Friday, 24 February 2017

දියවැඩියාව 5 වන කොටස (Diabetes : Blood Sugar Range and Short Term Complications)

      සීනි නොම්මරේ සහ කෙටි කාලින සංකුලතා




දියවැඩියාව ඇති ලඟම  නෑයෙක් සමඟ දුරකථන සංවාදයක යෙදුන මං අනිත් තොරතුරු අතරේ හිමිං රෝගය ගැනත් විස්තර දැන ගන්න පොඩිපහේ උත්සාහයක යෙදුනා..

මෙන්න ලැබුණු උත්තරේ

'' ඔක්කොම හරි නංගි දැන් නොම්මරේ පහල තියෙන්නේ ඉස්සර 200 වැඩිනේ දැන් 130-150 අතර

මොකද්ද මේ දියවැඩියා නොම්මරේ?

ශරීර කුඩුවට ලේ වල තියෙන සිනි ටික දිරවා ගන්න බැරිව සිනි ලේ වල එකතු විමනේ දියවැඩියාව හැදිලා කියන්නේ. මේ ගැන විස්තර මුල් ලිපි කියවලා (දියවැඩියාව 1, 2, 3, 4)දැනගන්න පුළුවන්

සිනි නොම්මරේ මෙන්න මේ විධියයි

දියවැඩියාව නැති නිරෝගී කෙනෙකු 

කෑමට පෙර   70-100 mg/dL  අතර
කෑමෙන් පැය 2කට පසු   140 mg/dL අඩු

දියවැඩියාව ඇති කෙනෙකුට බෙහෙත් නියම කිරීමෙන් පසු පවත්වා ගන්නට බලාපොරොත්තුවන සිනි නොම්මරේ:


 
ළමා දියවැඩියාව (Type 1 Diabetes)

උදෑසන අවධිවන විට සහ කෑමට පෙර  70-120 mg/dL  අතර
කෑමෙන්  පසු  90-160 mg/dL අතර

ළමා දියවැඩියාව හැදුනු වැඩිහිටියෙකු (Adult with Type 1)

උදෑසන අවධිවන විට  90-120 mg/dL  අතර

කෑමට පෙර සහ දවසේ අනෙකුත් වෙලාවල් වලදී  70-120 mg/dL  

කෑමෙන් පැය  එකහමාරකට පසුව 90-160 mg/dL  අතර

වැඩිහිටි දියවැඩියාව (Type 2 Diabetes)

කෑමට පෙර  70-120 mg/dL  අතර
කෑමෙන්  පැය 2 කට  පසු  150 mg/dL අඩු

ගර්භනී දියවැඩියාව (Gestational Diabetes)

නිරාහාරව සිටීමෙන් පසු 95  mg/dL අඩු
කෑමෙන්  පැය 2 කට  පසු  115 mg/dL අඩු

 එතකොට කෙටිකාලින සංකුලතා කියන්නේ මොකක්ද?

 ඔය වගුව තම තමන්ට අදාළ කරගෙන බැලුවාම දැනගන්න පුළුවන්නේ බෙහෙත් ගන්නා අතරේ   ''පොතේ හැටියට''  තමන්ගේ සිනි නොම්මරේ තියාගන්න ඕනේ කොතනද  කියලා..

ඒත් ඉතින් පොතේ හැටියට වැඩ කරන එක එතරම් ලේසි වැඩක් නෙමෙයි..එදිනෙදා ජීවිතයේදී වෙන ක්‍රියාකාරිත්වයන් අනුව ඔය නොම්මරේ පොතේ කියන ගානට වඩා අඩු වැඩි වීම් වෙනවා..


ඒ වගේ අම්බානක අඩු වීමක් හෝ අම්බානක වැඩිවීමක් ක්ෂණිකව ඇති වීම නිසා බොඩි සිස්ටම් එක අංජබජල් වීම තමයි මේ කෙටිකාලින සංකුලතා කියන්නේ....

