Wednesday 10 August 2016

තුන් දොස් නසන්නට - තුනපහ 1 : සූදුරු

             තුන් දොස් නසන්නට - තුනපහ 1
                                   සූදුරු

සුගතේ මාමා දිනවල නැවතී සිටියේ අපේ අත්තම්මලාගේ මහ ගෙදර ඉස්තෝප්පු කාමරයේය. අත්තාගේ පැත්තෙන් ළඟ නෑයෙක් වන සුගතෙ මාමාගේ ගම දකුණු පළාතේ ඇල්පිටියයි. පොල්කටු ඉස්තිරික්කයෙන් රැළි නොහිටින්න අගේට මැදගත් දිග කලිසම සහ ඊටම ගැලපෙන කමිසයක් ඇඳ , කොණ්ඩය පැත්තට පීරා කකුල් දෙකටම දිලිසෙන්න සපත්තු දැමු සුගතේ මාමා අත්තම්මලාගේ ගෙදර නැවතී සිටියේ රැකියාවට යන්නට පහසුවටයි. කොළඹ ඔපිසියක රාජකාරි කරන නිසා සුගතෙ මාමා ජැන්ඩි පහට ඇඳීම අනිවාර්ය බවයි අත්තම්මා කිව්වේ. අත්තම්මාගේ අත් උදව්කාරිය වූ මට පැවරී තිබු එක් රාජකාරියක් තමා සුගතේ මාමාගේ කාමරයේ රාත්රී කාලයේ පත්තු කරන චිමිනි ලාම්පුවට භූමිතෙල් පුරවා ඔහු වැඩ ඇරි එන්නට පෙර කාමරයෙන් තැබීම.

සුගතෙ මාමා අපට අන් නෑදෑයින්ට වඩා විශේෂිත වන්නේ ඔහු අප වෙනුවෙන් ගෙනා තෑගි බෝග අන් අයට වඩා වෙනස් වීමයි. දුර සිට ගෙදරට එන නෑයෙක් බොහෝ විට අතින් කටින් අරන් එන්නේ ඔවුන්ගේ හේන්, කුඹුරු, ගෙවතු වල පලදාවේ කොටසකි. සුගතේ මාමා අපට ගෙනාවේ බුල්ටෝ, නාරන් බික්, මාරි බිස්කට්, හුණු බිජු වැනි විසිතුරු සිනි කෑමකි. අත්තම්මාට නම් මේ කඩචෝරු පෙන්නන්නට බැරිය. හුණු බිජු යනු සූදුරු හෝ කොත්තමල්ලි ඇට වර්ණවත් කල සිනි කවරයකින් වසා ගත් එදා ළමුන් ඉතා ආශා කල කුඩා පැණිරස කෑමකි. අද මා විස්තර කරන්නට යන්නේ එදා මේ හුණු බිජ්ජ මැද තිබු, අත්තම්මාගේ තුනපහ වල රස වැඩි කල බොහෝ අත් බෙහෙත් සඳහා භාවිතා කරන සූදුරු පිළිබඳවයි.


අව්ව
ඇති දාට පුවක් කොලපතක දමා සෝදා වේලා ගන්නා දුරු වර්ග වචනාර්ථයෙන් පවසන්නේ 'සියලු රෝ දුරු කරන' යන්න බවයි අපේ අත්තම්මා කිව්වේ. වචනයෙන් කි දෑ ක්රියාවෙන් ඔප්පු කල ඇය සූදුරු වලින් කල අත් බෙහෙත් මෙතෙකැයි කියා මට නිට්ටාවටම මතකයක් නැත. අද කාලයේ කාන්තාවන් සූදුරු පිළිබඳව දන්නේ එය තුනපහට එක් කර ගන්නා දෙයක් ලෙස පමණයි. දෙහිවල හන්දියේ විලියම් මුදලාලිගෙන් පැකට් කරපු තුනපහ ගෙදර ගෙනයන අම්මලා අද සමහර විට සූදුරු දැක තිබේද කියාත් මට හිතෙන වාර ගණන අනන්තයි.
 ආසියාවෙන් සොරාගෙන බටහිරට ගෙන ගොස් 'ප්රොක්ටර් ඇන්ඩ් ගැම්බල්' සමාගමේ නිපදවී නැවත අපටම විකිනෙන 'ග්රයිප් වෝටර්' (gripe water ) වල ඇත්තේ සූදුරු තම්බා ගත් වතුර බව ඔබ සමහර විට නොදන්නවා ඇති. ප්රොක්ටර් සහ ගැම්බල් මහත්වරු අප සමග ගැම්බ්ලින් කරන්නට පෙර මේ බව දැන සිටි අත්තම්මා නම් කාලේ බිළිඳුන්ගේ ඇතිවන උදරයේ පෙරලෙන වේදනාවන්ට ( colicy pain) සහනය සැලසුවේ යන්තම් කබලේ බැදගත් සූදුරු දෙමිටක් පිරිසිඳු භාජනයක වතුරේ තම්බා සුදු රෙදිකඩකින් පෙරා බිලිඳාට පෙවීමෙන්.

