Saturday 9 July 2016

පොල් සම්බෝලේ

                      


තරුණ වයස තමා ජිවිතයේ ලස්සනම කාලය. එයිනුත් ආදරය කරන කාලය තමා වඩාත්ම  මිහිරි. දැන් කාලේ ආදරය කරන තරුණ ළමයින්ට ඉතින් තමන්ගේ අදහස් එහාට මෙහාට හුවමාරු කර ගන්න එක හරිම පහසුයිනේ.. එස් එම් එස්, එෆ් බි, වට්ස් අප්, වයිබර් ඉමෝ , මේල්..අරව මේවා මොනවද නැත්තේ. දැනට වසර 25කට පමණ පෙර අපේ කාලේ නම් ඉතින් මේක මහා ලොකු සංග්රාමයක් වගේ. ලියුමක් ලිව්වත් ඒක කොහොමද යවා ගන්නේ, කතා කරන්න දුරකථන කොහෙන්ද ? අරය දකියිද මෙයා අම්මට කියයිද ඔය වගේ දහසක් ගැටළු. ඉතින් කාලේ සමහර අය  හඳපානේ යන්නේ පොල් සම්බෝලයි බතුයි කාල ඉමු කියන ඒකමතික තීරණයට ආවට පස්සේ. තරුණ ආදරයේ රසට පොල් සම්බෝලයේ රසත් එකතු වූ විට එය තව තව රසවත් වන බවට අටුවා ටීකා කුමටද?

පොල් සම්බෝලය අද ලොව පුරා අපේ සංස්කෘතිය සහ ආහාර රටාව සංකේතවත් කරන ආහාරයක් බවට පත්වෙලා. දුගී පැලේද තරු පහේ හෝටලයේද එක හා සමාන සැලකිලි ලබන මේ රසවත් ආහාරය එදා රාජ භෝජනයේ අනිවාර්ය අංගයක්. ලෝකයේ කොයි හතර දික්බාගයක ජිවත් වූවත් අපට නැතිවම බැරි   පොල් සම්බෝලය  අපටම ආවේනික අපේම ආහාරයක්.

ගෙදරක මගුලක් සිදු වූ අවස්තාවක් සිතන්න. දුර ගමනක් ගොස් නිවසට පැමිණුන අවස්තාවක් සිතන්න. පිටරටකදී විවධ ආහාර රස බැලු  අවස්තාවක් සිතන්න. මස්මාලු  රස මසවුළු නේක විධ වර්ග රස බැලුවත් දින 2-3 පසුවන විට ඔබට සිතෙන්නේ කුමක්ද? ''පොල්සම්බෝලයක් එක්ක බත් ඩිංගක් කන්න තිබුනානම් කියල වැඩක් නැහැ'' මේ සිතුවිල්ලත් සමඟ නැති වී ගිය ආහාර රුචිය ඔබ වෙත පැමිණෙන අයුරු  අපූරු නොවේද? දින ගණනාවක් අහරක් නොගෙන සිටි අයුරින් බත් පිඟන් කීපයක් මෙවන් විටෙක  ඔබ ගිල දැම්මා මතකද?

අසූව දශකයේ අග වන විට ලාංකීය අප වැටුණු ලොකුම මුලාව නම් පොල් වල කොලෙස්ටෙරෝල් ඇති බවත් ඒ නිසා පොල් වෙනුවට පාම් තෙල් එළවලු තෙල් වැනි යුරෝපයේ ඇති තෙල් වර්ග භාවිතා කල යුතු බවත් පවසමින් ගෙනගිය අධිරාජ්‍යවාදීන්ගේ ගැටයට හසු වීමයි. වසර දහස් ගණනක් අපේ පැරැන්නන් පොල් කිසිම අබාධයකින් තොරව භාවිතා කල බවට අපේ දේශීය වෙදුන් නැගූ හඩ අබමල් රේනුවකට හෝ ගණනකට නොගත් අප අද දියවැඩියාව, අධික රුධිර පීඩනය, තරබාරුව, පිළිකා වැනි සුව කල නොහැකි රෝග වලින් දුක් විඳින ජාතියක් බවට පත්ව සුසුම් හෙලන්නෙමු. ''කප්රුක'' ලෙස මුතුන් මිත්තන් හැඳින් වූ පොල් ගසට කල අපහාසයට අද අප වන්දි ගෙවනවා යයි කිවොත් බොහෝ අය මා සමඟ එකඟ වන බව මා ප්‍රත්යක්ෂවම දනිමි.

පොලේ බලේ ගැන පොත් ගණනාවක් ලිවිය  හැකිමුත් එය මදකට නවතා යලිත් පොල් සම්බෝලය දෙසට හැරෙමු. ලොව සෞක්‍යතම ආහාරය ලෙස අද හැඳින්වෙන පොල් වලට ගත සිත පුබුදුවා නැවුම් බව සහ ශක්තිය ලබා දීමට ඇත්තේ පුදුමාකාර හැකියාවක්. ඒ වාගේම දිවේ ඇති රස හඳුනාගන්නා ස්නායු පුබුදුවන්නටත්, ජීරණ යුෂ ශරාවය වීම උත්තේජනය කර ආහාර මාර්ගය අවධිකිරිමටත් පොල් වලට පුළුවන්.