වර්ග දෙකකට සංකුලතා ඇතිවෙන්න පුළුවන් 

1 සිනි නොම්මරේ ජෙට් එකක නැගලා අහස උසට නැගීම නොහොත් Hyperglycemia

2 සිනි නොම්මරේ ෆ්ලැට් වෙන්නම පහල බැසීම නොහොත් Hypoglycemia

 සිනි නොම්මරේ තාවකාලිකව  ඉහල නැගීම (Hyperglycemia)

පුංචි උදාහරණයක් විධියට ඇඟේ  බර අඩු කරගන්න ඩයට් කරන්න පටන් ගත්ත කෙනෙක් ගම්මු..ඉතින් මේ හාදයට ඔය වැඩේ පටන් ගත්ත වෙලේ ඉඳන් වෙන දෙයක් පෙන්නේ නැහැ..යන යන තැන පේන්නේ කෑම .. මතක් වෙන්නේ කෑම හිත මෙල්ල කරගන්න හරිම අමාරුයි..ඉතින් දවසෙන් දෙකෙන් වැඩේ අල්ලලා දානවා..

බොහෝම  තද ආත්ම ශක්තියක් තියෙන කෙනෙකුට විතරයි  වැඩේ මගදී අබිලික් නොවී අල්ලං යන්න පුළුවන්..

දැන් දියවැඩියාව හැදුනාම කෙනෙකුට වෙන්නේ මේ පනිෂ්මන්ට් එක ජිවිත කාලය පුරාම විඳිනවා වගේ වැඩක්. 

කොහේ හරි තියෙන පාටි කඩා වැටෙනවා..හැමදාම මොකක් හරි කෑමක්..ඉතිං අර පොතේ හැටියට ''වැඩ කිරීම'' කෙසේ වෙතත් පොත ජනේලෙන් එලියට  විසිකරලා පාටිය භුක්ති විඳීම වෙනවා..

එහෙම නැතිනම් අද විතරයි කියලා ටොපි 10-15ක් නැත්නම් කේක් ගෙඩියකින් බාගයකට විතර තනියම වග කියනවා.. අන්න ඒ වගේ වෙලාවක සිනි වැඩි වෙලා සිස්ටම් එක අප්සට් යාම තමයි Hypeglycaemia කියන්නේ.

වෙනත් හේතු
1 මානසික ආතතිය (Stress)
2 හෙම්බිරිස්සාව උන වගේ වෙනත් ලෙඩක් හැදීම (Infection)
3 එකවරකට ගන්න  කෑම ප්‍රමාණය වැඩිවීම සහ අනවශ්‍ය අතුරු      කෑම (Large meals and snacking)
4 අවශ්‍ය පමණට ව්‍යායාම නොගැනීම    ( Lack of Exercises)
5 අධික උණුසුම සහ විජලනය (Hot weather and dehydration)
6 වෙනත් රෝගවලට ගන්නා ඖෂධ (Steroids)
7 දිනපතා ගැනීමට නියමිත් බෙහෙත් වෙලා මග හැරීම (Missed  medication doses)

හඳුනා ගන්නා  ආකාරය

1  පට්ටම තිබහ (Increased Thirst)
2  දිවකට වේලීම (Dry Mouth)
3  හෝගාලා චු බර (Increased urination)
4  සීන්  එක බොඳ වීම (Burred Vision)
5  මොලේ කචල් ගතිය (Confusion) 



මේ  ලක්ෂණ නිතර ඇතිවන බව ඔබටම දැනුනානම් කල යුතු දේ..

1  වැඩිපුර ජලය පානය: විජලනය වැළකේ..(Plenty of sugar free drinks)
2  ව්‍යායාම වැඩි කිරීම (Increase Exercises)
3  ආහාර රටාවේ වෙනස් කම් කිරීම : කුඩා ආහාර වේල් , අතිරේක  ආහාර නතර කිරීම (Change diet: small portions, no snacks)
4  වෛද්‍යවරයා හමුවී ඉන්සියුලින් /ඖෂධ මාත්‍රාව වෙනස් කිරීම (Adjust medication doses)



වැඩේ භයානක බව දැනගන්නේ කොහොමද?

මේ ලක්ෂණ ඇතිනම් වහාම වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍යයි.

