Wednesday, 28 September 2016

හිරිවැටීම (Parasthesia)




 ජිවිත කාලය තුලදී අත  පය හිරි වැටීමකට ලක් නොවුණු කෙනෙක් නැති තරම්. දිගු වෙලාවක් එක ඉරියව්වෙන් සිට නැවත අවයව සාමාන් ලෙස ක්රියාකිරීමට උත්සාහ ගත්  අවස්තාවක් ගැන සිතන්න. මේ අවස්ථාවේදී ඇතිවන ඉඳිකටු තුඩකින් අනින්නා වැනි අපහසුතාවය ඔබට මතකද? මේ හිරි වැටුමට හේතුව වන්නේ එක ඉරියව්වකින් සිටීමේදී අතකට හෝ පයකට  සැපයෙන ස්නායුවක්  තාවකාලිකව පීඩනයකට ලක්වීම නිසාමේ හිරිවැටුම එම පීඩනය ඉවත් වූ වහාම සුළු මොහොතකින් යතා තත්වයට පත් වෙනවා.

නමුත් මෙවැනි හිරි වැටුමක්  දිගටම පවතීනම් එයට බලපාන හේතුව කුමක්දැයි ඉක්මනින්  සොයා බැලිය යුතුයි. හේතුව ඔබ සිතනවාට වඩා සංකීර්ණ වීමට ඇති ඉඩකඩ වැඩි නිසා.


දිගටම පවතින හිරිවැටුමක් නම් බොහෝ විට එයට හේතුව වන්නේ ස්නායු පද්ධතිය ආශ්රිත රෝගයක් හෝ ස්නායුශයිල  වලට සිදු වී ඇති හානියක් නිසාවෙන්. සමහර විට මෙය සිදු වන්න පුළුවන් මධ්යම ස්නායු පද්ධතියට බලපාන හේතුවක්  නිසා . උදාහරණයක් ලෙස මොලයට රුධිරය ගෙන යන නාලයක ඇතිවන අවහිරතාවයක් නිසා මොලයේ පැත්තක ක්රියාකාරිත්වය නතරවීම ( stroke ), මොලයේ ඇතිවන ආසාධන (Enchephalitis), චාලක නියුරෝන ආශ්රිත රෝග (Motor neurone diseases) වැනි තත්ත්ව හඳුන්වන්නට පුළුවන්

එසේ නැතිනම් කල් පවතින ස්නායුවක් තද වීමක් නිසා වෙන්නත් පුළුවන්. වයසත්  සමඟ බොහෝ අයට ඇතිවන අත්වල හිරිවැටුම (Carpel  Tunnel  Syndrome )මෙයට උදාහරණයක්. එය සිද්ධවෙන්නේ අතට සැපයෙන ස්නායුවක් (median nerve ) එය ගමන් කරන කුඩා උමන් මාර්ගයේ (Carpel Tunnel ) ඇතිවන ඉදිමුමක් නිසා තදවී පිඩනයට පත්වීමෙන්.

 නිතර පරිගණකය භාවිතා කරන අයට පසු කාලීනව සැදෙන්නට පුළුවන් ස්නායු රෝගයක් ලෙස මෙය හඳුන්වන්නත් පුළුවන්.

මේ විධියට හිරි වැටුම ඇතිවීමට විශාල පරාසයක විහිදුනු හේතු බොහොමයක් තිබෙනවා. පහලින් මා නම් කරන්නේ එවැනි හේතූන් ලැයිස්තුවක්.


  • ·       ස්නායු ආශ්රිත හිසරදය (Migraine)
  • ·       අධික ලෙස මත්පැන් පානය කිරීම (Alcoholism )
  • ·       ස්නායු ශයිල වල ඇතිවන හානි (Neuropathy )
  • ·       පෝෂණ ඌනතා (malneutrition )
  • ·       ආර්තවය නතර වීම (Menapause)
  • ·       විජලනය (dehydration)
  • ·       දියවැඩියාව
  • ·       අස්ථි පද්ධතියේ ඇතිවන කාලින රෝග (fibromyalgia)
  • ·       හර්පීස් සොස්ටර්
  • ·       රුධිරගත සිනි ප්රමාණය අඩු වීම
  • ·       ස්නායු ඇවිලීම (nerve  irritation )
  • ·       රුධිරනාල බිත්ති අවහිරවීම (athelesclerosis )
  • ·       ඔක්සිජන් වැඩි වීම (hyperventilation)
  • ·       ප්රතිශක්තිය දුර්වල වීම
  • ·       පිළිකා වැනි තත්වයන් මගින් ස්නායු තද වීම
  • ස්නායු පද්ධතිය සම්බන්ද විවිධ රෝග eg: multiple sclerosis, motor neurone disease




