Friday, 22 July 2016

කයිදම් බතේ වර්ණනාව

                                     කයිදම් බතේ වර්ණනාව  


බොහෝ කලකට පසු අස්වනු නෙලා ගොඩ ගෙනවිත් සෞභාග්යය සමරන සිංහල අවුරුදු කාලයේ ගමරට බලා යන්නට මෙවර සිංහල අවුරුද්දේදී අපට භාග්යය ලැබුණි. හදවතේ ඇඳි අවුරුදු සිතුවම් සමඟ ලක්බිමට ගොඩ බැසී අපගේ සිහින සිතුවම් තෙමි වියකි යන්නට ගත වූයේ දින දෙක තුනකටත් වඩා අඩු කාලයක්.. පුරුදු ලෙස ගමේ ගොවිතැන් බත් කටයුතු කෙරෙතත් එය කෙතරම් යාන්ත්රික වී හා සබැඳුනු වත් පිළිවෙත් අපෙන් ඇත්වී ගිහින්ද.. 

පොලව කෙටිමෙන් ආරම්භ වන ගොවිතැන් වැඩ ඉන් අනතුරුව මැඩවීම, වී ඉසීම, අඩු තැන් වල පැල ඉන්දවිම දක්වා කාලයද, අස්වනු නෙලා ගෙට ගන්නා කාලයද  ගම්මානයේ සියලු දෙනාටම ඉතාමත් කාර්ය බහුල කාලයකි. මේ කාර්යයන් සියල්ල සිදුවන්නේ සාමුහිකව මිස තනි තනිව නොවේ. සියල්ලෝම එක සේ කය වෙහෙසා වැඩ කෙරෙන කාලයක් වුව ගැන මැසිවිලි කීමක් කාගෙන් වත් සිදුවන්නේ නැත.


වෙහෙසකර වූ ගොවිතැන් වැඩ කටයුතු වෙහෙසක් නැතුවා සේ කරගෙන යාමට කුඹුරේ කමතේ සිදුවන රසවත් සිදුවීම් මනා උපකාරයක් වුවත්, ඊටත් වඩා උපකාරී වන්නේ ගෙවිලියන් රසවත් ලෙස සාදන කයිදම් බතයි. විවිද පලාත් වල වෑදම් බත, ඇඹුල වැනි නම් වලින් හඳුන්වන, කුඹුරු නියරේ හෝ අවට ගස් සෙවනක වාඩි වී කෙසෙල් කොලයට හෝ නෙලුම් කොලයට බෙදා ආහාරයට ගන්නා දිවා ආහාරයේ ඇත්තේ දිව්යමය රසයක්.


කයිදම් බත තරමට සම බර - සම බල ආහාරයක් මා මින් පෙර වෙන කොහේදී හෝ අත්දැක රස විඳ නැතැයි කිවොත් නිවැරදියි. මේ ලිපියෙන් මා විස්තර කිරීමට යන්නේ කයිදම් බතේ පෝෂණ ගුණ සම බර කර ගැනීමට එදා අපේ ගෙවිලියන්ට තිබු හැකියාව ගැනයි

කයිදම් බත සඳහා එදා යොදා ගැනුනේ රතු මානික්කම්, සුවදැල්, කළු හීනටි වැනි අපේ රසවත් සහලින් පිසූ සුවඳ හමන බත් වර්ග. මේ සහල් වලින් පිසූ බත් දිරවීමට පැය ගනානාවක් ගත වන අතර ශක්තිය සෙමෙන් සැපයීම නිසා කුස ගිනි ඇතිවීමක් හෝ වෙහෙසක් දැනීමකින් තොරව පැය 7-8ක් වුවත් එක දිගට කය වෙහෙසා වැඩ කිරීමට හැකියාව ලැබෙනවා. එමෙන්ම මේ සහල් විටමින් බි, ෆෝලික් ඇසිඩ් වැනි විටමින් වර්ගයන්ගෙන්ද, වෙනත් ඛනිජ වර්ග වලින්ද පොහොසත්. මේ බත ගෙන එන්නේ බොහෝවිට සවැන්දරා කොළ වලින් සැකසු පෙට්ටි හෝ පන් පෙට්ටි වල අතුරා කෙසෙල් කොළ උඩට අතුරා.උණු බත මේ පෙට්ටිවල ඇතිරූ විට ආහාර රුචිය වඩවන අපූරු සුවඳක් සමඟ රසයක් බතට එකතු වෙනවා.
බත සමඟ ව්ය්නජන කීපයක්ම රැගෙන ඒම සාමන්ය සිරිතක්. ව්යංජන ගණන තීරණය වන්නේ දිනයේ වැඩ කෙරෙන කුඹුරේ අයිති කරුවාගේ ඇති හැකි ප්රමාණය අනුවයි. සාමාන්යයෙන් ගම් මුලාදැනි හෝ ආරච්චි මහතෙකුගේ කුඹුරු කට්ටියේ නම් වෑදම බොහෝ ජයට ව්යංජන හත අටකින් යුතු වෙනවා.


