Tuesday, 16 May 2017

ශබ්ද දුෂණය ගැන ඔබ නොදත් දෑ Health Effects of Noise Pollution

                   හතර බීරි කතාවක් 


රජ වාසලේ මහා ඝෝසාවක් ඇහිලා රජතුමා හේතුව හොයා බලන්න රාජ සේවකයන්ට අණ කළා..අන්දරේ කල විහිළුවක් නිසා දෙදෙනාට දෙදෙනා කන් ඇසෙන්නේ නැති බව සිතාගෙන  රජ බිසවත්, අන්දරේගේ  බිරින්දෑත් මහා හඬින් කල සංවාදය තමා රජතුමාට මේ ඝෝසාවක් ලෙස ඇහිලා තිබුනේ.. අද වෙන විට දෙදෙනෙකුගේ සාමාන්‍ය  කතා බහක් පවා  මේ විධියයි. පාසල් දරුවාගේ සිට හැට  පැනපු වැඩිහිටියාගේ දක්වාම කාගේත් කතාව මහා හඬින් ....

ලෝකයේ ඇතැම් සංස්කෘති වල මිනිසුන්  කතා කරන්නේ බොහෝ ශබ්ද  නගා..උදාහරණයකට අප්‍රිකානු  ජාතිකයින් හඳුන්වන්න පුළුවන්.. කලකට පෙර බොහොම සෙමෙන් කතා බහ කල ලාංකිකයින් අදවෙන විට කතා කරන්නේත් බොහෝ ශබ්ද නගා.. පොදු ස්ථානයක හෝ සමිති සමාගමක කීප දෙනෙක් එකතු වූ විට වේවා, නිවසේ සාමාජිකයින් අතරේ හෝ කතා බහ බොහොම ශබ්දයෙන්.. 

මෙයට හේතුව ලෙස විද්වතුන් දක්වන්නේ අඩු වයසෙන් සිදු වෙන ඇසීමේ දුර්වල කම. කන් ඇසීම දුර්වල කෙනෙකුට තමන් ශබ්ද නගා කතා කරන බව දැනෙන්නේ නැහැ ..

කාර්මික විප්ලවයත් සමඟ ලොව පුරා සියලු කාර්යයන්ට යන්ත් සුත් භාවිතය ආරම්භ වුනා..වුර්තිය  මට්ටමේ කර්මාන්ත ශාලාවල වැඩ කරන අය පමණක් නොවෙයි එදිනෙදා ගෙදර දොරේ කටයුතු වලදී කාන්තාවන් පවා යන්ත්‍ර  වල සහයෝගය පැතීමෙන් තමන්ගේ පරිසරය මහා ඝෝෂාවකින් පුරවාගෙන. සංගීත භාණ්ඩ, දවස පුරා සාලය මැද බෙරිහන් දෙන රූපවාහිනිය, ගුවන් විදුලිය පුංචි උදාහරණ කීපයක් පමණයි.. 

නලාවෙන් රිය පැදවිය හැකි ලෝකයේ එකම රට  හඳුන්වන තරමට  වාහන නලා අපයෝජනය අපේ රටේ ඉහලයි. ඊට අමතරව  වාහන එන්ජිම්, ලොතරැයි කරත්ත, සංගීත කඩ සහ වෙනත් දහසක් ශබ්ද වලින් කන් පුරවාගෙන දිනපතා රැකියාවට/ පාසලට යන්නේ. ඒ ශබ්ද අභිභවා මග දිග හමුවන කෙනෙකුට සුහදව කතා කරන්නත් බෙරිහන් දෙන්න ඕන බව සමහර විට  ඔබටම නොදැනෙන්න  ඇති..

මේ සියල්ල අයත් වෙන්නේ ඔබ දිනපතා රාජකාරි ස්ථානයේ අත් විඳින ශබ්ද වලට අමතරව..උදාහරණයක් ලෙස ගුරුවරියකට පාසලක දරුවන්ගේ ඝෝෂාව හෝ  ඇඟලුම් කර්මාන්ත ආයතනයක වැඩ කරන කෙනෙකුට යන්ත්‍ර වල ශබ්දය මෙයටම් එකතු කර ගන්න පුළුවන්..

