Wednesday 13 July 2016

ගුණ සුවඳ ඇති මලක්: රෝස

                 ගුණ සුවඳ ඇති මලක්: රෝස



''රෝස මලේ නටුවේ කටු -වන බඹරෝ ඔහොම හිටු''

ඔබේ ජිවිතයේ මුල්වරට අමාරුවෙන් පද ගලපා උච්චාරණය කල පළමු කවියයි මේ. එදා සිට අද දක්වා ජිවිතයට රෝස මල කොතරම් සමීපදැයි  මොහොතකටවත් සිතුනාද? ආදරයේ සංකේතය වූ රෝසමල තාරුණ්යයට නැතිවම බැරි පුෂ්පයයි. ශ්රද්ධාවන්ත ශ්රාවකයාගේ හිස් මුදුනින් ගොස් බුදුන් ජේසුන් පිදෙන රෝසමල, සාදයේ විවාහ උත්සවයේ සාඩම්බර බවේ සංකේතයයි. යෞවනයට ඉසෙන සුවඳ පැනට අමුද්රව්යය  සපයන මේ කුසුම උද්යාන පාලකයාගේ සහ මිදුල සරසන ගෘහනියගේ දක්ෂබවේ සාක්ෂියයි. අවසන් ගමන් යනදා කඳුළු පැනින් තෙමි ඔබ හා සදාතන නින්දට වැටෙන්නෙත් රෝස මලයි.

විටෙක විරහ ගීයට පද අමුණා පන් හිඳ තෙත් කරන රෝස මල තවත් විටෙක  විනා වාදකයාගේ සුමිහිරි තත්සරෙන්  හද නළවයි. සිත්තරාගේ තෙලි තුඩේ රස අමා ගැල්වූ රෝස මල රසවතාගේ දෙනයනේ දිවය විමානයද මවයි. මෙතරම් විසිතුරු රෝස මල අහරේ රස මවන අරක්කැමියාට අමා රස කාරකය බව, සුවසදන වෙදදුරාට දිවය ඖෂධයක් බව ඔබ දැන  සිටියාද?නොමැතිනම් මේ ලියවෙන්නේ මුළුතැන් ගෙදරත්, වෙද ගෙදරත් රෝසමල භාවිතා වන අපූරුව පිලිබඳ සටහනයි.


දීර්ඝ වූ ඉතිහාසයකට හිමිකම් කියන රෝස පවුලේ භූගෝලීය සම්භවය අයත් වන්නේ වර්තමාන ඉරානය නොහොත් ආදී කාලින පර්සියානු අධිරාජයයටයි. දිව්යමය ගුණ ඇති ලොව වටිනාම සහ අතිශයින් මිල අධික අති සුඛෝපභෝගී  රෝස නිෂ්පාදනය වන 'පිරිසිඳු රෝස තෙල් ' (rose volatile oil / Rose otto ) මුල්වරට නිපදවා ඇත්තේ 1602දී  පර්සියානු රජ කුමරිය නූර්-ඩිජාන් අක්බාර් රජුගේ පුත් ඩිහාන්ගී  අධිරාජ්යයාට විවාහ කර දුන් විවාහ මංගල් සැනකෙලියේදී සිදු කල එක්තරා පිළිවෙතක අතුරුපලයක් ලෙසිනුයි. විවාහ උත්සවය පැවැත්වුණු විශාල උද්යානය වටා ඇලක් කරවා එය රෝස පෙති පිරවූ ජලයෙන් පුරවා නව යුවලට මෙහි ඔරුවක නැගී පාවෙන්නට සැලැස් වූවාලු. අධික සුර්ය තාපයෙන් ජලය වාෂ්ප වීමේදී රෝස පෙතිවල ඇති තෙල් ඇල මත පාවෙමින්  ඇතිකළ මනා සුවඳ සහ එමඟින් අමුත්තන් තුල සිදුවූ මානසික සහ කායික ප්රබෝධය නිසා රෝස තෙල් නිෂ්පාදනය එතැන් පටන්  ආරම්භ වූවාලු.



