Tuesday 14 February 2017

රේණුකාගේ පලා මල්ල 9: වැල් පෙනෙල

                    වැලන්ටයින් චොකලට් වෙනුවට

           වැල්  පෙනෙල කෑවා නම් ...........



අද ආදරවන්තයින්ගේ දිනයලු ..හැමදාම ආදරය මරන අය   එක දවසක් ආදරය සමරන දවස කියලත් කවුදෝ කියනවා ඇහුන.. කියපු උන්දැගේ කටට නම් අමු කහ කෑල්ලක් දාන්න වටිනා තරම් කියමන..ආදරයේ ආහාරය  චොකලට් කියලා රුපියල් 100යේ චොකලට් එක සුපර් මාර්කට් එකේ අද විකිනෙන්නේ 1000ටළු..


චොකලට් හදන්නේ කොකෝවා ගෙඩියේ ඇට වලින්..පට්ටම තිත්ත කොකෝවා ඇට ගහෙන් කඩපු ගමන් අමුවෙන්  කන්න පුළුවන් නම් ආදරය කිරීම කෙසේ  වෙතත් ඔය කියන ආදර උන්මාදය නිසා ඇති විය හැකි මානසික ආතතිය සහ සිය දිවි නසා ගැනීම වැනි මානසික විකුර්තිතා වලින් වැළකීමත්, පෙම්වතා හැර ගිය පසු හාට් ඇටෑක් ඇති නොවෙන්න රුධිර නාල ටික සුද්ධ කරලා තියන්නත් පුළුවන්ලු..

අවාසනාවකට අද ගිලින චොකලට් පෙත්තේ මට්ටමට එන විට පෝෂක කොටස් සියල්ල විනාශ වෙලා කොකෝවා රසය රැදෙන කැලරි අධික සෞක්‍යයට අහිතකර සිනි ගුලියක් පමණයි ඉතිරි වෙන්නේ....

වැලන්ටයින් නමේ පද නිරුක්තිය මට තේරෙන අයුරින් සලකා බැලුවොත් මෙන්න මෙහෙමලු.. වැල් -අං-ටයින් .. කියන්නේ 'අං' තියෙන කට්ටිය පෙබරවාරි 14 වෙනිදා ආදරය කිරීමෙන් පසු එල්ලෙන්න වැල් හොයාගෙන යන .. පිරිමි ළමයින් ඊට පස්සේ ජිවත් වෙන්න අතේ සතේ නැති වීම/ගෑනු ළමයින්ගේ දෙමව්පියන් පසු පසින් හඹා ඒම..ගෑණු ළමයි ගැන දන්නවනේ නේ????

පෙම්වතුන්ගේ දවසේ දැනගන්න ලැබුණු තව රහසක් කියන්න මේ හදන්නේ.. ඔය කියන වැලන්ටයින් සිරිත ආරම්භ වුනේ අපේ රටෙන්මලු බොලේ..බොරු නම් මේන් මෙතනට ගිහින් වැඩි විස්තර බලා ගන්ට ඇහැකි

දැන් මං  මේ කියන්න යන්නේ වැලන්ටයින් දිනය අපේ රටෙන් ආරම්භ වීමට හේතුව නොහොත් අත්තම්මලා ආදරය කරන කාලයේ 'ප්‍රේමයේ ආහාරය ' ගැන..

අත්තම්මලාගේ 'ප්‍රේමයේ ආහාරය' වුනේ වැල් -පෙනෙල..වත්තේ පිටියේ ඉබේ හැදෙන නිසා විය පැහැදම් අංශයේ ගැටළුවක් වුනේ නැහැ..මේ ආහාරය නම් ආදරය එක දවසකට සිමා නොකර  වසර පුරාම සහ හැට පැන්නත් හොට බිම ඇනෙන්න නොදී මියෙන තුරු යුග දිවිය පුරාම ආදරයෙන් පවත්වා ගන්නට තරම් බලගතු එකක්..