  මේ ව්යංජන වර්ග අතර කොස්, දෙල් හෝ ගමේ වැඩෙන අල වර්ගයක්, ලුණු මිරිසක්, අමු පොල්, කොළ වර්ගයක්, ගමේ ගොඩේ බහුල එළවලු වර්ග දෙකක් පමණ, කරවල හෝ මාළු වර්ගයක් සමඟ ඇතැම් විට ධාන්ය වර්ගයකුත් ඇතුල් වෙනවා. විශේෂත්වය වන්නේ මේ සියල්ල තමන්ගේ වට පිටාවෙන් සොයා ගන්නා දෑ වීමයි.

කොස්, දෙල්, මයියොක්කා වැනි අල වර්ග වල අඩංගු වන්නේ ඉක්මනින් දිරවන පිෂ්ඨය. නිසා බතෙන් සපයන ශක්තියට අමතරව කය වෙහෙසීමට හදිසියේ අවශ්ය වන ශක්තිය මේ වර්ග වලින් සපයා පිෂ්ඨ සමබර තාවයක් ඇති කෙරෙනවා

මේ සමඟ ආහාරයට ගන්නා අමු පොල් සහ ලුණුමිරිස ශරීරයේ වෙහෙස මග හැර ක්ෂණික නැවුම් බවක් ලබා දී වෙහෙස අමතක කරවා ශරීරය උත්තේජනය කරන අතරම ආහාර රුචිය වඩවනවා



එළවලු වර්ග ලෙස පිසෙන්නේ ගමේ ගොඩේ කාලයට සුලභ දේවල්. වට්ටක්කා, කැකිරි, මෑ කරල්, කරවිල, කෙසෙල් මුව, බණ්ඩක්කා, පතෝල, වැටකොළු වැනි එළවලු වර්ගයක් දෙකක් අනිවාර්යයෙන් ඇඹුලට එකතු වෙනවා. එළවලු බොහෝ විට පිසින්නේ රතුළුණු උම්බලකඩ දමා හිදෙන්නට, ගෙන යාමේ පහසුවටත්, ඉක්මනින් නරක් වීම වළක්වාලීමටත්, රසය වැඩි කර ගැනීමටත්. මෙවැනි එළවලු තන්තුවලින් සහ විටමින් වර්ග වලින් පිරි තිබෙනවා.

  විටමින් බහුල නිසා කය වෙහෙසා වැඩ කරන්නන්ගේ ගෙවුණු පටක ඉක්මනින් අලුත් වැඩියා කර ඔවුන්ගේ වකුගඩු, හදවත් නිරෝගිව තැබීමටත් ඒවා ඉවහල් වෙනවා. කරවිල, දියලබු වැනි අපේ බොහෝ එළවලු වල ඇති පොදු ගුණාංගයක් තමා පරපෝෂිත ආසාධන වැළක්වීමේ හැකියාව. දවස පුරා මඩ වතුරේ නිරුවත් දෙපා ගැටෙන ගොවි මහතුන්ට සම විද ඇතුළුවන පරපෝෂිත ආසාදන (මැලේරියාව, පණු ආසාදන) වලක්වා ගැනීමට හැකි ප්රතිශක්තිය ලබා දීමට ප්රවේශමින් වෑදමට තෝරාගත් මේ එළවලු වර්ග උපකාරී වුනා.

