Thursday 10 November 2016

පොපි සහ අපි (Opioid Poppy Flower)

    යුද බිමේ ලේ කඳුලින් උපන් පොපි මලේ කතාව..



මේ ගතවෙන්නේ ලෝක පොපි මල් සතියයි..වසරකට වරක් පොපි මල මතක්වෙන ශීතල නොවැම්බර් මාසය..ලොව පුරා එතෙක් මෙතෙක් යුද්ධයෙන් මියගිය හෝ ආබාධිතවූ සොල්දාදුවන් සමරන, ඔවුන් වෙනුවෙන් වෙන්වුණු නොවැම්බරය.., යුරෝපය ඇමෙරිකාව , ජපානය චීනය ඇතුළු ආසියාවද, රුසියාවද එකට හිඳ  කඳුලින් සමරන පොපි සතිය..සොල්දාදුවන් වැගිරවූ උණු රුධිරය සංකේතවත් කරවන රතුම රතු පොපි මල...

නවීන ඖෂධ විද්‍යාවේ සහ වෛද්‍ය විද්‍යාවේ සන්ධි ස්ථානයක් ලකුණු කිරීමට 18 වන සියවසේදී පොපි මලට හැකියාවක් ලැබුනත්  ලොව පුරා ඇති  සිය ගනනක් පොපි වර්ග  අතරින් සෙබළුන් සමරන්නට අප පලඳින්නේ වෙනත්ම පොපි වර්ගයක් තමා  යුද බිමේ රතු පාටින් පිපුණු, අදටත් කැලෑ මලක් වන  ''වනගත  කෝන් පොපි'' (wild corn poppy /Papaver rhoeas) නම් විශේෂය.



වනගත පොපි මල උපදින්නේ නමේ අරුත වාගේම අත්හැර දමා ඇති සසල  වූ පොලවේ..ඇතැම් විට අස්වැන්න  කපා පාලුවට අත්හල බිමක..කුඹින්, කුරුමිණියන්, මීමැස්සන් වැනි  කුඩා සතුන්ගෙන්  තමයි කුඩා ඇට ප්‍රචාරණය වෙන්නේ..

1803 -1815 දක්වා පැවතී නැපෝලියන් යුද්ධය අවසානයේ යුද්ධයෙන් කඩතොළු වූ ප්‍ර‍ංශ  බිම් වල මිය ගිය සොල්දාදුවන්ගේ අත්හැර දමා තිමු මල මිනි වටා ''වනගත පොපි'' මල් පිපි රතුපාටින් දිලෙන්නට පටන් ගත්තා..  මියගිය සොල්දාදුවන්ගේ මල මිනි වටා රැස්වූ කුහුඹි කුරුමිණියන් බිමට ගෙන ඇට  පැලවී, සොල්දාදුවන්ගේ දිරා යන සිරුරු වලින් පසේ සරු බවින් බිහි වූ රුධිරයේ පුෂ්පය..

කාලයේ වැලි තලාවෙන් ඉතිහාසයට එකතු වූ මේ මතකය යලි ඉපදුනේ වසර සියයකට පසු 1914-1918 දක්වා පැවතී පළමු ලෝක යුද්ධය අවසානයේදී..යලිත් වතාවක් පෙරසේම උතුරු ප්‍ර‍ංශයේ සහ බෙල්ජියමේ රුධිරයෙන් සේදුනු යුධ  බිමේ පැළවුණු එකම ශාකය සේ රතු පැහැ  පොපි මලෙන් සොල්දාදුවන් මියගිය බිම් වැසි ගියා..

යුධ බිමේ ශල්‍ය වෛද්‍ය​වරයෙකු ලෙස සේවය කල කැනඩා ජාතික  Lieutenant Colonel Dr John McCrae නැමැති වෛද්‍ය​රයා මේ දසුනෙන් සසලව සොල්දාදුවන් පිලිබඳ ලියු කවි පදමාලාවක් යුද්ධය අවසන් වීමෙන් පසු  ලොව පුරා පැතිර, ඒ ඔස්සේම පසුව   සොල්දාදුවන් සමරන්නට සංකේතය ලෙස පොපි මල යොදා ගැනුනා.


