Monday 5 September 2016

අපි නොදන්න මල්- තණමල්විල මල් Cannabis


මල් ගැන කතා කලාම සමනලුන්ට,මී මැස්සන්ට පසුව අපට සිහි වන්නේ කාන්තා පක්ෂය, ඔවුන් මල් වලට ඇති කැමැත්ත නිසා. නමුත් මේ විශේෂිත මල් වර්ගයට නම් වැඩිපුර ඇලුම් කරන්නේ පුරුෂ පක්ෂයයි. මිනිසුන් බොහෝ විට දකින්නේ, දන්නේ තමන්ගේ වටපිටාව අනුව පිපෙන මල් වර්ග පමණක් වුවත් මේ මල් වර්ගය නොදන්නා ලොව කිසිඳු ප්රජාවක් නැති තරම්. මල් වර්ග සියලුම ප්රජාවන් සහ ආගම් වලට බැඳී ඇතත් මේ මල් වර්ගය ආගම් වලින් වාගේම බොහෝ රටවල සාමාජිය සිවිල් නිතියෙන්ද තහනමට ලක්වී තිබෙන්නේ. කොතරම් තහංචි දැමුවත් මේ මලට ඇති ජනප්රියතාවය සහ ඉල්ලීම අඩු නොවීම තමා මේ මලේ ඇති අනුකුත් විශේෂත්වය. ඇත්තටම මොනවද මේ ''තණමල්විල මල්''?

මේ අපූරු මල හට ගන්නේ ''කංසා'' නැතහොත් ''ගංජා''නමින් එසේ නැතහොත් cannabis Sativa යන උද්භිද විද්යාත්මක නමින් හඳුන්වන ඖෂධිය පැළෑටියෙන්. අරුම පුදුම් මේ මල් වර්ගය ගැන බොහෝ අයට ඇත්තේ දන්නා කමට වඩා ජුගුප්ත්සා ජනක හැඟුමක් .තරුණ පිරිමි දරුවන් බොහෝ දෙනෙකුට මේ මල ගැන අවබෝධයක් නැති මුත් නොදන්නා බව පෙන්වා ''කිච'' වෙන්නට බැරි නිසා දන්නා බව පෙන්වා අමාරුවේ වැටීමයි සිදු වෙන්නේ. ඖෂධයක් වුවත් මාත්රාව ඇතිව නිසි රෝගයට නිසි වෛද්යවරයාගෙන් ලබා නොගත්තොත් ඇතිවන්නේ බරපතල අතුරු අබාධ. හා සමානව බොහෝ ඖෂධිය ගුණ ඇති මේ මලේ ඇති භයානක අතුරු ආබාධ මිස ගුණ භාවිතය පරිහානියට යමින් පවතින වර්තමාන මිනිස් ප්රජාවට අමතකව ගිහින්.

මලකට මෙතරම් බිය ඇයි කියා දන්නා බව පෙන්වා සිටින්නට උත්සාහ ගන්නා ඔබ අප කීදෙනෙක් ඇත්තටම නම් දනීද? ''කංසා'' පැළෑටියේ මලෙහි හටගන්නා ගම් වර්ගයකට සමාන සාරයෙන් තමා ''මර්ජුවානා'' සහ ''හෂිෂ්''නමැති භයානක මත්ද්රවය වර්ග දෙක නිස්සරණය කර ගනු ලබන්නේ. මේ ශාකයේ පත් වියලා ගැනිමෙන් තමා ''ගංජා'' සකස් කර ගන්නේ. රසායනාගාර පර්යේෂණ දත්ත වලට අනුකූලව මේ පැළෑටියේ විවිධ කොටස් වල ඉතා සංකීර්ණ රසායනික ව්යුහ 480කට අධික සංක්යාවක් තිබෙනවා. මේ වර්ග එකිනෙකින් වෙන්කරන්නට වර්තමාන අධි තාක්ෂණ ක්රම වලටත් අද වනතුරු හැකි වී නැහැ. මේ වනතුරු වෙන්කර හඳුනාගෙන ඇති 66ක් වැනි රසායනිකයන්ගෙන් 9-tetrahydrocannabinol (9-THC ) නමැති රසායනයනිකය තමයි ස්නායු උත්තේජනය සඳහා මූලික වන්නේ. මේ රසායන වර්ගය වැඩිම සාන්ද් තාවයකින් පවතින්නේ ''කංසා'' පැළෑටියේ මල් සාරයේ. පැළෑටියේ අන් කොටස් වලට වඩා මලට අවධානය යොමු වන්නේ මේ හේතුවෙන්. පත් වල ඇති මෙම රසායනික සාපේක්ෂව අඩු නිසා තමයි ''ගංජා'' මුලින් සදහන් කල වර්ග දෙකට වඩා සැහැල්ලුවෙන් සැලකීමට සමාජය පුරුදු වී සිටින්නේ.