වාජීකරණ ගුණ වලින් ඉහල වැල් -පෙනෙල අදටත් බොහෝ අය හිතා ඉන්නේ පිරිමින්ගේ ලිංගික ආශාවන් පුබුදුවන ඖෂධයක් ලෙස..නමුත් අද වන විට සොයාගෙන ඇති ආකාරයට පිරිමින්ට වාගේම හරි හරියට ගැහැණුන්ගේත් ලිංගික හැඟුම් පුබුදුවන්නට, කාන්තා හෝර්මෝන ක්‍රියාකාරිත්වය වැඩි කිරීම සහ ඩිම්භ  මෝචනයට වැල් පෙනෙල උපකාරී වෙනවා

අවසානයේ පුරුෂයාටම ලකුණු ලැබුනත් නිවසේ හැදෙන කැඳ කෝප්පය, බැදුම, කලවම් පලාව බොහෝ විට රස බැලීමේ සිට අපතේ නොයැවීම  දක්වා හේතු මත වැඩි පුර ආහාරයට ගැනෙන කාන්තාවම, නීති පොතේ ලියන විවාහ සංකල්පය ඇති වෙන්නට පෙර කාලයේ සිටම සැමියන් නිවසේ රඳවා ගැනීමට හේතු වූවා විය නොහැකිද?

වයස 35-40 පනින විට කාට කාටත් හැදෙන හන්දි රුදා, මහන්සිය  එක්ක ආදරය ගැන මොන කතාද කිව්වලු..එක දෙක රණ්ඩු සරුවල්, එයාට බැරි වුනාට මෙයාට පුලුවන්ද වගේ කාරනා හිතට එන්න ගන්නේ මේ කාලේදී..

නමුත් ආදරයේ ආහාරය නිතර බතට පිසෙන නිවසක මේ කතාව අදාළ  නැහැ..වැල්  පෙනෙල වල වාජීකරණ ගුණ වලට වඩා ඉදිරියෙන් සිටින්නේ සන්ධි ප්‍රධාහය  වැලක්වීමේ ගුණ..වැල් පෙනෙල නීතිපතා ආහාරයට ගැනීමෙන් ආර්තරයිටිස් රෝගය පහසුවෙන් වලක්වා ගත හැකියි



එමෙන්ම  වැල්  පෙනෙල කොළ සහ ඇට යුෂ පිරිසිඳු පොල් තෙල් සමඟ සින්දවා පහසුවෙන් සාදා ගත හැකි පෙනෙල තෙල ආදරය කෙසේ වෙතත් රෝගයෙන් පිඩා විඳින සන්ධි වල ආලේපයෙන් වේදනාව සමනය කර ගන්නට පුළුවන්.

වැලන්ටයින් දිනය කියන්නේ  ආදරය නොව චොකලට් බෝලයක්
පෙන්වා  ''කෑම'' සඳහා ගෑනු ළමයින් උස්සන දවසක් කියා තමයි මුණු පොතේ ඊයේ පෙරේදා දකින්න ලැබුනේ..

කෑම කිව්වාම කොහොමද අපේ 'ප්‍රේමයේ ආහාරය' අමතක කරන්නේ..වැල් පෙනෙල වල ආහාර රුචිය වැඩි කිරීමේ මහඟු ගුණයක් පවා තිබෙනකොට. 

ඕන පෙන්දෙක් කාල බිලා පන ගැහිලා එනවා විතරක් නම් මදෑ..  ආහාර මාර්ගය ශුද්ධ පවිත්‍ර වෙලා ජීරණ පද්ධතියේ ඇති වෙන  එකී නොකී සියලු රෝග සමහන් වෙන්නත් සතියට වරක් දෙකක් පෙනෙල කෑවාම හොඳටෝම ඇතිලු..

මල පනින්න තදවෙන මල බද්ධය තියෙන අයටත් මෙන්න ආරංචියක්..වැල් පෙනෙල වැලේ  පස් පංගුව (මුල්, මල්, ගෙඩි, කොල, දඬුකොටා එඬරු තෙල් සමඟ මිශ්‍රකර අර්ශෂ් නිසා ගුද මාර්ගයෙන් එලියට එන ලේ ගෙඩි වල ආලේප කිරීමෙන් සුවයලබා ගන්න පුළුවන්..

ලබ්බ බැසීමටත් මේ ක්‍රමයම   හොඳයි කියා තමයි කියන්නේ..එහෙම වෙච්ච කට්ටිය අත් හදා බලලා ප්‍රතිපල අපිටත් කිව්වා නම් තමා වඩා හොඳ.