 ''In Flanders fields the poppies blow
Between the crosses, row on row,
That mark our place; and in the sky
The larks, still bravely singing, fly
Scarce heard amid the guns below.

We are the Dead. Short days ago
We lived, felt dawn, saw sunset glow,
Loved and were loved, and now we lie
In Flanders fields.

Take up our quarrel with the foe:
To you from failing hands we throw
The torch; be yours to hold it high.
If ye break faith with us who die
 We shall not sleep, though poppies grow
 In Flanders fields''


(By Lieutenant Colonel John McCrae
08/12/1915)


අද පවතින පොපි මල් දිනය සැමරුම ආරම්භ වුයේ 1921දී බ්‍රිතාන්‍යයේ රාජකීය හමුදාවේ සේවය කරන්නන්ට සහ ඔවුන්ගේ පවුල් වල අයට  උදව් සඳහා ''poppy appeal ''නමැති පුන්‍ය​ සමාගම (charity organisation ) පිහිටුවා ගැනීමෙන් පසු.. ලෝක පොපි දිනය යෙදෙන (නොවෙම්බර් 11දා) මේ සතියේ පොපි මලේ ඇති ඖෂධිය ගුණ ඔබට කියා දීමටයි මා මේ සුදානම් වෙන්නේ...

සිය ගණනනක් පොපි වර්ග අතරින් ඖෂධිය භාවිතයට යොදා ගන්න පොපි වර්ගය හැඳින්වෙන්නේ Papaver somniferum නමින්. පොපි ලංකාවේ වගා නොකෙරෙන නිසා අපට අදාළ නැතැයි කියා ඉවත දමන්නට බැහැ.

අප එදිනෙදා භාවිතා කරන කැස්ස පැණියේ  සිට  බොහෝ බටහිර වේදනා නාශකදක්වා ඖෂධිය මූලාශ්‍රය​   පොපි මල නිසා එය අප නොදැනිම අපේ පොකට්ටුවට අදාළ වෙනවා. 

විශේෂයෙන්ම රෝහල්ගතව ශල්‍යකර්මයක්, දරු ප්‍රසුථියක්  , පිළිකා රෝගයක්  හෝ වෙනයම් ඕනෑම රෝගයකදී වේදනා නාශක භාවිතා කර ඇතිනම් ඔබ දැනුවත්ව හෝ නොදැනුවත්ව පොපි මලේ නිස්සරණ ඔබේ සිරුරටත්, ඒ වාගේම  ඔබේ මුදල් පසුම්බියටත් බලපා තිබෙනවා


දරුණු ඇබ්බැහි වන හෙරොයින් නමැති මත්ද්‍රව්‍යය​   සකස් වෙන්නෙත් මේ කියන පොපි මලේ නිස්සාරනයෙන්මයි..

පොපි ඖෂධයක් ලෙස බාවිතා කල බවට සාධක ඇත්තේ ක්‍රි.පූ. 3400දී මෙසපොතේමියානු ශිෂ්ඨාචාරයේ සිට. සමකාලීනව ඊජිප්තු වාසින් පොපි මලෙන් ඖෂධ නිපදවා ඇති අතර ක්‍රි.පූ 300-200 දක්වා කාලයේදී සේද මාවත හරහා මැද තිබු සියලු රටවල් වෙත ස‍ංක්‍ර​මණය වී තිබෙනවා..


පුරාණ ග්‍රීක​  සහ රෝම වෛද්‍යවරුන් විසින් වේදනා නාශකයක් ලෙස පුළුල්ව  භාවිතා කර ඇති පොපි අද පවතින මට්ටමේ භාවිතය ආරම්භ වී ඇත්තේ 15වන සියවසේ මැද භාගයේ මද්‍යධරණී සහ චීන වෛද්‍යවරුන් විසින්.