.''ගංජා'' භාවිතා කර විනාඩි 20කදී පමණ ආරම්භ වන ස්නායු පද්ධතිය සහ ශරීරයේ වෙනත් පද්ධති ආශ්රිත වෙනස්කම් පැය 4-5ක් පමණ කාලයක් පවතින්නට පුළුවන්. ස්නායු ආශ්රිතව ඇතිවන බලපෑම මානසික සැහැල්ලුව, හේතු රහිත දුක හෝ සතුට, තීරණ ගැනීමේ හැකියාව අඩුවීම, සාමාන් ජිවිතයේ ගැටළු අමතක වීම වැනි ස්නායු වල හඳුනා ගැනීමේ හැකියාව නොමඟ යැවිමකින් පටන්ගෙන සිහි මන්ද බව හෝ සම්පූර්ණයෙන්ම සිහි මුර්ජා වීම දක්වා බරපතලවිමට පුළුවන් (neuro toxicity). රුධිරගත සිනි ප්රමාණය එකවර අඩු විම සහ නිසා ඇතිවන මානසික ව්යාකූල තාවය මේ තත්වය තව දුරටත් වර්ධනය කරන්නට බලපානවා. ගංජා භාවිතා කරන්නන් සමඟම අධික ලෙස පැණි රස කෑමට පෙළඹෙන්නේ මේ හේතුව නිසායි.


දෙපැත්ත කැපෙන මුවහත් ආයුධයක් සේ ප්රවේශමින් භාවිතා කර නිසි පල පමනක් ලබා ගැනීමට පෙර කල මිනිසුන් දැන සිටි නිසා අපේ පැරැන්නන්ට කංසා වල ඇති මේ අතුරු ආබාධය එතරම්ලොකු ගැටළුවක් වුනේ නැහැ. අදටත් ලෝකයේ සමහර රටවල කංසා භාවිතය නීතියෙන් තහනම් නැතිව එනමුත් එතරම් දැඩි සාමාජිය ප්රශ්න නැතිව පවත්වා ගෙන යනවා. යුරෝපයේ නෙදර්ලන්තය මෙයට කදිම උදාහරණයක්. කංසා වල ඇති සමට හිතකර ඖෂධිය ගුණ උපයෝගී කර ගැනීම සඳහා කංසා සබන්, කංසා ආලේපන ආදී විවීධ රූපලාවන් නිෂ්පාදන පවා එරට වෙළඳ පොලෙන් ලබා ගන්න පුළුවන්. කැනඩාව වැනි විශාල රට වල කංසා තහනම් කිරීමෙන් ලැබෙන වාසි වලට වඩා කංසා නීතිගත කිරීමෙන් ලැබෙන ආර්ථික සහ සාමාජිය ලාභ වැඩි බවයි ඔවුන් පවසන්නේ

නමුත් ලංකාව වැනි රටකට නම් මෙය ගැලපෙනවා කියා නිගමනය කිරීම ඉතා අපහසුයි. අන් කිසිවක් නිසා නොව හරි වැරැද්ද සොයා බලා හරි දේ පමණක් කිරීමට අපේ පැරැන්නන්ට තිබු හැකියාව අද පරපුරේ දකින්නට නැති නිසා. බැලු බැලු අත දකින්නට ලැබෙන්නේ ලොව අනිකුත් රටවල අපේ දේ යලි මතු කර භාවිතයට ගනිද්දී, අපේ රටේ ලොව අනිකුත් රටවලින් බැහැර කරන කුණු කන්දල් භාවිතා කරමින් දිනපතා ලෙඩවන ජාතියක්. වාගේම අපේ රටේ කිසියම්ම දෙයක ප්රමිති පාලනයක් හෝ ඖෂධ සම්බන්ධ නිසි ක්රමවේදයක් හෝ නීති රෙගුලාසි ක්රියාත්මක වීමක් දකින්නට නැති නිසා. මේ මාතෘකාව සංවාදයකට ලක් කිරීම කියවන ඔබටම බාර කරමි.


