රේණුකාගේ පලා මල්ල 5
බුලත්
මගේ මේ පලාමල්ලෙත් අරකයි
මේකයි නැති දෙයක් නැහැනේ ආයිබෝං ..පලා නොවුනත් කොහේ ගියත් කන පලා ගන්නේ නැතිව එන්න
පුළුවන් බුලත් අතක් දුන්නම..අපේ කට්ටිය කූල් ඩවුන් කරන්න පුළුවන් එක විධියක් නොවැ
..ඔය අම්ම අප්පා එපා කියලා හඳපානේ යන කොල්ලෝ කුරුට්ටෝ ආයි දෙමහල්ලෝ බලන්න එන්නෙත්..පුරාන තාලෙට වෙද ගෙදරට
ගොඩ වෙන්නෙත්..එතකොට ඔය චාරිත්‍රානුකූලව පෝරු අෂ්ඨක කියලා නෑයින්ට දෙන්නෙත්, සිංහල
අවුරුද්දට වැඩිහිටියන් නමදින්නෙත් ඔය බුලත් අතම දීලා නොවැ.
අද ඉන්න උන් නම් ඔය බුලතේ වගක් දන්න එකක්යැයි.. ඔහේ
ක්රන්නන් වාලේ කොලාට.. ඒ වුනාට බොලල්ලා අපේ
මුතුන් මිත්තො බුලත් හුරුල්ල අතට ගත්තේ බොහොම
තේරුම් බේරුම් ඇතුවයි, මහා ගරු සරුවකින්. දැන් කියාපල්ලා කීදෙනෙක් මේ හේතුව දැනගෙන
උන්නද කියල. දැනන් උන් ඇත්තෝ ඔහොම තම තමන්ගේ රාජකාරි කරන අතරේ, නොදත් ඇත්තෝ ඉඩ ඇති
තැනකින් ඈඳී ගත්තනම් . බුලතේ වග තුග කියන්නයි මේ සූදානම.
අතීතයේ බොහොම ඈත කාලෙක අපේ රටේ උන්නු පඬුවස් රජතුමා
භයානක සිහින වගයක් දැකලා බොහොම අසාධ්‍ය ලෙස අසනීප වුනාලු. මේ අසනිපෙට ලංකා දීපේ පුරාම
හිටි වෙද ඇදුරන් කල කිසිම බෙහෙතකින් සුව වුනේ නැහැලු. එතුමා අසල්වැසි රටේ හිටි එතුමාගේ
හිතවත් රජුගෙන් මේ ගැන උපදෙසක් ඉල්ලුවාම මලය
රජතුමා ඔහුගේ වෙද ඇදුරන් අපේ රටට එවාලු ශාන්ති කර්මයක් කරන්න. ඉතින් මේ ශාන්තිකර්මයට ඇතුළු වුනු
බොහොමයක් අංග අතරේ බුලතේ ගුණ කියවලා
''බුලත් පදේ '' එහෙමත් නටල අහවර වුනාමලු පඬුවස් රජතුමාට සුව වුනේ.
මෙතැනදී මේ කියන ''බුලතේ ගුණ'' නම් විස්වාස කලාට
මලය රටේ වෙදදුරන් අපේ රටේ වෙදදුරන්ට වඩා දක්ෂ වුනා කියන කතාව නම් මං විශ්වාස කරන්නේ
නැති දෙයක්. රාවනා රජුගේ පරපුරෙන් පැවතෙන දේශීය වෙදුන් බොහෝ විශ්ව කර්ම ඖෂධ දැන වුන්
උදවිය. සිරිපා වඳින්න නාග ලොවෙන් මෙලොවට වැඩි එරන්දතිය ඒ එන ගමනේදී බුලත් ගෙන ආ බවකුත්
ජන ප්‍රවාදයේ කියවෙනවා. ඉතින් එදා පටන් අද දක්වා මගුලට, මරණයට, බුදු පුදට, වෙද ගෙදරට,
එරබඳු මගුලට බුලත් කොලය නැතිවම බැරි වෙලා. අපට විතරක් නොවෙයි ආසියාවේ ලොකු කුඩා හැම
රටකම වගේ මිනිසුන්ගේ ජිවන රටාවට ගහට පොත්ත
වගේ බැඳිලා තිබෙන නැතිවම බැරි දෙයක් තමයි මේ
බුලත.
