Friday 22 July 2016

කයිදම් බතේ වර්ණනාව

                                     කයිදම් බතේ වර්ණනාව  


බොහෝ කලකට පසු අස්වනු නෙලා ගොඩ ගෙනවිත් සෞභාග්යය සමරන සිංහල අවුරුදු කාලයේ ගමරට බලා යන්නට මෙවර සිංහල අවුරුද්දේදී අපට භාග්යය ලැබුණි. හදවතේ ඇඳි අවුරුදු සිතුවම් සමඟ ලක්බිමට ගොඩ බැසී අපගේ සිහින සිතුවම් තෙමි වියකි යන්නට ගත වූයේ දින දෙක තුනකටත් වඩා අඩු කාලයක්.. පුරුදු ලෙස ගමේ ගොවිතැන් බත් කටයුතු කෙරෙතත් එය කෙතරම් යාන්ත්රික වී හා සබැඳුනු වත් පිළිවෙත් අපෙන් ඇත්වී ගිහින්ද.. 

පොලව කෙටිමෙන් ආරම්භ වන ගොවිතැන් වැඩ ඉන් අනතුරුව මැඩවීම, වී ඉසීම, අඩු තැන් වල පැල ඉන්දවිම දක්වා කාලයද, අස්වනු නෙලා ගෙට ගන්නා කාලයද  ගම්මානයේ සියලු දෙනාටම ඉතාමත් කාර්ය බහුල කාලයකි. මේ කාර්යයන් සියල්ල සිදුවන්නේ සාමුහිකව මිස තනි තනිව නොවේ. සියල්ලෝම එක සේ කය වෙහෙසා වැඩ කෙරෙන කාලයක් වුව ගැන මැසිවිලි කීමක් කාගෙන් වත් සිදුවන්නේ නැත.


වෙහෙසකර වූ ගොවිතැන් වැඩ කටයුතු වෙහෙසක් නැතුවා සේ කරගෙන යාමට කුඹුරේ කමතේ සිදුවන රසවත් සිදුවීම් මනා උපකාරයක් වුවත්, ඊටත් වඩා උපකාරී වන්නේ ගෙවිලියන් රසවත් ලෙස සාදන කයිදම් බතයි. විවිද පලාත් වල වෑදම් බත, ඇඹුල වැනි නම් වලින් හඳුන්වන, කුඹුරු නියරේ හෝ අවට ගස් සෙවනක වාඩි වී කෙසෙල් කොලයට හෝ නෙලුම් කොලයට බෙදා ආහාරයට ගන්නා දිවා ආහාරයේ ඇත්තේ දිව්යමය රසයක්.


කයිදම් බත තරමට සම බර - සම බල ආහාරයක් මා මින් පෙර වෙන කොහේදී හෝ අත්දැක රස විඳ නැතැයි කිවොත් නිවැරදියි. මේ ලිපියෙන් මා විස්තර කිරීමට යන්නේ කයිදම් බතේ පෝෂණ ගුණ සම බර කර ගැනීමට එදා අපේ ගෙවිලියන්ට තිබු හැකියාව ගැනයි

කයිදම් බත සඳහා එදා යොදා ගැනුනේ රතු මානික්කම්, සුවදැල්, කළු හීනටි වැනි අපේ රසවත් සහලින් පිසූ සුවඳ හමන බත් වර්ග. මේ සහල් වලින් පිසූ බත් දිරවීමට පැය ගනානාවක් ගත වන අතර ශක්තිය සෙමෙන් සැපයීම නිසා කුස ගිනි ඇතිවීමක් හෝ වෙහෙසක් දැනීමකින් තොරව පැය 7-8ක් වුවත් එක දිගට කය වෙහෙසා වැඩ කිරීමට හැකියාව ලැබෙනවා. එමෙන්ම මේ සහල් විටමින් බි, ෆෝලික් ඇසිඩ් වැනි විටමින් වර්ගයන්ගෙන්ද, වෙනත් ඛනිජ වර්ග වලින්ද පොහොසත්. මේ බත ගෙන එන්නේ බොහෝවිට සවැන්දරා කොළ වලින් සැකසු පෙට්ටි හෝ පන් පෙට්ටි වල අතුරා කෙසෙල් කොළ උඩට අතුරා.උණු බත මේ පෙට්ටිවල ඇතිරූ විට ආහාර රුචිය වඩවන අපූරු සුවඳක් සමඟ රසයක් බතට එකතු වෙනවා.
බත සමඟ ව්ය්නජන කීපයක්ම රැගෙන ඒම සාමන්ය සිරිතක්. ව්යංජන ගණන තීරණය වන්නේ දිනයේ වැඩ කෙරෙන කුඹුරේ අයිති කරුවාගේ ඇති හැකි ප්රමාණය අනුවයි. සාමාන්යයෙන් ගම් මුලාදැනි හෝ ආරච්චි මහතෙකුගේ කුඹුරු කට්ටියේ නම් වෑදම බොහෝ ජයට ව්යංජන හත අටකින් යුතු වෙනවා.


  මේ ව්යංජන වර්ග අතර කොස්, දෙල් හෝ ගමේ වැඩෙන අල වර්ගයක්, ලුණු මිරිසක්, අමු පොල්, කොළ වර්ගයක්, ගමේ ගොඩේ බහුල එළවලු වර්ග දෙකක් පමණ, කරවල හෝ මාළු වර්ගයක් සමඟ ඇතැම් විට ධාන්ය වර්ගයකුත් ඇතුල් වෙනවා. විශේෂත්වය වන්නේ මේ සියල්ල තමන්ගේ වට පිටාවෙන් සොයා ගන්නා දෑ වීමයි.

කොස්, දෙල්, මයියොක්කා වැනි අල වර්ග වල අඩංගු වන්නේ ඉක්මනින් දිරවන පිෂ්ඨය. නිසා බතෙන් සපයන ශක්තියට අමතරව කය වෙහෙසීමට හදිසියේ අවශ්ය වන ශක්තිය මේ වර්ග වලින් සපයා පිෂ්ඨ සමබර තාවයක් ඇති කෙරෙනවා

මේ සමඟ ආහාරයට ගන්නා අමු පොල් සහ ලුණුමිරිස ශරීරයේ වෙහෙස මග හැර ක්ෂණික නැවුම් බවක් ලබා දී වෙහෙස අමතක කරවා ශරීරය උත්තේජනය කරන අතරම ආහාර රුචිය වඩවනවා



එළවලු වර්ග ලෙස පිසෙන්නේ ගමේ ගොඩේ කාලයට සුලභ දේවල්. වට්ටක්කා, කැකිරි, මෑ කරල්, කරවිල, කෙසෙල් මුව, බණ්ඩක්කා, පතෝල, වැටකොළු වැනි එළවලු වර්ගයක් දෙකක් අනිවාර්යයෙන් ඇඹුලට එකතු වෙනවා. එළවලු බොහෝ විට පිසින්නේ රතුළුණු උම්බලකඩ දමා හිදෙන්නට, ගෙන යාමේ පහසුවටත්, ඉක්මනින් නරක් වීම වළක්වාලීමටත්, රසය වැඩි කර ගැනීමටත්. මෙවැනි එළවලු තන්තුවලින් සහ විටමින් වර්ග වලින් පිරි තිබෙනවා.

  විටමින් බහුල නිසා කය වෙහෙසා වැඩ කරන්නන්ගේ ගෙවුණු පටක ඉක්මනින් අලුත් වැඩියා කර ඔවුන්ගේ වකුගඩු, හදවත් නිරෝගිව තැබීමටත් ඒවා ඉවහල් වෙනවා. කරවිල, දියලබු වැනි අපේ බොහෝ එළවලු වල ඇති පොදු ගුණාංගයක් තමා පරපෝෂිත ආසාධන වැළක්වීමේ හැකියාව. දවස පුරා මඩ වතුරේ නිරුවත් දෙපා ගැටෙන ගොවි මහතුන්ට සම විද ඇතුළුවන පරපෝෂිත ආසාදන (මැලේරියාව, පණු ආසාදන) වලක්වා ගැනීමට හැකි ප්රතිශක්තිය ලබා දීමට ප්රවේශමින් වෑදමට තෝරාගත් මේ එළවලු වර්ග උපකාරී වුනා.

කොළ වර්ග බැලුවොත් ඒවාත් අනිවාර්යයෙන් ගමේ එදා දිනයේ පහසුවෙන් සොයා ගත හැකි වර්ගයක්. ගොටුකොල, මුකුනුවැන්නා, තෙබු කොළ, කොහිල, මඩුදලු, සාරන, නිවිති, කන්කුන් වැනි දෙයක් ගැලපෙන සේ පිසීමෙන්, මලවිමෙන් හෝ සම්බෝලයක් ලෙස එක්කිරීමට එදා ගෙවිලියෝ දක්ෂ වුවා. මේ සියලුම වර්ග යකඩ, විටමින් අධික පලාවර්ග. ගුණ නම් ලියා ඉවර කරන්නටත් අපහසුයි. මල බධ්ධය වලක්වා, අහාර මාර්ගය පිරිසිදු කර ශරීරය සුවසේ පවත්වා ගැනීමට කොළ වර්ග වල ඇති හැකියාව හරිම අපූරුයි.

  බොහෝ කොළවර්ග වල ඇති ප්රධාහය වැළක්වීමේ හැකියාව වෙහෙස වී වැඩ කරන්නන්ගේ හන්දිපත් අමාරු මැඩලීමට උපකාර වෙනවා. එපමණක් නොවෙයි පසු දින නැවතත් පහසුවෙන් වැඩ කිරීමටත් සුව නින්දකටත් උපකාරවනවා.කය වෙහෙසා කුඹුරේ වැඩ කල තමන්ගේ ස්වාමියන්ට , පියවරුන්ට සහ පුතුන්ට මේ ගුණ අඩු නැතිව ලබා දෙන්නට ඇඹුල සැකසු ගෙවිලියන් දැන සිටියා.

 කයිදම් බතට මස් වර්ග අඩංගු වුනේ නැහැ. පළාතේ ආකාරයට වැව් මාළු හෝ මුහුදු මාළු එසේ නැතිනම් කරවල හොද්දක් තමා එක්වුයේ. ලවන අධික කරවල වලින් දහදිය නිසා ශරීරයෙන් පිටවන ලවන යම් ප්රමානයකයකට නැවත සිරුරට ලබා දීමක් සිදු කෙරුනා. මාළු කරවල වලින් සැපයෙන ප්රෝටීන් මගින් පටක අලුත්වැඩියාව ඉක්මන් කෙරෙනවා. වෙහෙස වී වැඩ කරන්නන්ගේ පටක ඉක්මනින් අලුත්වැඩියාව ඉතා වැදගත්.



 අතුරුපසට එක්වුයේ ගෙවත්තක ඉඳුණු වැල වරකා, අඹ, අනෝදා, අන්නාසි, ගස්ලබු වැනි පළතුරක්. කයිදම් බතේ බර අඩුකර දිවට නැවුම් රසයකුත් කුසට සැහැල්ලුවකුත් ලබාදී බතේ තිබු සියලු පෝෂක ඉක්මනින් සහ මනාව ශරීරයට අවශෝෂණය කරවීමට මේ පලතුරු වල තිබු විටමින් වර්ග උපකාරී වුනා.

 මෑතකදී කයිදම් බතක් මා දැක නැත. නමුත් පවතින වට පිටාවට අනුව අද කයිදම් බතේ අඩංගු වීමට හැකි දෑ ගැන සිතුවමක් මගේ මනසේ මැවී තිබේ. මැගී සුප් කැට දමා එළවලු තෙලෙන් තෙම්පරාදු කල අල හෝ පරිප්පු සමඟ, ෆ්රයිඩ් රයිස් හෝ සම්බා බත්, චිකන් නගට්ස් හෝ කීල්ස් සොසේජස්, රස කාරක සමඟ දඩයම් බට්ටන් සමඟින් පානයට කොකා කෝලා.



අප පසුකර ගිය එක ගම්මානයක් ගොයම් නෙලන අවස්තාවක් දුටිමි..සුනාමිය හෝ භූතයා නමැති මහා පරිමාන යන්ත්රයකින් පැය දෙක තුනකදී අක්කර ගණනාවකදී ගොයම් කපා සුලන් කර අස්වැන්න මලු කර අවසන් කරයි..කාලයේ වෙනසත් සමඟ ගොවි ජනතාවට මේ වෙනස සමඟ වෙනස් වීමට සිදුවීම ගැන තර්කයක් නැත.. නමුත් කණ්ඩායම් හැඟීම,සමගිය,නායකත්වය,බෙදා හදා ගැනීම ප්රගුණ කල නෙලුම් කවියෙන්ගොයම් පෑගිල්ලෙන් තුන් සරණය සිහිකළ..අපේ සුන්දර ගම අපට අහිමිව ඇත..කයිදම් බතේ රස අද අතීත සිතුවක් පමණක්ව  ඇත.. 

 රේණුකා විමලරත්න: ලන්ඩනයේ සිට
චායාරූප අන්තර්ජාලයෙනි




5 comments:

  1. ගොයම හා බැදී අපූරු සංස්කෘතියක් අපට හිමි උනත් අද අපි බහුජාතික බුවල්ලන්ගේ ප්‍රචාරක දැන්වීම් ඔස්සේ ගොස් ,අප දරුවන්ට වස විස කවන්නෙමු,,කමතක ඇබුලක මිහිරියාව අද ඔවුනට අහිමිය.දේශීය සහල වැළලී ගොසින්ය.පිදුරු කන්නා සේ අප වෙළද පොලේ ඇති කෘමිනාශක යෙදු සහල් ගෙනවිත් කෘමිනාශක යෙදු එළවලු සමහ කන්නෙමු,,,ඉන්පසු සැදෙන ලෙඩ සොයාගන්නට ජිවක වේද දුරු තුමන් ආවත් බැරිය... කෘෂිකර්මාන්තයේ අනාගතය කෙබදු වේද??

    සිතන්නට යමක් ඔබ සතුය.... හද පිරි ස්තුතිය රේණුකා සොහොයුරියට ,,,,දුරු කතර සිට සයිබ' අවකාශයේ ,ඉතාමත් මහන්සියෙන් මනස්කාන්ත ,,,, වටිනා ලිපි සකසනවාට........

    ReplyDelete
  2. Fantastic. ...thank you!

    ReplyDelete
  3. Dont you think that it is very unfair to expect others to lead traditional lifestyle while you are living in a western country? Why didnt you stay here and contribute to protect our traditions and culture?

    ReplyDelete