 මගුලක්, දුරගමනක් වැනි අවස්ථාවකදී අවශ්‍ය අනවශ්‍ය දකින දකින දේ ආහාරයට ගන්නා අපේ ශරීරයත්, ආහාර මාර්ගයත් ඉක්මනින්ම ඒ නිසාම  විඩාවට පත් වෙනවා. මේ හේතුව නිසා තමයි මා මුලින් සඳහන් කල ආකාරයට එවන් විටෙක අපට පොල් සම්බෝලයක් කන්නට දොළ දුකක් පහල වන්නේ. මේ දොළ දුක සන්සින්දිමත් සමඟම ශරීරයේ විඩාව නිවී නැවත සාමාන්‍ය මට්ටමට පත් වන්නේ පොල් වල ඇති අප්‍රමාන අනිකුත් ගුණත් හේතු කරගෙන.


පොල් සම්බෝලයේ ප්‍රධාන අමු ද්‍රව්‍යය වන පොල් ලංකාවද ඇතුළුව පොල් වැවෙන බොහෝ රටවල පාරම්පරික වෛද්‍ය ක්‍රම වල මූලික ඖෂධයක්. නින්දෙන් අවධි වූවාක් මෙන් බටහිර පර්යේෂකයන් අද පවසන්නේ පොල් වල ඇති ගුණ ඔවුන් මවිතයට පත් කරන බවයි.  ඔවුන් පවසන්නේ ''විශ්මිත පොල් ගෙඩියේ'' ඇති වුවපත් කිරීමේ හැකියාව (healing power ) නිසා ගෙඩිවර්ග, තට්ටය පෑදීම, ඇඳුම, ස්වාස නාල අසාධන, පිළිස්සුම්, සෙම්ප්‍රතිශ්‍යාව,කැස්ස, මල බද්ධය, පාචනය, කන් ආසාධන, විදුරුමස් ආසාධන, ඔසප් වේදනා, වකුගඩු ගල්, ගොනොරියාව, මාන්දම, ක්ෂය රෝගය, පිළිකා, සමේ අසාධන, ආහාර මාර්ගයේ ආම්ලිකතාවය වැනි තව බොහෝ රෝග සුව කිරීම පිණිස යොදා ගත හැකි බවයි.


අපිට කියන්න තියෙන්නේ ''හොඳ වෙලාවට කිව්වේ අපි දැන්නේ දන්නේ'' කියලා. ඒ අපේ පුලතිසි පරපුරේ වෛද්‍යවරුන් සුද්දා වැද්දා කාලේදී සර්වාන්ගයේම රෝග සුව කිරීමට  පොලේ බලේ යොදා ගත්  නිසා.


  අත්තම්මා බොහෝ විට  පොල් සම්බෝලය හැදුවේ අලුතෙන්ම නෙලා ගත් පොල් යොදා ගනිමින්. බිම වාඩිවී හිරමනයේ ගා ගත් පොල් ඇය සම්බෝලයට හරවන්නේ අත් ගලේ රටාවකට අඹරා ගැනීමෙන් පසුව. පොල් සම්බෝලයට අවශ්‍ය අනිකුත් කළමනා තමා රතු ළූණු ගෙඩි කිහිපයක්, අමු මිරිස් හෝ කොච්චි කරලක් දෙකක්, උම්බලකඩ ස්වල්පයක්,වියලි මිරිස් කරල් කීපයක්, ලුණු, ගම්මිරිස් ඇට කීපයක්, සුදු ළූණු බිකක් දෙකක්. මේ සියලුම අමු ද්‍රව්‍ය මට නම් පෙනෙන්නේ ආහාර ලෙස නොව හැබෑවටම කියතොත් මහාර්ඝ ඖෂධ ලෙසට.

කලින් ලිපියකදිත් මා සඳහන් කල විධියට රතු ළූණු සෙම්ප්රතිශ්යා, උන, උගුරේ ආසාධන,සෙම් ගෙඩි වලට ගුණ මහඟු ඖෂධයක් . දිවේ කාරම් ගලවා  ඛේට ග්රන්ථි උත්තේජනය කර  ආහාර රුචිය ඇති කරන්න රතු ළූණු වලට ඇත්තේ මහා බලගතු හැකියාවක්. නුතන විද්යා පර්යේෂකයන් පවසන පරිධි ළුණු වල අධි පරාසයක පැතිරුණු ක්ෂුද්ර ජීවි නාශක (anti-microbial effect)හැකියාවක් තිබෙනවා.