සමගාමී කාලවලදී මෙම රෝස තෙල් නිෂ්පාදනය මැද පෙරදිගින් මධ්යධරණී රටවලටත් යුරෝපයටත් පසුව ආසියාවටත් පැතිරී  අද වන විට ලාභ ලබන විශාල ව්යාපාරයක් බවට පත්වෙලා.. රෝස තෙල් නිපදවීම පුරෝගාමීව කෙරෙන බල්ගේරියාවේ වෙනුවෙන් රෝස වවන දිස්ත්රික්ක පවා තිබෙනවා. විශේෂිත තාප සහ වාෂ්ප ක්රමයක් යටතේ (distillation) නිපදවෙන රෝස තෙල් රාත්තලක් නිපදවීමට රෝස මල් පෙති රාත්තල් 10,000ක් අවශ්යලු. මිල අධික බවට හේතුව දැන් විස්තර කිරීම අනවශ්යයි නේද? සාමාන්යයෙන් තේ හැන්දක  ප්රමාණයක්  (5ml) රුපියල් 20,000-30,000ක් පමණ වෙන අතර බල්ගේරියාවෙන් තොග මිලට ලබා ගන්නවානම් ලීටර 25ක් බ්රිතාන් පවුම් ලක්ෂ 3ක් පමණ වෙනවා.

රෝස තෙල් වල සෞක්යමය ප්රතිලාභ විස්තර කල නොහැකි බවයි පර්යේෂකයින් පවසන්නේ. මේ අතරින් ප්රමුඛ වන්නේ මානසික ආතතිය නැති කර සිරුර ප්රබෝධමත් කිරීමයි. ලොව බොහෝ ව්යාපාරිකයින් සහ වගකීම් අධික රැකියා කරන්නන් රෝස තෙල් ඔවුන්ට මානසික සහනය ලබාදී ව්යාකූල බව අඩුකර ගැනීමට  මානසික  උත්තේජකයක් ලෙස භාවිතා කරනවා. මේ සඳහා රෝස තෙල් ආලේපය හෝ රෝසතෙල් බිඳක් එක්කල ජලයේ මද වෙලාවක් බැස සිටීමයි (rose oil bath ) ඔවුන් කරන්නේ.

කාන්තාවන්ගේ සෞක්යයට ඉතා අගනා රෝස තෙල් යටි උදරයේ ආලේප කල විට  ඔසප් වේදනාව නැති වන බව විද්යාත්මකව ඔප්පු කර පෙන්වා දී තිබෙනවා. ඔසප් නැවතුනු මැදිවියේ කාන්තාවන්ට ඇතිවන සිරුරේ උණුසුම එකවර අඩු වැඩි වීම  (hot flushes )  තර බාරු වීම, ශක්තිය නැතිකම, අධික විඩාව  වැනි ලක්ෂණ නැතිකිරීමට රෝස තෙල් සතියකට වරක් ශරීරයේ පිරිමැදීම හොඳ ප්රතිකාරයක්.

ප්රති ආසාධන (anti-inflammatory effect)ගුණ බහුල රෝස තෙල් එදිනෙදා දිවියේ ඇතිවිය හැකි ආසාධන වලක්වන අතර සමේ  ඇතිවන ලප කැළැල්  සහ බිඳුණු කේශනාලිකා ඉක්මනින් පිළිසකර කිරීමටත් සමත්. ඉදිමුව අඩුකිරීමටත්, වේදනා නාශකයක් ලෙසත් රෝස තෙල් භාවිතා වෙනවා.

රෝස පවුලේ සාමාජිකයින්  නම් දහස් ගණනක්.  මේ අතරින් තද රතු හෝ ලේ පාට රෝස මල  ගුනින් වැඩි බව කියවෙතත් අනිත් රෝස මල් වර්ග වලද ගුණ නොඅඩුව ඇති බවයි කියවෙන්නේ. රතු රෝස මල ආදරයේ සංකේතය වන්නේ සමහර විට මේ හේතුව නිසා වන්නට ඇති.

 ආයුර්වෙදයේත්, සිංහල වෙදකමේත්  රෝස ගසේ කොළ, මල්, නටු, ගෙඩි, මුල් සියල්ල සුවකිරීම් සඳහා යොදාගෙන තිබෙනවා. යුරෝපයේදී මෙන්ම අපේ රටවලදීත් රෝස තෙලේ ඇති මානසික ආතතිය අඩු කිරීමේ හැකියාව බෙහෙවින් යොදාගෙන ඇති නමුත් අපි ඉන් ඔබ්බට විහිදුනු ඖෂධිය ගුණාංග භාවිතා කරගෙන තිබෙනවා. කුඩා දරුවන්ගේ කැස්ස අඩු කිරීමට, ජීරණ පද්ධතියේ රෝග සුව කිරීමට, කාන්තා රෝග සුවයට, ගෙලේ ඇතිවන ආභාධ, හදවතේ සෞක්යය පවත්වා ගැනීමට, තුවාල සුවකිරීම ඇතුළු තවත් බොහෝ රෝගාභාධ වලට ප්‍රතිකාර පිණිස  අප රෝස පඳුර භාවිතා කර තිබෙනවා.