1  වමනය යාම (Nausea/vomiting)
2  බඩේ රිදුම (Abdominal Pain)
3  හුස්ම ගැනීමේ වෙනස්කම් (Rapid Breathing)
4  හිසරදය, තොල් සම වියලීම වැනි විජලනයේ ලක්ෂණ (signs of  Dehydration :Dry skin, Headache)
5  සිහි මද ගතිය (Lack of Concentration)

සිනි නොම්මරේ තාවකාලිකව  පහල බැසීම Hypoglycemia

උදාහරණයකට දියවැඩියාවට බෙහෙත් ගන්න කෙනෙක් සිරිපාද කන්ද නගින්න ගියා කියමුකෝ..දැන් ඉතින් මේ හාදයා බෙහෙත් එහෙම බිලා සිනි මට්ටම පොතේ ගානට හදාගෙන තමයි වැඩේට බහින්නේ. නමුත් එකපාර ලොකු ව්‍යායාමයක් කිරීම නිසා දැන් මේ උන්දැගේ ශරීර කුඩුවේ සිනි ෆ්ලැට් වෙන්නම බහිනවා..මෙන්න මේ වගේ වෙලාවක තමයි තාවකාලිකව සිනි මට්ටම පහලට යන Hypoglycemia කියන තත්වය ඇති වෙන්නේ..

මිට අමතරව අවශ්‍ය ප්‍රමාණයට වඩා බෙහෙත් ගැනීම, බෙහෙත් ගැනීමෙන් පසු ආහාර නොගැනීම, අම්බානකට බිම..ඒ කියන්නේ වතුර නෙමෙයි ඇල්කොහොල්  යන හේතු හින්දත් Hypoglycemia ඇති වෙනවා.

දියවැඩියාව තියෙන කෙනෙකුට සිනි අඩුවීම එයාටම දැනගන්න පුළුවන් ලක්ෂණ වෙන්නේ අම්බානක බඩගිනි වීම, වෙව්ලීම , දාඩිය දැමීම වගේ ලක්ෂණ වලින්.


 වැඩේ භයානක විධියට අඩු වෙලා නම් වෙව්ලීම, දාඩිය දැමීම වැඩි වෙලා සිහි මද ගතිය ඇති වෙන්න පුළුවන්..සිහි නැතිවෙලා සිහි මුර්ජාවිම මට්ටමට යාම අන්තිම භයානක තත්වය.



හදිසි ප්‍රතිකාර මොනවද?

මුල් ලක්ෂණ ඇති වුන වහාම  තැනේ  හැටියට තිබෙන ඕනෑම පැණිරස බිමක්..ඔරෙන්ජ්බාර්ලි, ක්‍රීම්සෝඩා .ෆැන්ටා කොකා කෝලා වගේ දෙයක් වුනත් කමක් නැහැ..වැඩිපුර සිනි දාපු තේ එකක් ..ග්ලුකෝස් හැන්දක් වගේ දෙයක් දෙන්න පුළුවන්..
 
ඊළඟට පිෂ්ඨය තියෙන සෙමෙන් දිරවන ආහාරයක්..කෙසෙල් ගෙඩියක්, පාන් පෙති දෙකක්, ඒ නැතිනම් බත් වුනත් කමක් නැහැ..

සිහිනැති මට්ටමේ නම් කෑම බිම දෙන්න උත්සාහ කරන්න එපා වහාම රෝහලකට ගෙන යන්න .



මීළඟ කොටස: දියවැඩියාවට දෙන ඖෂධ  සහ ඒවායේ සංකුලතා හඳුනා ගනිමු

මුල් ලිපි මෙතනින් බලන්න 

දියවැඩියාව1
දියවැඩියාව2
දියවැඩියාව3




ලිපි මාලාව ගැන:
 අද වන විට ලොව පුරා වෙසෙන ඇස්තමේන්තුගත දියවැඩියා රෝගීන් ගණන මිලියන 415කි. අනුව ලෝක ජනගහනයෙන් 11කින් එක් අයකු දියවැඩියාවෙන් පෙලේ. මින් වැඩිම ප්රමාණයක් රෝගීන් අයත්වන්නේ ඉන්දියාව ඇතුළු දකුණු දිග ආසියාවටයි