කොළ වර්ග බැලුවොත් ඒවාත් අනිවාර්යයෙන් ගමේ එදා දිනයේ පහසුවෙන් සොයා ගත හැකි වර්ගයක්. ගොටුකොල, මුකුනුවැන්නා, තෙබු කොළ, කොහිල, මඩුදලු, සාරන, නිවිති, කන්කුන් වැනි දෙයක් ගැලපෙන සේ පිසීමෙන්, මලවිමෙන් හෝ සම්බෝලයක් ලෙස එක්කිරීමට එදා ගෙවිලියෝ දක්ෂ වුවා. මේ සියලුම වර්ග යකඩ, විටමින් අධික පලාවර්ග. ගුණ නම් ලියා ඉවර කරන්නටත් අපහසුයි. මල බධ්ධය වලක්වා, අහාර මාර්ගය පිරිසිදු කර ශරීරය සුවසේ පවත්වා ගැනීමට කොළ වර්ග වල ඇති හැකියාව හරිම අපූරුයි.

  බොහෝ කොළවර්ග වල ඇති ප්රධාහය වැළක්වීමේ හැකියාව වෙහෙස වී වැඩ කරන්නන්ගේ හන්දිපත් අමාරු මැඩලීමට උපකාර වෙනවා. එපමණක් නොවෙයි පසු දින නැවතත් පහසුවෙන් වැඩ කිරීමටත් සුව නින්දකටත් උපකාරවනවා.කය වෙහෙසා කුඹුරේ වැඩ කල තමන්ගේ ස්වාමියන්ට , පියවරුන්ට සහ පුතුන්ට මේ ගුණ අඩු නැතිව ලබා දෙන්නට ඇඹුල සැකසු ගෙවිලියන් දැන සිටියා.

 කයිදම් බතට මස් වර්ග අඩංගු වුනේ නැහැ. පළාතේ ආකාරයට වැව් මාළු හෝ මුහුදු මාළු එසේ නැතිනම් කරවල හොද්දක් තමා එක්වුයේ. ලවන අධික කරවල වලින් දහදිය නිසා ශරීරයෙන් පිටවන ලවන යම් ප්රමානයකයකට නැවත සිරුරට ලබා දීමක් සිදු කෙරුනා. මාළු කරවල වලින් සැපයෙන ප්රෝටීන් මගින් පටක අලුත්වැඩියාව ඉක්මන් කෙරෙනවා. වෙහෙස වී වැඩ කරන්නන්ගේ පටක ඉක්මනින් අලුත්වැඩියාව ඉතා වැදගත්.



 අතුරුපසට එක්වුයේ ගෙවත්තක ඉඳුණු වැල වරකා, අඹ, අනෝදා, අන්නාසි, ගස්ලබු වැනි පළතුරක්. කයිදම් බතේ බර අඩුකර දිවට නැවුම් රසයකුත් කුසට සැහැල්ලුවකුත් ලබාදී බතේ තිබු සියලු පෝෂක ඉක්මනින් සහ මනාව ශරීරයට අවශෝෂණය කරවීමට මේ පලතුරු වල තිබු විටමින් වර්ග උපකාරී වුනා.

 මෑතකදී කයිදම් බතක් මා දැක නැත. නමුත් පවතින වට පිටාවට අනුව අද කයිදම් බතේ අඩංගු වීමට හැකි දෑ ගැන සිතුවමක් මගේ මනසේ මැවී තිබේ. මැගී සුප් කැට දමා එළවලු තෙලෙන් තෙම්පරාදු කල අල හෝ පරිප්පු සමඟ, ෆ්රයිඩ් රයිස් හෝ සම්බා බත්, චිකන් නගට්ස් හෝ කීල්ස් සොසේජස්, රස කාරක සමඟ දඩයම් බට්ටන් සමඟින් පානයට කොකා කෝලා.