රෝස වතුර අප දන්නා තරමින් බෙහෙවින් භාවිතා කෙරෙන්නේ විවිධ ආගමික වතාවත් සඳහා. ආයුර්වේදයේදී ඖෂධ දිය කිරීමට ඇඹුල් දොඩම් යුෂ සහ බුලත් යුෂ මෙන්  සමගාමිව භාවිතා කෙරෙන තවත් දියරයක් වන්නේ රෝස වතුරයි. රෝස මලේ ඇති පෝෂණීය සහ ඖෂධිය ගුණ  අඩංගු වන රෝස වතුර විටමින් විටමින් සි, , ඩී , වලින් බහුලයි. රූපයෙන් අග තැන්පත් ක්ලියෝ පැට්රා රැජින රෝස වතුර පානයට පුරුදු වී සිටියාලු. සමේ තෙතමනය  පවත්වා ගැනීමටත්, මල බද්ධය නැතිකර ශරීරයේ ධූලක ඉවත් කිරීමට, සුවබර නින්දකට, ඇසේ වෙහෙස මග හරවා ගැනීමට රෝස වතුර උපකාරී වෙනවා.

බොහෝ රටවල රෝස හඳුන්වන්නේ සදාකාලිකව තාරුණ්යය පවත්වා ගැනීමට හැකි අමරණිය ශාකයක් ලෙසටයි. රෝස ශාකයේ විවිධ කොටස් නිසා ශරීරයේ අභ්යන්තර  ක්රියාකාරිත්වයේ  සමතුලනය පවත්වා ගැනීමට (balances metabolism) ඇති හැකියාවත්, සම සුන්දර කිරීමට ඇති හැකියාවත් නිසා. රෝස මලෙන් රුව රැක ගැනීම සිගිරි ළඳුන්ගේ පටන් අද දක්වාත්, අත්තම්මලාගේ කාලෙත්  රූ සපුව පිලිබඳ උනන්දු වූවන් දැන සිටියා. රෝස තෙල් නැතිවාට අපිට කල හැකි අපේ ප්‍රතිකාර බොහොමයි.

කටු ඇතත් රෝස මලට බඹරු ඇදෙන්නා සේ රෝස මලේ ගුණ නිසි ලෙස යොදා ගැනීමෙන් රූ සපුව වඩවා සිකුරාගේ බැල්ම ඔබට ලබා ගන්නා අයුරුයි මේ කියවෙන්නේ.
රෝස පෙති, මීපැණි, සඳුන් කුඩු මිශ්ර කර මුහුණු සහ ගෙල ආවරණයක් ( Face and neck mask ) සාදාගන්න. වියලෙන තුරු තබා සිසිල් ජලයෙන් සෝදා හරින්න.
රෝස පෙති පෙගවූ ජලයේ බැස සිටින්න (rose petal bath ) මනස සන්සුන් කර සුව නින්දක් ලැබේවි.
රෝස පෙති පයක් පමණ ජලයේ පොඟවා මීපැණි සහ යෝගට් සමඟ මිශ්ර කර මුහුණේ ගලවන්න. තෙල් සහිත සමක් ඇති අයගේ සමේ අනවශ්ය තෙල් ඉවත් කර තෙල් සමතුලනය කරනවා.
රෝස පෙති ජලයේ පොඟවා අඹරා, කුරක්කන් පිටි සමඟ මුහුණේ අතුල්ලන්න, සම මනාව පිරිසිඳු කරාවි. (clenser exfoliater effect )
රෝස පෙති විනාඩි 20ක් පමණ නටන ජලයේ දමා ඔසු පැනක් ලෙස පානයට ගන්න.