තුන්වන ලෝකයේ අධ්යාපනය සහ ආර්ථික මට්ටමින් පහල රට වල ශීග්රයෙන් පැතිර යන, සුව කල නොහැකි දියවැඩියාව, ලංකාව වැනි  අකුරු හැකියාව වැඩි රටක  පැතිර යන්නේ පිළිබඳව නිසි අධ්යාපනයක් නැතිකම, ආහාර රටාව සහ ව්යායාම මද කම නිසාවෙන්

2011සංගණන වාර්තාවන්ට අනුව දකුණු ආසියාවේ දියවැඩියාව වැඩිම රටවල් අතරින් තුන් වන රට බවට පත්ව ඇත්තේ ලංකාවයි. මේ වාර්තාවට අනුව 2011 දී දියවැඩියා ලංකාවේ ජාතික ප්‍රවනතාවය 7.8%කි

වසර 5කට පසුව ඊයේ පෙරේදා මාදුටු වාර්තාවකින් කියවෙන්නේ ලංකාවේ වැඩිහිටියන් හය දෙනෙකුන් එක්  අයෙකු එනම් 16.6%ක්  අද වන විට දියවැඩියාවෙන් පෙලෙන බවයිහෙට දින ඔබ වෙත මරු ගෙන එන දියවැඩියා  රෝගය වලක්වා ගැනීමට හෝ රෝග පාලනය කිරීමට වෙනුවෙන් ඔබ දැනුවත් කිරීමේ ලිපි මාලාවයි මේ.

රේණුකා විමලරත්න : ලන්ඩනයේ සිට
(Qualified Diabetic Nurse Specialist: Masters level: Buckinghamshire New University: London)

(චායාරූප අන්තර්ජාලයෙන් )

References:
International Diabetes Federation
World Health Organization
American Diabetes Association
Diabetes UK






Thursday, 23 February 2017

පිළිකා ගෙනෙන සැකසු මස් (Danger of Processed Meat)

                                      අනාගතය ජයගන්න 
                     අම්මිගේ  විශ්වාසය  සමඟ....


''අම්මා කෝ නැන්දා ...?''

''නැන්දා කඩේට ගියානේ පුතා..''

'' මේ එන්නේ....''

රස කැවිල්ලක් ලබා ගන්නඅම්ම තාත්තා , නැන්ද මාමලා එනතුරු පුංචි එවුන් මග  බලා සිටි  කාලේ ඉවර වෙලා .. වෙනුවට මේ පුතා බලා සිටියේ මස් කන්න..නිකන්ම  මස් නෙමෙයි ''සකස් කල මස් '' (Processed Meat )

මේ විධියට අපට කියන්නේ බකවාහිනියේ.. විතරක් නෙමෙයි පුංචි එකාගේ දිවි ගමන දිනවන රහස තියෙන්නේ ප්ලාස්ටික් පැකට් එකක අසුරපු රෝල් කරපු මස් ගුලි වල කියලා තමයි බකවාහිනියේ ඉන්න පියරු බබා අම්මාවරු, ගුරුවරියෝ  අපට කියන්නේ..

ලංකාවේ ''සැකසු මස් වර්ග'' විකුණන  සමාගම්  දෙමව්පියන් අන්දන්නේ මල් වගේ පුංචි දරුවෝ ,නැත්නම් ක්‍රිකට් ක්‍රීඩකයෝ ඉස්සරහට දාලා....

මේ වෙළඳ දැන්වීම් මගේ මතකයට ආවේ මෑතකදී මා සහභාගී වූ ලෝක ප්‍රතිජීවක සුරකින්නනගේ (Antibiotic Guardian )ලන්ඩනයේ පැවතී වාර්ෂික සම්මේලනයේදී ...

සත්ව නිෂ්පාදන නිසා සිදුවන ප්‍රත්ජිවකමය  සහ වෙනත් සෞක්‍යමය  හානි ගැන සාකච්චා කෙරුණු මේ  සම්මන්ත්‍රණයේදී අතුරු මාතෘකාවක් ලෙස  සකස් කල මස් වලින් නිවසට පැමිණෙන පිළිකා මාරයා ගැනද අවධානයක් යොමුවුනා.