අප පසුකර ගිය එක ගම්මානයක් ගොයම් නෙලන අවස්තාවක් දුටිමි..සුනාමිය හෝ භූතයා නමැති මහා පරිමාන යන්ත්රයකින් පැය දෙක තුනකදී අක්කර ගණනාවකදී ගොයම් කපා සුලන් කර අස්වැන්න මලු කර අවසන් කරයි..කාලයේ වෙනසත් සමඟ ගොවි ජනතාවට මේ වෙනස සමඟ වෙනස් වීමට සිදුවීම ගැන තර්කයක් නැත.. නමුත් කණ්ඩායම් හැඟීම,සමගිය,නායකත්වය,බෙදා හදා ගැනීම ප්රගුණ කල නෙලුම් කවියෙන්ගොයම් පෑගිල්ලෙන් තුන් සරණය සිහිකළ..අපේ සුන්දර ගම අපට අහිමිව ඇත..කයිදම් බතේ රස අද අතීත සිතුවක් පමණක්ව  ඇත.. 

 රේණුකා විමලරත්න: ලන්ඩනයේ සිට
චායාරූප අන්තර්ජාලයෙනි




Monday, 18 July 2016

බුලත් Betel Leaves

                    රේණුකාගේ පලා මල්ල 5

                                 බුලත් 
මගේ මේ පලාමල්ලෙත් අරකයි මේකයි නැති දෙයක් නැහැනේ ආයිබෝං ..පලා නොවුනත් කොහේ ගියත් කන පලා ගන්නේ නැතිව එන්න පුළුවන් බුලත් අතක් දුන්නම..අපේ කට්ටිය කූල් ඩවුන් කරන්න පුළුවන් එක විධියක් නොවැ ..ඔය අම්ම අප්පා එපා කියලා හඳපානේ යන කොල්ලෝ කුරුට්ටෝ ආයි  දෙමහල්ලෝ බලන්න එන්නෙත්..පුරාන තාලෙට වෙද ගෙදරට ගොඩ වෙන්නෙත්..එතකොට ඔය චාරිත්‍රානුකූලව පෝරු අෂ්ඨක කියලා නෑයින්ට දෙන්නෙත්, සිංහල අවුරුද්දට වැඩිහිටියන් නමදින්නෙත් ඔය බුලත් අතම දීලා නොවැ.

 අද ඉන්න උන් නම් ඔය බුලතේ වගක් දන්න එකක්යැයි.. ඔහේ ක්රන්නන් වාලේ කොලාට..  ඒ වුනාට බොලල්ලා අපේ මුතුන් මිත්තො  බුලත් හුරුල්ල අතට ගත්තේ බොහොම තේරුම් බේරුම් ඇතුවයි, මහා ගරු සරුවකින්. දැන් කියාපල්ලා කීදෙනෙක් මේ හේතුව දැනගෙන උන්නද කියල. දැනන් උන් ඇත්තෝ ඔහොම තම තමන්ගේ රාජකාරි කරන අතරේ, නොදත් ඇත්තෝ ඉඩ ඇති තැනකින් ඈඳී ගත්තනම් . බුලතේ වග තුග කියන්නයි මේ සූදානම.

 අතීතයේ බොහොම ඈත කාලෙක අපේ රටේ උන්නු පඬුවස් රජතුමා භයානක සිහින වගයක් දැකලා බොහොම අසාධ්‍ය ලෙස අසනීප වුනාලු. මේ අසනිපෙට ලංකා දීපේ පුරාම හිටි වෙද ඇදුරන් කල කිසිම බෙහෙතකින් සුව වුනේ නැහැලු. එතුමා අසල්වැසි රටේ හිටි එතුමාගේ හිතවත් රජුගෙන් මේ ගැන උපදෙසක්  ඉල්ලුවාම මලය රජතුමා ඔහුගේ වෙද ඇදුරන් අපේ රටට එවාලු ශාන්ති කර්මයක් කරන්න. ඉතින් මේ ශාන්තිකර්මයට  ඇතුළු වුනු  බොහොමයක්  අංග අතරේ බුලතේ ගුණ කියවලා ''බුලත් පදේ '' එහෙමත් නටල අහවර වුනාමලු පඬුවස් රජතුමාට සුව වුනේ.