ප්‍රේමයට මොන තරම් ආහාර ගත්තත් කාන්තා පක්ෂයේ උදවිය මුස්පේන්තු කමට හිටියොත් ඔය ආදරය කෙරෙන එක වෙන දෙයක් යයි..

අන්න එහෙම නොවෙන්න ක්‍රමයක් වැල් පෙනෙල වලින් නොසිතාම සිද්ධ වෙනවා..

කාන්තා පුරුෂ දෙපක්ෂයේම සම  නිරෝගී වෙන මහා බලයක් පෙනෙල කොලේ තිබෙනවා..අව්වට  පිච්චෙන සම ඉක්මනින් නැවත යතා තත්වයට පත් කරලා පැහැපත් කිරීම වාගේම අළුහම් , ගෙඩි , මුනේ කුරුලෑ වලක්වලා තරුණ පෙනුම රැක ගන්නත් කියාපු බෙහෙත..

මේ ගුණයම හිස් කබලට බල පෑමෙන් හිස් කෙස් නිරෝගිව වැවීම, හිස් හොරි වැලැක්වීම, අකලට හිසකෙස් සුදු වීම වගේ කාන්තාවන් මුස්පේන්තු කරන ආබාධ වලින් වැළකිලා ඉන්නත් පුළුවන්..හැමදාම ආදරය කරන්න මේ ලක්ෂණ වලට වඩා තවත් දේ නම් කුමට???

 හිස්හොරි වලින් පිඩා විඳින අයට වැල් පෙනෙල වලින් කල හැකි පුංචි අත් බෙහෙතක් මේ..කොළ රැයක් වතුරේ පොඟවා උදෑසන කොටා පෙඟවූ ජලයම කලවම් කර සාදාගන්න ආලේපනය කෙස් මුල් වල ගල්වා  සම්බාහනය කර පැයකින් පමණ සෝදා හරින්න..සතියකට දෙවරක් පමණ මාස තුනක්වත් මේ ප්‍රතිකාරය කර බලන්න..ප්‍රතිපල ඔබටම වැටහේවි..

කාන්තාවන්ගේ සෞක්‍යය සඳහා වැල්  පෙනෙල වල ඇති ගුණ මෙතකැයි කියා නිම කරන්නට බැරි තරම්..ප්‍රජනන පද්ධතියේ හෝමෝන උත්තේජනය නිසා ආර්ථවහරනයෙන් පසුව ඇතිවන අපහසුතා අඩු  කිරීමටත්..පනහ පැන්නත් ආදරය කිරීමටත් වැල් පෙනෙල උපකාර කර ගන්න පුළුවන්..  ආර්ථවහරනයෙන් පසුව කාන්තාවන්ට නිතර ඇතිවෙන  මුත්‍රා ආසාධන වැලැක්වීම සඳහාත් වැල් පෙනෙල අගනා පිලියමක්.

කෙටියෙන් කිවොත් 'වැල වීම' කල් දමා 'වල් වීම' පවත්වා ගන්න කියාපු ඖෂධේ.....

අද වන විට වැල් පෙනෙල ගැන කර ඇති බටහිර පර්යේෂණ වලින් පෙන්වා දෙන්නේ වැල් පෙනෙල  ඒඩ්ස් වයිරසය සහ ගොනෝරියා රෝගය මර්ධනය කල හැකි ගුණ වලින් සංයුක්ත බවයි..වැල් පෙනෙල ආදරයේ ආහාරය යයි කියන්නට මීටත් වඩා සාධක නම් කුමකටද?

ආයුර්වේදයේ සහ දේශීය වෙදකමේ සර්වාංග රෝග සඳහා ගැනෙන වැල් පෙනෙල වල ගුණ ලියා මෙතෙකින් අවසන් කල නොහැකි මුත් වැලන්ටයින්ලා  යුද්ධ ප්‍රකාශකිරීමේ අවධානයෙන් මිදෙන්නට  මෙතකින් නවත්වමි. 



අත්තම්මාගේ ''ආදරයේ ආහාරය'' සදා වැජඹේවා....

වැල්  පෙනෙල පිළියෙළ කර ගත හැකි ක්‍රම :

 
කොළ කැඳ  තනිවම හෝ වෙනත් පලා වර්ග සමඟ
වැල් පෙනෙල කොළ බැදුම/තෙල් දැමුම
කොස් ඇට /පරිප්පු දමා ව්යංජනය
මැල්ලුම /කලවම් පලා මැල්ලුම

රේණුකා විමලරත්න : ලන්ඩනයේ සිට
චායාරූප අන්තර්ජාලයෙන්

References


12 comments:

  1. දැනෙන්න ලියලා ..ජය වේවා !!!

