Thursday 14 July 2016

අත්තම්මාගේ අත් බෙහෙත් 17: කෙහෙල්මල

         මං  නොදන්න  කෙහෙල්මල 

                   



ඕන් දැන් මන් මේ අත්තම්මගේ අත්බෙහෙත් ලියන්න ගත්තනේ. උන්දෑ  අවුරුදු 85ක් 90ක් තිස්සේ කුස්සිය මුල්ලේ කරපු සන්ග්‍රාම  සේරම මන් කවද්ද ලියල ඉවර කරන්නේ. එහෙන් මෙහෙන්  ඇහිඳ ගත්තු එකක් දෙකක් කුරුටු ගානවා මිසක්.. ඔන්න ඉතින් අත් බෙහෙත් ලියන්  යනකොට ඕක මාරුවෙච්චි කොළ වලටකොළ කියන්නේ අර ලියල මලවල කන්නේ.දෙහි  එහෙම මිරිකලා දාලා. අන්න එව්වා තමයි. දැන් ටිකක් යනකොට ඕවට ඉතින් දුරු පහේ අරව මේවා දාන්න ඕනෙනේ.ඉතින් ඔන්න තුනපහට මාරුවුනා

ඊළඟට එහෙන් මෙහෙන් අහුලා ගත්තු ගඩා ගෙඩි අරක මේක ලියන්  යනකොට මේන් මගේ යාලුවෙක් කියාපි අනේ බන් උඹ දන්න ''කෙහෙල්මල'' කියල. මටත් ඉතින් නැට්ටටම තද වුනා. මාත් ඉතින් ලේසියෙන් අතාරින්නෙ නැහැනේ. හිතන් ඉන්නේ මන් දන්න  කෙහෙල් මලක් නැහැ කියලනේ. හොඳයි එහෙනම් බලාගන්  මන් දන්න  කෙහෙල්මල.

ඔන්න ඉතින් ඔය කොට්ටෝරුව  කෙටුවම හොට පැටලෙන ගහක මලක් ආවම අපේ අත්තම්මගෙත් ඉහේ මලක් පිපිලා වගේ තමයි..ඔය මල ලොකු වෙනකන්  ගහ වටේ දවසකට වතාවක්වත් ඇවිදලා  පොල් ලෙල්ලක් දෙකක් මුලට දාල පොඩ්ඩක් අත ගාල එනවා. ගැබ්බර අම්ම කෙනෙකුට සලකනවා වගේ තමයි

හැබැයි ඉතින් වෙනසකට තියෙන්නේ අද වගේ නෙමේ හැම වත්තකම කෙහෙල් මල් එකපාර දෙක තුනක්වත් වරදින්නේ නැහැ.ඉතින් කාලේ කෙහෙල්මල් වලින් අඩුවක් පාඩුවක්  තිබුනේ නැහැ අපිට. ඔය ගැබ්බර කතාව කිව්වම මතක් වුනේ.දරුවෙක් හම්බවෙන්න ඉන්න අම්මලාටයි ,දරුපල බලාගෙන ඉන්න අලුත බැඳපු යුවතිපතීන්ටයි  දෙගොල්ලන්ටම අත්තම්මා මේ කෙහෙල්මල නම් වැරද්දුවේ නැහැ.

ගැබ්බර අම්මලාට ඔය කෙහෙල්මල දුන්නේ හේතු දෙකක් නිසා. පලවෙනි කාරනාව තමා අන්තිම මාස වල අම්මලාට ඇතිවන මල බද්දය වලක්වන්න.ඔය  කාලෙට ඉතින් තටමන්නත් හොඳ නැහැනේ. දරුවා පහලට ආවම අම්මලාගේ බඩවැල් තදවෙලා මලපහ පිටවෙන්න හොර වෙනවා. මලබද්ධය තදට තිබුනොත් දරුවා උපදින වෙලාවට අම්මටත් බබාටත් දෙන්නටම අපහසුයි. ඒක  වලක්වන්න තමයි ඔය මලබද්ධය වලක්වන ආහාර ඔය කාලෙට දෙන්නේ. කෙහෙල්මලේ මැද නාරටිය මේ වැඩේට කියාපු බෙහෙත කියලයි අත්තම්මා කිව්වේ.ඉතින් කාලෙට කෙහෙල් මුව සතියකට දෙතුන් පාරක් ගෙවල් වල කුස්සියේ ඉදෙනවාමයි.

