Thursday 17 November 2016

රේණුකාගේ පළාමල්ල 6 : සිංගප්පූරු කොළ

       ජපන් බටු කොළ /Sauropus androgynus

''If you tell a lie big enough and keep repeating it, people will eventually come to believe it''

''පට්ට බොරුවක් නැවත නැවතත් කාලයක් කීමෙන් එය අවසානයේ සත්‍යයක්ලෙස විශ්වාස කිරීම මනුශ්‍ය​ ස්වභාවයයි''

මේ තමා ගොබෙල්ගේ නියාමය..දෙවන ලෝක සමයේදී හිට්ලර්ගේ ලඟම සහායකයා වුනේ  පෝල් ජෝසෆ් ගොබෙල්ස් (Minister of Propaganda in Nazi Germany from 1933 to 1945). පට්ටපල්  බොරුවෙන් වැඩ කරන පංතියේ කම්කරුවන්ගේ සහය දිනා ගනිමින් එයම යොදා ජර්මනියේ ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයේ සහ කොමියුනිස්ට් පක්ෂයේ අය සමුල ඝාතනය කරන්නට තමා ඔහු මේ බොරු කීමේ තියරිය යොදා ගත්තේ..

යුරෝපයේ  දෙවන ලෝක යුද්ධයෙන් පසුව මේ තියරිය යොදා ගන්නට බැරි වුනත්, අදටත් අපේ රටවල නම් ඕනෑම දේශපාලනික  හෝ ආර්ථිකමය වෙනස් කමක් කරන්නට ඔවුන් යොදා ගන්නේ මේ තියරියමයි.. ආණ්ඩු පෙරලන්නට පමණක්  නොවෙයි පොල් තෙල් වෙනුවට පාම් තෙල් ගිල්ලවන්නටත් , දේශීය බෙහෙත වෙනුවට  බටහිර පෙත්ත ගිල්ලවන්නටත්   යොදාගත් මේ තියරිය අද වනවිට  එළවලු පලා වර්ග දක්වාත් පැතිරිලා..


පලා මල්ලේ තිබී අද මගේ අතට හසු වුනේ ගොබෙල්ස් නියාමයට හසුවී ''පිළිකා කාරක''ඇතැයි කියා පට්ටපල් බොරුවකට හසු වුනු, කෘමි රසායන නැතිව අදටත් වත්ත පහලින් නොමිලේ සොයා ගත හැකි රසයෙන් කිසිවකට සම කල නොහැකි, ගුණයෙන් ඊටත් වැඩි සිංගප්පුරු කොළ නැතහොත් ජපන් බටු කොළ අහුරක්..

වසර සිය  ගණනක් තිස්සේ අපේ අත්තම්මලා මවු කිරි වඩවන්නට යොදා ගත් පලා වර්ග  අතර ඉහලින් වැජඹෙන  මේ අපුරු සිංගප්පුරු  කොලයේ ඇති මවු කිරි වැඩවීමේ හැකියාව  මෑතකදී කල විද්‍යාත්මක​  පර්යේෂන වලින්   තහවුරු කර තිබෙනවා..කිරි දෙන කාලයේ ආහාරයට ගන්නා  කොළ  පැහැති පලා අතරට හෝ කලවම් පලා ව්‍යංඤනය එක්කර ගත හැකි රසවත් පලා වර්ගයක්.

එදිනෙදා ආහාරයට ගන්නට බැරි වුනත්  ඩෙංගු උන රෝගයට පවා ප්‍රතිකාර කල හැකි වටිනා ඖෂධිය පත්‍රයක් ලෙස ගස්ලබු කොලය කවුරුත් දන්නවා. අද මා කතා කරන අපූරු සිංගප්පුරු කොලයේ ඇති ඖෂධිය සංයුතිය  ගස්ලබු කොලයේ ඇති ඖෂධිය සංයුතියට බොහෝ සමාන බව ඔබ දැන සිටියාද? මේ කොලයේ විටමින් , බි ,සි  වාගේම කැල්සියම් සහ යකඩ වැනි ආහාරමය ලවනද,ටැනින් , සැෆොනින්, ඇල්කලොයිඩ් සහ පැපවරින් ප්‍රති ඔක්සිකාරක අධි සංයුතියකින් අඩංගු වෙනවා.. 