නුතන වෛද්‍ය විද්‍යාවේ වේදනා නාශක සම්බන්ධයෙන්  මහත් පෙරලිගාමි සොයා ගැනීම සිදු වුයේ  1805 දී . ජර්මන් ජාතික ඖෂධවේදී Friedrich W. SertYrner විසින් මුල් වරට පොපි මලේ ඇති අධි බල ඖෂධිය ගුණ විශ්ලේෂණය කර  හඳුනා ගැනීමත් සමඟ..ඔහු Morpheus නමැති සිහිනයට අධිපති  ග්‍රීක​  දේවතාවියට ගරු කිරීමක් ලෙස මේ අධි බලැති වේදනා නාශකය මොර්ෆින් (morphine ) ලෙස නම් කළා.

ඖෂධිය පොපි ශාකයේ මල්, ඇට,ගම් වැනි ශ්‍රාවය සහ  පත්‍ර    යන කොටස් ඖෂධ නිස්සරණයට භාවිතා කෙරෙන අතර, මෙහි  විවිධ ඇල්කලොයිඩ (alkaloids) වර්ග 40කට වඩා අඩංගු වන බව කියවෙනවා.

මේ අතරින්  ප්‍රධාන​ වර්ග තමා අද බටහිර ඖෂධ  විද්‍යාවට නැතිවම බැරි morphine, Codeine, Thebaine, Papaverine සහ  Noscapine යන වර්ග. වේදනා නාශක ගුණ වලට අමතරව, නිද්‍රාජනක, අතීසාරය , මානසික ආතතිය සහ​ පේශි ගැස්ම වැලැක්වීම, කැස්ස සමනය  යන ගුණ තමා ඉහලින්ම තිබෙන්නේ..


දේශීය වෛද්‍ය ක්‍රම​යේදී මෙන්ම  ආයුර්වේදයේදී පොපි මල භාවිතා වීමේ අතිතය වසර දහස් ගණනක් ඈතට  ගමන් කරන බව කියවෙනවා..
එහිදී පැවසෙන ලෙසට වේදනා නාශක ලෙස භාවිතයට අමතරව බෝවෙන අතීසාරය, කොලරාව, ලිංගික ආබාධ, මානසික රෝග , ක්ෂය රෝගය පේශි වල ඇතිවන වෙව්ලීම් වාගේම වාත  සහ  පිත් කෝප වීමෙන් සෑදෙන රෝග වලට ප්‍රථිකාර පිණිස පොපි මල යොදා ගෙන තිබෙන්නේ බටහිර වෙදකම උපදින්නටත්  බොහෝ පෙර සිට..

ඖෂධිය පොපි නිස්සරණයේ ඇති දරුණුම අතුරු ආබාධය නම් එහි ඇති ඇබ්බැහි වීමේ ස්වභාවයයි. ඕනෑම දෙයක වැරදි පැත්ත අල්ලා ගැනීමටපෙළඹෙන මානව​ ස්වභාවයේ පලයක් ලෙස ලොව පුරා සියලු රටවල  ඖෂධිය පොපි මල දැඩි නීති රෙගුලාසි වලට යටත් කිරීමට සිදුව තිබෙනවා. ඒ  එහි ඇති  ධුලක තත්වයේදී බිහිසුණු ලෙස ස්වසනය  පහල දමා මරණය ඇති කරන සහ මනස විකෘත්‍රි කරන ස්වභාවය යොදාගෙන සැකසෙන හෙරොයින් නමැති භයානක මත්ද්‍රව්‍යය  නිසායි.


ඇතැම් පොපි වර්ග යුරෝපයේ ආහාර රසවත් කිරීමටත්, බේකරි කර්මාන්තයටත් බහුලව යොදා ගන්නවා. නමුත් මේ සඳහා භාවිතා වන්නේ නිල් පොපි මලේ ඇට (blue poppy seeds ). 

නිල්  පොපි ඇට වල වේදනා නාශක ගුණ සහ ඇබ්බැහි වන ගුණ නැතිවාට ආහාරමය සහ වෙනත් සෞක්‍යමය ගුණ බෙහෙවින් අඩංගු වෙනවා..අධික ලෙස පොටෑසියම් සහ සින්ක් යන ලවන වර්ගත් ,ප්‍රති ඔක්සිකාරක සහ රෝග වැළක්වීමේ ගුණත් අඩංගු නිල්  පොපි ඇට හර්ද රෝග සහ රුධිර පීඩනය වලක්වා, සිරුරේ ශක්ති මට්ටම ඉහල දමා තරුණ බව රැක ගැනීමටත්, සුවපහසු නින්දක් ලබා ගැනීමටත් උදව් කරනවා.. 