විතරක් නම් මදැයි. ඊට වඩා මේ කෙහෙල් මලේ තියෙන ලොකුම ලාබෙ තමා කෙහෙල් මුව කෑවම දරුවා උපදින්න කලින්ම අම්මගේ තනෙන් කිරි වැක්කෙරෙන  තරමට කිරි එරෙන එක. මිට කලින් ලිපි වලත් මන් කිවනේ අත්තම්මගේ කිරි එරවන විජ්ජා ගැන.කොස් වලට කිරි එරුනට මොකෝ බබා හම්බවෙන්න කිට්ටුව අන්තිම කාලේ කොස් දෙන්නේ නැහැ.කොස් වලට බඩ  පුරෝ දැම්මම අම්මට අපහසු නිසා. අඟුණ කොළකරවිල වගේ කිරි එරෙන අනිත් බෙහෙත් හා හාපුරා දෙන්නේ නැහැ.

 කතාවට කියනවා මුල් වරට කටගාන කිරි තිත්ත වෙලා දරුවා කිරි බොන්න අකමැති වෙනවා කියලා. විද්යාත්මකව නම් මේ කතාවේ ඇත්තක් තියෙනවා කියලා මම හිතන්නේ නැහැ. නමුත් කෙහෙල්මලෙන් මේ කිසි අවුලක් නැහැ.දරුව ලැබෙන්න කලින්ම කිරි ඩිංග ලෑස්ති කරලා තියන්න කියාපු අත්  බෙහෙත.

මන් කිව්වනේ දරු සම්පත් බලාපොරොත්තුවෙන් ඉන්න යුවතිපතින්ට  කෙහෙල්මල වැදගත් කියල..හැබැයි අම්මලාට නම් නෙමෙයි..තාත්තලා වෙන්න කැමැත්තෙන් ඉන්න අයටයි. පිරිමි පක්ෂයේ වඳ බව නැති කරන්න සිංහල බෙහෙතේ භාවිතා කරන අපූරු ඖෂධයක් තමා මේ කෙහෙල්මල..අත්තම්ම කිව්වේ ඔය කෙල්ලගේ පස්සේ විතරක් පන්නන්නේ නැතිව කෙහෙල් මලක් මලවලා පිරිමි පරානෙටත් සතියට තුන් හතර වතාවක් දීල බැලුවොත් නරකද කියලා.



ඉතින් මේ කෙහෙල් මලේ වරුනාව මෙතනින් නතර වෙන්නේ නැහැ. ගෑණු ළමයින්ට හැදෙන ගොඩක් ලෙඩ වලට අත්තම්මගේ බෙහෙත තමයි කෙහෙල්මල.ඔසප් වේදනාවට විතරක් නෙමෙයි, ඔසප් කාලයේදී වැඩිපුර රුධිරය පහවෙලා ඈලි මෑලි වෙන ගෑනු ළමයින්ට කියාපු බෙහෙත.වේදනාව ලේ යාම දෙකම නතර වෙලා ඊළඟට යකඩ බහුල කම නිසා අලුතෙන් රුධිර ශයිල නිපදවීමත් කරලම තමයි කෙහෙල්මල පස්ස බලන්නේ.