 මෙතැනදී මේ කියන ''බුලතේ ගුණ'' නම් විස්වාස කලාට මලය රටේ වෙදදුරන් අපේ රටේ වෙදදුරන්ට වඩා දක්ෂ වුනා කියන කතාව නම් මං විශ්වාස කරන්නේ නැති දෙයක්. රාවනා රජුගේ පරපුරෙන් පැවතෙන දේශීය වෙදුන් බොහෝ විශ්ව කර්ම ඖෂධ දැන වුන් උදවිය. සිරිපා වඳින්න නාග ලොවෙන් මෙලොවට වැඩි එරන්දතිය ඒ එන ගමනේදී බුලත් ගෙන ආ බවකුත් ජන ප්‍රවාදයේ කියවෙනවා. ඉතින් එදා පටන් අද දක්වා මගුලට, මරණයට, බුදු පුදට, වෙද ගෙදරට, එරබඳු මගුලට බුලත් කොලය නැතිවම බැරි වෙලා. අපට විතරක් නොවෙයි ආසියාවේ ලොකු කුඩා හැම රටකම වගේ මිනිසුන්ගේ ජිවන රටාවට ගහට  පොත්ත වගේ බැඳිලා තිබෙන නැතිවම බැරි දෙයක් තමයි මේ  බුලත.


 බුලතේ ඉතිහාසය සහ අපේ ඉපැරණි සම්ප්රදායන් පිළිබඳව බොහෝ දෙනෙක් දැනගෙන හිටියත් එහි ඇති ගුණාත්මක බව ප්රායෝගිකව භාවිතා වන බවක් නම් මෑත ඉතිහාසයේදී මන් දැකලා නැහැ. එදා සිට අද දක්වාම ආයුර්වේදයේ නම්බොහෝ සුව කිරීම් සඳහා යොදවන බුලතේ ඇති විශේෂිතම ගුණය ඔබ දැන සිටියා නම් හැම ගෙදරකම බුලත් වැලක් නොවරදවා වැවෙනු ඇත.

 කාන්තා සහ පුරුෂ දෙපක්ෂයේම ලිංගික හැඟුම් පුබුදුවා (sexual arouse) සංවාසය කාලය දිගු කිරීමටත්, ලිංගික බෙල හීනතාවය (loss of libido/impotence)සුව කිරීමටත් බුලතේ ඇති හැකියාව ඔබ දන සිටියාද? පඬුවස් රජුට බිහිසුණු සිහින පෙනුනේ මන්දැයි අප නොදන්නා නමුදු බිසෝවරුන් බොහොමයක් සිටි රජ මැදුරේත්, සාමාන්ය මිනිසුන්ගේ මගුල් පෝරුවේත් බුලත නොවැරැදුනේ මේ නිසා විය නොහැකිද?

බටහිර වෙදකමේ එන්නත් ඇතුළු බොහෝ බෙහෙත් ද්රව්ය දිය කිරීමට යොදා ගන්නා සේලයින් දියරයේ තැන ආයුර්වේදයේ ලැබී ඇත්තේ බුලත් කොල යුෂ සහ ඇඹුල් දොඩම් යුෂ වලටයි. කොළ, මුල්, පොතු වර්ග වලින් ලබා ගන්නා බෙහෙත් සාරය බුලත් යුෂෙන් මිශ්ර කිරීමෙන් ඒවාට භාවිතයට පහසු සුවඳක් සහ රසයක් එකතු වනවා පමනක්මේ නොවෙයි,ආමාශයේදී ගුණ විනාශ වන්නට නොදී අන්තර වලදී ඖෂධිය ගුණ කාර්යන්ෂම ලෙස රුධිරයට අවශෝෂණය වීමද සිදු වෙනවා.