ලොව ඇති දරුණුම වේදනා ගණයට ගැනෙන්නේ දරුවකු බිහි කිරීම සහ පිළිකා රෝගයකදී ඇති වන වේදනාවයි..මේ දෙකේදීම නිරන්තරව  භාවිතා වන, බොහෝ අතුරු ආබාධ ඇතත් ආරක්ෂා කාරී භාවිතය සඳහා දිනපතා පර්යේෂණ කෙරෙන  ඕපොයිඩ් (opioid) වර්ගයේ ඖෂධය නොතිබුනා නම් වර්තමානයේ වේදනා නාශක කුමන තත්වයක් ගන්නට තිබුනාද?

ඒ අනුව පොපි මල ලෙය, කඳුල, රුධිරය නිසා ලොවට බිහි වූ ස්වභාව  ධර්මයේ අපුරුම දායාදයක් නොවේද?


මේ ගතවෙන්නේ ලෝක පොපි මල් සතියයි..


වසරකට වරක් පොපි මල මතක්වෙන ශීතල නොවැම්බරය...

ලොව පුරා එතෙක් මෙතෙක් යුද්ධයෙන් මියගිය හෝ ආබාධිතවූ සොල්දාදුවන් සමරන නොවැම්බරය.....

ආබාධිත සොල්දාදුවන්ට බැටන් පොලු වලින් පහර දෙන නොව.. 

ඔවුන්ගේ දුක් කඳුළු පිසලන නොවැම්බරය....

කඳුළු ගෑස් නොව ඔවුන්ගේ කඳුළු සමරන නොවැම්බරය....

ලොව පුරා පිපි පොපි..
එනමුදු කොහේද අපි????

රේණුකා විමලරත්න: ලන්ඩනයේ සිට
චායාරූප  අන්තර්ජාලයෙන්







6 comments:

  1. ඔය ඇට පාං , බනිස් උඩිං ඉහිනවා නේද

    ReplyDelete
    Replies
    1. බේකරි කර්මාන්තයේදී භාවිතා කරන්නේ නිල් පොපි ඇට (blue poppy seeds) , මේවායේ මා ඉහතින් සාකච්චා කර ඇති පොපි මලේ ඇති වේදනා නාශක හෝ ඇබ්බැහි වන සුළු ගතිය නැහැ. නමුත් එහි ආහාරමය ගුණ තිබෙනවා. ඒ අතරම ප්‍රති ඔක්සිකාරක සහ රෝග වැළක්වීමේ ශක්තිය තිබෙනවා..

      Delete
    2. ඔන්න අටන් මල්ලි ලිපියේ මට අමතක වෙලා තිබුණු කොටසක් මතක් කලානේ..නිල් පොපි ඇට ආහාරයට ගැනීම පිළිබඳව සටහනක් එක කර ලිපිය සංස්කරණය කළා..ස්තුතියි ඔබට..

      Delete
  2. පොපි මලේ වැදගත්කම එතකොට රණවිරුවන් සිහිකිරීම පමණක් නෙවේ...භාවිතයත් ඉතින් අපේ තේරීම අනුව තමයි.. හොඳට හෝ නරකට..

    ReplyDelete
    Replies
    1. රණවිරුවන් සැමරීමට වසර සිය ගණනකට පෙර සිට තමයි ඖෂධිය භාවිතයට පොපි යොදාගෙන තිබෙන්නේ..ඒ ගැන බොහෝ ය දන්නේ නැහැ, නමුත් හෙරොයින් ගැන නම් ලොකු කුඩා කවුරුත් දන්නවා..ස්තුතියි සොහොයුරිය සමාදමත් වාගේ මගේ ලිපි කියවා අගය කෙරුමට..

      Delete
  3. හොඳ කාලෝචිත ලිපියක්.

    ReplyDelete