''සකස් කල මස් නිෂ්පාදන'' පිළිකා කාරක අඩංගු සහ මිනිසාට අහිතකර  ආහාර වර්ගයක් ලෙස ලෝක සෞක්‍ය  සංවිධානය විසින් නම් කිරීම නිසා.

පිළිකා හැදීමේ සම්භාවිතාවය අනුව ලෝක සෞක්‍ය   සංවිධානය පිළිකා කාරක  වර්ග 5කට බෙදා තිබෙනවා. ''සකස් කල මස්’’ ඔවුන් වර්ග කර  ඇත්තේ අනිවාර්යෙන් පිළිකා හැදෙන බවට නම්  කර ඇති ''group 1'' කොටසටයි.. 

මෑතක් වනතුරු  මේ කාණ්ඩයට  අයත්ව තිබුනේ දුම්වැටි, ඇස්බැස්ටෝස්, ආසනික් සහ ඒ හා සමාන වෙනත් භයානක පිළිකා කාරකයි..ලෝක සෞක්‍ය සංවිධානය මේ තීරණය ගැනීමට පෙර එය සනාත කර ගැනීම සඳහා 800කට අධික පර්යේෂණ වාර්තා සැසඳීමට ලක් කල බවයි කියවෙන්නේ.



මොනවද මේ ''සකස් කල මස්'' කියන්නේ..?


''
සකස් කල මස්'' ලෙස  හැඳින්වෙන්නේ කල්  තබා ගැනීමට  විවධ රසායන වර්ග යොදා පිළියෙළ කරන මස් නිෂ්පාදන .

සොසේජස්, මිට් බෝල්ස්, නගට්ස්, ඩිපර්ස්, බර්ගර් වගේ සියලු මස් නිෂ්පාදන,හැම් , බේකන්, සලාමි වර්ග සහ ටින් කල මස් වර්ග ගැනෙන්නේ  සකස් කරපු මස්  ඝනයට..

ලේසියටත්  පහසුවටත් දරුවන්ට පාසල් ගෙනයන්න සකස් කරන්න  කියා බකවාහිනියෙන්  මව්වරුන් උනන්දු කරන්නේ මේ සකස් කල මස් වර්ගයි..
විතරක් යෑ මහත්තය ප්‍රොමෝෂන් ගත්තාම යාළුවො එක්ක ගෙදර එද්දී පාටියට හදන්නෙත් ඒවානේ..

සැකසු මස් වර්ග වැඩිපුර ආහාරයට ගන්නේ කවුද?


දියුණු රටවල සකස් කල මස් වර්ග මිනිසුන්ගේ සෞක්‍යයට  අහිතකර ආහාරයක් ලෙස හඳුන්වා දී ඇත්තේ දශක කිහිපයක  සිට. විශේෂයෙන්ම සොසේජස්, බර්ගර් වැනි ආහාර නිතර ගැනෙන්නේ සෞක්‍යයට අහිතකර  ආහාර රටාවක් ඇති  නිතර දුම්බීම සහ මත්පැන් බිමට ඇබ්බැහි වූ අධ්‍යාපන මට්ටමෙන් අඩු අය..එහෙමත් නැතිනම් අඩු ආදායම් ලබන පවුල් වල අය.. අහිතකර ආහාර නිසා මේ රටවල මිලෙන් අඩුයි විකුණා ගැනීමේ පහසුවට..

සාමාන්‍ය ආර්ථික මට්ටමක් සහ අධ්‍යාපනය සහිත  පවුල් වල මෙවැනි ආහාර ගැනෙන්නේ කලාතුරකින් විනෝද චාරිකාවක් බාබකිව් සාදයක් වැනි  අවස්තාවක . ඒවායේ ඇති භයානක කම ගැන ඔවුන්ට ඇති  අවබෝධය නිසා 

අවාසනාවකට දරුණු පිළිකා කාරක සහිත මේ ආහාර අපේ රටේ වැඩි වශයෙන් ලබා දෙන්නේ කුඩා ළමයින්ට. දෙමව්පියන් මාළු/ එළවලු  කන අතරේ ළමයින්ට පමණක් සොසේජස් ගෙනත් දීම, බකවාහිනියට ඇබ්බැහි වී ඇති ළමුන් සොසේජස් නැතිව බත් කන්නට බැරි බව කියමින් උද්ඝෝෂණ වල යෙදෙන අවස්ථා මා දැක තිබෙනවා..එමෙන්ම මිල අධික මේ ආහාර වැඩි වශයෙන් ගැනෙන්නේ අධ්‍යාපනයක් සහිත යමක් කමක් ඇති අය.

සැකසු මස් වලින් පිළිකා හැදෙන්නේ කොහොමද?

මස් වර්ග කල් තබා ගැනීමට එකතු  කරන රසායන වර්ග අතර මුලික වර්ගයක් ''සෝඩියම් නයිට්රයිට්’’

වගේම මස් සකස් කිරීමේදී කුඩාවට ඇඹරීම නිසා මස් වල ඇති ප්‍රෝටීන් මගින් ‘’සෝඩියම් නයිට්රයිට්’’ පිටවෙන බවකුත් සොයා ගෙන තිබෙනවා..සාමාන්‍ය තත්ත්ව යටතේ සිරුරට හානිකර නැති මෙම රසායනය පිසීම සඳහා ආහාර උෂ්ණත්වයට ලක්වූ වහාම ''Nitrosomine '' නම් රසායනය බවට හැරෙනවා. Nitrosomine ආහාර මාර්ගයේ පිළිකා ඇති කරන දරුණු පිළිකා කාරකයක්..

මස් වර්ග අධි තාපයට අල්ලා  පිසීමේදී පිටවන  ''Hetarocyclic Amines''  නම් රසායනය පිළිකා කාරක වීම ඊළඟ හේතුවයි. මෙම  රසායනය ඕනෑම මස් වර්ගයක අඩංගු  නමුත් සොසේජස් වර්ග  පිසීමේදී  සෞක්‍යයට  තර්ජනයක් වන ලෙස අධිකව  නිපදවෙන බවයි කියවෙන්නේඒනිසා  නිතර සොසේජස් ආහාරයට ගන්නා අයට රෝගය ඇති වීමේ සම්භාවිතාවයද වැඩියි..

දුම්ගසා සකස් කරන සලාමි වර්ගයේ සොසේජස් වල සහ බේකන් වල විශාල වශයෙන් ඇතැයි  සොයාගෙන ඇති ''Polycyclic Aromatic Hydrocarbon'' නමැති රසායනය තවත් හේතුවක්. මෙයද ආහාර මාර්ගයේ පිළිකා සඳහා හේතුවන භයානක රසායනයක් .

''සැකසු මස්'' නිසා පිළිකා ඇතිවීමට ගත වෙන කාලය??

සොසේජස් ආහාරයට ගත්  පමණින් එකවර  පිළිකා ඇතිවන බවට සාධක හමු වී නැහැ.. දැනට සොයාගෙන ඇති සාධක වලට අනුව  නිතර ආහාරයට ගන්නා කෙනෙකුට  වසර 10-15ක් පමණ කාලයක් ගතවූ පසු පිළිකා ශෛල වැඩීම  ආරම්භ වෙන්න පුළුවන්..

කෙටියෙන් කිවොත් නිතර මේ ආහාර ගන්නා දරුවෙකුට ඔහුගේ/ඇයගේ  තරුණ කාලයේදී පිළිකා ඇති වීමට පුළුවන්.. ළමා තරුණ කියා වෙනසක් නැතිව සියලු දෙනාම පිළිකා අවධානයට ලක් වෙනවා

සකස් කල මස් නිසා ඇතිවිය හැකි  වෙනත් සංකුලතා මොනවාද?

පිළිකාවට අමතරව තරබාරු බව, හදවත් රෝග, දියවැඩියාව, සතුන්ගේ බර වැඩිකිරීමට ලබා දෙන ලිංගික හෝමෝන නිසා වයසට පෙර ලිංගික පරිනත බව වැනි වෙනත් බොහෝ රෝග ඇති වීමේ සම්භාවිතාවය මෙම ආහාර නොගන්නා  අයට වඩා ගන්නා  අයට වැඩි වේ.

අපේ රටේ ඇත්තේ නියම සොසේජස් නෙමෙයි කියන්නේ ඇත්තද?

සොසේජස් වර්ග දෙකක් තිබෙනවා

එකක් මස් ලොකු කැබලි වලට අඹරා සකස් කරන සොසේජස්..පහත රුපයේ  දැක්වෙන්නේ එම සොසේජස්.


අනික් වර්ගය ජර්මන් සොසේජස්.. තමා  ෆ්රන්ක්ඵර්ට් සොසේජස් (Frankfurters ) නැත්නම් හොට් ඩෝග් (Hot Dog) කියන වර්ගය. ''හොට්  ඩෝග්'' සාදන්නේ මස් ඉතා සියුම්ව ඇඹරීමෙන්.



නිසි ලෙස තත්ත්ව  පරිපාලනය නැති රටවල මේ වර්ගයට පහසුවෙන් ඉවත දමන මස් වල තෙල් කොටස් සහ කාටිලේජ වැනි දේ එකතු කිරීමට හැකියාව තිබෙනවා. අපේ රටේ සොසේජස් ලෙස වෙළඳ පොලේ ඇත්තේ ''හොට් ඩෝග් '' කියන වර්ගය.

මස් සියුම් ලෙස ඇඹරීමේදී  මස් වලට සිදුවන හානිය වැඩිවීම  සහ අනිකුත් කාරනා සලකා බලන විට අපේ රටේ තිබෙන්නේ ගුණාත්මක බැවින් අඩු වර්ගය.

වෙළඳ දැන්වීම් වලින් කියන තරම් ප්‍රෝටීන සහ පෝෂක කොටස් ''සකස් කල මස් නිෂ්පාදන'' වල තිබෙනවාද?

ඕනෑම ආහාරයක පෝෂක කොටස් එහි ඇති පරිදිම අඩංගු වන්නේ එය නැවුම්ව ලබා ගන්න අවස්ථාවේ. කල් ගතවෙන විට පෝෂක කොටස් විනාශ වෙනවා

වෙරළෙන් අල්ලාගත් ගමන් මාළුවෙකුගේ තිබෙන පෝෂණය ෆෝමලීන් දමා කල් තබා ගත් මාළුන්ගේ නැති බව ඔබ දන්නවානේ..ෆෝමලීන් නිසා විස වුනු මල කුණක් විතරයි .

මස් සකස් කිරීමේදී ඇඹරීම, රසායන වර්ග එකතු කිරිම සහ දිගු කලක් තබා ගැනීම වැනි හේතු නිසා නිසා නැවුම් මස් වල ඇති පෝෂක ගුණ බලාපොරොත්තු වන්නට බැහැ .

පසු සටහන:
''සකස් කල මස්'' පිළිකා අවධානය අධික ලෝක සෞක්‍ය සංවිධානයෙන් පිළිකා කාරක අඩංගු නිසා භාවිතා නොකළ යුතු බවට නම් කල ආහාරයක්.

නිතර ආහාරයට ගැනීමෙන් මේ අවධානය වැඩි වේ..

මේ ආහාර නොගන්නා ලෙසට   ලිපියෙන් නොකියමි. එහි ඇති අවධානය සහ  දත්ත පමණක් දක්වා ඇත. භාවිතය ඔබේ රුචි අරුචිය මත වේ.

සටහන අවසන් කිරීමට පෙර එක්තරා වෛද්‍යවරයකු මෑතකදී පුවත් පතකට කල වටිනා ප්‍රකාශයක්ද  මතක් කිරීමට කැමැත්තෙමි.
'' අද යන විධියට ගියොත් දරුවන්ගේ මිනි වලට දෙමව්පියන්ට කරගසන්නට වන අනාගතය බොහෝ දුර නොවේ''

Rerences:

රේණුකා විමලරත්න: ලන්ඩනයේ සිට
චායාරූප: අන්තර්ජාලයෙන්