සිංගප්පුරු කොලයේ ඇති විශේෂම ගුණාංගය  ලෙස හැදින්වෙන්නේ එහි ඇති කාන්තා සහ පුරුෂ හෝමෝන මනා ලෙස හැසිරවීමට ඇති හැකියාවයි. මේ නිසා පිරිමින්ගේ ලිංගික හැකියාව වැඩි කිරීමටත් කාන්තාවන්ගේ ලිංගික අවශ්යතා උද්දීපනය කර ලිංගික තෘප්තිය වැඩි කිරීමටත් මේ කොලයට ඇත්තේ අපූරු හැකියාවක්. එපමණක් නොවෙයි ආර්තවය අවසන් කාලයේ කාන්තාවන්ට සිංගප්පුරු කොළ ආහාරයට ගැනීමෙන් නිසා ඇතිවන ශාරීරික අපහසුතා අවම කර ගැනීමට හෝ එම ලක්ෂණ ප්‍රමාද කර ගැනීමටත් පුළුවන්..


සිංගප්පුරු කොලය මීළඟට  වඩා  වැදගත් වන්නේ අක්ෂි ආබාධ ඇති අයට. ඇසේ  සෞක්‍යයට   මනා හිතකර බවක් ඇති බව කියවෙන මේ කොලය සාමාන් පරිභෝජනයෙන් හතලිස් ඇඳිරිය පමා කර ගැනීමටත්, ඇසේ ආබාධ වලක්වා ගැනීමටත් හැකි  බව කියවෙනවා..එහි ඇති අධික කැල්සියම් ප්‍රමාණය නිසා ආර්තවය නතර වුනු කාන්තාවන්ට ඔස්ටියෝපොරෝසිස් (Osteoporosis)රෝගය වලක්වා ගැනිමටත්, අධික යකඩ සංයුතිය නිසා ආර්තවයේදී අධික රුධිරය වහනය වන කාන්තාවන්ගේ නිරක්තිය (Anaemia)වලක්වා ගැනීමටත් උපකාරී වන බව නවීන විද්‍යා පර්යේෂකයෝ අදවන විට පවසනවා.

ආයුර්වේදයේදී සිංගප්පුරු කොළ ශිත කාලයේ ඇතිවන උණ (winter flu ) සුවය සඳහාත්, මුත්‍රාආබාධ සුව කිරීමටත්, දියවැඩියාව සහ කල් පවතින තුවාල සුවයටත් යොදාගෙන තිබෙනවා..සිංගප්පුරු ගහෙ කොළ පමණක් නොවෙයි ගෙඩි , මල් සහ ඇටත්  මේ සඳහා යොදාගන්නවා.



සිංගප්පුරු කොළ අතුරු ආබාධ:

ඕනෑම දෙයක් ඕනාවට වඩා ඕනෑම නැහැ කියා සිංහල කතාවක් තියෙනවා.. බෙහෙතක් වුනත් , හිත හොඳ කම වුනත් ඕනෑවට වඩා ලංකර ගැනීමෙන් සිදුවන්නේ අහිතකර ප්‍රතිපල​යක්මයි..

මේ සිදුවීම වුනේ 1994දී තායිවානයේ..සිංගප්පුරු කොළ යුෂ ආහාරයට ගැනීමෙන් ඉක්මනින් ශරීර බර අඩු කර ගැනීමට හැකි බවට පැතිරුණු පුවතක් නිසා ගැහැණු පිරිමි බේදයක්  නැතිව අමු සිංගප්පුරු කොළ යුෂ  බොන්න පටන් ගත්තා..ප්‍රතිපලය වුනේ විධියට අනවශ්‍ය පරිමාණයට අමු යුෂ භාවිතා කල අය දරුණු ස්වසන ආබාධයකින් රෝහල් ගත කිරීම..කීපදෙනෙක් පෙනහළු හැකිලීම නිසා මිය ගිහින් පවා තිබෙනවා.පසුව හෙළි වුන ලෙස මේ අය දවසකට ග්‍රෑම් 3000 (කිලෝ 3ක්) පන්නලා එක දිගට කොළ යුෂ සති 3ක් පමණ භාවිතා කරලා..

හත් දෙයියනේ..ඔලුව කැක්කුමට පැනඩෝල් පෙති දෙකක් වෙනුවට පෙති 50ක් ගත්තා වගේ වැඩක් නොවැ..වැලිගම ගිය එක අහන්නත් දෙයක් නැහැ..වේදනාවට විදින මොර්ෆින් මිලි ග්‍රෑම් 10 වෙනුවට ග්‍රෑම් 10ක් ගැහුවොත් වෙන්නෙත් ඒක ..ඕනෑම බෙහෙතක් මාත්‍රා අනුව මිස වැඩිපුර ගත්  විට සිරුරට අයහපතක් වීම මරණයට පත් වීම වලක්වන්න බැහැ.