අරක්කැමියා රෝස භාවිතයට ගැනීමේ ඉතිහාසය පටන්ගන්නෙත් පර්සියාවෙන්. ආදරවන්තයින් සඳහා පිළියෙළ කෙරුණු පැණි රස වලට සුවඳ එක්කිරීමෙන් ආරම්භ වුනු රෝස කෑම කලාව අද ලොව පුරා බෙහෙවින් ජනප්‍රියයි. ලොව වටා බෙහෙවින් ජනප්‍රිය තුර්කි නිෂ්පාදනයක් වන ''turkish delight'' ජනප්‍රිය වන්නේ එහි ඇති රෝස පෙති රසට සහ රෝස සුවඳටයි.


 බොහෝ බේකරි කරුවන් රෝස රස ඔවුන්ගේ කේක් වර්ග නිෂ්පාදනයට යොදා ගන්නවා. අයිස් කරීම් නිපදවන්නන් අතරත් රෝස රස ඉතා  ජනප්‍රියයි. පර්සියානු ජාතිකයින් ඔවුන්ගේ උත්සව සඳහා පිසින රෝස බත් සකසන්නේ රෝස වතුර එක්  කිරීමෙන්. යුරෝපයේ සුඛෝපභෝගී අවන්හල් වල ජනප්‍රිය ආහාරයක් අමු රෝස මලේ පෙති පාන් පෙති මැදට දමා පිළියෙළ කරන රෝස පෙති සැන්ඩ්විච්.

රෝස මල පරවූ පසු පසු ඇතිවන රෝස ගෙඩියට ඔබගේ අවධානය කිසිවිටෙකත් ලැබී තිබේද? රෝස ගෙඩිය ඔබේ දිවියට විටමින් ලබාදෙන විටමින් ගෙඩියක් ලෙස හෝ ඔබේ සන්ධි වේදනාවට සැපයෙන වේදනා නාශක පෙත්තක් බව ඔබ දැන සිටියාද? 

රෝස ගෙඩි ජලය ස්වල්පයක් සහ සිනි හැඳි කීපයක් සමඟ මද උණුසුමේ ලිපේ රත්කර ප්‍රමාණයෙන් භාගයක් වූ පසු පෙරහනකින් පෙරා මි පැණි හැඳි කීපයක් එක්කර  සාදා ගන්නා  ''rosehip syrup'' රසවත් ආහාරයක් වගේම අගනා ඖෂධයක්. විටමින් ඒ සහ ඩී අධික රෝස සිරප් කුඩා දරුවන්ට විටමින් සපයන්නට යොදාගන්නා ප්‍රදාන  ක්‍රමයක්. එහි ඇති විටමින් අධික බව නිසා ගැබිණි  කාන්තාවන්ට ලබා දෙන්නේ නැහැ. හේතුව  විටමින් ඒ අධික බව කුසතුල සිටින දරුවාට අන්ධ බව ඇති කල හැකි නිසා.

මෑතකදී   කල පර්යේෂණ වලට අනුව රෝස ගෙඩි වලට ආතරයිටිස්  වේදනාව නැතිකිරීමට ප්‍රභල හැකියාවක් තිබෙනවා. මේ හැකියාව නිසා අද වෙළඳ පොලේ රෝස ගෙඩි පෙති වශයෙන් සකස් කර සන්ධි වේදනාවට ප්‍රතිකාරයක් ලෙස විකිනීමට තිබෙනවා.


රෝස මලේ ගුණ ගැන මා කි කතාවට වඩා නොකී කතා ගණන බොහෝ වැඩියි. ඔබත් රෝස වවන්නට උනන්දුවන ගෘහනියක් නම්, ඔබේ නිෂ්පාදන දෙස බලා සතුටු වීම පමණක් කරන්නට එපා. ඒ නිපැයුම අපතේ නොයවා ඔබේ නිවසේ අයගේ සෞක්‍යය සහ රුව රැක ගැනීමට කාලයයි මේ. තවත් මලෙක ගුණ ගෙන එනතුරු ඔබට නිරෝගී සුව!!!

 රේණුකා විමලරත්න: ලන්ඩනයේ සිට


චායාරූප අන්තර්ජාලයෙන් (සියලුම අයිතීන් ශිල්පින් සතුයි)





1 comment:

  1. සුවඳ, හැඩ ඇති මලක් විදියට ලස්සණට පාවිච්චි කරන්න විතරක් මෙච්චරකල් දැන හිටි රෝස මලේ බොහෝ ගුණත් කියා දුන්නට පින්.

    ReplyDelete