරලව කිව්වොත් අද වනවිට බැක්ටීරියා ඇතුළු ක්‍ෂුද්‍රජීවින් ප්‍රතිජීවක වලට ඔරොත්තු දෙන්නට හැකි ලෙස
ඔවුන්ගේ ජානමය ව්‍යූහය ශක්තිමත් කරගෙන.. Antibiotics කොච්චර දුන්නත් සමහර ආසාධන සුව නොවෙන්නේ ඒ නිසා..
ගැටලුව කෙතරම් දුර දිග ගිහින්ද කිව්වොත් රටවල් 100ක පමණ ක්ෂයරෝගය සඳහා දෙන ඖෂධ ප්‍රතිකාර
තවදුරටත් වැඩ කරන්නේ නැහැ.. මේ යන වේගෙට ගියොත් 2050 වෙන විට ලෝකය ප්‍රතිජීවක වලින් තොරවන තැනක් කියලයි ලෝක සෞක්‍ය සංවිධානය කියන්නේ..
හච්චිමට
බේත් ගමු..
හච්චිමක් ගියාම දොස්තර ලඟට දරුවා උස්සන් දිව්වා මතකද? දුවිල්ලට වැස්සට දරුවන්ට නිතර හැදෙන සෙම්ප්‍රතිශ්‍යා උණ උගුරේ ආසාධන වලින් 90%ක්ම හැදෙන්නේ වෛරස නිසා..
අපේ කාලේ නම් මේ වගේ වෙලාවට බටුමුල්, කොත්තමල්ලි, ඉඟුරු දාලා කසායක් දවසට දෙතුන්වතාවක් පොවලා, දෙහිකොල දුම් ඩිංගක් අල්ලලා කිරි හොදි ලුණුමිරිස් ඩිංගක් එක්ක
බෙරි බතක්, බත් කැඳ ඩිංගක් දීලා දෙතුන් දොහක් බලනවා..
ලෙඩේ එතනින් ඉවරයි..
හන්දියේ දොස්තර මහත්තයා ලඟට ගියත්, වත්තේ ANP ලඟට ගියත්, ආයුර්වේද වෛද්‍යවරයා ලඟට ගියත් මේ හැමෝම කරන්නෙ තරඟෙට ''නැන්දා-බයෝටික්'' ලියා දීමම තමයි..දවසකට රෝගීන් 60ක් වීතර බලන වෛද්‍යවරයෙකුට ලෙඩෙක් බලන්න විනාඩි 5ක් වත් නැති තරම්.. වෛරස - බැක්ටීරියා ඕවා හොයන්න වෙලාව කොහෙන්ද?
දියුණු රටවල වෛද්‍යවරුන්ට ඔවුන්ගේ හිතුමතේට Antibiotics නිකුත් කරන්න බැහැ . ඒ සඳහා Protocol /policy /නීති රෙගුලාසි මහා ගොඩයි..ඒ නීති වලින් පිට වැඩ කිරීම දොස්තර පට්ටමත් නැති වෙලා හිරේ යන්න වෙන වැඩක්..
ඔය ඩොක්ට හරි යන්නේ නැහැ ..
''බබාට තාම හොඳ නැහැ නේද? ඔය ඩොක්ට හරි යන්නේ නැහැ අහවලා ලඟට ගෙනියන්න..''
මේ කතාව නම් කාටත් හුරු පුරුදු ඇති..හැරී පොටර් වගේ මැජික් කාරයෙකුට හැර දවසින් ලෙඩේ හොඳ කරන්න බැහැ ..ඕනෑම ප්‍රතිකාරයක් ක්‍රියාත්මක වෙන්න කාලය අවශ්‍යයි..
විශේෂයෙන්ම Antibiotics නම් නිසි මාත්‍රාව අවශ්‍ය දින ගණන සම්පුර්ණ කරන්න ඕනේ..කුඩා ළමයින්ට සුව වෙන බවට ලකුණු පෙනෙන්න අඩුගානේ දින තුන හතරක් වත් යනවා..
වෛද්‍යවරු මාරු කර අර බෙහෙතෙන් දවස් දෙකයි මේ බෙහෙතෙන් දවස් දෙකයි දීමෙන් වෙන්නේ රෝගයට හේතුවුණ බැක්ටීරියාව ඒ අතරේ ශක්තිමත් වීම..සුව වීම පමා වීම..ඒ විතරක් නෙමෙයි දවසක ඔබේ දරුවාට කිසිම ප්‍රතිජිවකයකින් සුව නොවීම..