 අමු බුලත් කොලයට වඩා ගුණෙන් ඉහල ඉඳුණු බුලත් කොලය හෝ රත් කල බුලත් කොලය තුල ඇති ක්ෂුද්ර ජීවි විනාශ කිරීමේ සහ ධුලක ඉවත් කිරීමේ හැකියාව කොතරම් ඉහලදැයි කිවහොත් සම විනිවිද ගොස් සැරව ගෙඩි, අසප්පු ලේ විෂ වීම තෙක් දුර දිග යාමට නොදී සුව කිරීමට සිංහල වෙදකමේදී යොදා ගෙන තිබෙනවා.

නිතර මුත්රා ආසාධන වලට ගොදුරු වන්නන්ට කුඩා අත් බෙහෙතක් ලෙස කිරි සමඟ මිශ්ර කල බුලත් යුෂ තේ හැන්දක් දවසකට දෙවරක් බොන්නට දෙන්න. මුත්රා පහ කිරිම පහසු වී ආසාධන වැලකේවි. ඔසප් නැවතීමෙන් පසු වැඩිමහල් කාන්තාවන්ට නිතර වැලඳෙන මුත්රා ආසාදන බටහිර රටවල සෞක්ය බලධාරීන්ට ඉතා ඉහල මිලක් ගෙවන්නට වෙන අර්බුදයක් වුවත්, ඉඳහිට බුලත් කොලයක් හැපු අපේ අත්තමලාට කිසි දින මේ රෝගය නොවැලදෙන්නට හේතුව මෙය නොහැකිද?

 ස්නායු ආශ්රිත වේදනා නිසා බටහිර පෙති අහුරක් ගිලින්නට හුරු වුවන්ට සුව දෙන රසවත් රහසක් කියන්නයි මේ සුදානම. බුලත් කොළ කීපයක යුෂ මි පැණි තේ හැන්දක් සමඟ මිශ්ර කර දවසට දෙවරක් ගන්න. පෙතිත් සමඟ නොමිලේ ලැබෙන අතුරු ආබාධ වන මල බද්ධය, නිදිමත වැනි තව බොහෝ අපහසුතා නොමැතිව වේදනාව පමණක් පහ කර ගැනීමට හැකි වේවි.

බුලත සහ හා සමාන මහත් ගුණ ඇති පොල් එකට එක්වී පානා විකුම් ඔබ අසා තිබේද? හිසරදයද? එසේත් නැතිනම් තුනටිය වේදනාවද? රත් කර ගත් බුලත් සහ පොල්තෙල් යොදා සම්බාහනය කරන්න. වේදනා පහව ගොස් සුවය ලැබේවි. කන් පැසවීම හෝ කනේ වේදනාවද? පිරිසිඳු පොල් තෙලට බුලත් යුෂ එක්කර නිවුණු පසු බින්දු කීපයක් කනට වත් කරන්න. සැරව ගෙඩියක්ද?

 බුලත් කොටා රත්වූ පොල්තෙල් සමඟ මිශ්ර කර බඳින්න. සර්ව ගෙඩිය පුපුරා ගොස් ඉක්මන් සුවය ලැබේවි.කල් ගත වූ තුවාලයක්ද? බුලත් පොල් තෙල් පහනෙන් රත් කර තුවාලයට බඳින්න. වේදනා පහ වී සුව වීම ඉක්මන් වේවි. බුලතේ සහ පොලේ ඇති ක්ෂුද්ර ජීවින් නසාලිමේ, ප්රති ඔක්සිකාරක, වේදනා නාශක එකට එක්වී මේ ගුණ පෙන්වාවි.