බුලතේ ඉතිහාසය සහ අපේ ඉපැරණි සම්ප්‍රදායන් පිළිබඳව
බොහෝ දෙනෙක් දැනගෙන හිටියත් එහි ඇති ගුණාත්මක බව ප්‍රායෝගිකව භාවිතා වන බවක් නම් මෑත
ඉතිහාසයේදී මන් දැකලා නැහැ. එදා සිට අද දක්වාම ආයුර්වේදයේ නම්බොහෝ සුව කිරීම් සඳහා
යොදවන බුලතේ ඇති විශේෂිතම ගුණය ඔබ දැන සිටියා නම් හැම ගෙදරකම බුලත් වැලක් නොවරදවා වැවෙනු
ඇත.
බටහිර වෙදකමේ එන්නත් ඇතුළු බොහෝ
බෙහෙත් ද්‍රව්‍ය දිය කිරීමට යොදා ගන්නා සේලයින් දියරයේ තැන ආයුර්වේදයේ ලැබී ඇත්තේ බුලත්
කොල යුෂ සහ ඇඹුල් දොඩම් යුෂ වලටයි. කොළ, මුල්, පොතු වර්ග වලින් ලබා ගන්නා බෙහෙත් සාරය
බුලත් යුෂෙන් මිශ්‍ර කිරීමෙන් ඒවාට භාවිතයට පහසු සුවඳක් සහ රසයක් එකතු වනවා පමනක්මේ
නොවෙයි,ආමාශයේදී ගුණ විනාශ වන්නට නොදී අන්තර වලදී ඖෂධිය ගුණ කාර්යන්ෂම ලෙස රුධිරයට
අවශෝෂණය වීමද සිදු වෙනවා.
අමු බුලත් කොලයට වඩා ගුණෙන් ඉහල ඉඳුණු බුලත් කොලය
හෝ රත් කල බුලත් කොලය තුල ඇති ක්ෂුද්‍ර ජීවි විනාශ කිරීමේ සහ ධුලක ඉවත් කිරීමේ හැකියාව
කොතරම් ඉහලදැයි කිවහොත් සම විනිවිද ගොස් සැරව ගෙඩි, අසප්පු ලේ විෂ වීම තෙක් දුර දිග
යාමට නොදී සුව කිරීමට සිංහල වෙදකමේදී යොදා ගෙන තිබෙනවා.
නිතර මුත්‍රා ආසාධන වලට ගොදුරු වන්නන්ට කුඩා අත් බෙහෙතක් ලෙස කිරි සමඟ මිශ්‍ර කල බුලත් යුෂ තේ හැන්දක් දවසකට දෙවරක් බොන්නට දෙන්න. මුත්‍රා පහ කිරිම පහසු වී ආසාධන වැලකේවි. ඔසප් නැවතීමෙන් පසු වැඩිමහල් කාන්තාවන්ට නිතර වැලඳෙන මුත්‍රා ආසාදන බටහිර රටවල සෞක්‍ය බලධාරීන්ට ඉතා ඉහල මිලක් ගෙවන්නට වෙන අර්බුදයක් වුවත්, ඉඳහිට බුලත් කොලයක් හැපු අපේ අත්තමලාට කිසි දින මේ රෝගය නොවැලදෙන්නට හේතුව මෙය නොහැකිද?
බුලත සහ ඒ හා සමාන මහත් ගුණ ඇති පොල් එකට එක්වී පානා විකුම් ඔබ අසා තිබේද? හිසරදයද? එසේත් නැතිනම් තුනටිය වේදනාවද? රත් කර ගත් බුලත් සහ පොල්තෙල් යොදා සම්බාහනය කරන්න. වේදනා පහව ගොස් සුවය ලැබේවි. කන් පැසවීම හෝ කනේ වේදනාවද? පිරිසිඳු පොල් තෙලට බුලත් යුෂ එක්කර නිවුණු පසු බින්දු කීපයක් කනට වත් කරන්න. සැරව ගෙඩියක්ද?