ශබ්දය මනින ඩෙසිබල් ඒකක 85කට වඩා වැඩි ශබ්දයකට දවසට පැය අටකට වඩා දිගු කාලයක් නිරාවරණය වන කෙනෙකු අකාලයේ අර්ධව හෝ සම්පුර්ණයෙන් බිහිරි වීමේ අධි සම්භාවිතාවයක් ඇති බවයි ලෝක සෞක්‍ය සංවිධානය පවසන්නේ..

ඩෙසිබල් ඒකක 85ක් සමාන වන්නේ සාමාන් ලොරියක හෝ මගී බස් රථයක එන්ජිම මගින් ඇති කරන ශබ්දයට..මෙය  නිදසුනකට ගත් විට ඔබ දිනපතා ලක්වන ශබ්ද දුෂණයේ තරම ඔබටම හිතා ගන්න පුළුවන් වේවි..

 කුඩා දරුවන් බිහිරි වන්නට අවශ්‍ය මිට වඩා අඩු ශබ්ද සංක්යාතයක්. වැඩිහිටියන් තමන්ට පාලනය කල නොහැකි බාහිර පරිසර හේතු නිසා සෙමෙන් බිහිරි වෙමින් සිටියත් අද වන විට දරුවන් වැඩිහිටි අයගේ අවධානය නැති කම නිසා වේගයෙන් බිහිරි වෙමින් පවතින බව තමයි පර්යේෂකයෝ පවසන්නේ.


ඊට හේතුව නවීන තාක්ෂණික ජංගම දුරකථන, ටැබ්ලට්, පරිඝනක, සංගීත භාණ්ඩ  භාවිතාවේදී කනේ ගසාගෙන සිටින ඇබ (Head Phones). 2011 දී ඇමෙරිකාවේ කල සංඝනන වාර්තාවකට අනුව  වයස අවුරුදු 6-19ත් අතර දරුවන්ගෙන් 12.5%කට ඇසීමේ දුර්වලතා සොයාගෙන තියෙනවා. මේ තත්වය නිසි ලෙස නගර සැලසුම් නොකළ ශබ්ද දුෂණය වලක්වා ගැනීමට නීති මාලා රහිත  තුන් වන ලෝකයේ රටවල මිට වඩා ඉහල බවයි සැලකෙන්නේ..

දශක එකහමාරකට පසුව තාක්ෂණයේ මේ අංශ වල ඇති වූ දියුණුව සහ ඒවා භාවිතයට දරුවන්ගේ ඇති යොමුවීම සලකා බලන විට අපේ රටේ අනාගත පරපුර සම්පුරණයෙන් බිහිරි වීමත් වැඩි ඈතක නොවන තරම්..

මේ ළමයට කොච්චර කිව්වත් කනකට ගන්නේ නැහැනේ..


මේ
විධියට කියන අම්මලා දවසට කි දෙනෙක් ඔබට හමු වෙලා තිබෙනවාද..? 


නමුත්
ඇත්තම කාරණය නම් බොහෝ ළමයින්ට අම්මලා කියන දේ කනට නොවැටීම කියා නිකන් වත් හිතුනද? ළමයා මවට ගුරුවරයාට ප්‍රතිචාර නොදක්වන්නේ ඇත්තටම ඔවුන්ගේ ඇසීම දුර්වල වීම නිසා වෙන්න පුළුවන්. ඉගෙන ගන්නා වයසේ දරුවන්ගේ කන් ඇසීම දුර්වල වීම ඔවුන්ගේ අධ්‍යාපන බාධා, හැසිරීමේ වෙනස් කම්, මානසික ගැටළු ඇතිවන පසු කාලීනව පවුලට රටකට ආර්ථිකව බලපාන විශාල සෞක්‍ය ගැටළුවක්.