ආහාර අජිරනයක් නිසා ඇතිවන උදර වේදනාවට සහ ඔක්කාරයට නොවරදවා හැදුනු අත් බෙහෙතට එදා අපි කිව්වේ 'සූදුරු කෝපි' කියලයි. සූදුරු කබලේ බැද කුඩුකර, උතුරන වතුර කෝප්ප භාගයක් පමන දමා, දෙහි යුෂ බිංදු කීපයක් සමඟ සිනි තේ හැන්දක් දමා සාදා ගන්නා මේ අත් බේත අපුරු සුවඳකින් මෙන්ම රසයකින්ද යුක්තයි. සූදුරු දෙමිටක් කරාබු නැටි කීපයක් සමඟ ඇල් වතුරේ රැයක් දමා උදෑසන පෙරාගෙන වතුර කෝප්ප භාගයක් පමණ දවසට තුන් පාරක් බීමෙන් බඩ පිපුමට සහ මල බද්ධයට සහනය ලබා ගත හැකියි.

සූදුරු ඉඟුරු සමඟ තම්බා සාදා ගන්නා අගනා ඔසු පැන පිපාසය නිවාලන රසවත් පානයක් පමනක්මනොවෙයි, එමඟින් ශරීරයේ ප්රතිශක්තිය වැඩි වෙලා සෙම්ප්රතිශ්යාව වැනි නිතර සෑදෙන වයිරස ආසාධන වලින් වැලකි ඉන්න පුළුවන්. මේ ඔසුපැන සුව නින්දකටත් කදිම පිලියමක් .සෙම්ගෙඩි සහ දිගු කාලින ස්වසනරෝග නිසා මුඛයේ ඇතිවන දුර්ගන්ධය සූදුරු සහ කරදමුංගු තැම්බූ වතුරින් මුඛය සේදීමෙන් නැති කර ගන්නටත් පිළිවන්.

මව් කිරි අඩු අම්මලාට කිරි එරවිමට කෙරෙන බොහෝ ප්රතිකාර අතර පහසුවෙන්ම බොහෝ අය කල අත් බෙහෙතක් සූදුරු තම්බා කිරි දෙන මවට නිතරම පානයට දීම. තරුණ ළමයින්ගේ මුහුණේ ඇතිවන කුරුලෑ වැලක්විමටත්, සම පැහැපත්ව සුන්දරව තබා ගැනීමටත් රෙක්සෝනා භාවිතා කරන්නට පෙර අත්තම්මලා කිවේ සූදුරු සහ සුදු හඳුන් දෙහි යුෂ සමග මිශ් කර මුනේ තවරා සෝදා දමන්නටයි. මේ මට යන්තම් මතක් වූ එදා අපේ වැඩිහිටියන් සූදුරු භාවිතා කල ආකාර කීපයක් පමණයිආයුර්වේදයේ සහ සිංහල වෙදකමේ සූදුරු මිට වඩා පුළුල්ව භාවිතා වන බව නිසැකයි.

ආසියාවට සහ අරාබි දේශයන්ගේ සූදුරු වල මුල්සම්භවය ඇතිවු බව කියවුනද පසු කාලීනව දේශ ගවේෂකයන්ගේ සංචාරත් සමඟින් ලොව පුරා පැතිර ගිය සූදුරු අද වන විට ලොව වටා බොහෝ සුප වේධ පිණිසත්, ඖෂධිය භාවිතයටත් ගන්නවා. සූදුරු පැලෑටියට ඉතා තද රශ්නයක් අවශ්යයි,එනිසා තමයි අරාබිකරයේ සූදුරු හොඳින් වැඩි තිබෙන්නේ.වසර 5000 කට පමණ පෙර ඉජිප්තු වරුන් පිරමිඩ තුල මෘත ශරීර තැන්පත් කිරීමට පෙර යොදාගත් ඖෂධ අතර සූදුරු භාවිතා කර තිබෙනවා. මධ් කාලින යුගවල සූදුරු හඳුන්වා ඇත්තේ ආදරයේත් , සරු භාවයේත් සලකුණක් ලෙස. ඔවුන් විවාහයකදී මනාල යුවලට දෙන තෑගි බෝග අතර සූදුරු අනිවාර්ය වෙලා තිබෙනවා