බුලත් කොටා රත්වූ පොල්තෙල් සමඟ මිශ්‍ර කර බඳින්න. සර්ව ගෙඩිය පුපුරා ගොස් ඉක්මන් සුවය ලැබේවි.කල් ගත වූ තුවාලයක්ද? බුලත් පොල් තෙල් පහනෙන් රත් කර තුවාලයට බඳින්න. වේදනා පහ වී සුව වීම ඉක්මන් වේවි. බුලතේ සහ පොලේ ඇති ක්ෂුද්‍ර ජීවින් නසාලිමේ, ප්‍රති ඔක්සිකාරක, වේදනා නාශක එකට එක්වී මේ ගුණ පෙන්වාවි.
මේ සියල්ලේ එකතුවෙන් මුඛයේ දුර්ගන්ධය ඉවත් කිරීමටත්, අහාර ජීරණය කිරීමේ එන්සයිම ශ්‍රාවය කිරමෙන් ආහාර දිරවීම ඉක්මන් කර මල බද්ධය දුරු කිරීමටත් , සුව නින්දක් ලබා දීමටත් බුලත සමත් වෙනවා.
විටට ආශාව - කටට පිළිකාව ලෙස හඳුන්වමින් අද බුලත් විටට ලැබෙන කුඩම්මාගේ සැලකිලි වලට හේතු සොයා මා ගිය ගමනේ දුටු කතාන්දරය අහිංසක අංගුලිමාල බවට පත් වූ කතාවට වඩා වැඩි වෙනසක් නැත. පාපමිත්‍ර සේවනයට හසු වූ අංගුලිමාල මෙන් බුලතද අද සමාජයේ භාවිතා වන්නේ පුවක්, දුම්කොළ සහ හුණු නමැති නොගැලපෙන එකතුවක් සමඟයි. ටැනින් බහුල පුවක ප්‍රත් ඔක්සිකරණ ගුණයන් සහිත වුවත් එහි ස්වභාවික කෘමි රසායනික අඩංගු විෂ ස්වභාවයකුත් අඩංගු වෙනවා.
ඇබ්බැහි වීමේ හැකියාවක් ඇති නිකොටින් සහ වෙනත් ධුලක බහුල දුම්කොළ පමණට වඩා ගැනීම ශරීරයට බොහෝ හානි කරයි. සියුම් අංශු ඇති හුණු මගින් මුඛයේ සෙවලමය ස්තරය
(mucas membrane ) කෙමෙන් විනාස කරන අතරම ධුලක රුධිරයට අවශෝෂණය කිරීම උත්තේජනය කරනවා. මේ පාප මිතුරන් සමඟ එක්වූ අහිංසක බුලත මහා දරුණු මුහුණුවරකින් සමාජය වෙත ලඟා වෙලා.
බොහෝ ගුණ ඇති බුලත භාවිතා කිරීමෙන් ආයු බෝ කර ගැනීමට ඇති හැකියාව දැන සිටි අපේ පැරැන්නෝ ආයු බෝ පතන්නට බුලත දී නමස්කාර කිරීමට හෝ අමුත්තන් පිලි ගැනීමට හුරු වන්නට ඇති බවයි මගේ විශ්වාසය.
කොයි තූත්තුකුඩියේ සිටියත් අපට නැතිව බැරි බත යහමින් ලැබෙන්නට නම් පින් කර තිබිය යුතු බවයි අත්තම්මා නම් කිවේ. බතත් - බුලතත් එක්වූ තැන ආයු, වර්ණ, සැප, බල ලබා ගැනීමේ හැකියාව නිසා නව වසර ඉසුරුමත් වීමට 'බතෙන් - බුලතින්' පිරි නව වසරක් පතන්නට අප පුරුදු වන්නට ඇති. පෙරදිග ධාන්‍යාගාරය ලෙස එදා පප්රශන්ෂා ලැබූවද කලියුග කාලයේ අද නම් 'බතට තිත' වැටෙන පෙර මඟ ලකුණු පහලවී ඇත. බත කෙසේ වුව බුලතින් වත් ඔබේ ගෙවත්ත සරසා ගෙන ආයු බෝ ලබන්නට හැකි වේවායි පතමින් අදට නවතිමි.
රේණුකා විමලරත්න : ලන්ඩනයේ සිට
චායාරූප අන්තර්ජාලයෙන්
(සියලු හිමිකම් නම නොදත් ශිල්පීන්ට අයත් වේ)
ස්තුතියි
ReplyDelete