බඩ දරු  අම්මලට නිතර හැදෙන ''සුද යාම''  කියන දිලිර රෝගයටත් කෙහෙල්මල හරිම ගුණයි. අත්තම්ම කරන්නේ කෙහෙල්මලක් වන්ගෙඩියේ කොටලා ඉස්ම වලට කිතුල් පැණි ඩිංගක් කලවම් කරලා හිස්බඩ දවස් තුන හතරක් උදේට උදේට බොන්න දෙන එක. ලෙඩේ එතැනින්ම අහවරයි. දැන් කාලේ නම් ඔය ලෙඩේට ඉතින්අර ක්‍රිම්  මේ පෙති  ගාගෙන හන්දියේ දිස්පැන්සරියේ  දොස්තරට හොඳ ගානක් ගෙවල, සෑහෙන්න විඳවල එහෙමනේ වැඩේ නතර වෙන්නේ.



ඔන්න ඉතින් කෙහෙල්මලේ වැඩ කිඩ  ඔතනින් නතරවෙන්නේ එහෙම නැහැ. මුත්රා ගල් හලන්න බොහොම ප්‍රසිද්ධ අක්කපාන කොලේනේ.අක්කපාන දෙන අතරටම කෙහෙල්මලකුත්  උයල දීල බැලුවනම්. හරියටම කියනවනම්, තනියම කරත්තෙකට තල්ලුවක් දාගෙන අමාරුවෙන් කන්ද නග්ගවන වෙලාවක තව කවුරු හරි දෙයියෙක් වගේ ඇවිල්ල අත ගහල හොඳ තල්ලුවක් දීල කන්ද නගින්න උදව් කලාවගේ තමයි.අක්කපානෙන් පටන් ගන්න ගලේ  ගමන කෙහෙල්මලේ තල්ලුවෙන් එලියට ගිහින්ම තමා නතර වෙන්නේ.

විතරක් නම් බැරිය ඔය කෙහෙල්මලට පින් සිද්ධ වෙන්න ඔය එක එක තැන් වල ඇතිවෙන දැවිලි, කියන්නේ මුත්‍රා  මාර්ගයේගුද මාර්ගයේඅතේ පයේ දැවිලි සේරම සුව කරගන්න පුළුවන්.. කෙහෙල්මලේ තියෙන සිසිල් කරවීමේ හැකියාව නිසා..කෙහෙල්මල නිතර ආහාරයට ගත්තම බඩ ගෙඩිය අඩු කරගන්නත් පුළුවන්.. විතරක්යැ දියවැඩියාවටත් කෙහෙල්මල බොහොම ගුණයි. ගෑනු ළමයින්ට ලස්සන වෙන්න,සම  ලස්සනට තියාගන්න, හැමදාම තරුණ වෙලා ඉන්න ආයු කල්යාණය වඩවා  ගන්නත් කෙහෙල්මල  සිංහල වෙදකමේ භාවිතා කරලා තියෙනවා.

දැන් ඉතින් ඔය බටහිර පරීක්ෂකයෝ අපේ බෙහෙත් ගැන මොන  කෙහෙල්මලක්වත් දන්න එකක් යෑ. වැඩේ කියන්නේ  උන්දැලත් අන්තිමේට ඔය බට පරීක්ෂණ සෙප්පඩ  විජ්ජා ඔක්කොම කරලා අන්තිමට කියන්නේ අපේ ආත්තම්මා කියාපු කාරනා ටිකමනේ. සමට ගුණයි, කිරි එරෙනවා, ඔසප් වලට හොඳයි, අරක මේක ඔක්කොම. අනේ ඉතින් අපි ඕව දන්නේ ඔහෙලට ගොඩක් කලින්, කොන්ඩේ බැඳපු චීනෙක් හොයන් ගිහින් ඔය ටික කීවානම් හොඳ මදිද?