රෝග විනිශ්චය:
 හිරි වැටුම කියන්නේ රෝග ලක්ෂණයක් මිස රෝගයක් නොවේ. නිසා නිසි පරීක්ෂණ සිදු කර රෝගයට හේතුව සොයා ගත යුතුයි.



ප්රතිකාර :

  1. තාවකාලික හිරි වැටුමකදී ආශ්රිත අවයවය සම්බාහනයෙන් නැවත යතා තත්වයට පත් කිරීම
  2. කල් පවතින තත්වයකදී හේතුව සොයා හේතුවට ප්රතිකාර කිරීම. උදාහරණ: දියවැඩියා පාලනය, පිලිකා තත්වයකදී රේඩියෝ කිරණ ප්රතිකාරආසාධනයකදී ප්රතිජීවක ලබා දීම
  3. තද බල සහ පාලනය කල නොහැකි අවස්තාවලදී ආතතිය අඩු කරන ඖෂධ වර්ග (anti- deppressants eg: Amytryptalin)
  4. පෝෂක ප්රතිකාර උදා: විටමින් බි ප්රතිකාර ( අතිශයින්ම වයිද්  උපදෙස් මත පමණක් සිදු කල යුතුයි )
  5. මත්පැන් වැලකීම
  6. චීන කටු චිකිත්සාව
  7. කොච්චි වර්ග වලින් සාදන පැච්/ ක්රීම් ආලේප ප්රතිකාර



ස්නායු සෞක්යයට හිතකර අපේ ආහාර සහ ඖෂධ  :
විටමින් බි බහුල ආහාරයට ගැනීම උදා: කජු, රටකජු, සොයා, ධාන් වර්ග, කුරක්කන්, බණ්ඩක්කා, කොළ පාට එළවලු, කහ පැහැති එළවලු පලතුරු 

ඖෂධ : අබ , කොච්චි වර්ග, නෙල්ලි, සාදික්ක පුවක්, පුස්වැන්න, රසකිඳ

මේ පිළිබඳව දන්නා සිංහල වෛද්යවරුන් තවත් විස්තර සපයතැයි බලාපොරොත්තු වෙනවා.

References: Parasthesia (Badal pal 2002) (BMJ)


රේණුකා විමලරත්න: ලන්ඩනයේ සිට

චායාරූප අන්තර්ජාලයෙන්





Tuesday, 27 September 2016

අත්තම්මාගේ අත් බෙහෙත් 23 : බණ්ඩක්කා (Ladies Fingers)




 ''පෙම්වතා හැර ගිහින්ද? වරු තුනෙන් ගෙන්වා දෙමි''

මේ අපේ දිනපතා පුවත්පත් වල නිතර දකින්නට පුළුවන් දැන්වීමක්. ඊයේ පෙරේදා මට මේ දැන්වීම සිහි වුනේ දැන් දැන් අන්තර්ජාලයේ දකින අපූරු ඖෂධ වට්ටෝරු දැකීමෙන් පසුව. ''එක වරක් ආලේප කලොත් නොනවත්වා කොණ්ඩය වැවෙන දිව්යමය ඖෂධයක්'' ''හන්දිපත් අමාරුව තත්පර හයකින් සුවකරන්න මේ ඖෂධය යොදාගන්න'' ''දින තුනකින් කිලෝ 5ක් බර අඩු කරන්න මේ පානය භාවිතා කරන්න''. මේ තමයි මා කියන වර්ගයේ අපූරු බෙහෙත් වට්ටෝරු. ඔබ කීදෙනෙක් මේ බොරුවලට හසු වී ඇද්ද? මේ දැන්වීම්  වල අරමුණ මගින් ඔවුන්ගේ වෙබ් අඩවි වලට ඔබ පිවිසීමෙන් වෙළඳ දැන්වීම් හරහා ඔවුන්ට මුදල් උපයා ගැනීම බව ඔබ දැන සිටියාද?