ශබ්ද දුෂණය දරුවන්ගේ ඉගෙන ගැනීමට කෙරෙන බලපෑම ගැන පර්යේෂණයක යෙදුනු  බ්‍රිතාන්‍ය මහාචාර්ය  Stephen Stansfeld මහතා  පෙන්වා දෙන්නේ ගුවන් තොටුපල හෝ ප්‍රධාන මාර්ග අසල වෙසෙන දරුවන්ගේ අකුරු කියවීමේ හැකියාව නිස්කලංක පරිසරයක වෙසෙන දරුවකුට වඩා මාස දෙකක් පමා විය හැකි බව..

''මොකෝ කිරන්නේ..ඊයේ රෑ නිදා ගත්තේ නැද්ද?'

''ඊයෙත් මට නින්ද ගියේ නැහැනේ..''


කාර්යාල වල නිතර ඇසෙන දෙබසක් මේ...නින්ද ඔබට අහිමි කරන්නේ දහවල් දවස පුරා ඔබේ කන පිරවුණු ශබ්දය බව බොහෝ දෙනෙක් නොදන්නා කරුණක්. මෑතකදී ප්‍රවුර්ති සාකච්චාවකට අදහස් දැක්වූ ලෝක සෞක්‍ය සංවිධානයේ වෛද්‍ය  Rokho Kim මහතා මේ පිලිබඳ අදහස් දක්වමින් පැවසුයේ දරුවන්ගේ මෙන්ම වැඩිහිටියන්ගේත්  හදිසි අනතුරු වලට අන්වර්ථ හේතුව  ශබ්ද දුෂණය නිසා රාත්‍රී කාලයේ නින්දට සිදුවන බාධාව බවයි.

 වෛද්‍ය Deepak Prasher මහතා ( professor of audiology at University College London) කල පරීක්ෂණයක දත්ත ඇසුරෙන් කියවෙන්නේ හදවත් රෝගීන්ගේ මරණ වලින් 3%කට හේතුව ශබ්ද දුෂණය බව. වැඩි ශබ්ද වලට ගොදුරු වීමෙන් ශරීරයේ ආතතියට සම්බන්ධ හෝමෝන අධි මට්ටමේ පැවතී පසුව සිරුරේ භෞතික වෙනස් කම් නිසා ඇතිවන හදවත් රෝග ගණයටයි මේ මරණ අයත් වෙන්නේ..



මිට අමතරව මානසික ආතතිය, නිතර තරහා යාම, අධික මහන්සිය,කාලින හිසරදය, තීරණ ගැනීමට අපහසුව, අදහස් ප්රකාශ කිරීමේ නොහැකියාව පමණක් නොවේ  මානසික රෝග රෝග වලට පවා ශබ්ද දුෂණය හේතුවන බව මේ වන විට සොයාගෙන තිබෙනවා..

ශබ්ද දුෂණය සමාජයේ පුද්ගලයින්ට තනිවම විසඳා ගත හැකි ගැටළුවක් නොවෙයි. එය රටක නීති මගින් සෞක්‍ය  බලධාරින්ගේ මැදිහත්වීමෙන් සිදුවිය  යුතු ක්‍රියාවක්. 

උදාහරණ ලෙස  මාර්ග නීති අනුගමනය කරන්නට සැලසුම් යෙදීමෙන් නලාවෙන් රිය පැදවීම පහසුවෙන් වලක්වා ගන්න පුළුවන්. දියුණු රටවල  හදිසි අනතුරක් වලක්වා ගැනීමට හැර නලාව හඬවිම දඬුවම් ලැබිය යුතු වරදක්..කර්මාන්ත ශාලා වල යන්ත්‍ර සුත්‍ර භාවිතයේදී ශබ්දය සම්බන්ධ සෞක්‍ය සහ ආරක්ෂිත නීති (health and safety regulations) සම්පාදනය තවත් උදාහරණයක්

රුපවාහිනිය / ගුවන් විදුලිය/සංගීත භාණ්ඩ ශබ්දය අඩුවෙන් භාවිතා කිරීම වාගේම උපකරණ භාවිතය සිමා කිරීම හෝ එකිනෙකාට බෙරිහන් දීමෙන් වැලකීමෙන්  අකාලයේ බිහිරි වීම හෝ නින්ද අහිමි කර ගැනීම නිවසේදී ඔබටම වලකා ගන්න පුළුවන්.