    ReplyDelete
    Replies
    1. ටැංකියු වේවා ඔබ තුමාට

      Delete
    2. වැල් පෙනෙල සලාදයත් ඒ වගේම රස කෑමක්. වැල් පෙනෙල දළු ටිකක් හොඳින් සෝදා ගෙන වතුර බේරෙන්න තියන්න​.කපාගත් රතු ළූණු හෝ ලොකු ළූණූ ටිකක් ,කපාගත්අමු මිරිස්කරල් දෙකක් පමණ,පොල් ටිකක්, ලුණු හා දෙහි වාගේම අවශ්‍ය නම් උම්බලකඩ ටිකකුත් දමලා හොඳින් අතින් කලවම් කරන්න​.ඊට පස්සේ සෝදා ගත් පෙනෙල දලු ටික එක් කර අතින් කලවම් කරන්න​.හරිම රස කෑමක්. ඔබගේ පොස්ට් මම බොහෝ විට කියවනවා.හරිම අගෙයි.පංකාදුයි. :)

      Delete
    3. බොහොම ස්තුතියි ඔබතුමාට, ඒ වගේම ගොටුකොල වැල් දොඩම් කොළ සලාදය වගේ දෙකට කලවමට එකතු කරන්නත් පුළුවන්, තිත්ත ගතිය අඩුවෙනවා එතකොට..හැබැයි හොඳට දෙහි ඇඹුල් දැම්මාම ඔය සේරම නැතිව නියම රහයි..

      Delete
    4. රේණුකා අත්තම්මාගේ රුවැති බවේ රහස දැනගත්තා අපිත් ...........(විහිළුවක් කලේ). ඔබගේ මේ ලිපියට බොහොම ස්තුතියි මොකද ඔබ මෙයට references වලට අරන් තියෙන්නේ ඉතාමත් වැදගත් අන්තර්ජාල පිටුවලින්. ඔබ වෛද්‍ය විද්‍යා ක්‍ෂේත්‍රයේ හැදෑරීමක් කරන කෙනෙක් වගෙයි. කොහොම නමුත් ඔබට ස්තුතියි නැවතත්. ඔබේ කටයුතු මොනවාවුනත් ඔබට ජය වේවා.

      Delete
    5. දන්නදා ඉඳන් ලෙඩ එක්කමයි ජිවිතේ.. බ්ලොග් එකට කවුරු හරි ලෙඩක් දැම්මොත් කියලා ඒකටත් ප්‍රතිකාරයක් ලෙස අල ගිය තැන මුල ගියතැන් රෙඵරන්ස් දාන්නේ..ඔබතුමාටත් ජයෙන් ජයම වේවා..වැල් පෙනෙල කෑවා සේ ජිවිතයද රසවත් වේවා ;)

      Delete
  2. wal penala saka/ gitelin malawa ka

    ReplyDelete
    Replies
    1. හා හා...ඉතිරි ටිකත් කියමු එහෙනම්..අත් හදා බලලම කියනවදෝ මන්දා...

      Delete
  3. im gonna add ur blog to http://ambagaha.blogspot.com/. hope u are ok with it.

    ReplyDelete
    Replies
    1. අවුලක් නැහැ..කොත්තු සංස්කෘතියෙන් ඔබ්බට උඩුගම් බලා යන්න දෙන තල්ලුවට බෑ කියන්න වටිනවායෑ.. අටන්පහුරේ අටන් ළමයා බැකප් එකක් දෙනවා මට..ජයවේවා එහෙනම් ඔබතුමාටත්..

      Delete
  4. අමුවෙන්ම ලියලා. එකත් හොඳයි. අපේ උන්දලාට හොඳට තෙරෙන්නේ එහෙම කීවම තමයි. ස්තුතියි ඔබතුමියට.

    ReplyDelete
  5. වැල් පෙනෙල ශාඛා
    ගිතෙලෙන් මලවලා කා
    තම අඹු නොතකනා
    සියක් අඹුවන් පතයි ඒකා

    ReplyDelete