කුකුල් මස් එක්ක
එන ''නැන්දා- බයෝටික්''
බැක්ටීරියා ලෙඩ කරන්නේ අපිව විතරක් නෙමෙයි..සත්ව ගොවිපල වල සතුන්වත් ලෙඩ කරනවා.. අපි ප්‍රතිජීවක ගන්නේ අසනීපයකදී වුනත් ගොවිපල සතුන්ට රෝග වැලක්වීමට ඉවක් බවක් නැතිව ප්‍රතිජිවක දෙනවා. ඒ නිසා මස්, කිරි , බටර්, යෝගට්, චීස් වගේ ගොවිපල නිෂ්පාදන වලින් නොමිලේම අපට අම්බානකට ''නැන්දා -බයෝටික්'' ලැබෙනවා.
කිරි බිත්තර
කුකුල්මස් වලින් දිනපතා Antibiotics ගිලින දරුවන්ට/ වැඩිහිටියන්ට ලෙඩක් හැදුනාම ඖෂධ වලින් සුව කරන්න බැරි වෙනවා..
වෙන මොනවද?
තව දුරටත් අලුතින් සොයා ගන්න Antibiotics නැති බවයි විද්වතුන් කියන්නේ.. තියෙන ප්‍රතිජීවක වැඩ කරන්නෙත් නැත් නම් පන බේර
ගන්න තියෙන හොඳම ක්‍රමය ලෙඩ නොවී ඉන්න එක..නිතර හැදෙන ක්ෂුද්රජීවී ආසාධන වලට ප්‍රධානම හේතුව දුර්වල පුද්ගලික සෞක්‍යය නොහොත් අපිරිසිඳු බව..
පිරිසිඳුව සිටීම, වැසිකිලි යාමෙන් පසු/ආහාර පිළියෙළ කිරීමට/ගැනීමට පෙර අත් සේදීම, වතුර උතුරුවා
බිමට ගැනීම වැනි සරල විධි මගින් බැක්ටීරියා ආසාධන අවම කර ගන්න පුළුවන්..එවිට ''නැන්දා -බයෝටික්'' වල ගණන් බලන්න ඕන වෙන්නෙත් නැහැ..
අන්තිම විසඳුම..
ආපහු හැරිලා අතීතයට යමු..ෆ්ලෙමින් මාමි පෙනිසිලින් හොයාගන්න පෙර අත්තම්මා කුස්සියේ
යොදා ගත්තු ප්‍රතිජීවක වර්ග ගණනක් නැහැ..
චුටි බබාගේ අතේ වද
කහ වළල්ලක් බැන්දේ..
දරුවා ලැබුණු අම්මට සුදුලූනු කන්න දුන්නේ..
මොන ලෙඩේටත්
තැම්බුම් හොද්දක් හැදුවේ..
පණු අමාරුවට බට කිරිල්ල අග්ගලා දුන්නේ..
මාසෙකට දෙතුන් වතාවක් එරබදු ව්‍යංජනයක් හැදුනේ..
තුවාලෙට මි පැණි ගෑවේ..
යුද්ධෙට කැවුම් ගෙනිච්චේ ..
හොද්දට කහ, සූදුරු, තුනපහ දැම්මේ
මෙකි නොකී දහසක් දේ ඇය භාවිතා කලේ දැන හෝ නොදැන බැක්ටීරියා ස්වාභාවිකව මට්ටු කරන්න..
නැවත මේ ක්‍රම පිලිපැදීමෙන් ඉතිරිව ඇති ප්‍රතිජීවක අත්‍යාවශ්‍ය මොහොතක පමණක් යොදා ගැනීමට තව කාලයක් රැක ගැනීමට අපට හැකි වේවි......
අනාගතය අදයි..එනිසා ළඟ එන ප්‍රතිජිවක ප්‍රතිරෝධයට විසඳුම් අදම ඔබේ නිවසින් පටන්ගන්න..
References:
https://www.action.org.uk/our-research/tackling-drug-resistant-infections-seriously-ill-children?gclid=CjwKEAjw85DIBRCy2aT0hPmS1jkSJAC1m9Uvmzw3EGXZI04UDluiNKURePoqNEjO1S8juJKX-RKbwBoCd2Hw_wcB
රේණුකා විමලරත්න : ලන්ඩනයේ සිට
Registered Independent
Prescriber (UK) & Member of Antibiotic Guardian
චායාරූප අන්තර්ජාලයෙන්
ඉතාම වටිනා ලිපියක් ස්තුතියි රේණුකා
ReplyDeleteඔබේ ඇගයුම ඉතාමත් අගය කරනවා..ස්තුතියි
Deleteඅහම්බෙන් දැක්කෙග වටිනා දැනුවත් කිරීමක්...
ReplyDeleteThis is very interesting, You're an overly skilled blogger.
ReplyDeleteI have joined your feed and sit up for in search of extra of
your excellent post. Also, I have shared your site in my social
networks