 බුලතට පිළිකා වැළක්වීමේ හැකියාවක් තිබේ යයි කිවොත් ඔබ පුදුම වනු නිසැකයි. බුලත් යුෂයේ ඇති විටමින් සි ශරීරය තුල ක්රියාත්මක කරවීම උත්තේජනය කිරීමට ඇති අපුරු හැකියාව නිසා බුලත තනිවම හෝ අතීතයේ අපේ අත්තම්මලා භාවිතා කල අයුරින් ඖෂධිය අඩු වැඩිය යොදා ගැනීමෙන් පිළිකා වලක්වා ගැනීමට හැකි වෙනවා. කරදමුංගු, කරාබුනැටි, සාදික්කා, වසාවාසි, සූදුරු, මහදුරු, කොත්තමල්ලි, ඉඟුරු යන බුලතේ අපට හුරු අනුපාන බුලත හා සම හෝ ඊට වැඩි ගුණ දෙන මනා ඖෂධ වන බැවින්
මේ සියල්ලේ එකතුවෙන් මුඛයේ දුර්ගන්ධය ඉවත් කිරීමටත්, අහාර ජීරණය කිරීමේ එන්සයිම ශ්රාවය කිරමෙන් ආහාර දිරවීම ඉක්මන් කර මල බද්ධය දුරු කිරීමටත් , සුව නින්දක් ලබා දීමටත් බුලත සමත් වෙනවා.


විටට ආශාව - කටට පිළිකාව ලෙස හඳුන්වමින් අද බුලත් විටට ලැබෙන කුඩම්මාගේ සැලකිලි වලට හේතු සොයා මා ගිය ගමනේ දුටු කතාන්දරය අහිංසක අංගුලිමාල බවට පත් වූ කතාවට වඩා වැඩි වෙනසක් නැත. පාපමිත්ර සේවනයට හසු වූ අංගුලිමාල මෙන් බුලතද අද සමාජයේ භාවිතා වන්නේ පුවක්, දුම්කොළ සහ හුණු නමැති නොගැලපෙන එකතුවක් සමඟයි. ටැනින් බහුල පුවක ප්රත් ඔක්සිකරණ ගුණයන් සහිත වුවත් එහි ස්වභාවික කෘමි රසායනික අඩංගු විෂ ස්වභාවයකුත් අඩංගු වෙනවා.

ඇබ්බැහි වීමේ හැකියාවක් ඇති නිකොටින් සහ වෙනත් ධුලක බහුල දුම්කොළ පමණට වඩා ගැනීම ශරීරයට බොහෝ හානි කරයි. සියුම් අංශු ඇති හුණු මගින් මුඛයේ සෙවලමය ස්තරය (mucas membrane ) කෙමෙන් විනාස කරන අතරම ධුලක රුධිරයට අවශෝෂණය කිරීම උත්තේජනය කරනවා. මේ පාප මිතුරන් සමඟ එක්වූ අහිංසක බුලත මහා දරුණු මුහුණුවරකින් සමාජය වෙත ලඟා වෙලා.
බොහෝ ගුණ ඇති බුලත භාවිතා කිරීමෙන් ආයු බෝ කර ගැනීමට ඇති හැකියාව දැන සිටි අපේ පැරැන්නෝ ආයු බෝ පතන්නට බුලත දී නමස්කාර කිරීමට හෝ අමුත්තන් පිලි ගැනීමට හුරු වන්නට ඇති බවයි මගේ විශ්වාසය

කොයි තූත්තුකුඩියේ සිටියත් අපට නැතිව බැරි බත යහමින් ලැබෙන්නට නම් පින් කර තිබිය යුතු බවයි අත්තම්මා නම් කිවේ. බතත් - බුලතත් එක්වූ තැන ආයු, වර්ණ, සැප, බල ලබා ගැනීමේ හැකියාව නිසා නව වසර ඉසුරුමත් වීමට 'බතෙන් - බුලතින්' පිරි නව වසරක් පතන්නට අප පුරුදු වන්නට ඇති. පෙරදිග ධාන්යාගාරය ලෙස එදා පප්රශන්ෂා ලැබූවද කලියුග කාලයේ අද නම් 'බතට තිත' වැටෙන පෙර මඟ ලකුණු පහලවී ඇත. බත කෙසේ වුව බුලතින් වත් ඔබේ ගෙවත්ත සරසා ගෙන ආයු බෝ ලබන්නට හැකි වේවායි පතමින් අදට නවතිමි.


රේණුකා විමලරත්න : ලන්ඩනයේ සිට

චායාරූප අන්තර්ජාලයෙන්
(සියලු හිමිකම් නම නොදත් ශිල්පීන්ට අයත් වේ)