 මෑතකදී  මෙවන්  ජාවාරමක නියුතු දන්නා කියන පුද්ගලයකු පසුපස හඹා ගොස් එම ඖෂධයේ ගුණ විමසීමට  යාමෙන් පසු එම පුද්ගලයා ඇඩ්රස් නැතිවම අතුරුදහන් වුනේ මගේ මුණු පොතෙනුත් ස්වෙච්චාවෙන්ම  ඉවත් වීමෙන්. ලිස්සා යාමට ඔහුගේ තිබූ අපූරු හැකියාව දැනන් හිටි මට එය එතරම් අරුමයක් නොවුනත්, මේ මොහොතේ මට ලිස්සා යාමට සම්බන්ද අපූරු ඖෂධිය එළවළුවක් මතකයට ආවා.. තමා ලිස්සා වැටුණු අයටත්, ලිස්සා  නොවැටී කෙලින් හිටින්නටත්  දෙකටම ගුණ යයි අත්තම්මා පාරම් බෑ ඖෂධිය ගුණ ඇති  බණ්ඩක්කා. අද මා  සූදානම් වෙන්නේ බණ්ඩක්කා එකවරක් ආහාරයට ගැනීමෙන් ඔබට අත්වන  ''හැරී පොටර් වර්ගයේ '' මැජික් ගුණ නොව, සාමාන්යෙන් එදිනෙදා ආහාරයට එකතුකර ගැනීමෙන් ඔබට අත්කර ගත හැකි ඖෂධිය ප්රතිලාභ කියාදෙන්නයි.


හැම ගෙවත්තකමත්, ඕවිටේ වෙල් නියරේත් සරුවට වැවෙනු දුටු, කිසි දින වෙළඳ පොලෙන් ගෙනා බවට මතකයක් නැති බණ්ඩක්කා පිලිබඳ මා කුඩා කල නම් වැඩි ප්රසාධයක් තිබුනේ නැහැ. ඊට හේතුව වුනේ බණ්ඩක්කා ගසේ ඇති කසන සුළු බූව සමේ ගැටීමෙන් ඇතිවූ වේදනාත්මක  මතකය මිස බණ්ඩක්කා රසයට ඇති අකමැත්තක් නිසා නොවේ. කුඩා කල ඇදුම රෝගයෙන් පෙළුණු මගේ ඤාති සොහොයුරියකට  බණ්ඩක්කා කන්නට දෙන්න කියා අත්තම්මා දුන් අවවාදය වාගේම කම්මැලි කමට ඈනුම් අරින ගැහැණු පිරිමි දෙපක්ෂයටම බණ්ඩක්කා ගුණ යයි අත්තම්මා නිතර කියු බව අදටත් මතකයි

මාස් ශුද්ධිය අධිකව සිදුවන ගැහැණු දරුවන්ටත්, දරු ප්රසූතියෙන් පසුව සහ කිරි දෙන අම්මලාටත් දෙන ආහාර වේලක මුල් තැන හිමිවන කොළ පැහැති  එළවලු අතර  බණ්ඩක්කා මුල්තැනක වැජඹුණු එළවළුවක්. උන රෝගීන්ටත්, දිගු කාලින තුවාල සුවයටත්, සෙංගමාලය රෝගීන්ටත් බණ්ඩක්කා අඩංගු සුප් සාදා දෙන්නට අත්තම්මා අමතක කලේ නැහැ


උඩරටින් ගෙනෙන බෝංචි එනතුරු බලා නොසිට බත් පිඟාන කොළ පාටින් සරසන්නට බණ්ඩක්කා වයන්ජනය යොදා ගත්  අත්තම්මා එදා පැවසුවේ ශරීරයේ හැදෙන ඕනෑම රෝගයකට බණ්ඩක්කා ගුණදායක බවයි. මානසික ආතතිය සහිත කාන්තාවන්ටත්, දිවා කාලයේ අව්වේ වෙහෙස වී වැඩ කරන පිරිමින්ටත් රාත්රියේ සුව නින්දක් ලබා ගැනීමට සහ අත්  පා වල ඇතිවන මස් පිඬු පෙරලීමට බණ්ඩක්කා ඉතා ගුණදායක බවත් අත්තම්මා දැන සිටියා. ගර්භනී මවුවරුන්ට සෑදෙන සුද යාම සහ මුත්රා ආසාධන වලට නිවසේදී ප්රතිකාර කල කාලයේ අත්තම්මා අනුමත කල ආහාර වට්ටෝරුවේ තිබු තවත් එළවළුවක් තමා බණ්ඩක්කා.