ජීව විද්යාත්මක ගුණ බොහොමයක්  සහිත ඇලිසින්  (Allicin) නමැති සල්ෆ වර්ගය අඩංගු සුදු ලුණු වල විටමින් සි, බි, සෙලේනියම්, මැග්නිසසියම්, කැල්සියම්, පොටෑසියම් සහ තවත් බොහෝ පෝෂණ කොටස් අඩංගු වෙනවා. උන සෙම්ප්රතිශ්යාව වැනි රෝග වැලක්විමටත්, සමනය කිරීමටත් හැකි සුදුලුනු වලට ඇත්තේ පුදුමාකාර හැකියාවක්.රුධිර පීඩනය,  රුධිරගත කොලෙස්ටරෝල්  සහ සිනි අඩු කිරීමටත් උදව් වෙන සුදු ලුණු හදවතේ සෞක්‍යය පවත්වා ගැනීමට  හැකි ලොව  පවතින ප්‍රභලම ඖෂධයයි.

මේ සියලු දේ එකට අඹරා ගත්  විට ඇති සුවඳ සහ රසය සාමාන්‍ය වචනයෙන් ලියා අවසන් කරන්නට බැරි තරම්. පොල් සම්බෝලයේ අවසන් අදියර තමා දෙහි ගෙඩියක යුෂ මිරිකා කලවම් කර ගැනීම. දෙහි වාගේම කොච්චි හෝ අමු මිරිස් වල ඇති ප්‍රධානම පෝෂක ගුණය තමා විටමින් සි අධික බව. අමුවෙන් ආහාරයට ගන්නා නිසා මේ සියලුම අමු ද්‍රව්‍ය වල ඇති විටමින් සි 100%ක්ම විනාශ නොවී පොල් සම්බෝලයෙන් ශරීරයට ඇතුල් වෙනවා.

හර්දයේ, ස්වසන පද්ධතියේ, මුඛයේ සෞක්යය ආරක්ෂා කිරීම, පිළිකා, දියවැඩියාව, රුධිර පීඩනය, ස්වසන රෝග වැලැක්වීම, පටක අලුත්වැඩියාව, ආහාර රුචිය වැඩි කිරීම, සම රැක ගැනීම, දුලකහරණය, ආයු වැඩි කිරීම, ක්ෂුද්ර ජීවින්ගෙන් රැකවරණය ආදී මෙකි නොකී දහසක් කාර්යන් විටමින් සි මගින් සිදු වෙනවා.


 මේ සියලු කරුණු සලකා බැලූ විට එදිනෙදා ජීවිතයේදී වැඩිපුර නොසිතා අප ආහාරයට ගන්නා පොල් සම්බෝලය ඉතාමත් ගුණදායි ආහාරයක් නොවේද?



 ඕනෑම දෙයක් ඕනෑවට වඩා හොඳ නැතැයි කියන්නා සේ පොල් සම්බෝලය දිනපතා ආහාරයට ගැනීම  නම් සුදුසු දෙයක් නොවෙයි. තෙල් සහ පිෂ්ඨය අධික නිසාත් පෙර කල මෙන් සිරුර වෙහෙසා වැඩ පල කිරීම අඩු නිසාත් බෙහෙතක් වූවත් මාත්‍රයට වඩා ගැනීමෙන් විස වනවා සේ පොල් සම්බෝලයත් පමණට වඩා ගැනීම සුදුසු නැති බවත් මතක් කල යුතුයි.


අසම ගුණ ඇති දිවය රස ඇති අපේම වන මේ ආහාරය නිසි ලෙස පරිහරණය කර ඔබේ සෞක්‍යය වඩා ගන්නට නුවන පෑදේවායි පතමින් අදට නවතිමි.

රේණුකා විමලරත්න: ලන්ඩනයේ සිට
චායාරූප අන්තර්ජාලයෙන් (නම නොදත් ශිල්පීන්ට සියලු ගෞරවය හිමිවේ)




2 comments:

  1. උනු බතුයි පොල් සම්බෝලෙයි තියෙනන් වෙනමොනවද .පුදුමෙ කියන්නෙ පොල්සම්බෝලෙම නොයෙක් රසට හදන්න පුලුවන් එක . කොච්චි අඹරලා හැදුවම එක රසක් , වියලි මිරිස් වලින් තවත් රසක් , සම්බෝලෙ හදලා මලවලා ගත්තම තවත් රසක් , නැත්නම් සම්බෝලෙ හදලා තක්කාලි ගෙඩියක් හීනියට කපල දාල ගත්තමත් නියමයි,

    අපේ අය සම්බෝලෙ බාල්දු කරල කතාකලාට , මේ ලිපිය කියවපු අයට නම් එය රාජ භෝජනයක් වේවි. බොහොම ස්තූතියි රේණුකා මහත්මිය.

    ReplyDelete
  2. අපේ රටේ තිබෙන අහාර වල විවිධත්වය මෙන්ම ඒවායේ පෝෂණයත් කියලා නිම කරන්න බැහැ...කෑම අරුචියක් තියන කෙනෙක්ට උනත් අපහසුවක් නැතුව පොල් සම්බෝලයක් එක්ක බත් ටිකක් කන්න පුළුවන්...

    අපිට තව තව ලිපි ලියලා දෙන්න කියලා රේණුකා අක්කගේ ඉල්ලනවා,,,ස්තුති..........

    ReplyDelete