 සංගීත භාණ්ඩ ඇතුළු නූතන ඩිජිටල් තාක්ෂණික උපකරණ වල නිෂ්පාදකයා සෞක්‍යයට අහිතකර ශබ්ද මට්ටම ගැන අනතුරු දක්වා තිබෙනවාමේ උපදෙස් පිලිපදීමින් හිතකර මට්ටමට  ශබ්දය පාලනය කිරීමට දරුවන් දැනුවත් කිරීම  සහ  දරුවන් මෙම උපකරණ භාවිතා කරන  කාලය පාලනය කිරීමෙන්  දෙමවුපියන්ට දරුවන් අකාලයේ බිහිරි වීම නවතා ගන්න පුළුවන්.

කෘත්‍රිම ඩිජිටල් සංගීතය  වෙනුවට දරුවන්ට ස්වභාවික පරිසරයේ කුරුළු ශබ්ද, සුළඟ, වතුර ගලායාම වැනි ශබ්ද ඇසීමට පුරුදු කිරීම දරුවන්ගේ රසාස්වාදය, නිර්මාණාත්මක හැකියාවන්, අධ්‍යාපන වැඩි දියුණු වන කන් ඇසීම  තිව්‍ර කෙරෙන අභ්‍යාසයක් ලෙසයි සැලකෙන්නේ..වැඩිහිටියටත් මෙය මානසික ආතතිය දුරුකර ආධ්‍යාත්මික දියුණුව ඇති කරගත හැකි පහසු ක්‍රමයක්..

ගැන අපි පසු ලිපියකින් සාකච්චා කරමු.

References:

රේණුකා විමලරත්න: ලන්ඩනයේ සිට 

චායාරූප අන්තර්ජාලයෙන් 




3 comments:

  1. ඉතා වැදගත් ලිපියක්. පාරේ යනවිට 3 වීලර් සහ මෝටර් සයිකල් වල නලාව නාද නොකරන වෙලාවක් නැහැ. දැනට අවුරුදු 30 කට පමණ පෙර කොළඹ නගර සීමාවේ නලා හැඬවීම තහනම් කර තිබුනා. දැන් ඒ තහනම ආ ගිය අතක් නැහැ. බලධාරීනුත්, පොලිසියත් බීරි අලින් වගේ ඔහේ ඉන්නවා.

    ReplyDelete
  2. අද තමා මට කියවන්න ඉඩ ලබුනේ. බොහොම වටිනා විස්තරයක් ... ඉස්තුති මිතුරිය ...නවලිය කොහිල විස්තරේ බලන්න මේ යන ගමන්. ජයවේවා!

    ReplyDelete
  3. කාට කියන්නද කවුරු අහන්නද? චුන් පාන්, ලොතරැයි කූඩු, හයියෙන් දාල තිබ්බොත් තෑගි දෙන මාධ්‍ය ශබ්දය කියන එකත් වෙළඳ භාණ්ඩයක් කරලා. ඒ මදිවට උපරිම හඬින් තමාම අහන ඉයර්ෆෝන් වලින් තමාට ඇහෙන ශබ්දේ නිසා කනට වෙන හානිය. කුස්සියේ වැඩ කරන අපිම බලන්නකෝ බ්ලෙන්ඩර් ග්‍රයින්ඩර්..
    පිරිත් ටිකක් හයියෙන් දැම්මොත් තමයි උසාවි යන්නේ.
    කාගේත් අවධනය යොමුවිය යුතු ලිපියක්.

    ReplyDelete