නහුතෙට නගින අත්ත මුත්තලාගේ අර්ශෂ් රෝග නිවාරණයට එක්කල ආහාර වට්ටෝරුවේ මුල්තැන ගත් එළවළුවක් ලෙසත් බණ්ඩක්කා හඳුන්වන්න පුළුවන්.  දියවැඩියාව සහ හර්දයාබාධ ඇති රෝගීන්ටත් ආහාර දිරවීමට අපහසුතා ඇති කුඩා දරුවන්ට වාගේම මහලු උදවියටත් එකවගේ ගුණ යයි අත්තම්මලාගේ තිබු  අප්රමාන භක්තිය නිසාම  එදා අපේ නිවෙස් වල සතියකට වරක් දෙවරක්වත් නොවරදවාම මුළුතැන්ගෙයි පිසුණු එළවළුවක් බණ්ඩක්කා.

අද වන විට අපේ ජනතාව අතර එතරම් ජනප්‍රිය බවක් දකින්නට නැති බණ්ඩක්කා ලොව පුරා ව්යාප්ත වුනු වසර දහස් ගණනක ඉතිහාසයක් ඇති එළවළුවක්

භූගෝලීය සම්භවය ඇතැයි පැවසෙන ඉතියෝපියාවෙන් ක්රි.පූ 12 වන සියවසේදී ඊජිප්තුව වෙත පැතිරී පසුව උතුරු අප්රිකාව, මැද පෙරදිග හරහා ආසියාව වෙත සංක්රමණය වූ බවට සැලකෙන බණ්ඩක්කා අද වන විට ලොව ඕනෑම රටක වෙළඳ පොළකින් ලබා ගත හැකි මට්ටමට ව්යාප්තව තිබෙනවා.

මේ වන විට බටහිර ලෝකයේ අවධානය තදින් දිනා සිටින බණ්ඩක්කා  ඔවුන් හඳුන්වන්නේ පෝෂක ගුලියක් (nutritional pod) ලෙස. පෝෂණ  සංගටක දත්ත වලට අනුව බණ්ඩක්කා ග්රෑම්  100 අඩන්ගුවන්නේ කැලරි 30කටත් අඩු ප්රමාණයක්. එනිසා තරබාරුව ඇති අයට දිනපතා ආහාරයට ගැනීමෙන් සිරුරේ බර අඩු  කර ගැනීමට පුළුවන්. ශාකමය තන්තු බහුලව ඇති බණ්ඩක්කා වල විටමින් බි, සි, කේ, සහ   අඩංගු වෙනවා. මේ අතරින් විටමින් බි සංගටකයේ (B 1, B 3, folate ) අගය සාපේක්ෂව වැඩියි. මේ හේතුව නිසා තමයි බණ්ඩක්කා බොහෝ රෝග නිවාරණයට හේතුවන්නේ. මිට අමතරව  කැල්සියම්, පොටෑසියම්, මැග්නීසියම් වැනි ලවන වර්ගත් බණ්ඩක්කා වල බහුලව අඩංගු වෙනවා.

රසායානාගාර පර්යේෂණ වාර්තා අනුව බණ්ඩක්කා වල ඉහලම ගුණයක් ලෙස හැඳින්වෙන්නේ දියවැඩියා පාලනයයි. එයට හේතුව ලෙස කියවෙන්නේ  බණ්ඩක්කා මගින් අන්තර වලදී සීනි රුධිරයට අවශෝෂණය කිරීම අඩුකිරීමයි. ඇමෙරිකානු දියවැඩියා  සංගමය මගින් සිදුකර ඇති පර්යේෂණ වලට අනුව බණ්ඩක්කා රුධිරගත කොලෙස්ටරෝල් අඩු කිරීමට දායක වී හදවතේ සෞක්යය ආරක්ෂා කරන මැජික් එළවළුවක්

මේ පර්යේශ්නයේදීම ඔවුන් ඔප්පු කර පෙන්වා දී තිබෙනවා තරබාරුව මට්ටු කරන්නට බණ්ඩක්කා වලට ඇති සමත්කමත්. සෞදි අරාබියේ වයිද් කණ්ඩායමක් විසින් කරන ලද පර්යේෂණයකට අනුව රසායනික හේතුන් මත ඇතිවන අක්මාව දියවීමේ රෝගයට බණ්ඩක්කා මහඟු ඖෂධයක්

බණ්ඩක්කා පිලිබඳ ලොව විවිධ විද්යාඤයන්  කල පර්යේෂණ වලින් තව දුරටත් පෙන්වා දී ඇත්තේ පුරුෂයින්ගේ ඉබේ ශුක්රානු පිටවීමේ රෝගයටත්, මුත්රා ආසාධන වලටත්, කුඩා දරුවන්ගේ ඇදුම සහ ස්වසන ආසාධන වලටත්, මානසික ආතතියටත්  බණ්ඩක්කා නිසැක ඖෂධයක් වන බවයි. මේ ඖෂධිය ගුණ නිසා බණ්ඩක්කා ''පෝෂක සැපයුම්කාරකයක්'' (nutritional supplementary ) ලෙස දිනපතා ආහාරයට ගැනීම පවා ඔවුන් සම්මත කර තිබෙනවා.

ආයුර්වේදයේදී සහ ඉපැරණි සිංහල වෙදකමේදී බණ්ඩක්කා බොහෝ රෝග සුවයට යොදාගෙන තිබෙනවා. බණ්ඩක්කා කරල් යොදවාගෙන ස්වසන පද්ධතියේ සෙම ඉවත් කිරීමෙන් ඇදුම, කල් පවතින කැස්ස වැනි  රෝගී ප්රතිකාරය, කොළ යුෂ යොදා ගනිමින්  මුත්රා ආසාධන සහ ගොනෝරියා සිපිලිස් වැනි ලිංගික පද්ධතිය ආශ්රිත රෝග, බණ්ඩක්කා මුලෙන් කල් ගත වුනු තුවාල සුව කිරීම, ඇට මගින් අධික දහදිය දැමීමට ප්රතිකාර කිරීම  මේ අතරින්  කීපයක්



මිට අමතරව දියවැඩියාව, හිසරධය, සන්ධි ප්රධාහ, මල බද්ධය, සමේ රෝග, ආහාර මාර්ගයේ රෝග වැනි බොහෝ රෝගාබාධ සඳහා බණ්ඩක්කා පැළෑටියේ විවිධ කොටස් භාවිතා කෙරෙනවා.


මේ සියල්ලටම වඩා අදටත් මගේ  මතකය රසවත් කරන්නේ  අත්තම්මා පිළයෙල කල බණ්ඩක්කා ව්යන්ජනයයි. කොළ පැහැය ඉවත් නොවන්නට රතුලූනු උම්බලකඩ දමා යන්තම් කිරිදමා හිදෙන්නට පිසින  පිසින බණ්ඩක්කා ව්යංජනය මෙන්ම බණ්ඩක්කා තෙල් දැමුමත් ඉතාම රසවත්. ලොව වටා තරුපහේ හෝටල් වල ආහාර ලැයිස්තුව දක්වා දුර ගමනක් බණ්ඩක්කා අද වන විට ගමන් කර තිබෙනවා. බටහිර ජාතිකයින් මේ මහඟු ගුණ ඇති එළවලුව බාබකිව් ක්රමයට සහ උඳුනේ පුළුස්සා බලෙන්ම ඔවුන්ගේ ආහාර රටාවට ඇතුළු කරගෙන තිබෙනවා. මෙතරම් ගුණ බණ්ඩක්කා ඔබේ මුළුතැන් ගෙදරින් ලිස්සා නොයවන සේ ඉල්ලමින් අදට නවතමි.

රේණුකා විමලරත්න: ලන්ඩනයේ සිට

චායාරූප අන්තර්ජාලයෙන් (නම නොදත් ශිල්පීන්ට සියලු ගෞරවයන් හිමිවේ)