රෝමවරුන් යුද්ධයට යාමට පෙර සුදුරු එක් කල පාන් ඔවුන් සමඟ රැගෙන ගොස් තිබෙන්නේ යුද්ධයේදී සිදුවන තුවාල ඉක්මනින් සුවකර ගන්නලු. මේ සමඟම මට අපේ සිංහල චාරිත්රයක් මතක් උනා. දෙවැනි ගමනේදී මනාලියගේ නව නිවසට මනාලියගේ දෙමව්පියන් ගෙනයන භාණ්ඩ අතර බොහෝ කුළුබඩු වර්ග තිබුනා. සූදුරු මේ අතර තිබු අනිවාර්ය කුළුබඩු වර්ගයක්

බටහිර පර්යේෂකයන් රසායනාගාර පර්යේෂණවලින් මේ අරුම පුදුම ඇට වර්ගයේ ගුණ විශ්ලේෂණය කර තිබෙනවා. ඔවුන් පවසන පරිදි මෙහි ඇති සංකීර්ණ රසායනිකයක් වන 'cumaldehyde' මගින් ආහාර මාර්ගයේ ඇති ග්රන්ථ උත්තේජනය කර ඒවායේ ශ්රාවයන් වැඩි කරන නිසා තමයි ආහාර දිරවීම සහ මලික්මනින් ඉවත් කර ආහාර මාර්ගයේ ඇතිවන විවිධ රෝගාබාධ සුව කිරීමේ හැකියාව සූදුරු වලට ඇත්තේ. සූදුරු වලට රුධිරගත සිනි අඩුකර නිතර භාවිතා කිරීමෙන් දියවැඩියාව වැලක්වීමේ හැකියාවක් ඇති බවත් ඔවුන් පවසනවා. සූදුරු වල ඔවුන් සොයාගෙන ඇති වෙන් කර හඳුනා ගත නොහැකි තවත් විශේෂිත රසායනයක් නිසා සිරුරේ ආතතිය දුරු කර නින්ද ලබා දීමේ හැකියාවක් ගැනත් කියවෙනවා.මේ හේතුව නිසාම මානසික ආතතිය නැතිවී, මතක තබා ගැනීමේ හැකියාවත් වැඩි වෙනවාලු.
සූදුරු වල ඇති ග්රන්ථි ශ්රාව උත්තේජනය කිරිමේ හැකියාව නිසාම පියයුරු වල ඇති මව් කිරි නිපදවෙන ග්රන්ථ උත්තේජනය වීමෙන්ලු සූදුරුබිව්වම මව්කිරි වැඩිවීම සිදුවන්නේ. ඛේට ග්රන්ථි උත්තේජනය වීමෙන් සෙම් ගෙඩි සුව වීමත් සහ ස්වසන රෝග වලදී පෙනහළු වල ඇතිවන අපහසුතා වළක්වන්නත් සූදුරු වලට ඇති විශ්මය ජනක හැකියාව අද බටහිර ලෝකය මවිත කරවනවා. මීටත් අමතරව සූදුරු වල වයිරස සහ බැක්ටීරියා වැනි ක්ෂුද් ජීවින්ට එරෙහිව ක්රියාත්මක වී (anti-microbial) ශරීරයේ ප්රතිශක්තිය වර්ධනය කරන්නටත්, ශරීරයෙන් ධුලක ඉවත් කිරීමටත් හැකි ගුණයක් ඇති බව කියවෙනවා.

ඉතින් මේ සා ගුණ ඇති සූදුරු දිනපතා තුන පහ තුලින් ආහාරයට ගද්දීත් අපේ මිනිසුන් මෙතරම් ලෙඩ වන්නේ ඇයි යයි ඔබට සිතේවි. මේ ගැටලුවටත් නුතන පර්යේෂකයෝම පිළිතුරු දී තිබෙනවා. සූදුරු ඇටය කුඩුකල පසු ඉතා කෙටි කලකින් එහි ඇති මේසියලු ගුණ විනාශ වන බවයි ඔවුන් කියන්නේ. අත්තම්මලා නම් කාලේ අත් ගලේ අඹරා ගත් සූදුරු තුන පහ එදිනම භාවිතයට ගැනීම තමයි සිදුකලේ. වෙනස් වී ඇති ජිවන රටාව සමඟ අද කාලයේ මේ ක්රම භාවිතා කිරීම කොතරම් කාලෝචිත දැයි යන්න අපට අද පැන නඟින ඊළඟ ගැටලුවයි. දිනපතා නොහැකි නම් අඩු ගානේ සතියකට වරක් ඔබට අවශ් තුනපහ නිවසේ සකස් කර ගැනීමෙන් ඔබේ බොහෝ වේද හෙද ගැටළු අඩු වී දිනකින් හෝ ආයු වැඩිකර ගැනීමට එයම උපකාර වේවි

රේණුකා විමලරත්න: ලන්ඩනයේ සිට
චායාරූප අන්තර්ජාලයෙන් (නම නොදත් ශිල්පීන්ට සම්පූර්ණ ගෞරවය හිමිවේ)






No comments:

Post a Comment