 වසර සිය ගණනක් අතීතයේ සිට අපේ රටේ  මේ කොළ වර්ගය භාවිතා වුනේ කලවම් පලා මැල්ලුමේ දෙමිටක් ලෙස.. දෙමිට මුළු පවුලේ අය අතර බෙදී ගියා විතරක් නෙමෙයි නැවත ආහාරයකට ගැනුනේ තවත් සතියකට පමණ පස්සේ..මිට අමතරව සිංගප්පුරු කොළ අත්තම්මා භාවිතා කල අනෙක් ක්‍රමය තමා කරවල තෙල් දාන විට ගෙඩි කීපයක් සහ ලපටි දළු එකතු කිරීම.  අවශ්‍ය ලෙස එහි ඇති අගනා ඖෂධිය ගුණ පමණක් ශරීරයට ගන්න අපේ මිනිස්සුන්ට තිබුනේ මනා අවබෝධයක්. ඒ නිසා විසවිමක් ගැන කවදාවත් වාර්තා වෙලත් නැහැ .

අපි විතරද කන්නේ?


දකුණු දිග ආසියාවේ සිංගප්පුරු කොළ සහ ගෙඩි විවිධ ක්‍රමයට  ආහාර සඳහා ගැනෙනවා..මැල්ලුම් සඳහා පමණක් නොවේ දළු යන්තම් තෙලේ ළුණු සමඟ බැදීමෙන් (stir fry ) රසවත් ලෙස පිස ගැනීමෙන් මැලේෂියානු ගෘහනියන් ඔවුන්ගේ ආහාරයට එකතු  කර ගන්නවා


ජපානයේ සින්ගප්පුරු කොළ සුප් වර්ග සැදිමටද, චීනයේ කෑමට අමතරව ආහාර වර්ග ඔතා පිළියෙළ කිරිම්වලටද (ග්‍රිසියේ මිදී කොළ, ලංකාවේ කැන්ද කොළ ආකාරයට) භාවිතා වන අතර මේ ආසියාවේ බොහෝ රටවල තරු පහේ සුපවේදීන්ට නැතිවම බැරි කොළ වර්ගයක් .


මෙතරම් ඖෂධිය ගුණ ඇති , එකවරක් ආහාරයට ගත්  විට රස අමතක කල නොහැකි අදටත් වත්ත පහල කෘමි නාශක වලින් දුෂණය නොවී නොමිලේ ලබා ගත හැකි මේ පාරම්පරික පලා මැල්ලුම ගොබෙල්ස් නියාමයේ තිමිරයෙන් වසා අන්ධානුකරණයෙන්     කුණු ගොඩට දිරා යන්නට ඉඩ හරිනවාද? තීරණය ඔබට බාරයි...

රේණුකා විමලරත්න : ලන්ඩනයේ සිට
චායාරූප අන්තර්ජාලයෙන්





14 comments:

  1. අපේ ආච්චී ඒ කාලේ ජපන් බටු ගෙඩියි කොලයි කරවල තෙල් දාද්දී ගන්නවා. හරිම රහයි. ඒ වගේම කොල මැල්ලුමත් අම්මා තාම ඉදලා හිටලා හදනවා. පැනිතෝර, තුඹ, කෝවක්කා, මොණරකුඩුම්බිය වගේ තව කොල ජාති ගොඩාක් එක්ක කළවමට දාලා තමයි හදන්නේ. හරිම රහයි. ලිපියට ස්තූතියි.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ජපන් බටු ගෙඩි තෙල් දැමීම මගේ අත්තම්මත් කළා.. රස ගුණ දන්නෝ දනී..ඔබේ අගය කිරීම ඉහලින් අගය කරනවා ස්තුතියි

      Delete
    2. gediye atath kanawada... api kola kamata gannawa eth gedi kamata aran na

      Delete
  2. මේක දාන්න අමාරුයි නෙළුම් යායේ . කොපි කරන්න බැරි නිසා. ලිපිය හොඳයි.

    ReplyDelete
    Replies
    1. මං එව්වා නේද විස්තරේ ඊට පස්සේ?

      Delete
  3. niyamai akke. Idiriyatath liyamu

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්..දිගටම කියවමු එහෙනම්...

      Delete
  4. බොහොම ස්තුති ලිපියට..!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබටත් ..ලිපිය කියවා දිරි ගැන්වුවාට

      Delete
  5. Meka copy karagannawa sarabumiyata danna

    ReplyDelete
    Replies
    1. බ්ලොග් එකේ ලින්ක් එකම දාන්න , ස්තුතියි..

      Delete
  6. ජපන් බටුගෙඩි උයන හැටි කියන්න කෝ......

    ReplyDelete