''කංසා'' පැළෑටියේ භූගෝලීය සම්භවය අයත් වන්නේ චිනයටයි. රාවනා රජුගේ සමයේ පටන් දේශීය වෙදකමට භාවිතා කල බව කියවෙන 'කංසා' වල පැරනිම ලිඛිත තොරතුරු හමුවන්නේ වසර 10,000 කට වඩා ඈත අතීතයේ වර්තමාන තායිවානයෙන්. ඉන්දියානු වේද ග්රන්ථ වලද, ක්රි.පූ 2737දී චින අධිරාජයකුව වුන් සෙන් නන්ග් රජුගේ කාලයේ ලියවුනු ඖෂධ සංග්රහ වල සහ ග්රීක ඉතිහාසයේ බොහෝ තැන්වල ලියවී ඇති කංසා මිනිස් ජනාවාස ආරම්භයේ පටන් ඖෂධිය වටිනාකමකින් ලොව බොහෝ සංස්කෘතීන් වල භාවිතා වූ බවයි සැලකෙන්නේ.
වසර දහස් ගණනාවක සිට ලොව විවිධ රටවල ඖෂධිය භාවිතයට යොදාගෙන ඇති මුත් සියලු ප්රතිකාර ක්රම වලදී කන්සා භාවිතා කර ඇත්තේ එහි ගුණ අගුණ සමතුලනය කළහැකි වෙනත් ඖෂධ සමඟ මිශ් කර මිස තනිවම නොවන බව අවධාරණයෙන් මතක් කල යුතුයි.

 ආයුර්වේදයේ සහ පැරණි සිංහල දේශීය වෙදකමේ කංසා වැඩිපුරම භාවිතා කර ඇත්තේ වේදනා නැසීමට සහ ආහාර මාර්ගයේ ඇතිවන විවිධාකාර රෝග වලට ප්රතිකාර පිනිසයි. නූතන විද්යා පරීක්ෂකයින් පෙන්වා දෙන ආකාරයට වේදනා තරංග මොලයට යැවීම වැලක්වීමට මේ ඖෂධයට ඇත්තේ විශාල හැකියාවක්. එනිසා තමයි අතීතයේදී මෙන්ම වර්තමානයේදීත් ස්නායු වේදනා සහ අනෙකුත් විවිධ වේදනා වලින් පෙලෙන්නන්ට ප්රතිකාර කිරීමට කංසා සාරයෙන් සාදාගත් ඖෂධ භාවිතා කරන්නේ.

ජීරණ පද්ධතියේ ඇතිවන පිළිකා, ස්වයං ප්රතිශක්ති රෝග වර්ග වැනි සංකීර්ණ රෝග වලට මෙන්ම ආහාර දිරවීමේ අභාධ සහ ආසාධන වලට ප්රතිකාර පිණිස කන්සා යොදා ගැනෙනවා. කාන්තා පුරුෂ දෙපක්ෂයේම ප්රජනන පද්ධති ආශ්රිත රෝග,වයසට යාමේදී ඇතිවන ශාරීරික වේදනා, ආහාර අරුචිය, නින්ද නොයාම, ඇඳුම, ඇසේ පීඩනය වැඩිවීම, රුධිර සංසරණය අක්රමවත් වීම, අපස්මාරය, පිළිකා, ස්නායු පද්ධතිය ආශ්රිත විවිධ රෝගාබාධ ඇතුළු මෙකි නොකී තවත් දහසකුත් රෝග නිවාරණය සඳහා කංසා යොදාගත් ඖෂධ හෙළ වෙදදුරන් අදටත් භාවිතාකරනවා. මත් ද්රව්යයක් ලෙස නොසැලකුණු අතීතයේ බොහෝ ආහාර වට්ටෝරු වලටත්, මස් මාළු වර්ග මෙලෙක් කිරීමටත්, තුන පහ ආකාරයටත් කංසා යොදා ගෙන තිබෙනවා.

අපේ වෙද  මහතාටවත් කන්සා භාවිතා කිරීමට ඉඩ නොදී තහනම් කල සුද්දා කන්සා වල ඇති ඖෂධිය ගුණ අද  භාවිතා කරන අන්දම දුටුවිට ඇතිවන්නේ කම්පාවක්. නිසි ලෙස කළමනාකරණය කර හරි මාත්රාවට ගත්  විට අධික ගුණ ඇති කන්සා දැන් යුරෝපයේ භාවිතාවන ප්රභල වේදනා නාශකයක්. කන්සා වේදනා නාශක පෙති, කරීම්, ජෙල් වශයෙන් ලබා ගැනීමට පුළුවන්. එපමණක් නොව එහි ඇති ඖෂධිය ගුණ භාවිතා කරමින් නිපදවන චොකලට් වර්ග, කේක් වැනි දෑ යුරෝපයේ සමහර රටවලදී මිලට ගන්න පුළුවන්.