 ඊට අමතරව ඒගොල්ලෝ කියනවා කෙහෙල්මලේ තියෙනවලු එස්කෙරිකියාකොලයි (Escherichia-coli),බැසිලස් සිරස් (bassilus serius)සහ බැසිලස් සබ්ටාලිස් (bassilius subtalis)කියන බැක්ටීරියා වර්ග මරල දාන්න විශේෂ හැකියාවක්. ඒ කියන්නේ ඔය සිදම් බඩ යාම මුත්‍රා අමාරු එහෙම හදන බැක්ටීරියා. හින්දලු ඔය මුත්‍රා  දැවිල්ල, ගුද මාර්ගයේ  දැවිල්ල, එතකොට සුදයාම වගේ ලෙඩ වලට කෙහෙල්මල ගුණ වෙන්නේ. විතරක්ය  මේන් කියනවා මැලේරියා පරපෝෂිතයා මරා දැමීමේ ශක්තියකුත් කෙහෙල්මලේ තියෙනවලු. උදවිය කියන හැටියට කෙහෙල්මලේ විටමින් , බි, සි, ඩී , කේ, පොටෑ සියම්, යකඩ එහෙම බොහොම ඉහලින් තියෙනවා. නිසා තමයි ඔය කියන බොහොමයක් ගුණ කෙහෙල්මලෙන් ලැබෙන්නේ.විශේෂයෙන්ම 'විටමින් කේ' නිසා තමයි ඔසප් රුධිරය වැඩිපුර පිටවන ගෑනු ළමයින්ට කෙහෙල්මල ගුණ වෙන්නේ.විටමින් කේ රුධිරය කැටිගැසිමට අපට නැතිවම බැහැ.

මතක් කලත් බඩගිනි හැදෙන මේ කෙහෙල්මල අත්තම්මා  රතුලූනු, උම්බලකඩ, කොච්චි අහුරක් දාලා තෙලට හැදුවත්, තක්කලි ගෙඩියක් එක්ක මිටිකිරෙන් හින්දල ඉව්වත් පුදුමාකාර රසක් තිබුනේ. ගැඹුරු තෙලේ බැදලා අච්චාරුවක් විධියට හැදුවම අපි වගේ දේශ දිපන්කරේ ඉන්න අයට අගේට සුමානයක් දෙකක් තියාගෙන කන්න පුළුවන්. කොස් කාලෙට කොස් ඇට, හාල් මැස්සෝ ටිකක් දාල හැදුවත්, පොල් මැල්ලුම හදලා මලවලා ගත්තත්, දෙහි ඉස්ම ටිකක් රතුළූණු , උම්බලකඩ හෙම දාලා අමුවට සම්බෝලේ හැදුවත්  කෙහෙල්මලේ රසේ නම් අඩුවක් නැහැදළදා මාලිගාවේ බුද්ධ පූජාවට හදන දෙතිස් ව්යන්ජනයේත්, සිංහලේ රජවරුන්ගේ  රාජ බෝජනයේත් ව්යංජන අතර බැබලුනු කෙහෙල්මල අදටත් තරුපහේ හෝටලයේ පවා හැදෙන රසවත් ව්යන්ජනයක්.


ඔන්න ඉතින් මන් කෙහෙල්මල් චැලේන්ජ් එක බාරගෙන මන් දන්නා කෙහෙල්මලයි, අපේ අත්තම්මා දැනගෙන හිටපු කෙහෙල්මලයි සේරෝම ලියාගෙන ලියාගෙන ගියා.මේක බලලා ඕන කෙහෙල්මලක් කරගන්න එක ඔහෙලට බාරයි. ආයි  දවසක වෙන මොනවා හරි  කෙහෙල්මලක් ඇන්න එනකන්..ආයු බෝ වේවා කිව්වා එහෙනම්.


රේණුකා විමලරත්න :ලන්ඩනයේ සිට

චායාරූප අන්තර්ජාලයෙන් (සියලු හිමිකම් නම නොදත් ශිල්පීන්ට හිමිවේ)





7 comments:

  1. Thank You... this is very much useful to us..

    ReplyDelete
  2. දන්නවයි කියල හිතන නොදන්නා කරුණු ගොඩක් සිංහලයගෙ  ඇහැට ඇඟිල්ලෙන් ඇනල මතක් කරල දීම ඉතා වටිනා වැඩක්.  මෙවැනි ලිපි තව තවත් ලියන්නට ශක්තිය ධෛය්‍යය වැඩි වේවා!
    තෙරුවන් සරයි!

    ReplyDelete
  3. Very valued post.thanks for update us.

    ReplyDelete