කංසා බෙහෙතට සකසන ආකාරය මා අසා දැන ගත්තේ ඉතා කුඩා කාල්යෙදියි. ''මුවන් පැලැස්සේ'' වේද මාමාගෙනි. ඔහුට අනුව ඖෂධිය භාවිතයට ගැනීමට පෙර කංසා තේ දළු සකසා ගන්නවාක් මෙන් පියවර කීපයකින් සූදානම් කර ගත යුතු වෙනවා. නෙලා ගත් කන්සා කොළ පවනේ වේලා ගබඩා කර ගැනීමත්,පරිහරණයට අවශ් වූ විට පැය කිහිපයක් ජලයේ පොඟවා යලිත් වේලා අනතුරුව ගිතෙල් වල ගිල්වා තබා ඊටත් පසුව ඖෂධ වට්ටෝරුවට එක් කර ගැනීමත් තමා ඔහු සිදු කලේ. මේ කාලයේදී ''පිනා'' වෙද ගෙදරතහනම් වුයේ ඔහු වේද මාමා එහා මෙහා බලන තුරු සිට වෙලුනු කොළ අහුරක් දෙකක් සරම් ගැටේ හංගා ගෙන වෙද මාමාට වරක් දෙවරක් හසු වීම නිසයි. හොරාගත් කංසා ඉරීමෙන් '' පිනා''ගේ මොලේ අවුල් වූ පසු ඔහුට නැවත ප්රතිකාර කරන්නට සිදුවුනෙත් වෙද මාමාටමයි. '' කෝරලේ මහත්තයාගෙන්'' ''කදිරාට'' තහනම් වුවත් ‘’වෙද මාමාට’’කංසා තහනම් නොවුයේ වෙද මාමා කංසා යොදා ගෙන ''මුවන් පැලැස්ස '' ගම්මානයම සුවපත් කල නිසාවෙන්. පාසලේදී නොඉගැන්වූ කංසා පාඩම එහි ඇති ගුණ, අගුණ, නීතිමය රෙගුලාසි සහ දඬුවම් සියල්ල ඇතුළුව සමාජයට මහඟු පණිවිඩයක් දීමට එදා ගුවන් විදුලි නාට් නිර්මාණකරුවා තුල තිබු දක්ෂතාවයද මෙහිදී මතක් කිරිමකල ගුණ දත් අපගේ යුතුකමක්.

දිනපතා ජිවිතයේ ඇතිවන මානසික ආතතියෙන් මදක් ඈත්වීමට තමා බොහෝ අය ''ගංජා'' අත් හදා බලන්නේ. විශේෂයෙන් උසස් යයි සම්මත පාසැල් වල සිසුන් විභාග කාලවලදී මානසික ආතතිය අඩු කිරීමට කියාත්, 'බිග් මැච්' කාලයේදී 'ෆන්' එකටත් තමා මුල්වරට භාවිතා කරන්නට පෙළඹෙන්නේ. 'දැන ගියොත් කතරගම- නොදැන ගියොත් අතරමග' යයි කියන්නා සේ කංසා ගැන නොදැන මං මුලාවී ජිවිත විනාශ කර ගැනීම අපට නිතර අසන්නට දකින්නට වෙන කරුණක්. මේ හා සමාන තවත් නිදසුනක් ලෙස ලිංගිකත්වය පිළිබඳව ඇති අල්ප දැනුම හා කුකුස නිසා දිනපතා විනාශ වන තරුණ ජිවිත විදහා දක්වන්නට පුළුවන්. වෙනත් ලිපියකින් තර්කයට බඳුන් කල යුතු තවත් ගැඹුරු මාතෘකාවක්. මත්ද්රව්ය සහ මත්පැන් පිළිබඳව දැනුම පාසැල් විෂය මාලාවට ඇතුළුකර එහි ඇති අහිතකර ප්රතිපල පැහැදිලි කිරීමත් ඔවුන්ගේ කුතුහලය දුරු කිරීමත් කල යුතු බවයි මගේ නම් පෞද්ගලික මතය. ඊළඟ පියවර විය යුත්තේ සමාජ සහ ආගමික සම්මත ලෙස දිවි ගත කිරීම සහ වැඩිහිටියන් තම බාල පරම්පරාවට ආදර්ශමත් ලෙස කටයුතු කිරීමයි. එය මෙලොව සහ පරලොව යන දෙකෙහිම ඔබගේ ශාන්තිය පිණිස උපකාරී වේවි.

රේණුකා විමලරත්න : ලංඩනයේ සිට
චායාරූප අන්තර්ජාලයෙන්


1 comment: